Wednesday, October 11, 2017

ඇද නැති ඇද අකුරු




අජිත් සංජීව විසින් ලියන ලද ඇද අකුරු ගැන යමක් ලියන්ඩ ඕන කියලා හිතුවා. සර්පයා මේක හඳුන්වලා දීලා තියෙන්නෙ යොවුන් නවකතාවක් විදිහට. ඒ වගේම ගැටලු නවකතාවක් විදිහට. ඒ කියන්නෙ යොවුන් අයට සුදුසු නවකතාවක්. නමුත් මට නම් මේක යොවුන් නවකතාවක්වත්, ගැටලු නවකතාවක්වත් නෙමෙයි. ගැටලු නවකතාව යොවුන් වියේ ඉන්න අයට යොවුන් විය නිසාම අත්විඳින්ඩ සිදුවන සුවිශේෂි තත්වයන් වගවිභාගයට ගැනෙන නවකතා. ශරීරයේ වෙනස්වීම්, පෞරුෂමය ගැටලු, ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය, තීරණ ගැනීම වගේ දේවල් ඒවායේ ප්‍රමුඛ මාතෘකා. මම හිතන්නෙ යොවුන්විය අවසන් වෙන කොට අපි ඊට අනන්‍ය වූ සමහරක් ගැටලුවලින් අත්මිදෙනවා. නමුත් සමහරක් දේවල් අපි ළමාවියේ පටන් මරණය දක්වාම අරගෙන යනවා. එවන් සුවිශේෂී මානසික තත්වයන් තිබෙන්ඩ පුලුවන්.
මේ පොත ඇතුලේ තියෙන කතාවට යෞවනයෙකුට කරන්ඩ පුලුවන් දේ මොකද්ද? මේ කතාව නිර්මාණය කරන්නෙ රට තුළ ඇති ආර්ථික හා සමාජ දේහය විසින් නම් ඒ කතාවට ඔහු කුමක් කරන්නද? මෙවැනි කතා යෞවනයන් විශේෂයෙන් කියවීමෙන් ලැබෙන්නෙ මොනවාද? මේ කතාව ඇතුළේ මේකේ ඉන්න ගැටවරයාට අනන්‍ය වූ කිසිදු ප්‍රශ්නයක් නෑ. සියලුම ප්‍රශ්න බලහත්කාරයෙන් ඔහු මතත්, ඔහුගේ දෙමාපියන් මතත් පටවපු තත්වයන්. මම කියන්නෙ මේක කියවන්ඩ ඕන කවුරුවත් නෙමෙයි. මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයෝ රොත්ත. ඒ ගොල්ලන්ඩ ඒ ගොල්ලො අමතක කරන  කතාවක් සමහර විට අජිත් සංජිව නැවතත් මතක් කරලා දෙනවා කියලා මම හිතන්නෙ. ඔවුන්ගේ උජාරු දත්ත පිටුපස තියෙන මිනිස්සුන්ගේ ජිවිතය ගැන තමයි ඔහු ලියලා තියෙන්නෙ. මේක ලියවෙන පසුබිම දැනට අවුරුදු විසිපහකට පමණ එපිටින් තිබුනු ගම්මැද්දෙ අය පවුල් ජීවිතයට මුහුණ දීපු හැටි. දැන්  සමහරක් දේවල් වෙනස් වෙලා. නමුත් එම තත්වයන් නිර්මාණය කරන කොන්දේසි තාමත් තියෙනවා.
ලේඛකයා එතරම් ශුර නොවෙන්ඩ පුලුවන්. ඒත් ඔහු අවංකයි. එම නිසා එම අත්දැකීම ඔහු අපට ප්‍රක්ෂේපණය කරන්ඩ සමත් වෙනවා. සාහිත්‍යය ගැන, එහි මිනුම් දඩු ගැන මම එතරම් සැලකිල්ලක් නොදක්වනවා සේම මම ඒ ගැන මහා දේවල් දන්නෙත් නෑ.
මේකේ ඉන්නවා අශිෂ්ට තාත්තා කෙනෙක්. වගකීම් විරහිත. අසමත් පියෙක්. ශක්තිමත් අම්මා කෙනෙක්. මේකේ ඉන්න ගැටවරයාට තමන්ගේ අම්මා අහිමි වෙනවා. ඈ අසමත් තාත්තා නිසා මැදපෙරදිග යනවා. නමුත් මැදපෙරදිග ස්වාමියා ඈව පුච්චනවා. ඈව උඩුමහලෙන් පිතටතට තල්ලු කරනවා. ඇත්තටම අසමත් තාත්තා යනු මේ කතාවේ ඉන්න ගැටවරයාගේ පියාද නැත්නම් අපේ ජනාධිපති තාත්තාලාද කියන එකයි මගේ ප්‍රශ්නය. මේකේ ඉන්න ගැටවරයා ජිවිතේ සදාකාලිකව ඔහුගේ අම්මාව සොයාවි. ඒත් ඒ ෆ්‍රොයිඞ්ගේ තියරිය නිසා නම් නෙමෙයි. අපේ ජනාධිපති තාත්තලාගේ තියරිය නිසා. අදටත් බයිලා ගැහැව්වාට ලංකාවට විදේශ විනිමය අරගෙන එන්නෙ මැදපෙරදිග කාන්තාවෝ. අපිට තාමත් කුවේට් ඩිනාර් එක රත්තරන්. හැබැයි පිලිස්සුණු, මිය ගියපු, කෙලවරක් නැති ලිංගික අපහරණයන් ගැන කතා ඒ මහබැංකු වාර්තාවේ නෑ. ඒක නිසා මේ වගේ පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මේවා මහ බැංකු වාර්තාවල පිටුපස්සෙ ඇමුණුම්වලට යවනවා නම් තමයි හොඳ. (මැදපෙරදිගෙන් හම්බවෙන රුපියල් බිලියන නමසිය තිහ ගැන විතරක් සඳහන් කරන එක එතරම් ශිෂ්ට නෑ.
)
මේකේ ගැටවරයා එළියට බහින්නෙ තමන්ගේ මැදපෙරදිග ගියපු අම්මා මාස කිහිපයකට පස්සෙ කිසිම තොරතුරක් නැතිව ඉඳලා, මැදපෙරදිග ස්වාමියා ඇගේ පිට ඉස්ත්‍රිරික්ක කර ඇති බවත් උඩුමහලෙන් ඈව පහළට තල්ලු කොට දමා අත කඩා ඇති බවත් දන්වා ඇති ලියමන දැක්කට පස්සෙ. මම හිතන්නෙ ඔහුගේ මවට ඒක ඒතරම් දෙයක් නොවෙන්ඩත් ඇති. මොකද පරපීඩක ආශාවට ඈ ලංකාවේදී ගොදුරු වෙලා හිටපු නිසා ඈ හිතන්ඩ ඇති පිට ඉස්ත්‍රිරික්ක කරන කොට ඈ ලිංගික සුරතාන්තමය ප්‍රහර්ෂය අත්විඳිනවා කියලා. අත් කඩන එක, කස පහර දෙන එක ලිංගික ප්‍රහර්ෂය නෙමෙයි කියලා කාට හරි කියන්ඩ පුලුවන්ද? ගෙදරදිත් ගැටවරයාගේ පියා ඒ කියන්නෙ ඔහුගේ මවගේ පළමු ස්වාමියා ඒ කියන්නෙ ගැටවරයාගේ පියා මෙම කාන්තාවට පහර දෙනවා. වධ දෙනවා. මේක ගෘහස්ත හිංසනය නෙමෙයි. මේක ලිංගික ප්‍රහර්ෂය. තමන්ට මුදල් හම්බකරන්ඩ අමාරු වෙන්ඩ, වෙන්ඩ ස්වාමියා වහලාට පහර දෙනවා. ඒක පවුල් බැඳීම. ලංකාවේ ගෘහස්ත හිංසනය කියන්නෙ ලිංගික ප්‍රහර්ෂය. ගැටවරයාට ඒක තේරෙන්නෙ නෑ. ඒක විතරයි මම හිතන්නෙ ඔහුට නොතේරෙන එකම දේ මේ පොත ඇතුළේ. ඇයි කිසිම තේරුමක් නැතිව ඔහුගේ පියා අම්මාට පහර දෙන්නෙ? ඒක තමයි ලංකාවේ සම්ප්‍රදායික බෞද්ධ පිරිමියාගේ ලිංගික සුරතාන්තය. දැන් ඒක ටිකක් වෙනස්. දැන් පරපීඩක ගෘහස්ත හිංසනය දියුණුයි. තේරුම් ගන්න අමාරුයි. සතුට වැඩියි.
දැනට අවුරුදු දාහතරකට විතර කලින් මම දවසක් දැක්කා ගබ්සාවක් සිදු කරන තැනකට ඇවිත් හිටපු ගැහැනියක්. මැදපෙරදිග ගියපු. මැද පෙරදිග ස්වාමියා දීපු ඩිනාර්වලට ගෙවපු අතිරේක වන්දිය. මම දන්නෙ නෑ මාස හතරකට වැඩි ඒ බඩ ගෙඩිය ඇතුළේ හිටපු ඒකා නැති කරන්ඩ ගිහින් ඒ ගැහැනියත් මළාද කියලා. ඒත් ඈ වේදනාවෙන් ඇවිදිමින් හිටපු හැටි මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පොතත් ඒ වගේ තිගැස්මක් මට අරගෙන ආවා.  මහා සාහිත්‍යය ඇතුළේ මේ පුංචි පොත තිතක්. ඒත් ඒ තිත අපිට අරගෙන එනවා හෘදය සාක්ෂියේ බර.
ඒ බර යෞවනයන්ට බර වැඩියි.
                                                                                   

නදීකා බණ්ඩාර


No comments:

Post a Comment