Wednesday, October 11, 2017

හිරගෙදරට නොදෙවෙනි වැඩවසම් ඉස්පිරිතාල දොස්තර උපාධිය එක්ක මහමග...

             

පුද්ගලීකරණය... මම මේ වචනය පළමුවෙන්ම ඇසුවේ මගේ ගෙදරදී මගේ දෙමව්පියන්ගෙන්. ඔවුන් වතු සංවර්ධන මණ්ඩලයක සේවය කළ ලිපිකාරයෝ. ඔවුන් ගෙදර කතා වුණා ප්‍රයිවට් කරන්ඩ යනවා ජනතා වතු සංවර්ධන මංඩලය. සමහර සේවකයින්ට වන්දි අරගෙන ඉවත් වෙන්ඩ පුලුවන්. ඒ 1990 ගණන් වලදී ( මට ඒක ගැන දත්ත වශයෙන් නිවරදි මතකයක් නෑ.). 
ඊට පස්සෙදී නැවත ඒක මට මුණ ගැහෙන්නෙ වාණිජ විද්‍යාව හෝ ආර්ථික විද්‍යාව පාඩමේදි උසස් පෙළ විභාගයට. මම විශ්ව විද්‍යාලයට ආවා. වාණිජවේදී උපාධියක් ගන්ඩ. මගේ අම්මා මට කිව්වා හොඳ රස්සාවක් කරන්ඩ ඉගෙන ගන්ඩ. පිරිමියෙකුට වහල්කම් නොකර, යටත් නොවී ජීවත් වෙන්ඩ.  විශ්වවිද්‍යාලයේදී අපි ඉගෙන ගත්තා රාජ්‍ය අකාර්යක්ෂමතාවයට පිළියම පුද්ගලීකරණය. අපි විශ්වවිද්‍යාලයේදී තදින් මේක ඉගෙන ඉගෙන ගත්තා. එහෙමත් නැත්නම් ඉගැන්නුවා. අපිට ලියන්ඩ ඕන උත්තර දීලා ඊට පස්සෙ ප්‍රශ්න අහන නිසා අපිට ලියන්ඩ සිද්ධ වුනේ එකම උත්තරයි. මුලු අධ්‍යාපන සිස්ටම් එක ඇතුළේම ඉස්සෙල්ලා උගන්නනෙ අපි දෙන්ඩ ඕන උත්තරේ. උත්තර උගන්නලා ප්‍රශ්න අහන එකට තමයි අධ්‍යාපනය කියන්නෙ.
අපි ගොඩ දෙනෙකුට ඉගෙන ගන්ඩ සිද්ධ වුනේ ඉංග්‍රීසියෙන් වුනත් විභාග ලිව්වෙ සිංහලෙන්. ඒ විදිහට තමයි ඉංග්‍රීසියට හැරවීම පටන් ගත්තෙ. දැන් කොහොම වෙනවද මම දන්නෙ නෑ. මම විශ්වවිද්‍යාලය දක්වාම ඉගෙන ගෙන තිබුනේ සිංහලෙන්. හැබැයි ක්‍රමය තිබුනේ ඉංග්‍රීසියෙන්. දැන් මොකද කරන්නෙ ? ඒගොල්ල අපිට කිව්වා ව්‍යාකරණ වැරදුනත් කමක් නෑ ඉංග්‍රීසියෙන් විභාගයට ලියන්ඩ කියලා. ඒත් මට නාට්‍ය පිස්සුව තදින් රෝගයක් වගේ වැළඳිලා තිබුණ නිසා මම හිටියේ දෙකට බෙදිලා. 
ඉතින් මම නාට්‍ය කලාව හොයන්ඩ පිටත් වෙලා තිබුණ නිසා මම සිංහලෙන් විභාග කරා. මොකද ඉංග්‍රීසියෙන් මහන්සි වෙන්ඩ යන කාලය මට අවම වෙන හින්දා. ඇයි ආණ්ඩුවේ ඉස්කෝල අපිට ඉංග්‍රීසියෙන් ඉගැන්නුවේ නැත්තෙ? ඇයි අපිව රැවැට්ටුවේ? මට ඉංග්‍රීසියත් එක්ක කිසිම විරෝධයක් නෑ. නිදහස් අධ්‍යාපනය සිංහලෙන් ලබා ගැනීමේ පාපකර්මය ගෙවන්ඩ සිද්ධ වුනේ අපේ පරම්පරාවට කියලා මම හිතන්නෙ. 
මම කියන්නෙ රජය පළමුවෙන්ම පුද්ගලීකරණය ගැන කතා කරන්ඩ කලින් ආණ්ඩුවේ පළමුබස ඉංග්‍රීසිය කළ යුතුයි. දෙක ආණ්ඩුව රට පාලනය කරන එකත් විකුණන්ඩ ඕන පුද්ගලික කොම්පැනියකට. මම කියන්නෙ ඒකට ජනමත විචාරණයක් තිබ්බා නම් හොඳයි. ඒක කරන එකක් නෑ. මොකද කොමිස් මුදලාලිලා කොමිස්වලට මොකද කරන්නෙ? දෙවන බස දෙමළ හා සිංහල කළ යුතුයි. මම හිතන්නෙ මේ ප්‍රශ්නය වෛද්‍ය ශිෂ්‍යයන්ට වඩා කළමණාකරණ කේෂ්ත්‍රයේ ඉන්න අයට තදින් දැනෙනවා. මොකද දොස්තර කෙනෙක්ට වඩා සන්නිවේදන කුශලතා ඒගොල්ලන්ට ඕනේ. දොස්තරලා ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තාට ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට එන්නෙ සල්ලි නැති බයියෝ නිසාත්, කතා නොකර බුකවගෙන සිටීම දොස්තරවරුන්ගේ අනන්‍යතාවය නිසාත් ඔවුන්ට එය එතරම් තද ප්‍රශ්නයක් නොවෙයි. ඒත් කළමණාකරණ ක්ෂේත්‍රවල බලාපොරොත්තු වෙන්නෙ ඉපදෙනකොටම ඉංග්‍රීසියෙන් අඬාගෙන එන්ඩ ඕන වගේ දෙයක් (ලංකාවේ ප්‍රභු කලාවත් ඒවගේම තමයි.). 56 භාෂා ප්‍රශ්නය අද තියෙන්නෙ සිංහලද දෙමළද කියන තැන නෙමෙයි. ඉංග්‍රීසි නොදන්නාකම. 


( මම ඇතුළත් වෙලා තිබුණ පැකල්ටි එක එක්ක මට කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ. මට ඒකේ උගන්නපු අය පෙනුනේ අමුතු ලෝකෙකින් ගොඩ බැහැපු අය වගේ. ඒගොල්ල කියපු සමහර දේවල් මට තේරුනේ නෑ. තාමත් තේරෙන්නේ නෑ. ගාමන්ට් එකක ලොකු විභාග ලියලා කළමණාකරුවෙක් වෙන කෙනෙක්ට (එහෙමත් නැත්නම් ඉංග්‍රීසි කතා කරන නිසා) රුපියල් ලක්ෂ දෙකකටත් වඩා  ගෙවීමක්  කරන එකයි, ඇඳුමක කොලරයක් මහන කෙනෙකුට රුපියල් විසිදාහක් පමණ වැටුපක් ගෙවන  එකයි  අතරේ තියෙන පරතරය මට තාමත් තේරුම් ගන්ඩ බෑ. ආර්ථික වර්ධනය කියලා මහ බැංකුවෙ තියෙන දත්ත මේවා වෙන්ඩ ඕන.) 
කොහොමහරි ඉස්සෙල්ලාම ලංකාවේ විකුණුවේ වාණිජවේදී හෝ ව්‍යාපාර පරිපාලන උපාධිය.  ඒ ක්ෂේත්‍රය සම්බන්ධ ලොකු පඩි ගෙවන විභාග ගොඩාක් පුද්ගලික විභාග. මුදල් ගෙවලා කරන්ඩ ඕන ඒවා. ඒ වගේ උපාධි විකුණන විශ්වවිද්‍යාල ලංකාවේ දැන් ගොඩාක් තියෙනවා. රජයේ සංවර්ධන නිලධාරි හෝ ගුරු වෘත්තිය වගේ රස්සා තමයි ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලින් ව්‍යාපාර සම්බන්ධ උපාධි තියෙන ගොඩක් අය කරන්නෙ. නීති උපාධිත් විකුණනවා. ගොඩාක් උපාධි විකුණනවා. ඒ මදිවට නිදහස් අධ්‍යාපනය කියලා කියන අඩක් සත්‍ය වූ බොරුව තාමත් තියාගෙන ඉන්න හැටි. අපිත් හිතාගෙන ඉන්නවා තියෙනවා කියලා. නමුත් නිදහස් අධ්‍යාපනය කියලා අද කුට්ටිය පිටින් ගන්ඩ පුලුවන් එක එකකයක් නෑ. 
මම හිතන්නෙ නිදහස් අධ්‍යාපනය දීපු එකම දේ තමයි දුප්පත් ළමයින්ට තමන්ගේ දුප්පත්කමට එරෙහිව සටන් කරන්ඩ දීපු අවස්ථාව. ඒ වගේම කුල පීඩනයට වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවයටත් ඒක කරපු බලපෑම විශාලයි. ඒකේ අන්තිමට ඉතිරි වෙලා  තියෙන තැන තමයි දොස්තර උපාධිය. තාමත් දුප්පත් දරුවෙක්ට දොස්තර කෙනෙක් වෙන එක සිහිනයක් විදිහට ඉතිරි වෙලා තියෙනවා.
මේ වෙනකොට වාණිජවේදී හෝ ව්‍යාපාර පරිපාලන උපාධියට නම් හොඳටම කෙළවෙලා තියෙන්නෙ. දැන් කෙළවීගෙන එන්නෙ වෛද්‍ය උපාධියට. මේක විකුණුවා නම් ලංකාවේ පුද්ගලීකරණය සීයයට සීයක් සිද්ධ වෙනවා. දැන් පුද්ගලික ඉස්පිරිතාලවල හැන්දෑවේ හතරෙන් පස්සෙ බෙහෙත් දෙන  දොස්තරලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආවට පස්සෙදි වෙන්නෙ ඒ පුද්ගලික රෝහල්වලට අර දොස්තරලා ටික ඕන නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට බෙහෙත් ගන්ඩ ප්‍රයිවට් ඉස්පිරිතාල... සල්ලි තියෙන පවුල්වල සල්ලි දීලා ඉගෙන ගත්ත වැදගත් දොස්තරලා... 
ආණ්ඩුවේ ඉස්පිරිතාලවල දුප්පත්  නොවැදගත් පවුල්වල මහා තරගයකට මුහුණ දීලා අමාරුවෙන් වෛද්‍ය විද්‍යාලයට ඇවිත් ඉගෙන ගත්ත දොස්තරලා. එගොල්ලන්ඩ දැන් වගේ පෝසත් වෙන ඒක ලේසි නෑ. දොස්තර උපාධිය විකුණුවාම.
මේ දෙක හරියටම වෙන්වෙනවා. වානිජවේදී හෝ ව්‍යාපාර පරිපාලන පිළිබඳ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලින් උපාධි ගත්ත බහුතරයක් අයට මුහුණ දීමට සිදුවන විවෘත තරඟයට ලංකාවේ දොස්තරලා වෙන්ඩ ඉගෙන ගන්න අයටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තාමත් දුප්පත් දක්ෂයන්ට ඇති එකම ඒකාධිකාරය වෛද්‍ය උපාධිය විතරයි. 
දැන් කොටසක් කැමතියි පුද්ගලික කරනවාට. කොටසක් කැමති නෑ පුද්ගලික කරනවාට. මේක ඇතුළේ ප්‍රමිතිය වගේ දෙයක් ගැන තියෙන ප්‍රශ්නයට වඩා තියෙන්නෙ පන්ති අතර තියෙන ගැටුම. පුද්ගලිකව රජයේ රෝහල්වලටවත් ඒකේ ඉන්න වෛද්‍යවරු ඇතුලු කිසිම සේවකයෙකුටවත් මට කැමති වෙන්ඩ බෑ. මම කියන්නෙ මොළේ කළඳක් හරි තියෙන කෙනෙකුට ලංකාවේ රෝහල් පද්ධතියේ තියෙන අවුල පේනවා. මානව සම්බන්ධතා අතින් ලංකාවේ හිරගෙවල්වලට නොදෙවෙනිව ලංකාවේ රෝහල් පද්ධතිය තියෙන්නෙ. ඒ හින්දා අනෙක් කේෂ්ත්‍රවල වගේම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ කැරකෙන මේ ප්‍රශ්නය හරිම සංකීර්ණයි. මේක අමතක කරලා දාලා උපාධිය නොවිකුණුවා කියලා කිසිම පල ප්‍රයෝජනයකුත් නෑ. උපාධිය විකිණීම වගේම රෝහල් පද්ධතිය මේ වෙලාවේ තියෙන තත්වයත් අන්ත පසුගාමී තැනක්. නමුත් ඒකට තියෙන ඉදිරිගාමී උත්තරය පුද්ගලීකරණය කියන මිත්‍යාව නම් මට තාමත් විශ්වාස කරන්ඩ අමාරුයි.
මම නිදහස් අධ්‍යාපනය නිසා උපාධියක් ගත්තා තමයි. ඒත් ඒකෙන් ඒ හැටි ප්‍රයෝජනයක් අරගෙන නැති බවත් ඇත්ත. මම ඒ දෙවල් ගැන ඒතරම් විශ්වාස කරන කෙනෙකුත් නෙමෙයි.  දුප්පතුන් ටික දෙනෙක් තමන්ගේ පංතිය මාරු කරා කියලා මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්නෙ නැති බවත් ඇත්ත. නමුත් මට තාම නිදහස් අධ්‍යාපනය නිසා දුප්පතුන් ලබා ගත් ප්‍රතිලාභ අමතක කරලා පුද්ගලීකරණයට අත් උස්සන්ඩ බෑ. මොකද තාමත් ලංකාවේ බහුතරයකට ප්‍රයිවට් ඉස්පිරිතාලවලින් බෙහෙත් ගන්ඩ බෑ. ඒ වගේම සල්ලි දීලා ඉගෙන ගන්ඩත් බෑ. මේ කාරණය අමතක කරලා සියලු දේවල් විකුණන්ඩ ඕන කියන මායාවී සිහිනය වැළඳ ගන්ඩ තාමත් මට මගේ හිත ඉඩ දෙන්නෙ නෑ.
ඒක නිසා පෙරේදා අරලිය ගහ මන්දිරයට කිට්ටුවෙන් කඳුලු ගෑස් ගහලා විරෝධතාකරුවන් පලවා හරින වෙලාවේ මටත් එතැන ඉන්ඩ ඕන වුණා. 
                                                                                   
නදීකා බණ්ඩාර
  


No comments:

Post a Comment