Monday, October 12, 2015

මරියාගේ රමණය




නදීකා බංඩාරගේ මරියාගේ රමණය  වේදිකා නාට්‍යය නොවැම්බර් 28  සවස 3.30ට සහ 6.30ට නව රඟහලේදී වේදිකා ගතවීමට නියමිතය.

පරිභෝජනවාදී සමාජය විසින් ස්ත්‍රියට යෝජනා කරන නව ජීවිතය මරියාගේ රමණය විසින් ප්‍රශ්න කරනු ලබයි. පරිභෝජනවාදී සමාජය දිගින් දිගටම අලංකාරය සහ සෞන්දර්්‍යය ගැන මායා දර්ශන අපට සපයමින් සිටී. මෙහි ප්‍රධාන ස්ත්‍රිය බෝනික්කි ගෙදර නෝරා මෙන් සිය පවුල ප්‍රශ්න කරනු ලබයි. එහෙත් ඇය ප්‍රශ්න කරන්නේ පැරණි පවුල නොව නව පරිභෝජනවාදී නුතන පවුල තුළ ඇති අරාජිකත්වයයි. පරිභෝජන සමාජයක් තුළ සොයා යන ද්‍රව්‍යමය තෘප්තිය අතරේ බිහිවන ස්ත්‍රි පුරුෂ ප්‍රේමයන්හි හැඩහුරුකම් දකින්නට උත්සාහයකි මරියාගේ රමණය. 

මෙම නාට්‍යයේ රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බංඩාරගෙන් වන අතර සංගීතය අජිත් කුමාරසිරිගෙනි. ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප්, රුවන් රංගේ, නදීකා බංඩාර රංගනයෙන් දායක වන මෙහි වේදිකා පරිපාලනය කසුන් ජයරත්න විසින් සිදු කෙරේ. ආලෝකකරණය සාලිය ඉඳුරුවිතානගෙන් වන අතර ආලෝකය මෙහෙයවීම ලහිරු චතුරංග විසිනි. අංගරචනය සුමේධ හේවාවිතාරණගෙනි.

'භාව විරේක' ඌවේ


නදීකා බංඩාර විසින් රචනා කළ ජගත් ජයසේකර අධ්‍යක්ෂනය කළ 'භාව විරේක' පරේක්ෂණාත්මක නාට්‍යයේ දර්ශණයක් නෙවැම්බර් 11 වන දින සවස 6.30ට ඌව සරසවි කළා උළෙල වෙනුවෙන් රඟ දැක්වේ. නදීකා බංඩාර, සුසන්ත ප්‍රදීප්, රැවන් රංගේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වේ. මෙය ජෙනී තියටර් රංග කලා සංසදයේ ඉදිරිපත් කිරීමකි.  

භාව විරේක නාට්‍යය ඔස්සේ දේශීය සම්ප්‍රදාය තුළ වන භාව විරේචනාත්මක සම්ප්‍රදායන් ඒ හා මුසු කරන්නට දැරූ උත්සාහයකි. දේශීය වෙස්මුහුණු කලාව යොදා ගනිමින් මානව සමාජය තුළ ක්‍රියාත්මක වන අනන්‍යතා අර්බුධය මෙන්ම කුහකත්වයද, දෙබිඩිබව හා පරාරෝපනයද ස්පර්ශ කරන මෙය මහා අනෙකා විසින් අපගේ ජීවිත කෙරේ කරන බලපෑමද දක්වයි. 

භාව විරේක නූතන නාට්‍යමය ලක්ෂණ හා ශ්‍රී ලාංකීය තොවිල් සම්ප්‍රදාය ඇසුරු කොටගෙන නිර්මාණය කරන ලද්දකි. සමාජීය තංහචි කලාපය මිනිසා තුළට කාන්දු කරන පීඩනය සහ ප්‍රමෝදය නාටකයක් තුළින් මෙහිදී දක්නට උත්සාහ කොට ඇත. මෙහි සමාජ තහංචිවල පීඩනය සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද වෙස් මුහුණ ශ්‍රී ලාංකීය වෙස් මුහුණු සංස්කෘතියට එකතු වන නවමු මුහුණක් ලෙස හැඳින්විය හැක. එම වෙස් මුහුණ මිනිස් ප්‍රකෘතිය සහ විකෘතිය හසු කරගන්නට ගන්නා ලද උත්සාහයකි. වේදිකා රංගාලෝක හා ආලෝක පන්දම් මිශ්‍රකරමින් මෙහි ආලෝක නිර්මාණ සිදු කෙරිණි. එළිමහන් වේදිකා අත්දැකීමක් ලෙස හැදින්විය හැකි එය ගෘහස්ත රඟහලකදී වුව රංගගත කිරීම සඳහා නිර්මාණය කොට ඇත.

මෙහිදී ඒ එළිමහන් රංග භූමියක ඉදිරිපත් කෙරෙනු ඇත.