Friday, August 11, 2017

ස්වයං වින්දනයේ යෙදෙන හැටි පිරිමි අපිට උගන්වන්ඩ ඕනෑ නෑ

   එවරස්ට් ගොයුම්ගේ ඡතුමට්ඨිකාව ගැන කියවීමක්.



ලංකා බණ්ඩාරනායකගේ “ට්‍රැඩිෂන් ” කෙටි චිත්‍රපටිය ගැන අදහස් දැක්වීමකට සහභාගි වීමෙන් පසුව මම එවරස්ට්ගේ ඡතුමට්ඨිකාව කියවන්නට පටන් ගත්තා. මම ලංකාගේ චිත්‍රපටිය ගැන අදහස් දැක්වීමේදි ලිංගික තෘප්තිය පිළිබඳව ඇති  අධිපති කතිකාව ගැන එහෙන් මෙහෙන් කතා කළා. එහෙත් ඡතුමට්ඨිකාව කියෙව්වාට පස්සෙ ඒ ගැන නැවත පැහැදිලිව ලියන්ඩ ඕන කියලා මම හිතුවා.
ස්ත්‍රින්ගේ ලිංගික නිදහස යනු  සංසර්ගයේ යෙදීමෙ නිදහස ලෙස බෙහෝ අය තේරුම් අරගෙන ඉන්නවා. එහෙත් ලිංගික නිදහස යනු එය නොවේ. ගැහැනියකට ලිංගික විෂයෙහි මුහුණ දීමට ඇති ප්‍රශ්නය අතිශය දේශපාලිනකය. 
අපි ලිංගික සන්තෘප්තිය කියලා හිතාගෙන ඉන්නෙත් පුරුෂයා සීමාමායිම් ලකුනු කල සන්තෘප්තියටමයි. ඒ සන්තෘප්තිය යනුම පුරුෂ නිමවුමක්.   මා හිතන්නෙ ගැහැනියට අවශ්‍ය වන්නෙ ලිංගික නිදහස නොව ලිංගිකත්වයෙන් නිදහසය. මක්නිසාද යත් ඈ ජිවත්ව ඇත්තෙ ලිංගික වහලියක් ලිංගික ශ්‍රමියෙක් විදිහට. ලිංගික හැගැවුම්කරණයක් ලෙසය. සංකේතයක් ලෙසය. ඒ සදහාම උපන් තැනැත්තියක් ලෙසය. එය පවත්වාගෙන යෑම කරනු ලබන්නෙද ස්ත්‍රින්මයි.  එවිට ලිංගික සංන්තෘප්තිය සංසර්ග කේන්ද්‍රීය වෙලා තියෙනවා.  අධිපති ලිංගික කතිකාව විෂම ලිංගික සංසර්ග කේන්ද්‍රීයවයි තියෙන්නෙ. බලය ඇත්තෙ එයටය. එය අනෙක් සියල්ල නිශේධනය කරමින් චිරාත් කාලයක් වැජඹෙමින් ඉන්නවා. සම්ප්‍රදාය යනු ද එයමයි. එම නිසා පුරුෂ ලිංග මුලික  ලිංගික සන්තෘප්ති මතවාදය ඉදිරිපිට ගැහැනිය ඇඳේදිද කලාවේදිද එයම වර නගයි. 


කන්‍යා භාවය

 

කන්‍යාභාවය විෂම ලිංගික සංසර්ග කේන්ද්‍රයේ ප්‍රබල සංකේතයක්. එය සදාචාරය පිළිබඳ වූ දෙයක් ලෙස වර නැගුවද එය ස්ත්‍රියට තමාගේ සිරුර ගැන අවබෝධයකින් තොරව යම් කිසි තැනැත්තෙකුගේ ලිංගික දේපලක් බවට පත්වීමට සිදු කළ සමාජීය බලහත්කාරයක්.  වසර දහස් ගණනක් තිස්සෙ විවාහයට කලින් ලිංගික සබඳකම් තහනම් කිරීමේ වුවමනාව වූයේ සංසර්ග කේන්ද්‍රීය නොවන දැනුම විනාශ කිරීම. මායාකාරියන් ලෙස පුලුස්සා දැමුවේ මෙකී අවබෝධය ලත් ගැහැනුන් විය යුතුයි. ගැහැනුන් දැන සිටියා නම් ස්ත්‍රී ලිංගික සන්තෘප්තියේ ප්‍රභවය පුරුෂ ලිංගය නොවන බව මේ තරමට ස්ත්‍රීන් පාලනය කිරීම පහසු කටයුත්තක් නොවනු ඇත.


ස්වයං වින්දනය


පිරිමින් ස්වයං වින්දනයේ යෙදෙන්නෙ ගැහැනියක් නැති නිසාමද? සංසර්ගයට  යා නොහැකි නිසාමද? නැහැ. එය ලිංගික සන්තෘප්තිය ලැබිමේ එක් ක්‍රමවේදයක්. එය පරිපුර්ණ ලිංගික ක්‍රියාවක්. ඉතාමත් නිරෝගි සංසර්ගය තරමටම එය පුර්ණයි. ගැහැනියටද එය එසේමය. ලිංගික සන්තෘප්තිය ලැබීමට තවෙකෙක් අවශ්‍යය යන්න මේ ලෝකෙ ඇති ලොකුම බොරුවලින් එකක්.  සංසර්ගය ලිංගික සන්තෘප්තිය ලැබීමේ එක් ක්‍රමයක් පමණයි. සමලිංගිකත්වයද, විෂම ලිංගිකත්වයද ස්වයං මෛ්‍යතුන්‍ය යන මේ සියල්ල අතිශය නිරෝගීය. මේවා කිසිවක් වැරදි හෝ අසම්පූර්ණ නැත. විෂම ලිංගික සංසර්ගය පමණක් අධිනිශ්චය කොට  ඇති නිසා අනෙකුත් සියලු දේවල් අපගමනයන් ,සහකාරියක් සහකරුවෙක් නොමැති නිසා ඇතිවන පිරිමැහිල්ලක් විදිහට සලකනු ලබනවා. සමහරුකියනවා පිරිමින් දුෂණයට පෙළඹෙන්නෙ ලිංගික නිදහස නැති නිසා කියලා. නමුත් පිරිමි ගැහැනුන්ව දුෂණය කරන්නෙ ලිංගික නිදහස නැති හින්දා නෙමෙයි. ලිංගික සන්තෘප්තිය පිළිබඳ අධිපති කතිකාව හින්දා. කන්‍යා දූෂණය කිරිමේ ලාලසාව වගේම දූෂණය කිරීමේ ආශාවත් ෆැන්ටසි. මේ ෆැන්ටසි හැදෙන්නෙ සංසර්ග කේන්ද්‍රීය බල ව්‍යුහය නිසා. මේ කේන්ද්‍රය විනාශ කරන තුරු දූෂණය පැන්ටසියක් විදිහට පිරිමින්ගේ ඔලුව ඇතුලේ වැඩ කරන එක නවත්න්ඩ නීතියටවත් දෙවියන්නාන්සේටවත් බැහැ. සමලිංගික විවාහය මේ වන විට ලෝකයේ රටවල් විසිදෙකක නීතිය මගින්  පිළිගෙන තිබෙනවා. ඔවුන් දරුවන් අරන් හදා වඩාගෙන පුර්ණ පවුලක් ලෙස ජීවත් විමේ අයිතිය නීතිය මගින් පිළිගෙන තිබෙනවා. සමසරාගිකයන් තුළත් විෂමසරාගිකයන් තුළ පවතින ගැටුම්, ආරවුල්,නොගැලපීම් ලිංගික ඊර්ෂ්‍යාවන් පවතිනවා. ඒ හැරුණු කොට මේ සියලු දේවල් ඉතාමත් නිරෝගී පූර්ණ දේවල්. කෙනෙකුට ලිංගික සංන්තෘප්තිය තනිව හෝ තවෙකෙක් සමග හෝ කණ්ඩායම් වශයෙන් ලබත හැකියි. මේවායේ කිසිදු වරදක් මට පෙනෙන්නෙ නෑ. එකම දේ කිසිවක් බලහත්කාරයෙන් කිසිවෙකු මත පැටවිය යුතු නෑ. එයයි වැරදි. එහෙත් අපි එක දෙයක් පුමුඛ කරවීමෙන් අන් සියලු දේවල් විනාශ කොට දමා තිබෙනවා. එය දේශපාලනික දෙයක්. එහි අප හිතනවාට වැඩිය දෙයක් තියෙනවා. ඒක තමයි බලය පවත්වාගැනීමේ ධුරාවලිය. 

ස්ත්‍රියකට ස්වයං වින්දනයේ යෙදිය හැකිද ආධාරයකින් තොරව.  ඒ කියන්නෙ පුරුෂ ලිංගයට ආධාරයක් නොමැතිව.

“ඡතුමට්ඨිකාවේ ”මෙය සූත්‍ර ගත කරන ආකාරය දෙස බලන්න.

ජිවිතයේ පළමුවතාවට ඡතුමට්ඨිකය උපයෝගි කරගෙන ස්වයං වින්දනයක යෙදී ඇත්තෙමි. පිරිමියෙකුට ස්වයං වින්දනයේ යෙදීමට අධාරකයක් ඇවැසි නැත.   
-පිටු අංක 225 

එවරස්ට් මා ඔබට කියන්නෙ එය ගැහැනුන්ටද අවශ්‍ය නැත. 

මේ එවරස්ට්ගේ කතා නායිකාව මත පැටවු බලහතකාරි සිතුවිලිය.  මෙහි කතා නායිකාව වන තුෂාය.  තුෂා යනු සැමියා පිටරටක සේවය කරන නිතර ගෙදර නැති සැමියෙකි. ඔහු වරෙක ලංකාවට පැමිනි විට පුරුෂ ලිංගයකට සමාන නවීන උපකරණයක්  ත්‍යාග කොට යයි. ඇය එය භාවිතා කරන්නේද ඉන් බොහෝ කලකට පසුව ඈ තුල ඇවිලෙන ලිංගික කුසගින්න දරා ගත නොහැකිවය. 
එවරස්ට් මා ඔබට කියන්නෙ එය ගැහැනුන්ටද අවශ්‍ය නැත.

මේ මුලාව කුමක්ද. මේ මුලාව එන්නෙ කොතනින්ද . මේ මුලාව එන්නෙ විෂම ලිංගික අධිපති කතිකාවෙන්. පවතින්නෙ එය පමණක් නිසා එවරස්ට්ට සිදුවන්නෙ එහි පිහිට පතන්නටය. එහි පිහිට අරගෙන ඔහු ගැහැනුන්ට ලිංගික නිදහස දෙන්නට යයි. එහෙත් ඔහු නැවතත් පැටලෙන්නෙ ගොබ්බ පිරිමින් පැටලී ඇති මර උගුලේය. “විසි අට” චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට සිදුවන්නේද එයමයි.

මෙහි ලේඛකයා ගැහැනියක් බවට පත් වී ගැහැනියකගේ ලෝකය විවර කරන්නට උත්සාහ කරයි.  එහෙත් ඔහු සම්පූර්ණයෙන්ම විකෘතියක් බවට පත් වෙයි. ඔහුට එය කල නොහැකියි. එය කිසිවෙකුට කල නොහැකියි. එය කල හැක්කේ ලිංගික  සංන්තෘප්තිය පිලිබඳ අධිපති කතිකාව ගැන දැනුවත් අයෙකුට පමණයි. උදාහරණයක් වශයෙන් පිරිමියෙකු පුරුෂ ලිංගය තුලින් ලබන්නා වූ තෘප්තිය පිලිබඳ මට කිසිවක් සිතා ගත නොහැකියි. මා කල්පනා කරන්නෙ එය ඇතැම් විට සමාන වනු ඇත්තේ භගමනිය සමග ස්වයං වින්දනයේදි ලබන අවසාන වේව්ලා යන තත්පර නිමේශ තුල සිදුවන වේව්ලා යාම විය යුතු බවය. සංසර්ගයේ දි පවා පුරුෂ සන්තෘප්තිය වැඩ කරන්නෙ ස්වයං වින්දනය විදිහටම තමයි. ගැහැනු සිරුර ඊට ආධාරකයක් වෙනවා විතරයි. සමරාගිකිත්වය තුළ පවා එහෙමයි.

පුරුෂයෙකු අත භාවිතා කර ස්වයං වින්දනයේ යෙදෙනවාක් මෙන් ගැහැනියකට එක් හුරු ඇඟිල්ලක් ප්‍රමාණවත්ය. එයට කිසිසේත්ම පුරුෂ අධාරකයක් අවශ්‍ය නැත.  එසේම යෝනිය ඇතුළට කිසිවක් ඇතුලු කල යුතු ද නැත. ඒ නිසා එවරස්ට් මේ ලියන්නෙ බහුතර ගොබ්බ පිරිමින්ගේ මුලාවය. ගොබ්බ පිරිමි හිතාගෙන ඉන්නෙ යෝනිය ඇතුලට යමක්  දැමිය යුතුම බවය. එකී ගොබ්බ අදහස වර්ධනය කිරීමට ස්ත්‍රින්ද සියයට සියක් දායක වෙයි. ඒ ඔවුන් එය හෙලිදරව් නොකරයි. මක් නිසාද යත් යෝනිය පිරිමින් අතින් අධිනිශ්චය වී ඇති නිසාය. යෝනිය අතිශයින් වැදගත් දරුවෙක් අවශ්‍ය කාන්තාවකට ( ස්වභාවික ලෙස ශුක්‍රාණු ගර්භාෂය දෙසට පිහිනීමට නම්).  ලිංගික සන්තෘප්තිය සම්බන්දයෙන් එය එතරම්ම වැදගත් නැත. 
ස්ත්‍රියකට ස්වයං වින්දනයේ යෙදීමට පුරුෂ ලිංගයට සමාන අධාරකයක් අවශ්‍ය බව ඔප්පු කිරිම සදහා ලේඛකයා බෞද්ධ කතා වස්තු වල උපකාරයද ක්‍රිස්තියානි කතා වල උපකාරයද  ලබා ගනි. බුදුන්ටවත් ස්ත්‍රී සන්තෘප්තිය ගැන කතා කල නොහැකියි. එසේ නම් බුදුන්ට භගමනියක් ඇතුලු ස්ත්‍රී ලිංගික අවයවයක් තිබිය යුතුය. බුදුන් ස්ත්‍රී සිරුර  පුරුෂයාට බුද්ධත්වය ලබා ගැනීමට නොහැකි මර උගුලක් ලෙස සලකනවා. අවසානයේ මාර දෙවඟනන් පැමිනෙන්නේද ඒ නිසා. එහෙත් ස්ත්‍රියට ගැලවිය නොහැක්කෙ කුමකින්ද? පුරුෂ ශරීරයෙන් බව බුදුන් කොයිම තැනකවත් කියන්නෙ නැහැ. සමහරුන්ට ඕනේ බුදුන් නොකියපු දෙයක් නෑ කියලා කියන්ඩ. නමුත් ඔහු කොයිම තැනකවත් ස්ත්‍රියට පුරුෂ ශරීරයෙන් ගැලවීමක් ගැන කතා කරන්නෙ නෑ.  ස්ත්‍රීන් ඔහුගේ ශාසනයට ඇතුලු වුනේ  විමුක්තිය පතා ගියේ තමාව බලහත්කාරයෙන් යට කොට තිබෙන පුරුෂ සන්තෘප්තිය මූලික කර ගත් පුරුෂාධිපත්‍යයේ වහල් බැම්මෙන් ගැලවීමට. වෙන ගැලවුමක් තිබුනේ නෑ. එතනයි ස්ත්‍රියට බුදුන් හමුවෙන  තැන.

සුමංගල මාතා ථෙරිය මෙහෙම කියනවා.
මිදුණා !මිදුණා! කෙලෙසුන්ගෙන්
හිරි නැති සැමියාගෙන් හා මොහොළින්
ඇඟිලි කැපෙන කුළුපොතු වියුමෙන් හා 
සැළියෙන් ද නඟන දියනයි ගඳ
මිදුණා! මිදුණා! මනාව මිදුණා! 
  
(මාර්ටින් වික්‍රමසිංහ තේරි ගී සහ කාව්‍ය විචාරය පිටු අංක 23)

මේ කියන්නෙ මොනවද. පුරුෂ සන්තෘප්තියේ වහල් බැම්මෙන් ගැලවීම තමයි මේ කියන්නෙ. ඒකට විරෝධය තමයි මේක ඇතුලේ තියෙන්නෙ.

අනිත් එක ඡතුමට්ටිකාව භික්ෂුණීන් භාවිතා කිරීම. ඒක එහෙම වෙන්ඩ පුලුවන්. ඒ කාලේ ඉන්දියානු සමාජය කියන්නෙ මර්ධිත සමාජයක්. මොනම ඉඩක්වත් ගැහැනියගේ පැත්තෙන් තිබුනේ නැ. ලිංගික සන්තෘප්තිය පිළිබඳ අධිපති කතිකාව ඉන්දියාව ඇතුලේ දරුණුවට තිබුනා. ඉතින් ඒ කාලේ ස්වයං වින්දනය ගැන කිසිදු දැනුමක් නොතිබෙන්න පුලුවන්. ඒක යට ගහලා තිබුනා වෙන්ඩ පුලුවන්. මොකද යුරෝපයේදි මායාකාරියෝ විදිහට මර්ධනය කලා වගේම දෙයක් තමයි මුලු මහත් ඉන්දියාව ඇතුලු හැම රටකම සිද්ධ වෙන්නෙ.  දැන් එවරස්ට් කරන දේ ම තමයි ඒකාලේ අයත් කරේ. මොකද ස්ත්‍රි මුලික ලිංගික සන්තෘප්තිය පිළිබඳ මතය නොතිබුනු නිසා පුරුෂාගේ තෘප්තියම තමයි ස්ත්‍රියගේ තෘප්තිය විදිහට අරගන්නෙ. ඡතුමට්ඨිකාව කියන්නෙ මොකවත් නෙමෙයි. මේක පුරුෂ ලිංගය ගැන පිරිමියාට තියෙන පැන්ටසිමයි. අද වගේම තමයි. අද අරුණ තුෂාට දිපු නවීන ඡතුමට්ඨිකාව නොහොත් කෘතිම පුරුෂ ලිංගයම තමයි ඒ. ඡතුමට්ඨිකාව කියන්නෙ පුරුෂායාට ඔහුගේ ලිංගය ගැන ඇති කාන්සාව.  ඒක අද දක්වාම නිශ්පාදනය වෙන්නෙ ඒකයි. 
බුදුන්ට පුරුෂයාගේ මර උගුල ස්ත්‍රී ශරිරය වුනාට ස්ත්‍රියගේ මර උගුල ගැන වැටහීමක් තිබුනේ නෑ. ඒක බමුනු සමාජයක්. ස්ත්‍රිය ගැන දැන ගන්න මොනම කතිකාවත් තිබුනේ නෑ. ස්ත්‍රීන්ට කතා කරන්ඩ පුලුවන් කමක් තිබුනේ නෑ. මහා ප්‍රජාපතීට කොයි තරම් බෑගැපත් වෙන්ඩ සිද්ධ වුනාද? ස්ත්‍රියගේ විමුක්තිය ගැන මොනම අදහසක්වත් සමාජයට තිබුනේ නෑ. ඉතින් ඔහු ඒ ගැන කතා කරේ නෑ. 
මනුෂ්‍යාගේ ලිංගික තෘප්තිය යනු ෆැන්ටසියක් තුලින් උපත ලබා ශරීරය තුලින් අත්කර ගත හැකි එක්තරා තෘප්තියක්. එහි ආත්මය පවතින්නෙ ශරීරයේ නොව හිසෙයි. එය පුරුෂ වුවද ස්ත්‍රි කියාද බේදයක් නැත. නමුත් එහි වෙනසක් ඇත. වෙනස උපදින්නෙ අප ෆැන්ටසියට ගමන් කරන අකාරයේ. එනම් පුරුෂයා ස්ත්‍රියගේ ශරීරය ෆැන්ටසිගත කර ගන්නවා. ඒ නිසා ස්ත්‍රි ශරීරයේ ඕනෑම තැනකට ලිංගිකම ෆැන්ටසි උපදවා  දිය හැකිය. ඇතැම් විට කකුලක් ඇඟිල්ලක් දැකීමද පිරිමියෙකුට උත්තේජකයක් වනු ඇත.

නමුත් ස්ත්‍රියක් පුරුෂ ශරීරය හෝ පුරුෂ ලිංගිය ෆැන්ටසිගත නොකරයි. ඇයට ඇත්තෙ ඊට වඩා වෙනස් ෆැන්ටසි. මේවා හෙලිදරව් කල යුත්තෙ ගැහැනුන්. පිරිමින් ඉතිහාසය තුල තමා ප්‍රකට කර ඇති තරමටම ස්ත්‍රින් තමාව හෙලිදරව් කල යුතුය. අත්දැකිම් බෙදා ගත යුතුය. ඇති කල යුත්තෙ ඊට නිදහසය. එසේ නොමැතිව පුරුෂ බල ව්‍යාපෘතියම නැවත ස්ථාපනය කොට ස්ත්‍රිය නැවත නිහඬ කර විම නොවේ. එවරස්ට් ඔහුගේ ඡතුමට්ඨිකාව තුල  සිදු කරන්නෙ ස්ත්‍රිය නැවත නිහඩ කර වීමය. ශුද්ධත්වයේ උපාධි සහතික වලින් ස්ත්‍රිය මුදා ගත යුත්තෙ ඒ නිසාය. ශුද්ධත්වයක් ඇති කරන්නට සහ ස්ත්‍රිය කෙරහි සානුකම්පිත වන්නට යෑමෙන් සිදුවන්නෙ තව තවමත් ස්ත්‍රිය පුරුෂ බලරටාවේ ඉත්තෙකු වීමය. ලංකාගේ චිත්‍රපටිය පෙන්නු දා දීලිප අබේසේකර හොඳ කතාවක් කිව්වා. ඔහු කිවේ ස්ත්‍රීන් තමන්ගේ අත්දැකිම් බෙදා ගන්න ඉදිරිපත් විය යුතු බව. ඒක තමයි ඊට ඇති මාර්ගය. මම හිතන්නෙ ඒක වඩා හොඳ බව. කළ යුත්තෙ ස්ත්‍රියට තමා හෙලිදරව් කිරිමට අවශ්‍ය ආත්මශක්තිය  නිදහස අත්කර ගැනීමට උදව් වීමයි.

මා කියන්නෙ එවරස්ට් ඔබ අන්දහාසිව කියවිය යුතු බවය. අධිපති විෂම ලිංගික තෘප්තිය සැක කරන්නට පොළඹවන පොතක්. මා හිතන්නෙ එය ස්ත්‍රීන්ටද පුරුෂයන්ටද මනා කවුලුවක් විවර කරවන නවකතාවක්.

මා මේ ලිංගික සන්තෘප්තිය පිලිබඳ අධිපති කතිකාව ප්‍රශ්න කිරිමේදී මට ගොඩාක් අය කියන්ඩ ගත්තා. මට නිර්මදතාවය. ලිංගේන්ද්‍රියේ ප්‍රශ්නයක් සහ කප්පාදුව හරි හැටි සිද්ධ නොවිම සහ පරිනත ලිංගික අවධියකට පත් නොවීම හෝ කවුරු හරි මට ඇති වෙන්ඩ දී නැති බව වගේ දේවල්. නමුත් මම මේක දිගටම කතා කරන්නෙ මම දන්නවා මේ අධිපතිත්වය ඇතුලේ ස්ත්‍රීන් පීඩාවට පත් වෙන හැටි.  මමත් ඒ යාන්ත්‍රණය ඇතුලේ ඉන්නෙ. මේ අධිපති කතිකාව තමයි ගැහැනුන්ව දූෂණය කරන්නෙ. මේක තමයි යාන්ත්‍රණය. 

සංසර්ග කේන්ද්‍රය බිඳ දැමිම තමයි ලිංගික නිදහස කියන්නෙ. එතැනින්ම තමයි ලිංගිකත්වයෙනුත් ගැහැනියට නිදහස් වෙන්න පුලුවන් වෙන තැන. සමලිංගික විවාහය ලංකාවේ නීතිගත වීමට විරෝධයක් එන්නෙ මෙම විෂම ලිංගික සංසර්ග අධිපතිත්වය හින්දා. එකේ බලය බිඳෙනවාට අමු පිරිමි කැමති නෑ.

සාහිත්‍ය ඇතුලේ සංසර්ග කේන්ද්‍රය වැඩ කරන හැටි මම පොඩි උදාරණයකින් කියන්නම්. පිරිමි බයයි තමන්ගේ සගයට. මොකද පිරිමි කසාද බැන්දම තමන්ගේ යාලුවෝ ගෙදර ගේන්නෙ නෑ. තුන්වැනියෙක් ගැන භීතියක් තියෙනවා පිරිමින්ට.  මේ තුන්වැනියා එන තැනක් තමයි මනමේ නාට්‍ය. මනමේ කියන්නෙ ස්ත්‍රිය ගැන සානුකම්පිත දාෂ්ටියකින් බැලුවා කියන එක කීවාට මේක තමයි  විවාහක පුරුෂයා ගලවා ගත්ත නාට්‍ය. ජාතක කතාවේදි මනමේ කුමරිය කඩුව දීපු ගමන් වෙන දේ තමයි පුරුෂයා තමන්ගේ ලිංගික වික්‍රමය තමන්ගේ පුරුෂ ලිංගය ගැන ඇති කරගත්ත අභිමානය නැති වෙන එක. ඒ කියන්නෙ පුරුෂයාට ඕනැ අනිත් පිරිමියා වැඩිය හොඳ  වෙන්ඩ. එකම පොර වෙනඩ. ඉතින් ලංකාවේ මම දන්න ඉතිහාසය ඇතුලේ ලිංගික නිදහස වැඩ කරේ මේ විදිහට. “මම තමයි එකම පොර. මගේ නෝනාට මම උපරිම සැප දීලා තියෙන්නෙ. හැබයි අර එලියේ ගෙවල් වල ඉන්න ගෑනුන්ගේ පිරිමි අප්සට්. එගොල්ලන්ට ලිංගික තෘප්තිය ලැබිලා නෑ. මට පුලුවන් ඒගොල්ලන්ට ලිංගික තෘප්තිය දෙන්ඩ.”ගොඩාක් පිරිමි හිතන්නෙ එහෙමයි.  හැබයි මෙතැනදී මනමේ ජනප්‍රිය වෙන්නෙ මේ විදහට.  අනිත් ගෑනුන්ට ලිංගික තෘප්තිය දෙන්ඩ යන පිරිමියා දැන ගන්නවා තමන්ගේ ගෑනිට සැප දෙන්ඩ තව කවුරු හරි වෙන පිරිමියෙක් රිංගපු බව. ඒ කියන්නෙ මනමේ කතාවේ වැද්දා. එතැනින් පස්සෙ තමයි කට්ටිය මනමේ බලන්ඩ යන්නෙ. මොකද “මනමේ නාට්‍යයේ ස්ත්‍රිය” එහෙම නෙමෙයි. එයා කලබල වුනු වේලාවේ වැද්දා තමයි ඒක කලේ. එතකොට මනමේ කුමාරයාගේ පුරුෂත්වය තුවාල වෙන්නෙ නෑ. මනමේ කුමාරයා මනමේ නාට්‍යයේ මිය යන්නෙ පුරුෂ ලිංගයේ සංකේත බලය ඉතිරු කරගෙන. ඒක එහෙම නොවුනා නම් මනමේ නාට්‍ය කවදාවත් ජනප්‍රිය වෙන්නෙ නෑ. ලංකාවේ පිරිමි හිත හදා ගන්ඩ මනමේ බලනවා අවුරදු පණහක් විතර තිස්සෙ. ජාතක කතාවේ ඒක කරන්නෙ ස්ත්‍රියට උපදෙස් දීලා. ඒක ස්ත්‍රියව මර්ධනය කරන්නෙ චපල ස්ත්‍රියගේ දුර්භාග්‍ය නිරූපනය කරලා. නමුත් මනමේ නාට්‍ය ස්ත්‍රිය මර්ධනය කරන්නෙ ඊට වඩා සියුම් තැනකින්. ඒ ලිංගික තෘප්තිය පිලිබඳ අධිපති කතිකාව ඉතිරි කරගෙන ස්ත්‍රිය දිහාට සනුකම්පිත බැල්මකින්. නැවතත් ඉතිරි වන්නෙ පුරුෂයා. ඉතින් මනමේ ජනප්‍රිය වෙනවා.

විෂම ලිංගික සම්බන්ධයක් ඇතුළට ස්ත්‍රියක් ආවාම ස්ත්‍රිය හදාගන්න රෝගය තමයි පුරුෂ කේන්ද්‍රිය සන්තෘප්තිය පිරිමියාට ලබා දීමට තමන් අසමත් වීමේ විශාදය.මේ විශාදය තමයි වසඟකාරි ස්ත්‍රියත් ශුද්ධ බිරිඳ යන දෙදෙනාම ජාතක කරන්නෙ.

ඒත් ලිංගික සන්තෘප්තිය නම් කෙනෙක් හොයන්නෙ තුන්වැනියා සමග ලෙල්ලම් කිරිමට උගෙනිම වුවමනායි. තුන්වැනියෙක් නැති විට ලලසාව මිය යෑමට ආසන්නයි. තුන්වැනියා යනු හැමවිටම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවේ. දෙමාපිය විරෝධය කියන්නෙත් තුන්වැනියෙක් තමයි. පිරිමින්ට ගැහැනු ආකර්ශනය වෙන්නෙ තවත් ගැහැනියක් ඉන්න කොට. පෙම්වතියක් ඉන්න පෙම්වතෙකුට හරිම ලේසියි තවත් පෙම්වතියක් දිනා ගන්ඩ. බල්ලෙක්වත් නැති කාලේට නෙමෙයි පිරිමින්ට ගැහැනු සෙට් වෙන්නෙ. මම මේ කියන්ඩ යන්නෙ ලිංගික ෆැන්ටසි වැඩ කරන්නෙ සවිඥානික කොන්දේසි ඇතුලේ නෙමෙයි කියන එක කියන්ඩ. සමහරක් විට තුන්වැනියට වෛර කරාට ඒක උපදින්නෙ තුන්වැනියෙක් ආවම. ඉතින් ෆැන්ටසි කියන්නෙ භයානක සෙල්ලමක්. ඒක නිසා ඡතුමට්ඨිකාවට ලිංගික ප්‍රහර්ෂය අහලකටවත් එන්ඩ බෑ එවරස්ට්. ඒකට බර්මියුඩාවක් ඕනේ. ඒක ඡතුම්ට්ඨිකාවටත් පුරුෂ ලිංගයටත් කරන්ඩ පුලුවන් දෙයක් නෙමෙයි. ඒකයි ගොඩාක් පිරිමි ගැහැනුන්ට ලිංගික තෘප්තිය දෙන්ඩ ගිහිල්ලා කකුල් කඩා ගන්නෙ.  අන්න ඒකයි ස්වයං වින්දනය සනීපදායක වෙන්නෙ. ජුන්ඉචිරෝ තනිසාකිගේ “ද කී”  
( පරිවර්තනය හද දොර යතුරු-  දීලිප ජයකොඩි) ඇතුලේ තියෙනවා මේ බර්මියුඩාව. “ඒමා බෝවාරි” සහ ඇනා කැරනිනා” සියදිවි නහ ගහගන්නෙ මේ බර්මියුඩාවේ අතරමංවෙලා. “විසේකාරි” වගේම ෂැංහයි සොදුරිය ඇතුලෙත් මේ බර්මියුඩාව වැඩ කරනවා.

ස්ත්‍රියට සිද්ධ වෙනවා මේක ඇතුලේ දිගටම පුරුෂයාට අඟවන්නට සංසර්ගය තමයි පුර්ණ  එකම කාම තෘප්තිය කියලා. නැත්නම් ඈට බැහැ තමන්ගේ අනෙකාව තියා ගන්ඩ. අනෙක් අතට වෙනත් කතිකාවක් නැති නිසා ස්ත්‍රියට මේක ප්‍රකාශ කරන්ඩ ක්‍රමවේදයක් නැහැ. අටඅනුවක් රෝග ස්ත්‍රියට වැළඳෙන්නෙ එහෙම.
ස්ත්‍රියකට පුරුෂයා ගැන  තියෙන්නෙ නිර්මාණය කරපු බලහත්කාරි අවශ්‍යතාවයක්. ඒක සැබෑ අවශ්‍යතාවයක් නෙමෙයි. ඒක තමයි විවාහය නැමැති මර උගුල. දරුවෙකුට සුජාතභාවය දෙන්න විවාහ වියයුතුයි. නැතහොත් ඒ දරුවා අවජාතකයෙක් වෙනවා. මේක තමයි පිතෘමුලික සමාජයේ පදනම. මේක පවත්වාගෙන යන්නෙ විෂම ලිංගික සංසර්ග කේන්ද්‍රිය අධිපති මතය තුලින්.  ලිංගික සත්වයෙක් විදිහට දිගටම පවත්වාගෙන ආපු බල ව්‍යුහයෙන් ස්ත්‍රිය ඉවත් වීම පහසු නෑ. සමාජ තුල සාර්ථක වීමත් පහසු නැහැ. පිතෘමුලික සමාජයක විවහයක් තුල විතරයි දරුවන් හදන්නට පුලුවන්. ඉතින් දෛව ස්ත්‍රිය සහ වසඟකාරි ස්ත්‍රි නිර්මාණය කරන්නෙ පිරිමි. වසඟකාරි ස්ත්‍රිය යනු පුරුෂ බලව්‍යපෘතියෙන් සංසේචනය වෙලා උපදින දෙයක්. බිරිඳක් හෝ ගණිකාවක් යන අයද එසේමයි. බිරිඳක් උත්පාදනය කරනනෙත් සැමියෙක් උත්පාදනය කරන්නෙත් පුරුෂ බලව්‍යාපෘතිය.

එවරස්ට් ඕනෑ වෙලා  තියෙනවා මේ ස්ත්‍රිය මොකුත් දන්නෙ නැති තොත්ත බබෙකු කරන්ඩ.  දිගින් දිගටම සාහසික විදිහට මේකෙ ඉන්න ස්ත්‍රිය ශුද්ධ කරනවා. අපේ සමාජයේ අම්මා කෙනෙක් දියණිය පුරුෂයා වෙනුවෙන් පවත්වාගෙන යන්න සුදානම් කරනවා වගේම දියණියත් අම්මාට ඒ ව්‍යුහය ඇතුලේ ඉන්ඩ බල කෙරෙනවා. ඒ වගේම තාත්තා නොවෙන වෙනත් පිරිමියෙක් අම්මා එක්ක රමණයේ යෙදනවා යන්නත් එක්ක දුවෙක් හදා ගන්න අප්සට් එක තාත්තා වෙනත් ගැහැනියක් එක්ක යනවාට වැඩිය බරපතලයි. දුවෙක් සතුටු වෙනවා තාත්තාට වෙනත් ගැහැනියක් ඉන්න කොට. ඒත් අම්මට. අම්මාට එහෙම වෙන්ඩ බෑ. අම්මායි  දුවයි අතර මේ කඹ ඇදිල්ල තියෙනවා. අඩුම තරමේ මේ කෑල්ලත් ශුද්ධෝත්මවාදය ඇතුලේ සියදිවි නහ ගන්නවා. මහත්තයා ගෙදර ඉඳලා ලිංගික තෘප්තිය දුන්නා නම් මේ නවකතාව නෑ. දිගින් දිගටම ඇගේ සැමියා වන අරුණව විත්ති කුඩුවට නංවන එවරස්ට් සම්පුර්ණ වැරැද්ද ඔහු පිට පටවනවා. මේක තුන්වැනියාගේ මානසිකත්වය. සැමියාට බැහැ බිරිඳ සතුටු කරන්ඩ කියලා සෑම තුන්වැනියෙක්ම හිතනවා. මේක ලියලා තියෙන්නෙ  තුන්වැනියාගේ මනෝ සංකීර්ණය මෙකී ස්ත්‍රිය බවට පත් කරලා. ඉතින්  මේ නවකතාවේ ස්ත්‍රියත් තුන්වැනියාත් මොකද්දො අපි දන්නෙ නැති තරමට පාරිශුද්ධයි.

ස්ත්‍රියට තියෙන්නෙ පුරුෂයා දීපු සාරයක් මිසක් ඇගේ සාරයක් නෙමෙයි. ඒ අතින් ස්ත්‍රියට ඇති සාරයක් නැහැ. සාරයක් වුවමනා නම් ඒ සාරය පොදු මනුෂ්‍යම තැනකින් උපදින්ඩ ඕන. එවරස්ට්ගේ නවකතාව ඇතුලේ ඉන්නෙ ස්ත්‍රී ශරීරයක් තියෙන පුරුෂ බලව්‍යාපෘතියෙන් උපන් පිරිමියෙක්. ඈට ස්ත්‍රී ලිංගික අවයවයක් නෑ. මේකේ පුරුෂ ලිංගය  ප්ලාස්ටික් එකක්. ඒක හයි වෙලා තියෙන්නෙ පිරිමි ඇඟට නෙමෙයි. ඒකයි වෙනස. පුරුෂයාගේ ලෝකයේ සිටින ස්ත්‍රිය තවදුරටත් නොපවතින පුරුෂ ෆැන්ටසියක් විතරයි. ඒ ෆැන්ටසිය යනුම ස්ත්‍රිය මර්ධනය කරපු ඉතිහාසයේ සාමුහික පිරිමි අවිඥානය. ඔවුන්ට වුවමානයි ඒ ස්ත්‍රිය පවතිනවාට. ඒත් ඈ නැහැ. එහෙම කෙනෙක් නැහැ එවරස්ට්.

වාත්සායන ලිව්වා ගෑනු සතුටු කරන හැටි ගැන පොතක්. ඒක ලියලා තියෙන්නෙ පිරිමින්ට. ගැහැනු ලියපු නැති හින්දා වාත්සායන තාමත් පොරක්. (මම හිතාගෙන ඉන්නවා ගෑනු වෙනුවෙන් කාම සුත්‍ර ලියන්ඩ. ඒක ලියපු දාට ඔය ඉරියව් කැලේ.) 
ඡතුමට්ඨිකාවක් අපිට එපා. ස්වයං වින්දනයේ යෙදෙන හැටි පිරිමි අපිට උගන්වන්ට ඕන නෑ. අපි දන්නවා.

                                                                       -නදීකා බණ්ඩාර