Saturday, August 6, 2016

ලාංකීය ළමා සාහිත්‍යයේ නව කඩඉමක් සළකුණු කරන ළමා කතා පෙළක්



නදීකා බංඩාරගේ ළමා කතා පිළිබඳ විමසුමක් 


අගසර ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කොට ඇති නදීකා බංඩාරගේ ළමා කතා පෙළ සුරංගනා කතා ආකෘතිය යොදා ගනිමින් අපූරු ජීවන අත්දැකීම් රැසක් ඉදිරිපත් කරයි. එම අත්දැකීම් මෙන්ම ඇගේ ශෛලියද අතිශය නැවුම්ය. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්, ඔස්කා වයිල්ඞ් වැනි ලේඛකයින් සුරංගනා කතා ආකෘතිය යොදා ගනිමින් සංකීර්ණ ජිවන ගැටළු මෙන්ම සුවිශේෂී මනෝභාවිකත්වයන් නිරූපනය කලේය. මෙම පොත් පෙළේ එන රොසෙන්කාගේ සිතුවම, කතාන්දර සාප්පුවට ගිය පුංචි ලිලී, සිංදු කියන මුහුදට ආ දිය කිඳුරි, මකර රැජිනගේ මාළිගාව, ගෙඹිපැටිත්තියක වූ පුංචි දැරිය යන කතාන්දර කතුවරියගේ ජීවන අත්දැකීම් සිය පරිකල්පනය ඔස්සේ ඉදිරිපත් කිරීම් බව පැහැදිළිය.

වැඩිහිටි විය තුළත් ළමා වියේ මනෝසංකීර්ණතා ක්‍රියාත්මක වන ආකාරය දක්වන මනෝ විද්‍යාත්මක කියවීමක් සහිත කතාන්දර ලෙස ඒ කැපී පෙනේ. එනමුදු ළමුන්ගේ රසවින්දනය, පරිකල්පනය මෙන්ම මානසික මට්ටම් මැනවින් වටහාගෙන කතුවරිය ඒ ඉදිරිපත් කරයි. මෙම ස්වතන්ත්‍ර සුරංගනා කතා කිහිපය ලාංකීය ළමා සාහිත්‍යයේ කඩඉමක් සළකුණු කරන්නකි. 

ලාංකීය ළමා සාහිත්‍යය කතාන්දරයක් සහ උපදේශයක් පමණක් සහිත, බහුශාබ්දිකතාවකින් තොර, අඩු තරමින් යටි පෙළක් පවා නැති, අන්තර් පාඨාන්තරීය සම්බන්ධතාවන් නොමැති තැනක තවමත් පවතියි. ඒ වියමන් වශයෙන් සළකා බලන්නට යාමේදී එක් සරල මතුපිට පෙළක් හෝ උපදේශමය පෙළක් පමණක් සහිත බව පෙනෙයි. එක්කෝ යටි පෙළ කතුවරයා හෝ කතුවරිය සඟවන හෝ දැනුවත් නැති මනෝ විශ්ලේශණාත්මකව විග්‍රහ කර ගත යුතු යමක් වෙයි. නිදසුනකට ඉතාමත්ම ජනප්‍රිය ළමා නිර්මාණ කරන ලේඛිකාවකගේ කෘතීන් තුළ යටිපෙළ වන්නේ කෑමට ඇති ඇගේ කෑදර කමයි. එය ලේඛිකාවගේ යම් චරිත ලක්ෂණයක් හෝ ළමා වියේ යම් මානසික කාරණාවක් වන්නට පුළුවන. එහෙත් යටි පෙළ යනු එය නොවේ. නිර්මාණකරුවා ආත්මීය වශයෙන් පොර බදන යමක් යම් සවිඥාණකත්වයකින් යුතුව ප්‍රකාශයට පත් වීමයි.   




නදීකාගේ කතාන්දර සාප්පුවට ආ පුංචි ලිලී රංගනය කෙරේ ඇලුම් කරන දැරියක ඒ නිසාම විඳින බොහෝ දුක්ගැහැට දක්වන්නකි. රඟහලේ අයිතිකරු තමන්ගේ රඟහලෙහි නාට්‍යවල රඟපාන්නට ළමුන් සොයමින් ගම්වල ඇවිද මාපියන්ට සොච්චම් මුදලක් දී ඔවුන්ව මිලයට ගනියි.

මේ ගෑණු ළමයගෙ නම ලීලි. මේ ගෑනු ළමයා ඒ පවුලේ පළවැනියට තමයි ඉපදුනේ. එයාට හිටියා තවත් සහෝදරියෝ පස්දෙනෙකුයි, සහෝදරයො හතරදෙනෙකුයි. ඉතින් දවසක් රඟහල අයිතිකාර ලොකු බඩක් තියෙන මිනිහා ආවා එයාගේ ගම්මානයටත්. ඒ රඟහල අයිතිකාර මිනිහා ගම්මානයෙන්  ගම්මානයට ගියා එයාගේ රඟහලේ වැඩට ගන්ඩ පුලුවන් ළමයි, ගෑනු ළමයි හොයාගෙන. දුප්පත් දෙමව්පියෝ ඒගොල්ලන්ගේ දරුවන්ව රඟහලට වික්කා. ඉතින් මේ විදිහට ලිලීව රඟහලකට විකුණන කොට එයාගෙ අම්මට එයාගෙ බාල සහෝදරයා පුංචි ටිකිරි ලැබෙන්නයි හිටියෙ. ඔන්න රඟහල් අයිතිකාරයා එයාගේ ගම්මානයට ආවාම දර කපන්නෙක් වෙච්ච එයාගේ තාත්තා ලිලීවත් අරගෙන ගියා. ඉතින් පුංචි ලිලීත් ගොඩක් කැමැත්තෙන් ගියේ. මොකද එයත් ආසයි කතන්දරවල රඟපාන්ඩ. ඒ රඟහලේ සින්ඩරෙල්ලාගේ කතාව, නිදි කුමාරිගේ කතාව එහෙමත් රඟදක්වනවලු. ඉතින් එයා ආශාවෙන් හිටියෙ සින්ඩරෙල්ලගෙ කතාව රඟපාන්ඩ. එයා තාත්තාට කීවා ‘මාව විකුණන්ඩ රඟහලට. එතකොට මට පුලුවන් නංගිලා මල්ලිලාට රස කෑම එවන්ඩ.’ අකමැත්තෙන් උණත් දර කපන්නට සිද්ද වුනා ලිලීව රඟහලට විකුණන්ඩ. 

විනෝදාශ්වාදන කර්මාන්තය තුළ වන සූරාකෑම මෙසේ එම කතාව තුළින් දැක්වෙන අතර රඟපෑම සහ සුන්දරත්වය ගැන වන ප්‍රතිරූප මෙන්ම ඒක මානී පිලිගැනීම් ඒ තුළ ක්‍රියාත්මක වන අයුරුද ඒ සමගම දැක්වේ. ලිලීව මිලට ගනිද්දී:

‘ඒ හැටිම නරක නෑ. ඒ උණත් මේ වගේ පෙනුම තියෙන අයට මිනිස්සු කැමති නෑ. ඔය මොකක් හරි පුංචි චරිතයකට නම් නොගැළපෙන එකක් නෑ’. ලිලීව රඟපාන්න ගන්න ඒ තරම්ම හරි නෑ වගේ මූණකින් තමා වෙළෙන්දා හිස සැලුවෙ. දර කපන්නා හිතුවෙ ලිලීව විකුණා ගන්ඩ බැරි වෙයි කියලා. ඇත්ත තමයි ලිලීගෙ මොන ලස්සනක්ද? කොයිතරම් ලස්සණ අය වෙන්ඩ ඕනද සින්ඩරෙල්ලා රඟපාන්ඩ. ඒත් ‘මොකද්ද මගේ තියෙන වැරුද්ද?’ ලිලී ගත් කටටම ඇහැව්වා.

එයා නටලා පෙන්නුවා. සිංදුවකුත් කීවා. සින්ඩරෙල්ලාගෙන් පොඩි කොටසකුත් රගපෑවා. ඇත්තටම එතැන හිටපු හැමෝම හිතුවා ‘හොඳයි. ඈ දක්ෂයි.’ ඔන්න එතකොට රඟහලේ අයිතිකරුවා කිව්වා ‘ඔව්. ඔයා දක්ෂයි නම් තමා.’ දර කපන්නත් බොහොම සතුටු වුනා.

නමුත් රඟහලේ අයිතිකාරයා මෙහෙම කිව්වා. ‘ඔයාට සිංදු කියන්න පුලුවන් බව ඇත්තයි. ඒත් ඔයාගේ පෙනුම නම් මදි. ලස්සණ කුමාරිකාවක් නම් ඔයාට කවදාවත් දෙන්ඩ පුලුවන් කමක් නෑ. මොකද කවුරුවත් කැමති වෙන එකක් නෑ ඔයාව බලන්ඩ. හිත ඇදෙන ගතියක් තියෙනවා නම් තමයි. ඒ උනත් මූනේ පෙනුම හරි නෑ. කම්මුල්වල උනත් ඒ හැටිම හැඩයක් නෑ. අනිත් එක ඇවිදිනකොට උනත් කිසිම මෘදු මොලොක් ගතියක් නෑ. බලන්ඩ ඔය කකුල්වල හැටි. කවදාවත් සපත්තු දාලාවත් ඔය කැත වහන්ඩ බෑ. ඇත්තටම මෙ ළමයා ගන්නවට ඔහේ මට ගෙවන්ඩ ඕන.  බලන්ඩ ඔය මූනේ කිසි හැඩයක් නෑ.’

‘එහෙමද?’ ලිලී හිතුවා.

‘කමක් නෑ, මට කුමාරිකාවක් රඟපාන්ඩ ඕනේ නෑ. මොකද මම කොහොමටවත් කුමාරිකාවකුත් නෙමෙයිනේ. මට කීයක් හරි හොයාගන්ඩ පුලුවන් රැකියාවක් ලැබුනා නම් ඇති.’ එයා එහෙම කීවා බොහොම බයාදු විදිහට.

වෙළෙන්දා මේ විදිහට ලිලීව පහත් කරලා දැම්මෙ එතකොට ලේසියෙන්ම අඩු ගානක් ගෙවන්න පුලුවන්. අනිත් එක කෙනෙක්ව පාලනය කරන්ඩ ලේසිම විදිහ තමයි එයාගෙ පෙනුම පල්ලෙහාට දාන එක කියලා එයා දැනගෙන හිටියා. එයා පිළිගත්තා දැරියගේ මූණ කොහොමටත් ලස්සණයි කියලා. එයාට හිතුනා කොහොමටත් මේ කෙල්ලව අරගෙන යන්ඩ ඕන කියලා. හොඳට අන්දලා ගත්තම සෑහෙන පිරිසක් ගෙන්න ගන්ඩ පුලුවන් බව රඟහල් අයිකරුවා යටි හිතින් කල්පනා කරා.

ඉතින් එයා දිගටම අපහාස කළා ලිලීගේ පෙනුමට. තමන්ටත් හිටියා නම් කුමාරිකාවක් වගේ දුවෙක් හොඳ ගානකට විකුණ ගන්ඩ පුලුවන් කියලා දර කපන්නා දුක් වුනා.’

කෙසේ හෝ කතාව අවසානයේදී මෙම සුන්දරත්වය පිළිබඳ ඒකමානී සදා නිම කළ ප්‍රතිරූපය ඔස්සේ ඇය ගමන් ගන්නා හීනමානය ජය ගනු දැක්වේ.

‘ලිලී ඒ මහත්මයාගේ ඇස් දෙක දිහා බැලුවා. ලස්සනම ලස්සන ගෑනු ළමයෙක්ගේ පිංතූරයක් ඒ ඇස් ඇතුලේ තිබුනා.

‘මොකද හිතෙන්නේ ඔබට?’

‘ලස්සන ගෑනු ළමයෙක් ඔබේ ඇස් දෙක ඇතුලේ ඉන්නවා.’

‘ඒ ඔබයි.’

‘නැහැ’ එයා පිළිගත්තේ නෑ. එය ඇයට පිලිගන්ඩ බැරි වුනා.

‘කෙනෙක් සින්ඩරෙල්ලා කෙනෙක් වෙන්නේ හෝ නොවෙන්නේ ඒ දකින කෙනාගේ ඇස්දෙක ඇතුලෙදියි. ලස්සනම දේ මේකයි කියලා කාටවත්ම තීරණය කරන්ඩ බෑ.’ ඒ මහත්මයා ලිලීට කිව්වා.

‘ඒත් බලාගෙන ඉන්න අය මට කැමති නෑ.’

‘කොහොමද ඔබ දන්නේ?’ 

‘රඟහලේ අයිතිකරුවා කීවෙ එහෙමයි.’

‘එයා කොහොමද අනිත් අයගේ ඇස් ගැන දන්නේ? මෝඩ තකතීරුවෙක්. වැදගත් වෙන්නේ සින්ඩරෙල්ලාගේ දුකයි, සින්ඩරෙල්ලාගේ සතුටයි රඟපාන්ඩ ඔබ කොච්චර දක්ෂද කියන එක විතරයි.’

එහෙම කියපු ඒ මහත්මයා එයාව එකමත් එක තැනකට එක්කාගෙන ගියා. එතන එක එක රටවලින් ආපු විදේශිකයෝ ගොඩාක් හිටියා. විදේශික කාන්තාවනුත් හිටියා. ඔවුන් එක එක විදිහයි. 

‘පේනවද?’ එයා ලිලීගෙන් ඇහැව්වා. එතැන ලීලී වගේ අයත් හිටියා. එයා දැනගත්තා ලෝකේ මිනිස්සු විවිධාකාර බව. වෙනස්කම් කියන්නේ කැතයි කියන එක නෙමෙයි කියලා එයා ඉගෙන ගත්තා.

ඊට පස්සේ ඔන්න එයාට පුලුවන් වුනා සින්ඩරෙල්ලා රඟපාන්ඩ.’

එයා ඉගෙන ගත්තා නොසලකා හැරිමේ, පහත් කිරීමේ වේදනාවත්! එයාව එයා විදිහටම භාරගත්ත එකේ ප්‍රිතියත්! ඉතින් සින්ඩරෙල්ලාට නපුරු කුඩම්මයි සහෝදරියොයි වධ දෙනකොට සින්ඩරෙල්ලාගේ වේදනාව රඟපාන්ඩ එයාට පුළුවන් වුනා. පොහොසත් මහත්මයාගේ ඇස් දෙක ඇතුලේ තමන් ඉන්නවා දැක්කම ආපු සතුට කුමාරයා සින්ඩරෙල්ලාව හොයාගෙන එනකොට එයා මතක් කර ගත්තා. ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දුන්නා. 

එසේම සින්ඩරෙල්ලා ලෙස රඟපාන, සුන්දරත්වය පිළිබඳ සමාජගත ප්‍රතිරූපයට පෑහෙන නිළිය ඈ කෙරේ දක්වන අකාරුණික අමානුෂික ප්‍රතික්‍රියා මෙන්ම නොතකා හැරීම් තුළින් තමා පිළිබඳ ආත්ම විශ්වාසය බිඳ වැටීම කරා ලිලීව තල්ලු කරයි. ඇගේ කීම පිට අයිතිකරු ලිලිීව පිටමං කරයි. රඟහලින් පිටවීමෙන් පසු ඇය සරණාගත දැරියකවේ. එහිදී ඇයට විවිධ අවදානම් සහගත, අනතුරාසන්න තත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි.

‘ඉතින් ලිලී බැගෑපත් වුනා එයාට ඉන්ඩ දෙන්ඩ කියලා. එයාට රඟපාන්ඩ ඕනේ නැති බව කිව්වා. මොකද එයාට ආපහු ගමට යන්ඩ බෑ. හැමෝම හිනාවෙයි.  හැමෝම දන්නවා එයා නාට්‍යාංගනාවක් වෙන්ඩ ආපු බව. අනිත් එක එයාගේ සහෝදරයන්ව බලා ගන්නේ කවුද?
නාට්‍යාංගනාව තරයේම විරුද්ධ වුනා.

අන්තිමට ඇඳුම් කෑලි ටිකයි, රන් කාසි දෙකකුයි එක්ක ලිලීට සිද්ධ වුනා එළියට බහින්ඩ. එයා වීදියක අඳුරු මුල්ලක හැංගිලා හිටියා. එතැන හිටියා දුඹුරු පාට දිග හොම්බක් තියෙන, හාවෙක්ගේ වගේ කන් දෙකක් තියෙන බලු පැටියෙක්. එයාගෙ නම ටොමී. එයා ලීලිට කතා කරා එයත් එක්ක ඉන්න එන්න.

උදේ එළිවුනාම  රන්කාසියක් මාරු කරලා එයා පාන් මිලදී ගත්තා තේ කෝප්පයකුත් එක්ක. ටොමී කඩය ලඟට වෙලා හිටියා එයා එනකන්. එයා පාන් කෑල්ලකුත් අරගෙන ගියා ටොමීට. දවස තිස්සේ රස්සාවක් හොය හොයා ඇවිද්දත් එයාට රස්සාවක් ලැබුනේ නෑ.

පාරේ පුංචි බලු පැටියෙකුත් එක්ක නිදා ගන්න ලිලීව දැකපු නපුරු මිනිස්සු පිරිසක් ලිලීව අරගෙන ගියා කැලේකට. එයාගේ ඇඳුම් ඉරලා එයාව බය කළා. එයාට හොඳටම පහර දීලා, එයාගේ ඉතිරි වෙලා තිබුණු කාසි සේරම හොරකම් කරලා, කැලේ අතරමං කරලා ආවා. එයාව ගෙනත් දාලා තියෙන්නේ සර්පයෝ ජීවත් වෙන තැනකට. කෑම හොයන්න ගිහිල්ලා හිටපු සර්පයෝ දවල් එයා හිටපු පැත්තට එන්ඩ පටන් ගත්තා. සර්පයෝ එයාව වට කර ගත්තා. සර්පයෝ නිදා ගත්තම එයා එතනින් පැනලා ආවා. පුංචි ටොමී එයාට ආයේමත් මුණ ගැහුනා. එයා අඬ අඬා ලිලීව හොයමින් කැලේ පුරාම ඇවිද ඇවිද හිටියා. ඒ දෙන්නා අන්තිමේ කැලෙන් එළියට ආවා.’

අවසානයේ ඇය තමන්ගේ අත්දැකීම් කතාන්දරයක් ලෙස ලියන්නට ගනියි.

‘සමහර දවසට එක දිගටම ලිවවා නිදි මරාගෙන සීතල වතුර බෙසම්වල කකුල් ඔබාගෙන. රඟහල අයිතිකාරයා ගැනත්, එයාගේ බිරිඳ ගැනත්, නපුරු නාට්‍යංගනාව ගැනත්, නපුරු මිනිස්සු ගැනත් පුංචි ටොමී ගැනත්, රෑ තිස්සේ එයාව වට කරගත්ත සර්පයෝ ගැනත් එයා ලීවා.

අන්තිමට  බලනකොට එයා අවුරුදු දෙකක්ම ඒ කතාව ලියලා. ඒ කතාව ලියන එක මිසක් වෙන කිසිම දෙයක් ගැන සිහියක් ඇයට තිබුනේ නෑ.

අන්තිමට එයා ඔක්කොම කොළ ටික එකතු කරලා එකට බැන්දා. ඊට පස්සේ නගරයට ගියා. කතන්දර සාප්පුව අයිති වෙළෙන්දා ගාවටයි එයා ගියේ. අන්තිමට එයාට විකුණන්ඩ තිබුනේ එච්චරමයි.

‘හොඳයි’ වෙළෙන්දා අහිංසක විදිහට දැරියත් එක්ක හිනාවුනා. ‘මේ වෙළෙන්දා නම් බොහොම කරුණාවන්ත කෙනෙක්’ ඇයට හිතුනා.
   
‘හොඳයි. මම කැමතියි ඔබේ කතාව මුද්‍රණය කරන්ඩ. හැබැයි ඔයා අලුත් කතන්දර කියන්නියක් නිසා මට මේකට යන මුදල තනියම දරන්ඩ අමාරුයි...... අනිත් එක කතන්දර සාප්පුව හරිම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. ඔයාට තේරෙනවද? අනික දැන් ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු කතන්දර කියවන්ඩ හොරයි.’

‘හොඳයි. මට තේරෙනවා’

‘මේකට යන වියදමෙන් කොටසක් මම දාන්නං, ඉතිරි කොටස ඔයා දාන්ඩ. ඊට පස්සේ මේක විකුණුවාට පස්සෙ ඒකේ ලාභය අපි බෙදා ගමු.’

නමුත් එම කතාව පොතක් ලෙස මුද්‍රණය කිරීමට ගිය විට ඇය මුහුණ පාන්නේ තවත් නිර්දය සූරාකෑමකටය. තම ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් අත්දැකීම්, ජීවිතයේ සාරය, ආත්මය සියල්ල කතාන්දර සාප්පුකරු කුරිරු ලෙස සූරා කයි. මෙය අපගේ ප්‍රකාශන කර්මාන්තය තුළ වන වංචා සහගත සූරාකෑම දක්වන්නකි.

පුංචි ලිලී කතාව තුළ සුන්දරත්වය ගැන වන ඒකමානී ප්‍රතිරූප පිළිබඳව හුයක් නදීකාගේ දියෝනිස් දෙවොල පාමුල සිට නවකතාව තුළ මෙන්ම මරියාගේ රමණය නාට්‍යය තුළත් දකිත හැකිය. මෙහි කතාන්දරයට යටින් විනෝදාශ්වාදන කර්මාන්තයේ ආර්ථික සූරාකෑම එක් යටි පෙළක් වෙයි. සර්පයන් ලිලීව වට කර ගැනීම තුලින් එහි වන ලිංගික සූරාකෑමද තවත් අතුරු යටි පෙළක් ලෙස දකිත හැක. එසේම සුන්දරත්වය පිළිබඳ වන  ඒකාකෘතිකයන්, පිළිරූකරණයන් තවත් යටි පෙළක් වේ. එම යටි පෙළවල් ළමා පාඨකයන්ට යම් දුරකට වෙනස් ආකාරයකට සිතන්නට පෙළඹවීමක් ඇති කළත් බොහෝ විට ඒ වැඩිහිටි පාඨකයන්ට විෂය වන්නක් වේ.  




රොසෙන්කාගේ සිතුවමද කලාව පූජනීයත්වයෙන් සළකන දැරියක පිළිබඳ කතාවකි.

‘ඇස්දෙක පියාගෙන ඉන්නකොට එයා ඇඳපු සිහින දෙව්දුව කැන්වස් එකෙන් බිමට බැස්සා. වැස්සට එයාගේ ලස්සන රෝසපාට පිහාටු දෙක තෙමිලයි තිබුනේ. ඇත්තටම ඒ සිහින දෙව්දුව ඇන්දේ රොසෙන්කා. එයාගේ ලස්සන රෝස පාට පිහාටු දෙක එයා සති දෙකක් පාට කූරුවලින් පාට කරා. හැමෝම ඒ සිහින දෙව්දුව දැකලා පුදුම වුනා. ඒ වගේ රෝසපාටක් ? කොහොමද දෙවියනේ ඔයා ඒ රෝසපාට හැදුවේ? ඒ සිතුවම දැකපු ගොඩක් අය රොසෙන්කාගෙන් ඇහුව්වා. ඉතින් කැන්වස් එකෙන් බිමට බැහැපු දෙව්දුව රොසෙන්කාට කතා කරා.

‘ඔයා ඒ කර්මාන්ත ශාලාවේ වැඩට යන්ඩ එපා. ඔයා සිතුවම් අඳින්නේ කොහොමද?’

සිහින දෙව්දුව රොසෙන්කාගෙන් ඇහැව්වා.

‘ඇත්ත තමයි.’  රොසෙන්කා කිව්වා.

‘මුලු සතියම උදේ ඉඳලා රෑ වෙනකන් ඒකේ වැඩ කරන්ඩ ඕන තමයි. ඒත් හැමෝම කියන්නේ සිතුවම් ඇඳලා ජීවත් වෙන්න අමාරුයි කියලා’ රොසෙන්කා දෙව්දුවට කීවා.

දෙව්දුව රොසෙන්කාට සැර කරා.

‘මෝඩියෙක් වෙන්ඩ එපා.’

එයා රොසෙන්කාගේ අත් දෙක අල්ල ගත්තා. රොසෙන්කාත් එයාට ඉඩදුන්නා. එයා රොසෙන්කාව හීනයක් ඇතුළට අරගෙන ගියා. එදායින් පස්සේ එයා කවදාවත්ම ඇහැරුනේ නෑ. කාටවත්ම පුලුවන් වුනේ නෑ එයාව ඇහැරවන්ඩ. ඒක හීනයක් කියලා රොසෙන්කා දැනගෙන හිටියේ නෑ. ඒක ඇත්තම ඇත්තක් කියලයි එයා හිතුවේ. ඒ හින්දා එයා එකේ ජීවත් වුනා. ඒ හීනෙ ඇතුලේ තිබුණා ලස්සන නගරයක්. එයා එයාගේ පුංචි ගම්මානයයි, එයාගේ යාලුවොයි, ගෙදර අයයි, ගමේ උදවියයි අතහැරලා ඒ නගරයට ගියා. ඒ නගරෙදි එයාට මුණ ගැහුනා එයා වගේම තව අයත්.

ඉතින් රොසෙන්කා නගරයේදී චිත්‍ර උගන්වන ඉස්කෝලෙකට ගියා. චිත්‍ර අඳින අය විතරක් නෙමෙයි, නාට්‍ය හදන අය, කවි ලියන අය, චිත්‍රපටි හදන අය, ලෝකේ වෙනස් කරන්ඩ සිහින දකින අය..... ඔන්න ඔයගොල්ලත් රොසෙන්කට හමු වුනා.

කොහොම හරි ඒ අතරෙ තව තවත් ලෝකේ වෙනස් වුනා. රොසෙන්කා ඇඳපු චිත්‍ර කාටවත් වැඩක් වුනේ නෑ. කාලය නාස්ති කරන්නේ නැතුව ජීවිතේ බේරගන්ඩ සමහරු එයාට කීවා. ඒත් එයා හිටියේ පාටවල්, රේඛාවල් අතරේ ගිලිලා. කෑම බීම ගොඩක් හිඟ වුනා. සමහරුන්ගේ දරුවන් කෑම නැතිකමින් මියැදෙන්න ආසන්නයේ හිටියේ. එහෙම වෙනකොට එක එක්කෙනා හීනෙන් අවදිවෙන්ඩ පටන් ගත්තා. හීනදෙව්දුවට රොසෙන්කාගේ යාලුවෝ සාප කරා. එගොල්ලන්ට යන්ඩ දෙන්ඩ කියලා ඒගොල්ල කෑගැහැව්වා. අන්තිමට එක එක්කෙනා ඒ හීන නගරයෙන් පිටවෙලා යන්ඩ ගියා. ඒ ගිහිල්ලා කර්මාන්තශාලාවල වැඩට ගියා. ඒගොල්ලන්ගේ බඩු විකුණන්ඩ චිත්‍ර ඇන්දා. නාට්‍ය හැදුවා. චිත්‍රපටි හැදුවා.’

පවත්නා වෙළඳ සමාජය තුළ කලාවේ ඉරණම මෙන්ම ධනේශ්වර සූරාකෑම හා පරාරෝපනය ඇගේ ළමා කතා තුළද හඳුනා ගත හැකිය. එයද ළමුන්ගේ රසවින්දනය හෝ අවබෝධයෙන් එහා ගිය යටි පෙළක් සහිතය. එනමුදු ඒ ළමුනටද යම් අවබෝධයක් ලබා දෙන අයුරින් ඇය ගොඩ නගයි. 

මෙම කලාව කෙරේ වන ආත්මීය බැඳියාව පොදුවේ ඇගේ නවකතාව හා නාට්‍යය තුළ වන අතුරු තේමාවේම දිගුවකි. එසේම ඇගේ නවකතාව තුළත් ලිලී හා රොසෙන්කා යන කතා තුළ මෙන්ම ගැලවුම්කරුවකු පිළිබඳ විශ්වාසය හෝ එවන් පීතෘ ප්‍රතිරූපයක් දක්නට ලැබේ. එය කලාව විනෝදාශ්වාදන කර්මාන්තය තුළ සරණාගත තත්වයට පත් දැරියකගේ අවිඥාණක අපේක්ෂාවක් වෙයි.

-ඔහු පුදුම වුනා. ‘ මම හිතුවේ ඔබ හොඳ ජනප්‍රිය  නාට්‍යාංගනාවක් වෙයි කියලා. ඔබ මොකද මෙතන කරන්නේ?’ ඒ මහත්මයා කරුණාවන්ත විදිහට ඇහැව්වා.

එයා එයාට සිද්ධ වුන දේවල් ඔක්කොම ඒ මහත්මයාට කීවා.

‘ඔබ කැමති නම් ඔබට පුලුවන් මගෙත් එක්ක අපේ ගෙදර යන්ඩ’ ඒ මහත්මයා කිව්වා.

ලීලි ඒ මහත්මයත් එක්ක ඒ ගෙදරට ගියා. එයා ලස්සන කාමරයක් ලිලීට නවතින්න දුන්නා. ලස්සන ඇඳුම් පැළඳුම් දුන්නා. ලීලි මහලු කාන්තාවවත්, පුංචි ටොමීවත් ඒ ගෙදරට එක්කගෙන ආවා.
  
ඒ පොහොසත් මනුස්සයා ගියා රඟහලේ අයිතිකරුවාව මුණ ගැහෙන්ඩ. ‘එක දර්ශන වාරයක සින්ඩරෙල්ලා රඟපාන්ඩ ඇයට දෙන්ඩ ඕන. මම මුලු ප්‍රේක්ෂාගාරයේම  ටිකට්පත්වල මුදල ගෙවනවා.’ එයා රඟහලේ අයිතිකරුවාට කිව්වා.’

-කතන්දර සාප්පුවට ආ පුංචි ලිලී

‘රොසෙන්කාට  මහන්සියි. නිකමට හිතන්ඩ අවුරුදු පහළොවක්ම එයා හිටියේ එළිවෙන්නේ නැති හීනයක් ඇතුළට වෙලානේ. හැබැයි ඉතින් පහුවෙන්දා උදේ වෙනකොට හරිම පුදුම වැඩක් තමයි වුනේ. රොසෙන්කාගේ ශරිරය ටිකෙන් ටික, ටිකෙන් ටික පුංචි වෙන්ඩ පටන් ගත්තා. එයා පුංචි වෙලා, පුංචි වෙලා අන්තිමට අම්මලා රෙදිවලින් ඔතාගෙන යන පුංචි බබෙක් තරමටම පුංචි වුනා. රතු මහත්තයාට හිතා ගන්ඩ බැරි වුනා. දැන් මොකද කරන්නේ? චූටිම චුටි වෙච්ච ඇස් දෙක තදින් වහගෙන, පුංචිම පුංචි වෙච්ච ඇඟිල්ලක් කිරි තොල් අස්සෙන් දාගෙන රොසෙන්කා එයාගේ අතේ නිදි.

අන්තිමට රතු මහත්තයා උදේ වෙළඳපොල අරිනකොටම එතනට එකට ගියා. එයා ලස්සන කුඩයක් මිල දීලා ගත්තා. ලස්සණ සේද වගේ ඇඳුම් ගත්තා. ඊට පස්සේ රතු ඇපල් ගොඩක් ගත්තා. ඒ කුඬේ රතු ඇපල් දාලා. ඝනකම් රෙද්දක් දැම්මා. ඒත් ඒකේ මතුපිට ගොඩක් සිනිඳුයි. ඊට උඩින් තව සේද රෙදි දැම්මා. ඊට උඩින් පුංචි රෝස පාට සිනිඳු රෙද්දකින් ඔතලා රොසෙන්කාව තිබ්බා.

රතු මහත්තයා එයාවත් අරගෙන එයාගේ ගෙදර ගියා. ගෙදර යනකොට එයාගේ බිරිඳයි දුවයි හොඳටම බයවෙලා. එයාගේ දුව ඉස්කෝලේ ගිහිල්ලත් නෑ තාත්තා නැති වෙලා කියලා. රතු මහත්තයා අර පුංචි කුඩයත් අරගෙන ගෙදර ඇතුළට එනකොට එයාගේ දුවට තේරුනා මොකක් හරි අමුතු දෙයක් වෙලා කියලා.

රතු මහත්තයා එයාගේ පුංචි දුවට කීවා එයාට තෑග්ගක් ගෙනාපු බව.

‘දෙවියනේ පුංචිම පුංචි ළමයෙක්. ඊටත් මට පේන්නේ මේ ගෑනු ළමයෙක්.’ එයාගේ බිරිඳට කෑගැහුනා.
චූටි දුව රතු මහත්තයත් එක්ක තරහ වුනා. එයා පිලිකන්නට ගිහින් හොඳටම ඇඬුවා. රතු මහත්තයාගේ බිරිඳ නොමනාපයෙන් රතු මහත්තයා දිහා බැලුවා.

‘කොහෙන්ද මේ දරුවා?’

‘දෙවියන් මුහුදු වෙරළෙදි රතු ඇපල් කුඩයක දැමූ මේ පුංචි දැරියව තමාට දුන් බව රතු මහත්තයා ඇයට කීවා.’

-රොසෙන්කාගේ සිතුවම 

එසේම වෘත්තීය වශයෙන් කලාව තුළ වන අස්ථාවර බවත්, එතුළින් තම මාපිය සොයුරු සොයුරියන්ට තම යුතුකම් වගකීම් ඉටු කළ නොහැකි බවත් ඇය වටහා ගනු දකිත හැකිය. රොසෙන්කාගේ සිතුවම අවසන් වන්නේ ශෝකජනක අවසානයකිනි. එහෙත් දියෝනිස් දෙවොල තුළ මෙන්ම ආත්මීය එක්වීමක් පිළිබඳ වන විශ්වාසය එතුළද කැටි වෙයි.

මෙම ළමා කතා දෙක තුළම මෙසේ අපගේ ළමා සාහිත්‍යය තුළ දක්නට නොලැබෙන අවට ලෝකය පිළිබඳ, සමාජය පිළිබඳ තියුණු අවබෝධයක් හා ජීවන දැක්මක්, පරමාදර්ශයන් පිළිබිඹු වෙයි.




සිංදු කියන මුහුදට ආ දියකිඳුරි බොහීමියානු ලෙස හැඳින්විය හැකි නිදහස්කාමී දැරියකගේ කතාවකි. ඇය, එනම් දිය කිඳුරිය ජෝන් නමැති නිදහස්කාමී මාලුවා- පීතෘ ප්‍රතිරූපය හා බැඳේ. ඒ කෙරේ ඊර්ෂ්‍යා සහගත වන ජීන් ඇයට අස්ථාන චෝදනාවක් නගා සොරකමකට හසු කරයි. එතැන් සිට ඇය මුහුණ දෙන අත්දැකීම් හා ඒවායින් ජයගන්නා ආකාරය දක්වමින් කතාව අවසන් වේ. එහෙත් මහළු ජින් සමග වූ සම්බන්ධය දුරස්වී ඇත.




මකර රැජිනගේ මාලිගාව ඇන්ඩර්සන්ගේ රතු සපත්තු සුරංගනා කතාව මෙන් ලිංගිකමය යටිපෙළකින් යුත් කතාන්දරයකි. එය බොහෝ විට මනෝ විශ්ලේශණාත්මකව ග්‍රහණය කර ගත යුතු දුරකට විහිදෙන යටි පෙළකි. එහිදී වෙනස් ලිංගික රුචීන් නැඹුරූන් සහිත කාන්තාවකගේ ප්‍රමෝදය සමාජය ත්‍රස්ත කරන ආකාරයත් එහි වන මායාවී බලයත් අතර ගැටුම ස්පර්ශ කෙරේ. රතු සපත්තු කතාව තුළ රතු සපත්තු මගින් ස්වයං මෛථුන්‍යය පිළිබඳ වන යටි පෙළම මුදුව ඔස්සේ මෙහි සංයුක්ත වී තිබේ. නමුදු මෙය කිසිසේත් ළමා මනසට හෝ ඔවුනගේ කතාරසයට බලපෑමක් නොවන පරිදි ශූර ලෙස ගොඩ නගන ලද තෙවන යටි පෙළක් දකිත හැකිය.  








ගෙඹි පැටිත්තියකවූ පුංචි දැරිය අත්හැර දමන ලද දැරියක් මුහුණ දෙන අත්දැකීම්, අවදානම් සහගත අවස්ථාවන් තුළින් ජීවිතය ජයගන්නා ආකාරය විශ්මයජනක විකුම්සැරියක් මෙන් දක්වන්නකි. එය ඇලිස්ගේ විස්මලන්තය හෝ ග්‍රිම් සොයුරන්ගේ ඇතැම් සුරංගනා කතාවක් සේ අතිශය විශ්මයජනක, ආපිට හැරෙත නොහැකි ලක්ෂ්‍යයන් ගණනාවකින් යුත් ශූර කතා වියමනක් වෙයි. ඇගේ රතු සපත්තු සිනමාපටයට යොදා ගන්නා ඇන්ඩර්සන්ගේ කතාව තුළ කැරන්ව හදා වඩාගත් මහළු ගැහැණියගේ මරණය සේම මෙහිද රෝසිගේ මරණය හා ගෙඹි පැටිත්තිය කතුවරියගේ උපවිඥාණය කෙරේ මාවතක් විවර කරයි. මෙම තමා හදා ගත් හෝ අතැර දමන ලද දැරියක ලෙස පරිකල්නය කිරීම හා තමා හදා ගත් කෙනාගේ මරණය හමුවේ යුතුකම් ඉටු කිරීමට නොහැකිවීමේ හෘදය සාක්ෂිය දකිත හැකිය. ඉරණම මනුෂ්‍යත්වය, හොඳ නරක පිළිබඳ වන විශ්වාසය ඒ තුළ මෙන්ම ඇගේ සෑම කතාවකම දක්නට ලැබේ.

මේ හැර සිනිඳු සළු වියූ කෙකිනි බිරිඳ ලෝමහංස ජාතකය හා ත්සුරු නම් ජපාන ජනකතාවේ එන තේමාවම පදනම් කර ගත්තකි. එය අසරණ බවට, ආත්මීය තුවාල වීමකට ලක්වූ ගැහැණියක බිරිඳක කර ගැන්ම මගින් තමන්ගේ පැවැත්ම හා සුඛ විහරණය සහතික කර ගන්නා ආත්මාර්ථකාමී මිනිසකුව ඇය විසින් හැර දමා යාමක් දක්වයි. සොරා ගත් අත්තටු නිදහසේ උන් තැනැත්තියක උපක්‍රමිකව වංචාවෙන් කොටු කර ගෙන අමානුෂික ලෙස සූරා කමින් තම පැවැත්ම තහවුරු කොටගත් සැමියකු හැර දමා යාමක් දක්වයි. 

මෙම කතාන්දර දෙක සේම ගොවි ගෙදරට ආ සුරංගනාවිද සුරංගනා කතා ආකෘතියම යොදා ගනියි. එයද තනිකඩව දුෂ්කර දිවියක් ගෙවන ගොවිරාල කෙනෙකු වෙත එන සුරංගනාවියකගේ කතාවකි. ඇය ආ පසු ගොවිරාලගේ ජීවිතය වෙනස්වේ. එහෙත් ඇය විසින් ඔහුගේ හිස් පෙට්ටගම තුළ බහාලන කුඩා පෙට්ටිය කිසිවිටෙකත් විවෘත නොකරන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලයි. ඒ පිළිබඳ සැකයෙන් හා කුතුහලයෙන් ඔහු දිනක් ඒ ඇර බලයි. පැන්ඩෝරාගේ පෙට්ටිය ඇර බැලූ පසු සිදුවුණු ආකාරයට සියල්ල වෙනස්වේ. ඇය ගමරාල දමා යන්නට යයි. ජීවිතයේ අනවශ්‍ය, අතීත රහස් සොයා බලන්නට යාමෙන් මෙන්ම සැකය නිසා අපගේ ජීවිත විනාශවී යන ආකාරය මෙතුළ අපූරුවට නිරූපනය වේ. ඉහත කතා තුනේම අවසානයේදී සැමියන් වෙනුවෙන් තම ජීවිතය දෙමින් බොහෝ කැපවීම් කළ ගැහැණු චරිත ඔවුන්ව හැර දමා යති. එසේම සිනිඳු සළු වියූ කෙකිනි බිරිඳ මෙන්ම, සොරාගත් අත්තටුද කිසිවක් නොකරන හෝ අවාසනාවන්ත, පිළිගැනීමක් නැති, ගැහැණුන්ගෙන් සිය පැවැත්ම තහවුරු කර ගන්නා පිරිමි චරිත විෂය කොට ගනියි.

නදීකාගේ ළමා කතා තුළ නිරූපනය වන්නේ බොහෝ විට වැඩිහිටි ජීවන අත්දැකීම්ය. වැඩිහිටි ගැහැණියක තුළ වන ළමා වියේ මනෝ සංකීර්ණතාවන්ය. මෙය ඇගේ නවකතාව මෙන්ම නාට්‍යය තුළින්ද ගලා එන දිගුවකි. එබැවින්ම ළමා වියේ මනෝ සංකීර්ණතාවන් වැඩිහිටි විය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මනෝ විශ්ලේශනාත්මක කවුළුවක් ලෙස මෙම ළමා කතාන්දර දකිත හැකිය.

අප සඳහන් කළ මුල් ළමා කතා පහ ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණ වන අතර පසුව දැක්වූ නිර්මාණ තුනත් යක් කුරුල්ලාගේ විලාපය, බූරු කන් ඇති රජතුමා කතාවත් දේශීය මෙන්ම විවිධ රටවල ජනකතා මතත් පදනම්ව ඇත. හුදු කතා රසය හෝ උපදෙස් ලබා දීමට සීමාවී ඇති, කාටත් ලේසියෙන් කළ හැකි දෙයක් බවට පත්ව තිබෙන සිංහල ළමා සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් නදීකා බංඩාරගේ මෙම ළමා කතා පෙළ සනිටුහන් කරයි. විශේෂයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ ලැදියාවක් ඇති සැමට ඒ වැදගත් වෙයි. අනෙක් අතින් තමන්ගේ වැඩිහිටි ජීවිතයට මුහුණ දෙන්නට යන ළමුන්ට ජීවිතය මනුෂ්‍යත්වය පිළිබඳ අවබෝධයක් පෙරහුරුවක් මෙම කතාන්දර තුළින් ලබා දෙනු නිසැකය. යොවුන් හා ළමා වියේ ගැටලු විෂය කොටගත් ළමා හා යොවුන් සාහිත්‍ය ප්‍රවනතාවන් වන ගැටළු නවකතාව වැනි නියෝජනයක් මේ තුළ හඳුනාගත හැකිය. ප්‍රධානම සාධනීය කාරණාව වන්නේ යටි පෙළකින් තොර මෙන්ම බහුශාබ්දිකතාවෙන් තොර ලාංකීය ළමා සාහිත්‍යයට ඇය විසින් යටි පෙළක් එක් කිරීමයි.



කේ. කේ. සමන් කුමාර