Saturday, November 14, 2015

මරියාගේ රමණය 28 දා



නදීකා බංඩාරගේ මරියාගේ රමණය ආන්දෝලනාත්මක වේදිකා නාට්‍යය නොවැම්බර් 28  සවස 3.30ට සහ 6.30ට නවනගර ශාලාවේදී වේදිකා ගතවීමට නියමිතය. මෙවර එය රඟ දැක්වෙන්නේ රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවන වටය නියෝජනය කරමිනි.  

පරිභෝජනවාදී සමාජය විසින් ස්ත්‍රියට යෝජනා කරන නව ජීවිතය මරියාගේ රමණය විසින් ප්‍රශ්න කරනු ලබයි. පරිභෝජනවාදී සමාජය දිගින් දිගටම අලංකාරය සහ සෞන්දර්යය ගැන මායා දර්ශන අපට සපයමින් සිටී. මෙහි ප්‍රධාන ස්ත්‍රිය බෝනික්කි ගෙදර නෝරා මෙන් සිය පවුල ප්‍රශ්න කරනු ලබයි. එහෙත් ඇය ප්‍රශ්න කරන්නේ පැරණි පවුල නොව නව පරිභෝජනවාදී නුතන පවුල තුළ ඇති අරාජිකත්වයයි. පරිභෝජන සමාජයක් තුළ සොයා යන ද්‍රව්‍යමය තෘප්තිය අතරේ බිහිවන ස්ත්‍රි පුරුෂ ප්‍රේමයන්හි හැඩහුරුකම් දකින්නට උත්සාහයක් වන මරියාගේ රමණය වැඩිහිටියන් සඳහා පමණක් සුදුසු නාට්‍යයකි. 

මෙම නාට්‍යයේ රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බංඩාරගෙන් වන අතර සංගීතය අජිත් කුමාරසිරිගෙනි. ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප්, රුවන් රංගේ, නදීකා බංඩාර රංගනයෙන් දායක වන මෙහි වේදිකා පරිපාලනය අජිත් සංජීව සහ සිසිල් ප්‍රියන්ත විසින් සිදු කෙරේ. ආලෝකකරණය සාලිය ඉඳුරුවිතානගෙන් වන අතර ආලෝකය මෙහෙයවීම ලහිරු චතුරංග විසිනි. අංගරචනය බුවනෙක කෞශල්‍යගෙනි.