Monday, May 4, 2015

අපේ සමාජයේ කාන්තාවට තැනක් නෑ






මරියාගේ රමණය  වේදිකා නාට්‍ය පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේ දී මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත විය. මෙය ජෙනී තියටර් වෙනුවෙන් නදීකා බණ්ඩාරගේ අධ්‍යක්ෂණයකි. වැඩිහිටියන්ට පමණක් සුදුසුයි ලේබලය යටතේ ප්‍රදර්ශනය කළ මෙම නාට්‍යය කාන්තා විමුක්තිය පිළිබඳ කියැවෙන අරගලාත්මක නිෂ්පාදනයකි. නදීකා බණ්ඩාර සමඟ ‘මරියාගේ රමණය’ පිළිබඳ කළ සංවාදයකි මේ.

මරියාගේ රමණය’ නාට්‍යයේ අන්තර්ගතය ගැන කතාකරමු.

වැඩවසම් සමාජ ක්‍රමයේ සිට මේ දක්වා කාන්තාව විඳි ගැහැට, දුක් වේදනා අපමණයි. මෙය පුරුෂ මූලික සමාජයක්. මේ සමාජය තුළ කාන්තා විමුක්තිය ලබාගත්තේ කෙසේද? කාන්තාව හා පුරුෂයා අතර සබඳතා ගොඩනැ‍ඟෙන්නේ කොහොමද? තාක්ෂණය මෙතරම් දියුණු සමාජයක සත්‍යවශයෙන්ම ස්ත්‍රියට ඇය පතන නිදහස ලැබිලා තියෙනවාද කියන කාරණා ගැනයි මේ නාට්‍යයෙන් කතා වෙන්නේ.
වැඩවසම් සමාජයෙන් මිදුණු නූතන සමාජයේ ගැහැනියගේ සීමාවන් සලකුණු වන්නේ කෙසේද යන්න මේ තුළින් කියන්න මම උත්සහ ගත්තා. ඒ වගේම තමයි සමාජීය අයිතිවාසිකම් වෙනුවෙනුත් මෙහි යම් දායකත්වයක් ලබා දෙනවා.

සමාජීය අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන විට එය ගැහැනිය ද පුරුෂයාද කියන කාරණය වැදගත් වෙන්නේ නැහැ නේද?

ඒ වැදගත් වෙන්නේ සමහර කාරණා සම්බන්ධයෙන් පමණයි. නමුත් කාන්තාවට ආවේණික සමාජමය කාරණා රැසක් තියෙනවා. පුරුෂයාට සාපේක්ෂව කාන්තාවට මේ සමාජය තුළ තනිවම රාත්‍රියේ ගමනක් බිමනක් යා හැකිද? මේ වාගේ සුවිශේෂ කාරණා බොහොමයක් තියෙනවා. මේ වාණිජමය සමාජය තුළ කාන්තාවට තියෙන තත්ත්වය කොතනද තියෙන්නේ කියන කාරණය හිතා බැලිය යුතුයි.

මේ ඔබේ පෞද්ගලික ජීවිතයේ වූ අතපසුවීම් නිර්මාණයක් තුළින් එළි දැක්වීමක් ද?

සෑම නිර්මාණයකම පෞද්ගලික මතවාද තියෙනවා. මම මේ නාට්‍ය තුළින් කතා කරන්නේ ඉතාම සංකීර්ණ වූ කාරණා සමූහයක්. කාන්තාව අද යම් තත්ත්වයක් ලබාගෙන තියෙනවා නම් එය අරගලයක ප්‍රතිඵලයක් මිස බන්දේසියක දාලා ගෙනවිත් දීලා නැහැනේ. ඡන්ද අයිතිය ලබාගැනීමේ ඉඳන් මේ වෙනකන් කාන්තාව තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න නොනවතින අරගලයක යෙදුණා.

කාන්තාව පමණක් නොවේ, මෙම සමාජ ක්‍රමය මත තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න පොදු මානව සත්වයා සටන් කළා. එහෙම නම් ඔබේ තර්කය වැරැදියි නේද?

නැහැ. පුරුෂයාට සාපේක්ෂව කාන්තාවට ලැබුණු අයිතිවාසිකම් හරිම අඩුයි.

එහෙනම් අද කාන්තාවෝ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ වගේම ආයතන ප්‍රධානීන් බවට පත්වෙලා සිටිනවා නේද?

නැහැනේ. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජන ප්‍රතිශතය කීයද? ඒ වගේම ආයතනවල සිටින කාන්තා නියෝජනය කීයද? ඒවායේ ප්‍රතිශතාත්මක වශයෙන් හරිම අඩු ප්‍රමාණයක් සිටින්නේ.

මෙම නාට්‍ය තුළින් මේ සමාජයේ කතා බහට ලක්වෙන චරිතයක් වීමට ද ඔබට අවශ්‍ය?

මේ අර‍ගලයට නිර්මාණවේදිනියක් විදියට මම දැක්විය යුතු දායකත්වය මම ලබා දෙනවා. ඒවා මගේ නිර්මාණ හරහා ‍මම ක්‍රියාත්මක කරනවා. මෙය සුළුවට හිතන්න එපා. මාරියාගේ චරිතය මේ නාට්‍ය තුළ ආකාර දෙකකින් මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.
මෙහි අනිත් කාරණය තමයි ස්ත්‍රියක් ලෙස මෙම සමාජය තුළ මම මුහුණදෙන තත්ත්වයන්. මම හිතන්නේ ස්ත්‍රියක් එයාට දැනෙන දෙය හැඟෙන දෙය ලෝකයට ප්‍රකාශ කරන්න ඕනෑ. මම මට දැනෙන විදිහ මේ නාට්‍ය හරහා ඒ මතය ප්‍රකාශ කරනවා.

මෙය වැඩිහිටියන්ට පමණයි යනුවෙන් සඳහන් කළේ කුමන හේතුවක් නිසාද?

අපේ රටේ පවතින නීතියට අනුව වැඩිහිටියන්ට වඩාත් සුදුසු නාට්‍යයක් ලෙස නාට්‍ය අනුමණ්ඩලයත් තීරණය කළා. ඒ වගේම සදාචාරයටත් අපි ගරු කළ යුතුයි. මෙරට සංස්කෘතියටත් අපි ගරු කළ යුතුයි.
මේ ‘මරියාගේ’ චරිතය හරහා ඔබ විශ්වාස කරන විමුක්තිය කාන්තාවට ලැබෙයිද?
කාන්තාවක් හැටියට මගේ වපසරිය තුළ නිර්මාණ හරහා මෙම මතවාදය සමාජගත කළා. මෙය අතීතයට යාවි. අතීතය තුළින් සමාජය දෙස බලන කෙනෙකුට මෙයින් යම් අභිප්‍රේරණයක් ඇතිවෙනවා නම් එය තමයි විය යුතු සංසිද්ධිය.

කවදද මේ නාට්‍ය නැවතත් අපට දැක බලාගන්න පුළුවන් වෙන්නේ?

මේ මස අවසානයේදී හෝ අප්‍රේල් මාසයට පසුව නැවත මෙය වේදිකාගත කරනවා.

සංවාද සටහන- සංජීව බාලසූරිය

No comments:

Post a Comment