Monday, May 4, 2015

WOMEN'S STAGE, ජෙනී තියටර් හා නදීකා බංඩාර







WOMEN'S STAGE- ගැහැණුන්ගේ වේදිකාව

ස්ත්‍රියගේ අනතුරාසන්න බව ග්‍රහණය කරමින්, ස්ත්‍රියගේ අනන්‍යතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමාජ ජීවිතයෙන්, සංස්කෘතික භාවිතයෙන් මෙන්ම ජීවිතයෙන් හරි අඩක් වන රාත්‍රී ජීවිතයෙන් ස්ත්‍රිය ඈත් කොට තැබීම ප්‍රශ්න කිරීම  WOMEN'S STAGE -ගැහැණුන්ගේ වේදිකාව නාට්‍ය කණ්ඩායම විසින් සිදු කෙරේ. මනුෂ්‍යත්වය පතා ගැහැනියගේ අරගලය සඳහා වේදිකාවේ කාර්යභාරය වටහා ගැනීම මෙහි ප්‍රධානතම අරමුණයි.

මේ සඳහා සංස්කෘතික නිශ්පාදන ක්ෂේත්‍රයේ කාර්යභාරය තීරණාත්මකය. විකල්ප දැනුම නිශ්පාදනය කිරීම සඳහා ගැහැනිය සහභාගි කරවා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයකි. ස්ත්‍රීන්ගේ අදහස්, ඔවුන්ගේ පීඩාවන් ප්‍රකාශ කිරීම, ස්ත්‍රීත්වයට අදාල දැනුම නිශ්පාදනය සහ ක්‍රියාකාරිත්වය ගැහැණුන්ගේ වේදිකාව ගොඩනැගීමේ අරමුණයි.

එහි පළමු නිශ්පාදනය ලෙස ‘මරියාගේ රමණය’ එළිදක්වනු ලැබිණි. 2015 මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පළමු වරට මරදාන ටවර් රඟහලේදී එය වේදිකා ගත කෙරිණි.

ස්ත්‍රියව විනෝද කර්මාන්තය විසින් භාර ගනු ලැබුම මගින්ද සිදු කෙරුණේ පවුල විසින් ඇගේ භුමිකාවට සිදු කළ දෙයමය. විනෝද කර්මාන්තය විසින් භාර ගත් ස්ත්‍රියට පිරිමියාගේ විනෝදයේ වාහකයා බවට පත් වීමට සිදුව ඇත. ඇය දිගින් දිගටම රඟපාමින්, නටමින් සිටින අතර ඇගේ ශරීරය විනෝද කර්මාන්තය විසින් පිරිමියාගේ ආශාව සංතෘප්ත කිරීම සදහා දිගින් දිගටම භාවිතා කරමින් පවතිනු මිස ඇයට අත් වූ නිදහසක් නොමැත. එපමණක්ද නොව ඒ සඳහාද ඇය විශාල වශයෙන් ලිංගික අල්ලස් ගෙවිය යුතු බව රහසක් නොවන රහසක් බවට පත්ව තිබේ. වෙළඳාම විසින් ගැහැනියගේ මූලික තත්වයන් වෙනස් කොට නැත. ඇය තවමත් බෙදා වෙන් කළ කොදෙව්වකම වාසය කරයි. එහෙයින් විනෝද කර්මාන්තය තුළද ගැහැනිය කළ යුතු අරගලයක් පවතියි.

ඒ සඳහා ගැහැනිය විසින් අවබෝධ කර ගත යුතු සවිඥාණික විය යුතු යතාර්ථයක් තිබේ.  විශේෂයෙන්ම වෙළඳාම විසින් අත් කර දුන් නිදහස ගැන ඇය මීට වඩා සවිඥාණික විය යුතුය. මෙම ගෝලීයකරණයත්, පරිභෝජනවාදයත් විසින් ඉදිකරන අලූත් සිරගෙවල් ගැන ඇය දැනුවත් විය යුතුව පවතියි. ඒ සඳහා ආරම්භ විය යුතු සංවාදය සඳහා WOMEN'S STAGE - ගැහැණුන්ගේ  වේදිකාව විවෘතය.

ස්ත්‍රිය විසින් තමාගේ ජීවිතයට, සමාජය විසින් දී ඇති වටිනාකම්, ඇගයුම්, විශ්වාසයන්, අරමුණු, ආශාවන් විමසා බැලිය යුතුව පවතියි. ඒවායේ මූලයන්, ඒවා පැමිණෙන්නේ කොතැනින්ද යන්න සොයා බැලිය යුතුව පවතියි. සැබෑ ගෞරවයක් සහිත ජීවිතයක් තමාට හිමි වෙලා තිබේද යන්න ඇය විසින් සොයා බැලිය යුතුව තිබේ. ඇයට එක විට අලූත් ජීවිතයක් තුළද, පැරණි ජීවිතය තුළද දිවි ගෙවන්නට යෝජනා වී ඇත.

සමාජ ප්‍රගමනයේ තමාගේ භූමිකාව සොයා ගැනීම ස්ත්‍රියක් මෙහිදී මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වෙයි. එබැවින්  WOMEN'S STAGE - ගැහැනුන්ගේ වේදිකාව ඒ සඳහායි. එනම් මනුෂ්‍යත්වය පතා වු ස්ත්‍රී අරගලයේ විකල්ප දැනුම නිශ්පාදනය සඳහා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ දැනුවත් මැදිහත් වීමක් සිදුකිරීමයි.


මරියාගේ රමණය







නදීකා බංඩාර ලාංකේය වේදිකාව තුළ අතිශය නිර්භීත ප්‍රවේශයකින් යුත් නාට්‍යවේදිනියකි. ඇය විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ මරියාගේ රමණය ප්‍රේක්ෂාගාරය තිගස්සවන සුළු රංග කාර්යයක් විය.

2015 මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නදීකා බංඩාර ප්‍රමුඛ WOMEN'S STAGE  නාට්‍ය කණ්ඩායම විසින් එය වේදිකා ගත කරනු ලැබිණි.

පරිභෝජනවාදයට හා නව ලිබරල් පවුල් මායාවට එරෙහි ස්වයං පරපීඩාකාමී විරෝධයක් එයින් ප්‍රකාශයට පත් විණි.

පරිභෝජනවාදී සමාජය විසින් ස්ත්‍රියට යෝජනා කරන නව ජීවිතය මරියාගේ රමණය විසින් ප්‍රශ්න කරනු ලැබීය. පරිභෝජනවාදී සමාජය දිගින් දිගටම අලංකාරය සහ සෞන්දර්යය ගැන මායා දර්ශන ස්ත්‍රියට මෙන්ම පුරුෂයාටද සපයමින් සිටීම මෙහිදී නිර්දය ලෙස මෙන්ම උත්ප්‍රාසාත්මක ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහි ප්‍රධාන ස්ත්‍රිය බෝනික්කි ගෙදර නෝරා මෙන් සිය පවුල ප්‍රශ්න කරනු ලබයි. එහෙත් ඇය ප්‍රශ්න කරන්නේ පැරණි පවුල මතු නොව නව පරිභෝජනවාදී නූතන පවුල තුළ ඇති අරාජිකත්වයයි.
මෙම නාට්‍යයෙහි රචනය සහ අධ්‍යක්ෂණය වන අතර සංගීතය අජිත් කුමාරසිරිගෙනි. ජගත් ජයෙස්කර, සුසන්ත ප්‍රදීප්,රැවන් රංගේ, නදීකා බංඩාර චරිත පණ ගන්වයි. වේදිකා පරිපාලනය කසුන් ජයරත්නගෙනි. ආලෝකකරණය සාලිය ඉඳුරැවිතානගෙන් වන අතර ආලෝකය මෙහෙයවීම ලහිරු චතුරංග ගෙනි. අංග රචනය සුමේධ හේවාවිතාරණ විසිනි. 


මරියාගේ රමණය පිළිබඳව විචාරක අදහස් කිහිපයක් මෙලෙස දැක්විය හැක.


‘නදීකා බංඩාරගේ මරියාගේ රමණය ඇගේ නවකතාව වන දියෝනිස් දෙවොල පාමුල සේම අතිශය නිර්භය ප්‍රයත්නයකි. දියෝනිස් දෙවොල පාමුල ලාංකීය සාහිත්‍යය තුළ ස්ත්‍රියක විසින් කළ අතිශය නිර්භීත සාහිත්‍ය කෘතිය වනුයේ යම් සේද, මරියාගේ රමණයද ලාංකීය වේදිකාව තුළ ස්ත්‍රියක විසින් කරන ලද්දාවූ නිර්භීතම රංග කාර්යය වෙයි. ඇගේ ස්ත්‍රීභාවය අමතක කොට සිතූ කල්හිද එම කෘතීන් දෙකම අදාල මාධ්‍යයන් තුළ නිර්භීතතම ප්‍රයත්න යැයි කිවද වරදක් නැත.’

කේ. කේ. සමන් කුමාර- දියෝනිස් දෙවොල පාමුල මරියාගේ රමණය, රිවිර





‘නදීකා අප යෙහෙළිය යකඩ ගැහැණියකැයි විටෙක මට සිතේ. ඇය හිතුවක්කාරී ය. නොදැමෙන සුළු ය. නිර්භය ය. ආසියාතික සමාජයේ කාන්තාවට එල්ල වී ඇති පීඩනය සම්බන්ධයෙන් ඇය නිතරම ආවේගශීලී වන්නී ය. එයට එරෙහි වන්නී ය. අත දිග හැර අතුල් පහර ගසන්නී ය. ඇගේ මුල්ම නවකතාව දියෝනිස් දෙවොල පාමුල හි දී ද මේ නිර්භය කාන්තාමය කම්මුල් පහර දරුණුවට එල්ල වූ බව මතක ය. මරියාගේ රමණය ඇගේ වේදිකා නිර්මාණය ද එබඳුම ප්‍රයත්නයකි.’

මරියාගේ රමණය ඇත්තෙන්ම රමණීය ද? -තරුරසී



‘ඇත්තෙන්ම ගැහැණු ශරීරය අනවරත ලෙස ඉතිහාස කාලයක් පුරාවට ශෘංගාරාත්මක කිරීම සෞන්දර්යකරණය කිරීම බවට වරදවා වටහාත් කවියන්, සිනමාකරුවන් කවරහුද?

ඔව්... නදීකා බණ්ඩාර ... ඔබ වන් අධ්‍යක්ෂකවරියන් කලාවට තව තවත්  ඕනෑ කර තිබේ.

අපගේ අසරණ පිරිමින්ව ඒ පුරුෂ මූලික අධ්‍යාපනයේ උරුමක්කරුවන් නොකර ඉන් බේරා ගත යුතුය.’

මරියාගේ රමණයේ ව්‍යාපෘතිය කලාකෘතියක් ලෙස- ශ්‍රීනාත් චතුරංග




2015 මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පළමු වරට මරදාන ටවර් රඟහලේදී එය වේදිකා ගත කරනු ලැබිණි. මෙහිදී ප්‍රබල කාන්තා ක්‍රියාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු හා උදන් ප්‍රනාන්දු මහතා විසින් මූල්‍යමය වශයෙන් මූලික අනුග්‍රාහකත්වයන් ලබා දෙනු ලැබිණි. මෙහි දෙවන හා තෙවන දර්ශන මාර්තු 28 වන දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි පැවත්විණි. එහිදී මූලික නිෂ්පාදන වියදම් පියවා ගැනීම ආසන්න වශයෙන් සිදුවුවද නැවත දර්ශනයක් පැවැත්වීම පවා මේ වන විට අපහසු තත්වයක පවතියි.


මරියාගේ රමණයට නොනිල වාරණ

මරියාගේ රමණය මීළඟ දර්ශණය සඳහා අගනුවර ප්‍රකට රංග ශාලාවක් අත්තිකාරම් මුදල් ගෙවා යළිත් වෙන් කිරීමට යාමේදී,  මෙවැනි නාට්‍ය සඳහා ශාලාව ලබා දෙන්නේ ඇයිදැයි එම රඟහලේ මින්පෙර පැවති මරියාගේ රමණය  ප්‍රදර්ශන වාරය නැරඹූ ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කළ බව හා පැමිණිලි කළ බව සංවිධායකවරයාට පවසමින්,  ශාලා කළමනාකරු ශාලාව ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

 මරියාගේ රමණය  ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ  අවසරය ලද නාට්‍යයකි. එසේ වුව නොනිල වාරණයක් මේ වන විට එයට ක්‍රියාත්මක වෙමින් පවතියි. 

WOMEN'S STAGE-ගැහැණුන්ගේ වේදිකාව කණ්ඩායම අතිශය අසම්මත මෙන්ම
 විකල්ප ප්‍රවේශයක් ගන්නා හෙයින් මෙන්ම මරියාගේ රමණය නාට්‍යය පවත්නා
 පුරුෂ මූලිකත්වයට විරෝධය පළ කරනු ලබන හෙයින් පොදු ජනයා අතරට 
එය ගෙන යාම ගැටළු සහගත බවක්ද ගනියි. අනුග්‍රාහකත්වයන් සොයා ගැනීම 
මෙන්ම ජනතාව අතර ප්‍රවේශපත් අලෙවි කිරීමේ සුපුරුදු ක්‍රමවේදය යොදා ගැනීමද 
ගැටළු සහගත වේ. නමුත් මෙම නිෂ්පාදනය තවත් දර්ශණ වාර කිහිපයක් 
පැවැත්වීම කණ්ඩායමේ අරමුණ වේ.



‘රතු සපත්තු’ 




‘රතු සපත්තු’ ගැහැණුන්ගේ වේදිකාව කණ්ඩායමේ පළමු සිනමා ප්‍රවේශයයි. 2015 වසරේදී පිරිවැය සිනමා කෘතියක් ලෙස එය හිතවතුන්ගේ සම්මාදම් මගින් මෙන්ම ‘විකල්ප නාට්‍ය සංස්කෘතියක් උදෙසා’ යන පොත් පිංච ජනතාව අතර ඍජු අලෙවිකරණයෙන් අරමුදල් ගොඩ නගාගනිමින් නිපදවනු ලැබිණි. පළමුවරට ත්‍රිකෝණී සංස්කෘතික මධ්‍යස්ථානයේ හා ධර්මසිරි බණ්ඩාරණායක මහත්මාගේද, තවත් හිතවතුන්ගේද අනුග්‍රහය මත එම සංස්කෘතික මධ්‍යස්ථානයේදී 2015 ජූලී මස 28 වන දින එය තිර ගත කෙරිණි.

නදීකා බංඩාර විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ මරියාගේ රමණය ප්‍රේක්ෂාගාරය තිගස්සවන සුළු රංග කාර්යයක් වූ පරිදිම රතු සපත්තු ද මෙතෙක් ලාංකීය සිනමාව නොගිය ඉමක් කරා ගිය තවද තිගස්සවනසුළු අත්දැකීමකි. එය සිංහල සිනමාවේ පළමු අධිසත්තාවාදී වෘතාන්ත චිත්‍රපටයයි. එමෙන්ම ලාංකීය අධ්‍යක්ෂකවරියක විසින් කළ පළමු පර්යේෂණාත්මක වෘතාන්ත සිනමා නිර්මාණයද වේ.

එය ස්ත්‍රීපුරුෂ ප්‍රේමය, මනෝලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂසමාජභාවය හා ස්ත්‍රීපුරුෂ බලසබඳතා පිළිබඳ නව්‍ය දැක්මක් මෙන්ම නව ආකාරයක සිනමාත්මක ආඛ්‍යානයක්ද සහිතය. 

‘රතු සපත්තු’ පිළිබඳව විචාරක අදහස් මෙලෙස දැක්විය හැක. 

......‘නදීකාගේ කෘතීන් ත්‍රිත්වයම මනෝවිශ්ලේශණය මනෝවිශ්ලේශණයට ලක් කරමින් මෙන්ම ශෛශ්න-වාග් කේන්ද්‍රීයත්වය විසංයෝජනය කරමින් ලූසී ඉරිගරේ ගෙනා කතිකාව අපට සිහිපත් කරවයි. එහිදී ස්ත්‍රී ස්වයං වින්දනය පිළිබඳව ඉරිගරේ ගෙනෙන කතිකාවද මොනවට අදාල වෙයි. එය සිනමාකාරිය එම කතිකාවන් පිළිබඳ දැනුවත්භාවයකින් හෝ ආභාෂයකින් කළ බවක් සිතිය නොහැකිය. එය ඇගේ ජීවිතය තුළින් මතුවන කාරණාවක් විය යුතුය. ස්ත්‍රීවාදිනියක් වශයෙන් ඇය මේ තුළ අභිමුඛ වන්නේද නොවන්නේද නොවේ. අවසන් දර්ශණය තුළින් ඇය ස්ත්‍රීවාදය කරා ගාල් කරවීම උපදේශ හා බණකථා සාහිත්‍යයේ තැනට කලාව ගාල් කිරීමකි. රෝමියෝ ජූලියට් තුළ ස්ත්‍රිය අවසානයේ ලිබරල් ධනවාදය වැළඳ ගනියි. දියෝනිස් දෙවොල තුළ සියළු පරාජයන් හමුවේ උපේක්ෂාවෙන් යුතුව නාට්‍යයක් කරමු යැයි බලාපොරොත්තු දල්වා ගනියි. මරියාගේ රමණය තුළ පවුලද පෙම්වතාද හැර මගට බසියි. රතු සපත්තු තුළ පවත්නා ක්‍රමයට යටත්වේ. එසේම ස්ත්‍රිය තුළ පවත්නා ප්‍රතිවිරෝධයන්ද ඇය ස්පර්ශ කරනා බැවින් මේ ස්ත්‍රීවාදය ඉක්මවා යන්නක් මිස ඒ නොවේ.’......  

....‘එහෙත් මෙය ගැහැණියක විසින් කළ පළමු ලාංකීය පර්යේෂණාත්මක වෘතාන්ත සිනමා කෘතියයි. එමෙන්ම පළමු සිංහල අධිසත්තාවාදී වෘතාන්තමය සිනමා කෘතියයි. එහිදී ඇය ගන්නා අභියෝගය ගැහැණියක ලෙස සිය දිවි පරදුවට තබා ගත් අභියෝගයකි. ගැහැණියකගේ සුරතාන්තය වටහා ගත නොහැකි සේම අපට ගැහැණියකගේ මනසේ ආලෝකමත් බව, පැහැදිළි බව වටහා ගත නොහැක.’......


රතු සපත්තු පාර-සිනමාමය අත්දැකීමක් -කේ. කේ. සමන් කුමාර 

සත්හඬ-2015-07-02


http://sarpaya.com/vichara/item/869-2015-08-07-03-41-11


නදීකා බංඩාර සහ දියෝනිස් දෙවොල පාමුල සිට




“මා එම කාලය පුරාවට හැසිරුණේ සුරංගනා කතාවක චරිතයක් මෙනි. එකෝමත් එක කාලයක කුඩා ගෑණු ළමයෙක් ජීවත් විය. ඇය රැඟුම් පෑමට ආශා කළාය. ඒවා හදන මිනිසුන් ඇත්තේ ඇය ජීවත් වූ ගම්මානයෙන් බොහෝ දුර බැහැරකය. ඇය ඇගේ දෙමාපියන් අතහැර ඔවුන් සොයා ගැනීමට තනිව ගියාය. ඔවුන් සිටියේ විශාල ගල්දොරවල්වලින් වසන ලද විශාල මාලිගාවල ය. ඔවුන් සිටින තැන දන්නා මිනිසුන් ඔවුන් සිටින තැන පෙන්නීමට ඇගෙන් විශාල මුදලක් ඉල්ලූවෝය. එක් අයෙක් ඇගේ ලේ ඉල්ලූවේය. ඇය එය දුන්නාය. තවත් අයෙක් ඇගේ පෙනහැල්ලක් ඉල්ලූවේය. තවත් අයෙක් ඇගේ වකුගඩුවක් ඉල්ලූවේය. දැන් ඇයට යා ගත නොහැකිය. ඇය ක්ලාන්තව ඇද වැටුණාය. එහෙත් නැවතත් ඇය නැගිට්ටාය. කතාව තවම නිමි නැත. ඒ ඇය තවමත් ගමනේ සිටින නිසාය. ඇගේ කතාවේ ඉතිරි ටික මම තවම කියවා අවසාන නැත. එහි අවසානය මා කියවූ අන්  ඕනෑම සුරංගනා කතාවක මෙන් සුන්දර අවසානයකට ළඟා වෙනු නොඅනුමාන ය.

ඉහත ජේදය නදීකා බංඩාරගේත් ඇය විසින් පුරෝගාමීත්වය දෙනු ලබන ජෙනී තියටර් සහ WOMEN'S STAGE   -ගැහැණුන්ගේ වේදිකාව නාට්‍ය කණ්ඩායම්වලත් කලාත්මක භාවිතාව පිළිබඳව මනා විවරණයක් සපයන්නකි. එය උපුටා ගනු ලැබුවේ ඇය විසින් පළ කරන ලද දියෝනිස් දෙවොල පාමුල සිට නම් නවකතාවෙනි. එහි දියෝනිස් දෙවොල පාමුල සිට යන නාමකරණයද මෙම වානිජ පාරිභෝගික සමාජය තුළ තවදුරටත් කලාව පූජනීයත්වයෙන් යුත් දෙයක් ලෙස පවත්වා ගැනීම සඳහා වන ඔවුන්ගේ අරගලය විදහා දක්වයි. කලාව මානවීය, සමාජයීය මෙන්ම අධ්‍යාත්මික භාවිතාවක් වශයෙන් ඉදිරියට ගෙන යාම උදෙසා කරන්නට සිදුවන මෙන්ම, කුඩා නාට්‍ය කණ්ඩායමක් ලෙස කරන ලද කැපවීම් මෙමගින් කැටි කොට දක්වයි.



ජෙනී තියටර්


පුරා දශකයක් පමණ මුළුල්ලේ ක්‍රියාකාරී වන ජෙනී තියටර් නාට්‍ය කණ්ඩායම විවිධ පරේක්ෂණාත්මක මෙන්ම විකල්ප අත්හදා බැලීම් කරමින් යම් සමාජ වෙනසක් මෙන්ම ප්‍රේක්ෂකයා තුළ ආකල්පමය වෙනසක් ජනිත කිරීම සඳහා කටයුතු කළේය. එහිදී විකල්ප ආකාරයෙන් ප්‍රේක්ෂකයා අතරයට යාම සඳහා විවිධ මං සොයමින්, ප්‍රේක්ෂකයාගෙන් ඈත් කොට තිබෙන සම්මත වේදිකාවේ ක්‍රමවේදයන්ගෙන් බැහැරව ප්‍රේක්ෂකයා අද්දා ගැනීම සඳහාද විකල්ප මාර්ග අනුගමනය කළහ.

කලාත්මක හැකියාවන් මානව ප්‍රගමනය සඳහා භාවිතා කිරීම අරමුණු කොට ගත් ජෙනී තියටර් කණ්ඩායම පසුගිය දශකය පමණ මුළුල්ලේ අඛණ්ඩ සංස්කෘතික භාවිතාවක නියැලී ඇත.


නිශ්පාදිත කෘති

ගොවි රජ්ජුරුවෝ     2004
සොර්බා                2008
රෝමියෝ ජුලියට් ලා   2011
භාව විරේක            2012


ගොවිරජ්ජුරුවෝ-






යිඩ්ඩීෂ් ලේඛක අයිසාක් බෂවිස්සිංගර්ගේ නවකතාව ඇසුරින් නිර්මාණය කරන ලද රංග කාර්යයක් විය.




සොර්බා-





කලකට පසුව හමුවන මිතුරන් වන  ශෙකිනා සහ රාජන් එකිනෙකට වෙනස් ඔවුන්ගේ ජිවන ගමන් මාර්ගය පිළිබඳ කෙරෙන සංවාදයක් නාටකයට පසුබිම් වී ඇත. ශෙකිනා තරඟකාරි ලෝකයේ  තරඟකාරි ජීවන දැක්මකින් යුක්ත තරඟකාරියක වන අතර රාජන් එයින් පසුබැස ජිවිතයේ වෙනස් අර්ථයක් සොයා යන මිනිසෙකු බට පරිවර්තනය වී ඇති බව ශෙකිනා දකී. ඇය දිගින් දිගටම එය හාර අවුස්සමින් ඔහුව ප්‍රශ්න කරන අතරම රාජන් ඇගේ ජීවිතයේ ඇති නිස්සාරත්වය මුණ ගස්වයි. ඇය අවුලට ගිය මානසිකත්වයෙන් යුක්තව රාජන්ගෙන් සමු ගනී. 

ස්ථාපිතව ඇති තරඟකාරී පරිභෝජනවාදී ජීවන රටාව හමුවේ මිනිසුන් අත්විඳින සංකාජනක ජිවිතය ගැන ඔවුනොවුන් විසින්ම කර ගන්නා හෙළිදරව්වක් ලෙස නාටකය හැඳින්විය හැක.



රෝමියෝ ජූලියට්ලා 








රෝමියෝ ජුලියට් යනු විලියම් ශේක්ෂ්පියර් අතින් ලියවුණු උසස් ගණයේ ශෝකාන්ත කෘතියක් ලෙස සැලකේ. රෝමියෝ ජූලියට් ලා එම කෘතිය ඇසුරු කොට ගෙන නිර්මාණය කරන ලද්දා වු  පර්යේෂණාත්මක කෘතියකි. එය ප්‍රබන්ධමය කෘතියක් ඇසුරුකොට ගෙන කරන ලද නව ප්‍රබන්ධයකි.

රෝමියෝ ජූලියට්ලා නිර්මාණය ඔස්සේ ප්‍රශ්න කෙරෙන්නේ අද්‍යතන පාරිභෝගිකවාදී නවලිබරල් ධනේශ්වරය තුළ මිනිසත්භාවයෙන් හුදකලාව ඇති වන පරාරෝපනය හා සනාතන මානව ධර්මතාවන් වන ප්‍රේමය වෙළඳපළ තුළ මුහුණ පාන අර්බුධයයි. එහිදී මෙම ගෝලීය යතාර්ථය තුළ ප්‍රචාරණ කලාවන් හා මාධ්‍ය සංස්කෘතිය ස්ත්‍රිය ගොදුරු කර ගන්නා ආකාරයයි. ප්‍රේමය තුළ වන සර්වකාලීන ප්‍රතිවිරෝධතාවන් ස්පර්ශ කරමින්ම එහිදී මෙම පශ්චාත් නූතනත්වය තුළ ඒ මුහුණ දෙන උත්ප්‍රාසාත්මක මෙන්ම ඛේදනීය තත්වය ශේක්ෂ්පියරයන්ගේ ප්‍රේමයේ සුරුවම් වන රෝමියෝ හා ජූලියට් වසර හාරසියයකට පසු සිය සොහොන්වලින් නැගිට වර්තමාන පරිභෝජනවාදී ගෝලීය තත්වය තුළට ගෙන එමින් මෙම ප්‍රේක්ෂකයාට ප්‍රතිමුඛ කිරීම මගින් සිදු වේ. වර්තමාන සමාජ යථාර්ථය තුළ තබා ප්‍රේමයේ ප්‍රතිවිරෝධතාවන් මෙන්ම ස්ත්‍රී පුරුෂ ස්වභාවයන්හි ප්‍රතිවිරෝධතාවන්ද මෙහිදී ප්‍රශ්න කෙරෙන අතරම එයින් බරපතල ලෙස ප්‍රශ්න කරනු ලබන්නේ පවත්නා පාරිභෝගිකවාදී ජීවන රටාවයි.


භාව විරේක-






ජෙනී තියටර් කණ්ඩායම ස්ටැනිස්ලව්ස්කි රංග ක්‍රමය සිය නාට්‍ය නිර්මාණයන්හි රීතිය ලෙස යොදා ගත්තද ඒ අතික්‍රමණය කිරීම සඳහා තමන්ටම ආවේණික වූ විවිධ මං සොයා ගියෝය. භාව විරේක නාට්‍යය ඔස්සේ දේශීය සම්ප්‍රදාය තුළ වන භාව විරේචනාත්මක සම්ප්‍රදායන් ඒ හා මුසු කරන්නට උත්සුක වූහ. දේශීය වෙස්මුහුණු කලාව යොදා ගනිමින් මානව සමාජය තුළ ක්‍රියාත්මක වන අනන්‍යතා අර්බුධය මෙන්ම කුහකත්වයද, දෙබිඩිබව හා පරාරෝපනයද ස්පර්ශ කළහ.

භාව විරේක නූතන නාට්‍යමය ලක්ෂණ හා ශ්‍රී ලාංකීය තොවිල් සම්ප්‍රදාය ඇසුරු කොටගෙන නිර්මාණය කරන ලද්දකි. සමාජීය තංහචි කලාපය මිනිසා තුළට කාන්දු කරන පීඩනය සහ ප්‍රමෝදය නාටකයක් තුළින් මෙහිදී දක්නට උත්සාහ කොට ඇත. මෙහි සමාජ තහංචිවල පීඩනය සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද වෙස් මුහුණ ශ්‍රී ලාංකීය වෙස් මුහුණු සංස්කෘතියට එකතු වන නවමු මුහුණක් ලෙස හැඳින්විය හැක. එම වෙස් මුහුණ මිනිස් ප්‍රකෘතිය සහ විකෘතිය හසු කරගන්නට ගන්නා ලද උත්සාහයකි. වේදිකා රංගාලෝක හා ආලෝක පන්දම් මිශ්‍රකරමින් මෙහි ආලෝක නිර්මාණ සිදු කෙරිණි. එළිමහන් වේදිකා අත්දැකීමක් ලෙස හැදින්විය හැකි එය ගෘහස්ත රඟහලකදී වුව රංගගත කිරීම සඳහා නිර්මාණය කොට ඇත.

ජෙනී තියටර් නම් කුඩා නාට්‍ය කණ්ඩායමක් පවත්වා ගනිමින් ගෙන ගිය මෙම සංස්කෘතික භාවිතාව පැහැදිලි ලෙසම පවත්නා පරිභෝජනවාදී සමාජය ප්‍රශ්න කරන දැක්මකින් යුතු විය. එමෙන්ම ඒ ප්‍රබුද්ධවාදී මෙන්ම විකල්ප භාවිතාවන් තුළ සිර නොවී සාමාන්‍ය ජනයා අතරට යාම උදෙසා අරගලයකද නිරත විය. පරිභෝජනවාදී සංස්කෘතියේ මෙන්ම විනෝදාශ්වාදන සංස්කෘතියේ සිර ගත මිනිසුන් අතරටම, ඒ ප්‍රශ්න කරන සිය නිර්මාණයන් ගෙන යාම ඔවුනගේ උත්සාහය විය. එහිදී සාහිත්‍ය කලා සමාජය වෙනුවට ඔවුන් පොදු සමාජය තෝරා ගත්තෝය.

නදීකා බංඩාර විසින් සංස්කරණය කළ ජෙනී- Jenny නම් විකල්ප කලා සංස්කෘතික සඟරාවක් තුළින් පවත්නා පරිභෝජනවාදය හා විනෝදාශ්වාදන සංස්කෘතිය ප්‍රශ්න කරමින් මතවාදී වශයෙන් යම් වෙනසක් සිදු කිරීමටද මෙහිදී උත්සාහයක් දරනු ලැබිණි. එය කලාප 10ක් පමණ නිකුත් කරනු ලැබූ අතර, ඒද පවත්නා වෙළඳපල ක්‍රමවේදය වෙනුවට බිම් මට්ටමින් පොදු ජනයාට අතින් අත විකිණීම සිය අලෙවි ක්‍රමවේදය ලෙස යොදා ගත්තේය. පවත්නා වෙළඳ පරිභෝජනවාදී සමාජය තුළ අතිශය අභියෝගාත්මක උඩුගං බලා පිහිනීමක නිරත වෙමින් මේ පවත්වාගෙන යාම සඳහා ස්වෝත්සාහයෙන් කැපවූ තරුණ තරුණියන් හට බොහෝ අවස්ථාවල පවත්නා සමාජයට අනුගතවන්නට වූ අවස්ථා තිබුනද තවමත් මෙම කණ්ඩායම සිය කටයුතුවල අඛණ්ඩව නිරත වෙමින් සිටිති.

පොදුවේ ඔවුනගේ වැඩ කිරීමේ ක්‍රමවේදය වූයේ කුඩා නාට්‍ය කණ්ඩායමක් ලෙස බිම් මට්ටමින් නගර වල සාමාන්‍ය මිනිසුන් අතරට ගොස් ඔවුන්ව නාට්‍ය නැරඹීම සඳහා පොළඹවමින් අඩු මිල ගණන් සහිත ප්‍රවේශ පත්‍ර විකුණමින් නාට්‍ය නිශ්පාදන සහ සංවිධාන වියදම් පියවා ගනු ලබන ක්‍රමවේදයකි. ඉඳහිට කුඩා අනුග්‍රහයන් ලබා ගැනීමට පමණක් ඔවුනට හැකි වී ඇත. කෙසේ නමුත් නාට්‍ය පිළිබඳ එතරම් උනන්දුවක් නොදක්වන, එහි වටිනාකමක් ගැන අවධානය නොදී තිබූ කණ්ඩායමක් වේදිකා නාට්‍ය නැරඹීම සඳහා රඟහල වෙතට ඔවුන් විසින් ගෙන්වා ගෙන ඇත. රොමියෝ ජූලියට් ලා කිසිදු ප්‍රචාරණයකින් තොරව ටිකට්පත් සෘජු අලෙවියෙන් පමණක් පුංචි තියටර් හි පැවැත්වූ දර්ශන වාර සියල්ලේදීම පාහේ ප්‍රේක්ෂකයන් සිය දෙනෙකුට අධිකව රැස් කර ගැනීමට ඔවුන් සමත් විය. මෙම නාට්‍ය කණ්ඩායම ප්‍රචාරක කටයුතුවලදීද ජනමාධ්‍යයන්ට වඩා මුවින් මුව ප්‍රචාරණය කෙරේ විශ්වාසය තබා කටයුතු කළේය. පවත්නා මාධ්‍ය සංස්කෘතියට එහි අධිපතිත්වයට මෙන්ම අධිපති ප්‍රචාරණ කලා භාවිතාවන්ටද ඔවුනගේ විරෝධය ඒ හරහා ප්‍රකාශ විය.

අනෙක් අතට නාට්‍ය ශිල්පීන් ලෙස සම්බන්ධ වීමට කැමැති, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා නැති ආධුනික ශිල්පීන්ව පුහුණු කරමින් සිය නාට්‍යවලට සම්බන්ධ කර ගැනීමට ඔවුන් වැඩි අවධානයක් දක්වති.

මේ වන විට බොහෝ අභියෝගයන් මැද යම් අනුග්‍රහයන් මේ සඳහා අවශ්‍ය තත්වයක් පවතින අතර ඒ කිසිසේත්ම වෙළඳ සමාගම් තුළින් ලබා ගැනීම දුෂ්කර වන්නේ ඔවුන් කටයුතු කරන ක්‍රමවේදය මෙන්ම මතවාදය හේතුවෙනි. ශිල්පීන්ගේ සහ මෙම සංස්කෘතික ක්‍රියාකාරිකයන්ගේ පැවැත්ම වෙනුවෙන් ළමා නාට්‍ය නිර්මාණයක් ඉදිරිපත් කිරීමටද අදහස් කොට තිබෙන අතර එයද ළමා නාට්‍යය තුළ වෙනස් අත්දැකීමක් බවට පත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙති.


නදීකා බංඩාර


නදීකා බංඩාර කොළඹ විශ්ව විද්‍යාලයේ වානිජවේදී ( B.com–Col.)  උපාධිධාරිනියකි. සිය විෂය අතහැර කලා සංස්කෘතික භාවිතාව කෙරේ කැපවුණු ඇය විසින් පසුගිය දශකය තුළ නියැලි සංස්කෘතික භාවිතාවන් නම්: 
                                            

-ජෙනී තියටර් ආරම්භ කිරීම




-නාට්‍ය නිශ්පාදන හතරක පූර්ණ කාලීන ක්‍රියාකාරිත්වය (නාට්‍ය රචනය, සම අධ්‍යක්ෂණය, රංගනය, නිෂ්පාදන හා සංවිධාන කටයුතු)




නාට්‍ය කෘති:



ගොවි රජ්ජුරුවෝ







සොර්බා









රෝමියෝ ජූලීයට් ලා











භාව විරේක










-ජෙනී- Jenny සඟරාවේ සංස්කාරකවරිය ලෙස කටයුතු කිරීම














-නවකතා:



 ‘දියෝනිස් දෙවොල පාමුල සිට’











-  WOMEN'S STAGE -ගැහැනුන්ගේ වේදිකාව නාට්‍ය කණ්ඩායම ආරම්භ කිරීම









-මරියාගේ රමණය වේදිකා ගත කිරීම (නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය  හා රංගනය)






නදීකා සාහිත්‍ය කලා සංවාදයන් තුළ සිය මතවාදයන් ඔස්සේ ස්ත්‍රී දැක්මකින් යුතුව මෑතකාලීනව අදහස් දක්වන්නියක ලෙස මැදිහත්වීමක් සිදු කරනු ලැබුවාය. සෑම විටම කලා සංස්කෘතික කතිකාවන් තුළ ඇය ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ස්ත්‍රියගේ අනන්‍යතාව පිළිබඳ හඬ ඉස්මතු කරනු ලැබුවාය. 

එසේම මෑතකාලීනව ප්‍රසිද්ධ අවන්හලකදී ඇයට ශාස්ත්‍රාලයීය හා විකල්ප සංස්කෘතික ක්ෂේත්‍රයේ ක්‍රියාධරයකුගෙන් සිදුවූ ලිංගිකමය බලපෑමක් විකල්ප අවකාශය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විණි. ඒ සම්බන්ධයෙන් ඇය විසින් ලියන ලද ‘සමානයකු ලෙස පැවතීමට ගැහැණියට ඇති අයිතිය තහවුරු කරමු’ නම් ලිපිය අන්තර්ජාලය තුළ ප්‍රබල කතිකාවක් ගොඩ නගන්නටද සමත්විය.

ඇය එම ලිපිය අවසන් කළේ සිය මරියාගේ රමණයේ අවසානයේ එන ආත්ම ප්‍රකාශනයකිනි.

‘.......මට එක දෙයක් ඒ දවස්වලම තේරුනා. මට ජීවිතේ මඟහැරෙනවා. මඟහැරුනු ජීවිතේ හොයන්ඩ මම එළියට බහින කොට හරහට වැටෙන්නේ මගේ ශරීරය. මම මගේ ශරීරයට ආදරෙයි.. හැම රෝම කුපයකටම.. ඒ හින්දා මට ඒක මාරු කරන්ඩ බෑ, තාක්ෂණය මොන තරම් දියුණු උනත්, බුද්ධාගමට අනුව කුණු ශරීරය...බම්බුව තමයි. මම මොකටද මාව දරාගෙන ඉන්න කැඩෙන බිඳෙන මගේම ප්‍රතිබිම්බයට කුණු ශරීරය කියන්නෙ? සමහරු කියනවා ගෑනුන්ට ප්‍රශ්න නෑ. ලෝකේ පළමු වැනියට ගෑනියෙක් අගමැති වුනේ ලංකාවෙ.

මට  ඕනේ මනුස්සයෙක් වෙන්ඩ. ඒකට මම මගේ ශරිරය මරලා දාන්ඩ  ඕන. නැත්නම් පිරිමියෙක් බවට පරිවර්තනය වෙන්ඩ  ඕන. නමුත් මට ඒක කරන්ඩ බෑ. ඔය ප්‍රශ්නෙ ගැලිලා ඉන්න කාලේ තමයි මට විශ්ව මුණ ගැහෙන්නේ. මම විශ්වට කීවා මට  ඕන ඔයගොල්ලෝ වගේ ඉන්ඩ.. ඔයගොල්ලෝ වගේ ඉන්ඩ .. ඔයගොල්ලෝ වගේ බාර් එකට ගිහිල්ලා පොඞ්ඩක් වෙරි වෙන කොට දේශපාලනේ ගැන කතා කරන්ඩ, නාට්‍ය ගැන කතා කරන්ඩ, කවි ගැන කතා කරන්ඩ..... ජීවිතේ ගැන කතා කරන එකත් ජීවත්වෙන එකේම කොටසක්!...’

එම සිද්ධිය අලලා ඇය විසින් සිය නිර්මාණාත්මක ප්‍රකාශනයක් පුරුෂමය භාෂාව වෙනුවට ශාරීරික භාෂාව පමණක් යොදා ගනිමින් වේදිකාව තූළට ගෙන ඒමටද අභිලාෂවත්ය.


දියෝනිස් දෙවොල පාමුල සිට නවකතාව හා ස්ත්‍රියගේ ද්වීතිකභාවය



නදීකාගේ දියෝනිස් දෙවොල පාමුල සිට නවකතාව විනෝදාශ්වාදන කර්මාන්තය තුළත් කලා සංස්කෘතික භාවිතාවන් තුළත් ස්ත්‍රිය ලිංගික සූරාකෑමට හා රැවටීමට ලක්වන ආකාරය නිර්දය ලෙස හෙළිදරව් කරනු ලැබූ නවකතාවකි. එමෙන්ම එය ස්ත්‍රීපුරුෂ සම්බන්ධතාවන් තුළ හා ලිංගිකත්වය තුළ වන ප්‍රති විරෝධතාවන් අතිශය විවෘත ලෙස මෙන්ම අව්‍යාජ ලෙස හෙලිදරව් කරනු ලැබූ නවකතාවකි. ඒ පිළිබඳ විචාරක අදහස් අතරින් උපුටා ගනු ලැබූ කොටස් කිහිපයක් මෙලෙසය.



‘මේ නවකතාව වනා හී මුළුමනින් ම නිදහස් හා නිර්භීත ලියැවිල්ලකි. කතුවරිය පිරිමින්ගේ හා ගැහැනුන්ගේ අගනා සළුපිළි ගලවා ඔවුන් නිරුවත් කර තිබේ. මෙහි දී පාඨකයාට මුණගැසෙනුයේ ඇත්ත පිරිමියා හා ඇත්ත ගැහැනිය යි.

ප්‍රධාන ධාරා හතරක් යටතේ ඇයගේ නිර්මාණ ව්‍යායාමය විග්‍රහ කළ හැකි ය.

(i) කලා ක්ෂේත්‍රයේ පවත්නා ලිංගික සූරාකෑම

(ii) මුරණ්ඩු තරුණියකගේ ජීවන චර්යාව

(iii) පරාජිත ගැහැනියකගේ මානසික ව්‍යාධිය

(iv) වර්තමාන දේශපාලනය සමාජයට බලපාන අන්දම.

කලාව ව්‍යාපාරයක් බවට පත් වූ තැන් සිට එය දූෂ්‍ය විය. ලිංගික සූරාකෑම යනු එහි එක් විලාසයකි. එය තදින් බලපාන්නේ ස්ත්‍රියට ය. මුල් කාලයේ සිංහල නාට්‍යයක හෝ සිංහල චිත්‍රපටයක හෝ රඟපෑම සඳහා නිළියක සොයා ගැනීම දුෂ්කර විය. රුක්මණී දේවිය පවා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ බලවත් විරෝධතා මැද ය. එහෙත් අද වන විට මුදල් මත නිරුවත අලෙවි කිරීම ද සිදු වේ. මේ නවකතාවේ ප්‍රධාන චරිතය බවට පත් වන්නේ රංගනය හඹා යන තරුණියකි. ඇය කුඩා කල සිට ම චිත්‍රපට පිළිබඳ සිහිනයක පැටලී සිටී.

කතුවරිය මුල්තැන දී ඇත්තේ චරිතය මුහුණ දෙන ගැටුම්වලට හා ඈ ඊට දක්වන ප්‍රතිචාරවලට ය. පිටිසර ගමකින් නගරයට සංක්‍රමණය වන තරුණිය ජීවත්වීම පිළිබඳ ගැටුමට ද මුහුණ දෙමින් රංගනය පසුපස හඹා යයි. ඇය චරිතයක් වෙනුවෙන් තම ශරීරය අලෙවි කරයි. සියලූ අධ්‍යක්ෂවරු ඇය පාවිච්චි කරති. නිෂ්පාදකවරු ඇය රැගෙන හෝටල්වලට යති. නළුවෝ ඇයට බලපෑම් කරති. එහෙත් කිසි තැනෙක දී ඇයට යුක්තිය ඉටුවන්නේ නැත. ඇයට චරිත ලැබෙන්නේ නැත. කුමක් වුව මේ තරුණිය සටන අත්හරින්නේ නැත. ඇය තමාගේ ද සහභාගිත්වය සහිත නාට්‍ය කණ්ඩායමක වැඩ කරයි.

පිරිමි නිරුවත් කරන නවකතාවක්- රන්ජන් අමරරත්න- දිනමිණ




‘ළදරු වියේ සිත පිළිසිඳි තරුවක්ව බැබළීමේ සිහිනය අත්නොහරින ඇයට යුවතියක, පෙම්වතියක, ගැහැණියක, ලිංගික ශ්‍රමිකාවක, අනියම් බිරියක, විරහිනියක, රංගන ශිල්පිනියක ආදි වූ විවිධ භුමිකා තුළ හැපෙමින්, ගැටෙමින්, විඳිමින්, විඳවමින් ජීවිතය හඹා යන්නට සිදුවෙයි. මේ ලාංකීය ස්ත්‍රී ජීවිතයේ ප්‍රසිද්ධියේ සාකච්ඡාවට නොගැණෙන පැතිකඩක් පිළිබඳව දකින්නට, කියවන්නට, තේරුම් ගන්නට පාඨකයා කැඳවන සාහිත්‍යමය ප්‍රයත්නයකි. පාඨක ඇල්ම බැල්ම බිඳ හෙළන දුබලතාද ඇති මුත්, නාගරික සාහිත්‍ය, කලා, මාධ්‍ය ලෝකය සමඟ ගැටෙන ස්ත්‍රී භුමිකාවක් පිලිබඳව නිර්භයව සාකච්ඡා වන කෘතියක් ලෙසත්, බහුතර පුරුෂ අධිපතිවාදී මත දරන සාහිත්‍ය ලොවට ස්ත්‍රී මැදිහත්වීමක් ගෙන එන කෘතියක් ලෙසත් දියෝනිස් දෙවොල පාමුල අගය කිරීමට රිසි වෙමි.’

දියෝනිස් දෙවොල පාමුල ජීවිතය කියවීම- තරුරසී



එය පිරිමි ලිංග ශුද්ධෝත්තම ඊනියා සුචරිතවාදීන්ට යැවූ බරපතල අසනිසැරයකි. මතුපිටින් පෙනෙන සුචරිතවාදී පිරිමින්ගේ හිස්කමේ සළුව නිරාවරණය වී ඔවුන්ගේ ව්‍යාජ පෞරුෂයන් සුන්නද්දූලි වෙන අතර සිංහල බෞද්ධ ස්ත්‍රීන්ගේ සිල් රෙදිවල ඇති යටි වේදනාවට නව අර්ථයක් ගෙනෙනු ඇත.

දියෝනිස් දෙවොලට නදී විසින් යැවූ අසනි සැරය- සාලිය ඉඳුරුවිතාන : රාවය

1 comment:

  1. මම පුරුශවාදී සහ ස්ත්‍රීවාදී කියන වචන ගූගල් සර්ච් කළා. පුරුෂවාදය වැරදියි ස්ත්‍රීවාදය හරි කියන තැන තමයි කියන්නෙ. මේ දෙකම එකම කාසියෙ දෙපැත්ත නම් එකක් හොඳ වෙන්නත් අනික නරක වෙන්නත් හේතුව මොකක්ද
    මේ දෙකම ස්වෝත්තමවාද බවයි මගෙ හැඟීම. මාතෲත්වය හා පවුල් වගකීම් ප්‍රතික්ශේප කරන ස්ත්‍රීවාදය මානව විරෝධී වෛරවාදයක් බවත් මට හැඟෙනව.
    පුරුෂවාදය තුලින් ස්ත්‍රිය සමාජ ආර්ථික ක්‍රියාවලින් ඈත්කරන වහල්වාදයක්.

    ReplyDelete