" ශාන්තුවර ඓතිහාසිකත්වයක් නැති
පසුබිමක
ප්‍රේම ශිෂ්ඨාචාරයක්
ගොඩ නැගෙන්න
විදියක් නැහැ..."
සංකීර්ණ රූපක දෙකක් එකට හමුවීමේ දයලෙන්තික සාධකයේ මිනිස් විෂය ප්‍රසාරණය කරන අතර, එය ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර චල්‍ය වෙන නිෂ්පාදකයක් මෙන්ම එය නිර්මාණශීලී විශ්වීය දිවියක් නිර්මාණය කරයි. කිසියම් මානසික හා භෞතික නිෂ්පාදන විධි ක්‍රමයක් නැති පසුබිමක මිනිස් සබඳතා මිනිසාගේ සාරයෙන් ඈත් කරනු ලබයි. ස්වභාව ධර්මයා අනෙකා කරගෙන නිෂ්පාදන මාදිලි ව්‍යුහයකට අවතීර්ණ වූ ප්‍රාග් මානවයා ඓතිහාසික යුග යුග ගණනාවක් පසුකර කාර්මීකරණය හරහා සයිබර් අවකාශයට අවතීර්ණ වී සිටී.
මෙවන් තාක්‍ෂණික ධනවාදී යුගයක මිනිස් සබඳතා යනු තවදුරටත් අධ්‍යාත්මික සාධකයක් නොවේ. මෙවැනි යුගයක අනුකෘතීන් බවට පත්වූ මිනිස් ආත්මයන් මානුෂික සාරයන් විතැන් කරනු ලබයි. ආත්මීය මිනිස් සබඳතා යනු නිෂ්පාදන මානසික ප්‍රපංචයන් එකතුවක ආදරණීය අධ්‍යාත්මික ප්‍රතිඵලයකි. මිනිසා යනු සමාජ සම්බන්ධතා ජාලයක එකතුවක් යන අරුත්බර සාධකය විගලිත කරමින් ආත්මීය හුදෙකලා ලෝකයක් තුළට ගුහාගත වී ඇති නූතන මිනිසාට නව දේශපාලන දිසානතියක් සොයාගත යුතුව ඇත. පවතින දෘෂ්ඨිවාදයන් අසමත් වූ මෙවන් මොහොතක, විකල්ප දෘෂ්ඨිවාදී දේශපාලන අඛ්‍යානයක් ගොඩනැගිය යුතු අතර එය සාමුහික සජීවි සිතන පතන මිනිස් ක්‍රියාකාරිත්වයක් මගින් කළ යුතුව ඇත.
ආත්මීයත්වයෙන් පිරිපුන් මිනිස් සබඳතාවයක් යනු ශ්‍රේෂ්ඨ කලා කෘතියකටත් වඩා නිර්මාණශීලීය. එය අන්‍යෝන්‍ය අවබෝධයක් මත ගොඩ නැගෙන නිෂ්පාදන ක්‍රියාදාමයකි. එය අරුත්බර ජීවිතයකට අරුණළු වැටීමකි.
ඉතින් ශාන්තුවර ඓතිහාසිකත්වයක් නැති පසුබිමක ප්‍රේම ශිෂ්ඨාචාරයක් සොයා යන නදීකා බණ්ඩාරගේ ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ කෘතිය සමාජ ගතකර ඇත්තේ ආත්මීය මිනිස් සබඳතා වෙළඳපොළ විසින් නිර්දය ලෙස පාලනය කරන විපරිත කාල වකවානුවකය. මෙම කෘතිය දැනටමත් ඊනියා සංස්කෘතික සුචරිතවාදීන්ගේ ග්‍රහණයට හසුවී මේ ‘ළමා’ සමාජයට කියවීමට නුසුදුසු පොතක් ලෙස බෞතිස්ම වී ඇත.
‘අනෝලි’ යනු කෘතියේ ප්‍රධාන ස්ත්‍රී භූමිකාවයි. ඇය නිළියක් වීමට ගොස් අනේක විධ ජීවන අත්දැකීම්වලට හසුවී මානසික මෙන්ම ශාරීරික ලිංගික හිංසනයන්හි ගොදුරක් බවට පත්වෙන ගැමි ස්ත්‍රියකි. සියළුම මිනිස් සබඳතා ව්‍යාජයක් මෙන්ම රැවටිලිකාරී බව ද, විවාහ සංස්ථාව හුදු පුරුෂාධිපත්‍යයක් මත පමණක් වූ, ව්‍යාජ ව්‍යුහාත්මක බැඳීමක් බව ඇය ඇගේ ජීවන ඇත්දැකීම් තුළින්ම අවබෝධ කර ගනී.
‘‘මගේ ලෝකය පරාජයන්ගේ මළ සිරුරු වලින් පිරුණු යුධ පිට්ටනියක් සේ මට දැනෙමින් පැවතිනි. මා කළ යුත්තේ කුමක්ද යන්න මම ම සොයා ගත යුතුව තිබේ. තවදුරටත් මා ප්‍රේමය විශ්වාස නොකළෙමි. පිරිමින් විශ්වාස නොකළෙමි."
- පිටුව 293-
ජීවිතේ න්‍යායන් වලින් තේරුම් ගත නොහැකි දෙයක් යැයි පරණ ආගමික අදහසකි. කොතරම් න්‍යායයන් දැන සිටියත් සමහර සංකීර්ණ සංසිද්ධීන් ජීවිතේ ඇතුළට කඩා වදින්නේ අප දැන සිටි න්‍යායන් අසමත් කරමිනි. එහෙත් ජීවිතය තේරුම් ගැනීමට යම් විද්‍යාවක ආභාෂයක් අවශ්‍ය යැයි මා විශ්වාස කරමි. අප ජීවත්වන පසු ධනවාදී යුගයේ සත්‍ය හා ප්‍රබන්ධය අතර බෙදුම් රේඛාව මැකී ගොස් අප හීනෙකින් වත් නොසිතූ‘ප්‍රේමය’, ‘මිනිස් සබඳතා’ ඉතාමත් සිල්ලර මිලට පදික වේදිකාවන් මත ගොඩගසා ඇත.
ගමෙන් නගරයට එන අනෝලීලාට මිලදී ගන්න වෙන්නේ වෙළඳපොළ විසින් තොරොම්බල් කරන මේ සිල්ලර ප්‍රේමයයි. ඉතින් කිසිම සමාජ විද්‍යාවක ආභාෂයක් නොලැබූ අනෝලීලාට ඔළුව ගහ ගන්න වෙන්නේ මේ සිහින දේශයේ සිහින හොරු අරන් ඉන්න හිස් කුහරයකයි.
අප ප්‍රේමය ගැන පවසන විට එයින් ගම්‍යමාන වන්නේ පරිපූර්ණත්වයට යා හැකි ස්වර්ගීය අදහසකි. අපි එහි අක් මුල් සොයා ජීවිතේ ගැඹුරට පියාසර කරමු. ආදරය ගැන මැවෙන සංකල්ප රූප සංයුක්ත කවියක් සේ මානසික ප්‍රබෝධ චිත්තාවක් හරහා සමෝධාන වෙයි. ප්‍රේමය එතරම්ම අචින්ත්‍යයි. ඒත් ‘අනෝලි’ ප්‍රේමය විශ්වාස නොකරයි. පිරිමින් විශ්වාස නොකරයි. ඒ අප ජීවත්වන මේ වෙළඳපළ තාර්කනය විසින් අනෝලියට අත්කර දුන් තුවාලයයි.
‘‘කෙනෙකුට ආලය කිරීමේ ගැඹුරු ලලාසාව ඔහු සතුවූයේ නැත. ආරම්භයේ දී පැවති බලාපොරොත්තු සහ සිහිනයන්හි මරණයේ දෙණ මා ඉදිරිපිට විය. මම සාංකාවන්ගෙන් පීඩිත වූවෙමි. වැළැක්විය නොහැකි අවාසනාවන්ත ඉරණම ඉදිරියේ මම රහසින් වැළපුනෙමි."
- පිටුව 47-
ප්‍රේමය කේන්ද්‍රීය කරගෙන ගොඩනැගුණු බයිබල් සන්දර්භයට අනුව, දෙවියන් වහන්සේට නිශ්චිත හැඩයක් නැත. ස්ත්‍රී - පුරුෂ භාවයක් ද නැත. දෙවියන් වහන්සේ කිසිම අර්ථකථන ලෝකයකට ගෙන ආ නොහැකි බහුවිධ ප්‍රපංචයකි. දෙවියන් වහන්සේ මිනිසාව නිර්මාණය කළේ තමන් වහන්සේගේම ස්වරූපය අනුවය. ඒත් මානව සංහතියේ පාපයට හේතුව‘ඒව’ නම් වූ ස්ත්‍රිය යැයි විවිධ අර්ථකථන දී ස්ත්‍රියගේ උදාරත්වයට හානි කර ඓතිහාසිකත්වයක් ගොඩනැගූ පාරභෞතික සමාජ කතිකාවට පුරුෂ මූලික සමාජය වගකිව යුතුය යන්න දේශපාලනික කාරණාවකි.
‘‘ගැහැණිය තෘප්තියක් ලබන්නේ පිරිමියාගේ ලිංගයෙන් නොවන බව දැන ගැනීම පිරිමියකුට ඇති කරන්නේ ප්‍රංශ මහා විප්ලවයකටත් වඩා විප්ලවයකි."
- පිටුව 43-
ප්‍රංශ ස්ත්‍රීවාදී දාර්ශනික ස්ත්‍රියක් වන ‘සීමන් ද බියුවාර්’ පෙන්වා දෙන්නේ ස්ත‍්‍රීය ස්ත්‍රියක් ලෙස වායුගෝලයට මුක්ත නොවන බවය. මෙලොවට ජනිත වන ජීව විද්‍යාත්මක ජීවියා ඉපදෙන්න පෙර ඓතිහාසික පාරභෞතික සංකථන ලෝකය විසින් ගැහැනිය හා පිරිමියා යන සහසම්බන්ධය ගොඩනගන බවය. සන්දර්භීය විමුක්ති දේවධර්මයට අනුව ද ස්ත්‍රිය පුරුෂයා තුළින් පුරුෂයා ස්ත්‍රිය තුළින් සම ස්වරත්වයේ අලංකාරිකත්වයෙන් දේව රාජ්‍යය ගොඩනැගිය යුතු බවත්, එසේ නොමැතිව එක් අයෙක් අනෙකාට වඩා උසස් හෝ පහත් වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවන බවත්ය. එහෙත් ස්ත්‍රිය යනු ආගමික හා සංස්කෘතික සාධකයන් මත පදනම් වූ පුරුෂ කේන්ද්‍රිය ගොඩනැගීමක් මෙන්ම ආගමික හා සංස්කෘතික ආයතනයන්වල නායකත්වය පුරුෂ මූලික නිසා ස්ත්‍රිය පුරුෂයාගේ අනෙකා බවට නිතැතින්ම පත්වී ඇති බවය. ස්ත්‍රිය ලිංගිකත්වය යනු නීරස දෙයකි. ඇය ඉල්ලන්නේ ඇගේ පියා විසින් ඇයට අහිමි කළ ආත්මයයි. ස්ත්‍රිය ගේ මේ සදාකාලික ආත්මීය වේදනාව පිරිමියකුගේ ශුක්‍රාණුවලින් පිරවිය නොහැකිය.
‘‘ආලය එය ආදරය දක්වා සුපුෂ්පිත වන්නේ කලාතුරකිනි. එක්කේ එය අපගේ අනියත බිය සමග පටලවා ගිවිසුම් සහ කොන්දේසිවලට යටකොට මරා දමමු. නැතහොත් ගෘහස්ත වගකීම් ගොන්නක ඒකාකාරිත්වයේ ජීවන රටාවට හිස නම එය ක්‍රමයෙන් සියදිවි නසා ගනියි. නැතහොත් එය අපව පාරේ අතහැර දමා යනු ඇත. ආලය හඳුන්වන්නේ අපූර්වත්ව පමණි."
- පිටුව 210-
පෞද්ගලික දේපල සංරක්‍ෂණය කිරීමට ස්ත්‍රී සේවය අවශ්‍ය වූ දා සිට ස්ත‍්‍රී ලිංගයේ පෞද්ගලික අයිතිය ද පුරුෂයාට අයිති විය. පුරුෂයාට දේපළ ද, සංකල්ප නිෂ්පාදන අයිතිය ද අයිති වූ අතර ස්ත්‍රියට අයිති වූයේ ආත්මීය ගර්භාෂීය වේදනාවයි. ස්ත්‍රියගේ මේ සදාකාලික වේදනාව පූර්ව භාෂාත්මක හා පූර්ව සංස්කෘතික ඓතිහාසික සංසිද්ධීන්වල එකතුවක් නිසා, එහි අවිඥාණික අනෙකා සොයායෑම තුළින් ස්ත්‍රියට පූර්ණත්වය කරා යා හැකි මුත් එය වේදනාත්මක අරගලයකි.
‘‘කෙනෙක් බාහිර ලෝකය පිළිබඳව ප්‍රතිබිම්බයන් අභ්‍යාන්තරික ලෝකයට අරගෙන ගියාට පස්සේ ඒ තුළින් තමයි කෙනෙක්ගේ ලෝකය ගොඩ නැගෙන්නේ. මිනිස්සු දෙන්නෙක් කවදාවත් සමාන නොවෙන්නේ ඔවුන් ලෝකය ග්‍රහණය කර ගන්නේ එකම ආකාරයකට නොවන නිසා. ලෝකය මම දැක්කේ වර්ණවත් වූ දෙයක් හැටියටයි. ත්‍යාගශීලී සුවදායක තැනක් හැටියටයි. එසේම ප්‍රේමණීය විදියටයි. එකේ ප්‍රතිඵලයක් විදියට මම ජීවත් වුණේ වර්ණවත් සිහිනයෙන් පිරුණු ප්‍රේමණීය ලෝකයකය. මෙතෙක් කල් මගේ ශරීරයේ ජීවත් වූ එම වර්ණවත් මිහිරි ප්‍රේමණීය ආත්මය මියගොස් ඇත්තේය. ඉතිරිව ඇත්තේ ශරීරය පමණකි. මම ලෙසින් පැවති යමක් අවසන් වී ඇත. එය ඉරුණු සායම් ගිය රෙදි කඩමල්ලක් සේ මා අසලට වැටී තිබිණි."
- පිටුව 302-
ගොරබිරුම් දෙන මහා සාගරය එක් නිමේෂයකට නිසල වී ඇත. සිතිජයෙන් එහා ලෝකයන් ගැන කිසිම පරිකල්පණීය අදහසක් නැති අතර මුළු ලෝකයම කළු වී නිශ්ශබ්දතාවයේ දොංකාරයෙන් මුළු ආත්මයම දෙදරුම් කා ඇත. විවිධ ෆැන්ටසිවලින් ව්‍යාජ විඥානයන් සහිත ප්‍රබන්ධ ලෝකයක මරණ මංචකයේ සිටින ‘අනෝලීලා’ මේ මායාවේ ගොදුරු බවට පත්වී ඇත.
ස්ත්‍රියකගේ ගර්භාෂීය වේදනාව ප්‍රතිෂ්ඨාපනය වී ඇත්තේ ඓතිහාසික විඥාණයන් එකක් මත එකක් අතිපිහත වීමෙන් පූර්ණ භාෂාත්මක අවිඥාණික සංසිද්ධීන්වල මානසික ප්‍රපංචයන් ගොඩනැගීම්වල ප්‍රතිඵලයක් ලෙසය. ස්ත්‍රියකට ස්ත්‍රී පීඩිත ආත්මයෙන් ගැලවිය හැක්කේ ඇයගේ අවිඥාණික අනෙකා පිළිබඳ සවිඥාණික වීමෙනි. ස්ත්‍රියකගේ ෆැන්ටසි සංකල්ප රූපයෙන් අඩක් නොව පූර්ණ වශයෙන් අසමත් වූ විට එය වෙනත් සන්දර්භීය සංක්‍රමික මානයකින් පූර්ණ විඥාණ අවකාෂයක් හරහා ජීවන ස්ථාවරත්වයක් රැගෙන යා යුතුය.
‘‘සමහරක් දේවල් වලට තියෙන්නේ වෘත්තාකාර ගමන් මාර්ගයකි. ඒවා පටන් ගන්ත තැනටම ආපසු පැමිණෙයි. ඔව්! මම නැවතත් දැරියක බවට පත්ව සිටින්නෙමි. ඔව්! ආලය ඇත්තේ ශරීරය තුළ නොව සිහිනය තුළය. ඇතැම්විට එය රතියක් බවට පත්විය හැකි වුවත් රතියෙන් නිදහස් වූ පූර්ණ ස්වාධීන ආත්මයක ආලය ජීවත් වෙයි. ආලය කරන්නෝ කිසිදු ගිවිසුමකට බැඳිය යුතු නැත. සිහිනයේ දිවිගෙවන්නෝ ආලවන්තයෝය. එදිනෙදා කර්කශ ජීවිතය සිහිනයෙන් අපව අවදි කරයි. වැදගත් වන්නේ අධික පරිභෝජනය, බලය, සමාජ චාරිත්‍රයන්යයි පවසයි. එහෙත් ආලය. ඒ කිසිවක් කිසිවිටක සහතික නොකරයි. සමහරක් විට එය කිසි දිනක හමු නොවන්නට පුළුවනි. සිහිනයකින් ආරම්භ වන එය සිහිනයක් ලෙසින්ම මිය යයි."
- පිටුව 306-
බහුමාණී ආඛ්‍යාන ශෛලියකින් තොරව ඓන්ද්‍රීය ආකෘතියකින් නදීකා බණ්ඩාර වාචික සංඥා පද්ධතියක් හරහා වාර්ථාමය පඨිතයකින් ස්ත්‍රී ආත්මීය අනුරුපණය විවරණය කර ඇත. එය පිරිමි ලිංග ශුද්ධෝත්තම ඊනියා සුචරිතවාදීන්ට යැවූ බරපතල අසනි සැරයකි. මතුපිටින් පෙනෙන සුචරිතවාදී පිරිමින්ගේ හිස්කමේ සළුව නිරාවරණය වී ඔවුන්ගේ ව්‍යාජ පෞරුෂයන් සුන්නද්ධූලි වෙන අතර සිංහල බෞද්ධ ස්ත්‍රීන්ගේ සිල් රෙදිවල ඇති යටි වේදනාවට නව අර්ථයක් ගෙනෙනු ඇත.
ජීවිතය පරිපූර්ණ සුසංවාදයක් ලෙස දැනගත නොහැක. එහි හැම විටම විසංවාදී විෂමතා අවකාශයක් මත චලනය වෙයි. ප්‍රේමයේ වෛවර්ණ මිණිකැට වල දිස්නය මායාවක් බවත්, ප්‍රේමයෙන් තොර ලිංගිකාරම්මණය හිස් රික්තයක් බව නදීකා මේ කෘතිය හරහා ගම්‍යමාන කරයි.
'මම' යනුවෙන් පැවති සියළු සාධකයන් අනන්‍යතාවයන් ‘මම’ මෙහෙයවන අධිකාරිත්වයන් ඉතා ඛේදනීය ලෙස අත්පත් කරගෙන ඇති අතර, අපෙන් ගිලිහී ගිය මේ ආත්මීය නිදහස නැවත අත්පත් කරගත හැකි වන්නේ සබුද්ධික දේශපාලන සවිඥාණිකත්ව සාමුහික ක්‍රියාදාමයක් තුළිනි. ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ ‘අනෝලි’ ඉල්ලා සිටින්නේ ඒ නැවුම් බලාපොරොත්තුවයි.
‘‘එහෙත් ආලය.. ! එය වෙනත් දෙයකි.
එය ඇත්තේ ශරීරයෙන් ඔබ්බෙහිය."
- පිටුව 306-
සාලිය ඉඳුරුවිතාන
No comments:
Post a Comment