Wednesday, May 27, 2015

දියෝනිස් දෙවොල පාමුල නාඳුනන ගැහැණිය හමුව



දියෝනිස් දෙවොල පාමුල සිට නාඳුනන ගැහැණිය හඳුනා ගැනීම මැයින් මින් දශක දෙකකට පෙර එළිදුටු තිලිනා වීරසිංහගේ නාඳුනන ගැහැණිය කෙටිකතා සංග්‍රහය හා නදීකා බංඩාරගේ දියෝනිස් දෙවොල පාමුල සිට නවකතාව පිළිබඳ කතිකාවක් මැයි 24 වන දින සවස 3.00ට මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදී පැවැත්විණි.


 
සමාජ ක්‍රියාකාරිනියක, ලේඛිකාවක මෙන්ම කිවිඳියක වන කුමාරි කුමාරගමගේ, ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාර,  කිතුසර සඟරාවේ සංස්කාරක මහින්ද නාමල්, සංගීතවේදී අජිත් කුමාරසිරි, ලේඛකයකු, පරිවර්තකයකු මෙන්ම දේශපාලන ක්‍රියාධරයකු වන ජෝ සෙනෙවිරත්න මෙහිදී  අදහස් දක්වනු ලැබූහ.ලේඛිකා, සමාජ ක්‍රියාකාරිනී තිලිනා වීරසිංහද මෙහිදී සිය අදහස් දැක්වීය. කතිකාව මෙහෙයවීම ලේඛිකාවක, කිවිඳියක මෙන්ම සමාජ සංස්කෘතික ක්‍රියාකාරිනියක වන තරුරසී ප්‍රනාන්දු විසින් සිදු කරනු ලැබිණි.

 






දියෝනිසස් සහ රෝමියෝ




ප්‍රාථමික රංගය ගෝත්‍රික යුගයෙ දරුවන්ට කතාන්දර කීමේ තැනින් ආරම්භ වී නාට්‍ය කලාව බවට පත් වන්නෙ සශ්‍රීකත්වයට අධිපති දෙවියන්ට කරන වතාවතක් හැටියට. ග්‍රීසියෙ දියෝනිසස් වගේම ඉන්දියාවෙ සෝම දෙවියනුත් එහෙමයි. සොකරි නැටුවෙ පත්තිනිට. ඈ සශ්‍රීකත්වයේ දේවතාවියක්. අලූත් සහල් මංගල්‍යයත් එක්ක තමයි සියලූ ශාන්ති කර්ම කෙරුණෙ. ග්‍රීසියේ මිදි අස්වැන්නත් නෙලලා ඒවයින් වයින් හදලා තමයි දෙවියන් සමග එක්වන මාධ්‍යය විදිහට යොදා ගත්තෙ.

ඒත් ලංකාවෙ මේ වන විට තියන කලාව ඊට පරස්පරයි. සංස්කෘතික ප්‍රාග්ධනය එකතුවෙන්නෙ පන්සලට. කලාවට සංස්කෘතික ප්‍රාග්ධනය එකතු වෙන්නෙ නෑ. නච්ච ගීත වාදිත විසූක දස්සන කලා විරෝධී මතවාදයක් ථෙරවාදය විසින් රජ කරවලා. ඉතින් බඬේ බත් නැතිව  පුකේ ගූ නැතිව තමයි දියෝනිසස්ට පූජා පවත්වන්න වෙන්නෙ. ඒ දෙවොලට ඇතුල් වෙන්න ලැබෙන්නෙ නෑ. නදීකා බංඩාරගෙ දියෝනිස් දෙවොල පාමුල සිට දෙවොල පාමුල ඉඳන් ලියන කතාවක් වෙන්නෙ ඒකයි. සරස්වතිය ඉස්සරහා දොරෙන් එනකොට ලක්ෂ්මී පෑල දොරින් පැනලා යනවා කියලා කතාවක් තියනවා. ලක්ෂ්මී කියන්නෙ කාසි වැසි වස්සවන දේවතාවියක්. මෙහෙම කාසි වස්සවන දෙවිවරු යුරෝපයෙ නෑ. අපිට දැන් බුදු කෙනෙකුත් ඉන්නවා කාසි විසි කරන. මිනිස්සු හිතන්නෙ අහුල ගන්න කියලා. ධනවත් වෙන්න කියලා. ඒත් ඒකෙන් කියන්නෙ සියල්ල අත හරින්න, විසි කරන්න කියලා. සල්ලි ලැබෙනවා කියලා කඩවල්වල ලාෆින් බුද්ධ තියන් ඉන්න එක ජනෝන්මාදයක් වෙලා.

ලෝකෙ කලාකරුවො මූලික ප්‍රවර්ග දෙකක් ඉන්නවා. එක් කොටසක් කොමිටඞ් ආටිස්ලා. අනෙක් කොටස කමිෂන්ඞ් ආටිස්ලා. කොමිටඞ් ආටිස්ලා කරන්නෙ තමන්ට  ඕනෙ දේ. කමිෂන්ඞ් ආටිස්ලා පුරස්කාරවලට තමා කලාව කරන්නෙ. කමිෂන් එකට. මේ වෙනකොට ලංකාවෙ විනෝදාශ්වාදන කලාවන් ඉඳලා විකල්ප, ප්‍රවනතාත්මක කියන කලාවන් පවා එහෙමයි. තමන්ගෙ ආත්මීය ප්‍රශ්න වෙනුවට රටේ තියන ඉෂූස් ගන්නවා. තමන්ගෙ විපරීත ආශාවන් හෝ සංකල්ප ටිකක් අනුපානෙට දාලා රටේ තියන ඉෂූස්වලින්, අනුන්ගෙ ප්‍රශ්නවලින්  සෙට් එකක් ගහනවා. විශේෂයෙන් ලංකාවෙ නවපරපුරේ විකල්ප සිනමාව එතන තියෙන්නෙ. යුද්ධයෙ සෙට් එක තමයි වැඩිපුරම ගැහුවෙ. ඊළඟට ලංකාවෙ ස්ථාපන කලාව වගේම හැපනින් තියටර් නිර්මාණත් මෙතනයි තියෙන්නෙ. මේ විකල්ප කලා ව්‍යුහයේ සම්බන්ධතා ජාලයත් විනෝදාශ්වාදන සංස්කෘතියෙ සම්බන්ධතා ජාලය වගේම තවත් අධිපති ප්‍රභූ ව්‍යුහයක්. නිර්ප්‍රභූත්වය කතා කරනවා. ඒත් ප්‍රභූ. මේවට එරෙහිව තමයි ප්‍රතිකලාවන්, ඩාඩා ව්‍යාපාරය, ප්‍රතිකවිය බිහිවුණේ. ඒත් ඒවත් මෙහෙ පාවිච්චි කරන්නෙ ප්‍රභූත්වයට. අධිපතිත්වයට.

අතිරික්ත ශ්‍රමය මතයි, විවේක බුද්ධිය මතයි කලාව ගොඩ නැගෙන්නෙ. අතිරික්ත ප්‍රාග්ධනය ඒකට අවශ්‍යයයි. අතිරික්ත නිෂ්පාදනය මතයි ඒ පදනම් වෙන්නෙ. විනෝදයට, කීර්තියට කලාව කරපු මධ්‍යම පංතිකයන්ගෙන් කලාව පංති සංක්‍රමනය සඳහා යොදාගත් පරපුරකට විතැන් වීමෙන් සල්ලිවලට කලාව කරන පිරිසක් බිහි වුණා. ඒ වගේම කලා-කම්කරුවො බිහිවුණා. බඩගින්නෙ කලාව කරන පිරිසකුත් බිහි වුණා. මේ බඩගින්නෙ කලාව කරන අයට ප්‍රභූන් ඉදිරියෙ වාසල කවටයන්, අන්දරේලා වෙන්න වෙනවා. බොන තැන්වල බඩගින්නෙ එක එකාගෙ අරක්කු බොමින් බයිට් වෙන්න වෙනවා. මේ තත්වය මත කලාවට එන ගැහැණුන්ට වෙන්නෙ දියෝනිස් දෙවොලෙ අනෝලිට වෙච්ච දේ. ගජමන් නෝනගෙ ඉරණමත් මේකමයි. කලාවට ආදරේ කරන පිරිමින්ටත් ගණිකාවො වෙන්න වෙනවා පැවැත්ම වෙනුවෙන්.

ඉතින් මේ ව්‍යාජ කලාවෙ අධිපති ව්‍යුහය තමා නදීකා බංඩාර අපට මුණ ගස්වන්නෙ. ඔස්කාර් වයිල්ඞ් කියනවා කලා කෘතියක් රසවිඳීම කැඩපතක් ඉදිරියට යාමක් වැනිය කියලා. කැඩපතින් අපිට පේන්නෙ අපේම මුහුණ. දියෝනිස් දෙවොල කියෙව්වහම පාඨකයට තමන්ව පෙන්න ගන්නවා. තමන්ගෙ නිරුවත. අපේ කෙලින් වෙච්ච පුරුෂ ලිගු. අපිට අනෝලිටත් එහාට ගිහින් කතුවරියගෙ ශරීරය කියවෙනවා. ගැහැණියක් ගතක් ලිවුවහම පාඨකයා කියවන්නෙ ඒ ගැහැණියගෙ ගත. පිරිමියගෙ යථ පෙන්වන මේ කැඩපත නිරුවතින් තමාට අභිමුඛ වන පිරිමි පාඨකයාට නදීකා අල්ලනවා. පේන්නෙ කෙලින් වෙච්ච පුරුෂ ලිගු සහිතව හෙලූවෙන් ඉන්න තමාව. ඒත් කන්නඩිය හාෆ් වේ මිරර් එකක් කරගෙන පාඨකයා උත්සාහ කරන්නෙ කන්නාඩිය අල්ලාගෙන සිටින කතුවරියගේ නිරුවත, ඇගේ ගත වගේම, ඇගේ රතිය, රුචි අරුචිකම්, ඇගේ රමණයන්ගේ ඉතිහාසය කැඩපත අතරින් දකින්න. ඒත් ඇය කියන්නේ ඇගේ ආත්මය දකින්න කියලයි.

ගැහැණු පාඨකයාටත් මේ කැඩපතින් තමාව පිළිබිඹු වෙනවා. ඒත් ඇයත් සංකේතීය පටිපාටියට අනුව පත්තිනි අම්මලා වෙන්න යාමෙන් රෙද්දෙ තුත්තිරි ගලවලා අනෝලිව වේසි කරනවා. ඒ හරහා කතුවරියව  අනෙකා කරනවා. කෘතියේ ප්‍රති කලාත්මක ස්වභාවය නිසා නොයෙකුත් ආකාරයෙන් කලාත්මක ලක්ෂණවලින් තොරවීම් හා සංස්කරණ දුර්වලතා ගැන කියමින් හැමෝම ඉවත හැරෙනවා. තමන්ගෙ නිරුවත මෙයින් පෙනෙන නිසා ඒ දිහා බලන්න බෑ. අහක බැලෙනවා. නදීකා මේ කෘතියෙදි කරන්නෙ පිරිමියගෙ ඇට දෙකෙන් අල්ල ගන්නවා කර කියාගන්න, ගැලවෙන්න, දඟලන්න බැරි වෙන්න. අනෝලි රෙද්ද කඩලා දානවා. අනෝලිගෙ නෙමේ රෙද්ද කැඩෙන්නෙ අපේ. ඒකත් ටිකෙන් ටික නෙමේ එකපාරට දඩස් ගාලා. ඒ නිසා අපිට ශාංගාරාත්මකව සමාරෝපනය වෙන්න බෑ. අපිව තදාත්ම විඝටනය වෙනවා. සමාරෝපනය වුණොත් අපි තිරිසනුන් වෙනවා.

පරිකල්පනීය ලෝකයක අතරමං වූ, සංකේතීය පටිපාටියට අනුගත නොවූ නිසි පරිදි අංග හරණය නොවූ පුංචි පිරිමියක වන් දැරිවියකගේ බොහීමියානු ගමනක් තමා මේ කෘතිය තුල තියෙන්නෙ. ඒත් අවජාතක බොහීමියානු බවක් මිසක් මේ පසුගාමිත්වය තුළ වෙන දෙයක් තියෙන්න බෑ. ඒක අංග විකලයි. විපරීතයි.

යතාර්ථවාදී යුගයෙන් පස්සෙ නූතනවාදී යුගයෙදි භාෂාවේ සියලූ වටිනාකම් ප්‍රශ්න කෙරෙනවා. විට්ගන්ස්ටයින් කියන ආකාරයටම භාෂාව නිවාඩුවකට හැරෙනවා. එවිට වචන හිස්. අර්ථ විරහිතයි. භාෂාව හරඹයක් බවට පත් වෙනවා. සිරගෙයක් වෙනවා. නාමපුවරු විතරයි. භාෂාව නිවාඩුවකට හැරිලා. බෝඞ් එක විතරක් තියනවා. ආදරය. බෝඞ් එක විතරයි. අම්මලා ළං කර ගන්න කියන, වාහෙලා පළල් කරන්න කියන කකුල් පළල් කරගන්න මේ බෝඞ් එක උස්සනවා. ඒත් අනෝලි දන්නවා මේ බෝඞ් එක විතරයි කියලා. මුකුත් නෑ කියලා. න්‍යායාත්මකව කොහොම වුණත් භාවිතාවෙන්, ජීවිතෙන් අනෝලි දන්නවා භාෂාව නිවාඩු ගිහින් කියලා.

ආදරය නමැති පරිකල්පනීය ව්‍යුහය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, කලාව කියන පරිකල්පනීය ව්‍යුහය සම්බන්ධයෙනුත් භාෂාව නිවාඩු ගිහින් කියලා අනෝලි අවබෝධ කරගන්නවා. පරිකල්පනීය ලෝකෙ ආදරය ස්පර්ශ කරන්න බැරි තැනක තියෙද්දි ඇයට පිරිමින්ගෙ යථත් තමාගේම යථත් හමුවෙනවා. පිරිමියාගෙ ශුක්‍රාණු පහ කිරීමේ අවශ්‍යතාව. සිදුරක අවශ්‍යතාවය. බඩගින්න, මුදල්. පරිකල්පනීය විශ්වයෙ තියන කලාවේ යථ. මුදල්. ඉතින් ඇය ඒ වෙනුවෙන් කකුල් පළල් කරනවා. ඒත් පරිකල්පනීය ලෝකය ප්‍රේමය දල්වන්නෙ නැති නිසා ඇගෙ යෝනිය තෙත් වෙන්නෙ නෑ. ඇයට වියළි යෝනිය ඉරාගෙන පුරුෂ ලිංගයන් ඇතුල් වෙද්දි පරිකල්පනීය ප්‍රේමය වෙනුවට ප්‍රේමයේ යථ මුණ ගැහෙනවා. කලාවෙත් යථ මුණ ගැහෙන්නෙ ඒ විදිහටමයි. වියළි යෝනිය විනිවිදගෙන පුරුෂ ලිංගයක් ඇතුල් වෙද්දි ඇය සමෝධානය කරන්නෙ පරිකල්පනීය පියාගෙන් ඇයව වෙන් කළ දිනයට. ඒ සාංකාවට. ඇයත් පියාත් අතර වැටුණ ගල්දොර කරා.

ඒත් පරිකල්පනීය පියාගෙ විශ්වයෙ සිරකාරියක් වුණු දැරියක් ප්‍රේමයත්, කලාවත් පිළිබඳව පරිකල්පනීය විචිත්‍ර චින්තාවක සිරගත වෙලා. ඇය කලාව වෙනුවෙන් තමාගෙ ශරීරය පාවා දුන්නට කලාව පාවා දෙන්නෙ නෑ.

ඇය ඉන්නෙ සදාතනික නිද්‍රාවක. ස්ලීපින් බියුටි නින්දට වැටෙන්නෙ මායාකාරියකගෙ සාපයකින් ඉඳිකට්ටක් ඇනීම නිසා. ඇයව ඇහැරෙන්න නම් ඇයට සැබෑවට ප්‍රේම කරන කුමාරයෙක් ඇවිත් ‘සැබෑ ප්‍රේමයෙ පළමු හාද්ද’ දෙන්න  ඕනෙ. මේ ශීතහාරක නිද්‍රාවෙන් ඇය ඇහැරෙන්නෙ අවුරුදු දාසයෙදි. මේ පරිකල්පනීය කුමාරයා නැතිව අනෝලි නින්දට වැටිලා. ශීතහාරක නිද්‍රාවක. නිර්මදතාව, යෝනිය තෙත් නොවීම, විවට නොවීම හඳුන්වන වෛද්‍ය පදය ෆ්‍රිජිටිඩි කියන්නෙ මේ හේමන්ත නිද්‍රාව. ඇය සිහින දකිනවා. නමුත් වියළි තෙත් නොවුණු යෝනිය ඉරාගෙන බහින පුරුෂ ශීශ්නයන්, ආදරයෙන් තොර විපරීත කාම විප්‍රකාරවලින් ඇයට යථ මුණ ගැහෙනවා.

ඒ පරිකල්පනීය ප්‍රේමයෙ යථ විතරක් නෙමෙයි පල්ල ගිය රටක පරිකල්පනීය කලාවෙත් යථ. එය පියාගේ පරිකල්පනීය ලෝකය තරම් මිහිරි නෑ. අතිශය ඝෝරයි.

මේ කෘතිය තුළ තියන මූලිකම දෙය තමයි සියලූ පුරුෂ කේන්ද්‍රීය සුචරිතවාදයන්ගෙන් කැඩෙන ගමන් ස්ත්‍රීවාදයෙ තියන ශුද්ධෝත්තමවාදයෙනුත් කැඩිලා වෙන් වෙන එක. ස්ත්‍රීවාදය ඉක්මවා පශ්චාත් ස්ත්‍රීවාදය කරා යාමක් එක් අතකින් තිබුණත් පශ්චාත් ස්ත්‍රීවාදයෙ තියන නව ලිබරල් අදේශපාලනයෙන් ඇය වෙන් වෙනවා. ස්ත්‍රීවාදයෙ ශුද්ධෝත්තමවාදයෙන් වෙන්වීම හරහා මේ කෘතිය ස්ත්‍රී ප්‍රඥාමාර්ගයක් සළකුණු කරනවා.

ස්ත්‍රී ශුද්ධෝත්තමවාදය නිතරම පැසිස්ට් විභවයක් සහිතයි. එහිදී අපිට ස්ත්‍රියගේ හිස්ටරිකභාවය, ජීවන වංචාව, වසඟය, ඒ වගේම ස්ත්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයයි, ස්ත්‍රිය නොපවතී, ස්ත්‍රියගේ ප්‍රමෝදය නොපවතී වගේ දේවල් කතා කරන්න බෑ. ඉතින් මේ ස්ත්‍රී ශුද්ධෝත්තමවාදයෙන් වෙන්වීම හරහා කතුවරිය සළකුණු කරන ප්‍රඥාමාර්ගය වැදගත් ආරම්භයක්.

කේ. කේ. සමන් කුමාර 


Monday, May 25, 2015

මරියාගේ රමණයට නොනිල වාරණ

මරියාගේ රමණය මීළඟ දර්ශණය සඳහා අගනුවර ප්‍රකට රංග ශාලාවක් අත්තිකාරම් මුදල් ගෙවා යළිත් වෙන් කිරීමට යාමේදී,  මෙවැනි නාට්‍ය සඳහා ශාලාව ලබා දෙන්නේ ඇයිදැයි එම රඟහලේ පැවති මින්පෙර ප්‍රදර්ශන වාරය නැරඹූ ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කළ බව හා පැමිණිලි කළ බව, සංවිධායකවරයාට පවසමින්, එම ශාලා කළමනාකරු ශාලාව ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

 මරියාගේ රමණය  ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ  අවසරය ලද නාට්‍යයකි.



Tuesday, May 5, 2015

මරියාගේ රමණය දර්ශන අනුග්‍රහ සහ දර්ශන වෙන්කිරීම්





රෝමියෝ ජූලියට්ලා දර්ශන වෙන් කිරීම්



"නාඳුනන ගැහැණිය" හා "දියෝනිස් දෙවොල පාමුල සිට" කතිකාව 24දා





තිලිනා වීරසිංහගේ නාඳුනන ගැහැණිය කෙටිකතා සංග්‍රහය හා නදීකා බංඩාරගේ දියෝනිස් දෙවොල පාමුල සිට නවකතාව පිළිබඳ කතිකාවක් මැයි 24 වන දින සවස 3.00ට මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදී පැවැත්වේ.

 
 සමාජ ක්‍රියාකාරිනියක, ලේඛිකාවක මෙන්ම කිවිඳියක වන කුමාරි කුමාරගමගේ, ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාර සහ  කිතුසර සඟරාවේ සංස්කාරක මහින්ද නාමල් මෙහිදී කෘතීන් පිළිබඳව අදහස් දක්වනු ඇත. මෙහෙයවීම තරංගනී රෙසිකා විසින් සිදු කෙරේ.

ඉන් අනතුරැව මෙම කෘතීන් පිළිබඳ විවෘත සංවාදයක් පැවැත්වෙනු ඇත. 

Monday, May 4, 2015

මරියාගේ රමණය ගැන ඔත්තු බලන්න



https://www.facebook.com/pages/Mariage-Ramanaya/1546737958913632?fref=nf







පිරිමි නිරුවත් කරන නවකතාවක්!






මේ තරම් නිදහස් හා නිර්භීත ලියැවිල්ලක් සහිත සිංහල ලේඛිකාවක අපට මුණගැසී නැත. ඇය කිසිදු සම්ප්‍රදායකට යටත් නැත. කිසිදු තහංචියකට ද යටත් නැත. ප්‍රසිද්ධ නවකතාකරුවන් මඟ හරින දේවල් ඇය විසින් හෙළිදරව් කරනු ලැබේ. ප්‍රසිද්ධ කලාකරුවන් සඟවන දේවල් ද ඇය විසින් හෙළිදරව් කරනු ලැබේ. නදීකා බණ්ඩාර බලාපොරොත්තු දල්වා ගතහැකි රැඩිකල් ලේඛිකාවකි.




නදීකා බණ්ඩාරගේ ප්‍රථම නවකතාව කලඑළි දක්වා තිබේ. එය “දියෝනිස් දෙවොල පාමුල සිට” යනුවෙන් නම් කර ඇත. හැබෑවට ම නම්‍; මේ නදීකාගේ ප්‍රථම නවකතාව පමණක් නො ව; පළමු පොත ද වන්නේ ය. කර්තෘගේ වෙනත් කෘති යටතේ නාට්‍ය පිටපත් කිහිපයක් දක්වා ඇතත් ඒ එකක්වත් මුද්‍රණය වී නැත. මේ නවකතාව වනා හී මුළුමනින් ම නිදහස් හා නිර්භීත ලියැවිල්ලකි. කතුවරිය පිරිමින්ගේ හා ගැහැනුන්ගේ අගනා සළුපිළි ගලවා ඔවුන් නිරුවත් කර තිබේ. මෙහි දී පාඨකයාට මුණගැසෙනුයේ ඇත්ත පිරිමියා හා ඇත්ත ගැහැනිය යි.


ප්‍රධාන ධාරා හතරක් යටතේ ඇයගේ නිර්මාණ ව්‍යායාමය විග්‍රහ කළ හැකි ය.
(I) කලා ක්ෂේත්‍රයේ පවත්නා ලිංගික සූරාකෑම
(II) මුරණ්ඩු තරුණියකගේ ජීවන චර්යාව
(III) පරාජිත ගැහැනියකගේ මානසික ව්‍යාධිය
(IV) වර්තමාන දේශපාලනය සමාජයට බලපාන අන්දම.

කලාව ව්‍යාපාරයක් බවට පත් වූ තැන් සිට එය දූෂ්‍ය විය. ලිංගික සූරාකෑම යනු එහි එක් විලාසයකි. එය තදින් බලපාන්නේ ස්ත්‍රියට ය. මුල් කාලයේ සිංහල නාට්‍යයක හෝ සිංහල චිත්‍රපටයක හෝ රඟපෑම සඳහා නිළියක සොයා ගැනීම දුෂ්කර විය. රුක්මණී දේවිය පවා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ බලවත් විරෝධතා මැද ය. එහෙත් අද වන විට මුදල් මත නිරුවත අලෙවි කිරීම ද සිදු වේ. මේ නවකතාවේ ප්‍රධාන චරිතය බවට පත් වන්නේ රංගනය හඹා යන තරුණියකි. ඇය කුඩා කල සිට ම චිත්‍රපට පිළිබඳ සිහිනයක පැටලී සිටී.

කතුවරිය මුල්තැන දී ඇත්තේ චරිතය මුහුණ දෙන ගැටුම්වලට හා ඈ ඊට දක්වන ප්‍රතිචාරවලට ය. පිටිසර ගමකින් නගරයට සංක්‍රමණය වන තරුණිය ජීවත්වීම පිළිබඳ ගැටුමට ද මුහුණ දෙමින් රංගනය පසුපස හඹා යයි. ඇය චරිතයක් වෙනුවෙන් තම ශරීරය අලෙවි කරයි. සියලු අධ්‍යක්ෂවරු ඇය පාවිච්චි කරති. නිෂ්පාදකවරු ඇය රැගෙන හෝටල්වලට යති. නළුවෝ ඇයට බලපෑම් කරති. එහෙත් කිසි තැනෙක දී ඇයට යුක්තිය ඉටුවන්නේ නැත. ඇයට චරිත ලැබෙන්නේ නැත. කුමක් වුව මේ තරුණිය සටන අත්හරින්නේ නැත. ඇය තමාගේ ද සහභාගිත්වය සහිත නාට්‍ය කණ්ඩායමක වැඩ කරයි.



මේ චරිතය ගොඩනඟා ඇත්තේ සැබෑ රංගනය යනු කුමක්දැ’යි සොයන ගවේෂණශීලී තරුණියක ලෙස ය. ඇය ස්ටැනිස්ලාවුස්කිගේ “මැතඩ් ඇක්ටින්” හදාරයි. තරුණියට අවශ්‍ය තරුවක් වීමට නො වේ. සමාජයට දැනෙන රංගනයක නිරත වීම ඇගේ ඉලක්කය වේ. එහෙත් ඇය සහභාගී වන සියලු නාට්‍ය අසාර්ථක වෙයි. එක නාට්‍යයක මංගල දර්ශනය අවසන් වන්නේ පොලිසියෙන් ය. ඊළඟ නාට්‍යය දුවන්නේ නැත.

කතුවරිය කලා ක්ෂේත්‍රයේ පවත්නා යථාව හෙළිදරව් කරයි. පිරිමින්ගේ ලිංගික ක්‍රියා අප්පිරියාවෙන් යුතුව නිරූපණය කරයි. චිත්‍රපට සිහිනයක පැටලී සිටින කබරයාගේ සිට නාට්‍ය කලාව ජීවිතය කරගත් ගයා දක්වා සියලු පිරිමි සමඟ ඇය නිදි වදිති. ඈ ඇතැම් පිරිමියකු හා යහන් ගතවන්නේ කෑම වේලකට ය. තවත් පිරිමියකු හා යහන් ගතවන්නේ ඇනෙක්සියේ කුලිය ගෙවා ගන්නට ය. එතැන ප්‍රේමයක් නැත. ආදරයක් නැත. මේ යාන්ත්‍රික ස්වභාවය හා ගැහැනියකට එය දැනෙන ආකාරය කතුවරිය ඉතා සියුම් ලෙස විග්‍රහ කරයි. ලිංගික ජීවිතය ව්‍යාවච්ඡේදනය කරන්නට ඇය සමත් වෙයි.

එක අතෙකින් කතා‍වේ ප්‍රධාන චරිතය විස්මිත ය. ඇය මුල සිට ම ගොඩනැ‍ඟෙන්නේ සම්ප්‍රදාය විරෝධී රැඩිකල් ගැහැනියක ලෙස ය. කුඩා කල ඇයට අම්මාගේ ආදරය නිසි ලෙස ලැබෙන්නේ නැත. ඇය ගණන් පන්තිය කට් කර චිත්‍රපට බැලීමට යයි. තාත්තාගෙන් ගුටි කයි. එහෙත් ඈ සිය ඉලක්කය අත්හරින්නේ නැත. ඇය අභියෝග භාරගෙන ඊට නො බියව මුහුණ දෙන එඩිතර තරුණියකි.

ප්‍රධාන චරිතයට ආගමක් නැත. විනයක් නැත. පිළිවෙළක් ද නැත. ඇය වරක් තමන්ගේ වැරැදි ලයිස්තු ගත කරයි.
1. රාත්‍රියට ඇලුම් කිරීම.
2. පිළිවෙළක් නැතිවීම.
3. එක් එක් වර්ගයේ කාරයන්වලින් බසිනු බවට පටපිටාවෙන් ආරංචි ලැබීම.
4. ආගමක් නැතිවීම.
5. දඩාවතේ ගිය පූසියකගේ පැටියකු හදන්නට තීරණය කිරීම.
(හතර පරිච්ඡේදය - පිටුව 109)

ප්‍රධාන චරිතයේ රැඩිකල්භාවය හා වීරත්වය පමණක් නිරූපණය කළේ නම් එය පැතලි චරිතයක් වීමට ඉඩ තිබිණි. එහෙත් කතුවරිය මේ චරිතයේ සියලු විලාසයන් නිරූපණය කරයි. අවසන් ලෙස පාඨකයාට මුණගැසෙන්නේ සංකීර්ණ තරුණ ජීවිතයකි. අනාථ වූ පූස් පැටියකු හදාගන්නා තරුණිය එම පැටවාගේ අකල් මරණය වෙනුවෙන් බොහෝ ශෝක වෙයි. ඇය ඉල්ලා සිටින ප්‍රේමය හා ආදරය ගබ්සා සිදුවීම් දෙකක දී හොඳින් නිරූපිත ‍ය. ඈ කුසෙහි වැඩෙන කළලය හා කතා කරයි. ගබ්සා කාමරයට ගිය කල එතැනින් පැන යයි. ඈ දෙවරක් ම ගබ්සාවට මුහුණ දෙන්නේ පෙම්වතුන්ගේ බලහත්කාරය නිසා ය. මේ සිදුවීම්වල දී ඇය නඟන වේදනාව අතිශය සංවේදී ලෙස දක්වා තිබේ.

මේ කතාවේ තවත් විශේෂත්වයක් වන්නේ අප මුහුණ දෙන සමාජ යථාර්ථය සමඟ හොඳින් ගැට ගැසී තිබීම ය. බොහෝ නවකතා ආරම්භ වන්නේ දුකෙන් ය. අවසන් වන්නේ සතුටෙන් ය. දුක දිනා ජයගත් හපන්නු එම කතාවල සිටිති. නදීකා ගොතන්නේ එබඳු සුරංගනා කතාවක් නො වේ. බරපතළ ගැටුම් රැසකට මුහුණ දෙන ප්‍රධාන චරිතය ජීවිතයේ වටයක් ගොස් නැවත වැටෙන්නේ ද පරණ වළටම ය. ඇය ජයග්‍රහණ ලබන්නේ නැත. හැම දෙනාට ම ජයග්‍රහණ ලැබිය හැකි නො වේ. නාට්‍ය පුහුණුවීමකින් ‍ආරම්භ වන කතාව යළිත් නාට්‍යයකින් ම අවසන් වේ.
“අපි අලුත් නාට්‍යයක් කරමු!”
“කොහොම ද?” නිශාගේ ආත්ම විශ්වාසය බිඳුණු හඬ මට ඇසිණි.
“දන්නෙ නෑ... කොහොම හරි.”
“වැඩක් වෙයි කියල හිතනව ද?”
“දන්නෙ නෑ! ඒත් අපි කරනවා” මම ස්ථිර හඬින් පැවසුවෙමි.
(දහය පරිච්ඡේදය - පිටුව 308)

කතාවේ එන ප්‍රධාන චරිතය සිය ජීවිත කාලය තුළ දී මුහුණ දෙන ගැටුම් හා අර්බුද හේතුවෙන් විශාදයට පත් වේ. ඇය ඉදිරියෙහි විසැඳුම් තුනක් තිබේ.
1. සාම්ප්‍රදායික විවාහ ජීවිතයට ඇතුළත් වී හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම.
2. සෝප් ඔපෙරා වෙළෙඳ ලෝකයට නැවත රිංගා ගැනීම.
3. සිය දිවි නසාගැනීම.

මෙහි එන ප්‍රධාන චරිතය මුහුණ දී ඇති අර්බුද හා පරාජයන් මත අලුත් ජීවිතයක් ආරම්භ කිරීම දුෂ්කර ය. සෝප් ඔපෙරා ජීවිතය ගැන ඇයට ඇත්තේ බලවත් කලකිරීමකි. ඇය විසින් තෝරා ගනු ලබනුයේ දිවි නසාගැනීම ය. එය අතිශය වේදනාකාරී අවස්ථාවක් ලෙස නිරූපණය වේ.

“මම ඩොලී හමුවීමට ගියෙමි. ඇය රාත්‍රී කෑම සකස් කරමින් සිටියා ය.

“ඩොලී මා හඳුනා ගත්තා ය. මට ජීවත්වීමට ශක්තියක් නොමැති බව ඩොලීට පැවසුවෙමි. ජීවිතය සම්බන්ධයෙන් මා ගත යුතු තීරණ තුන ගැන ඇයට පැවැසුවෙමි. එයින් මගේ සිත් ගත් තීරණය වන්නේ සිය දිවි නසාගැනීම ය. ඩොලී නිහඬ ව සිටියා ය. මම හඬන්නට පටන් ගත්තෙමි. අගාධය පතුලේ ම මිය යා යුතු බව මට පැහැදිලි ය.”
(දහය පරිච්ඡේදය - පිටුව 301)

කතුවරිය සිය චරිත ගොඩනැ‍ඟෙන පරිසරය හා ඊට අදාළ විෂයයන් ගැන මනා අධ්‍යයනයකින් ප්‍රබන්ධය ගොතා තිබේ. නාට්‍ය කලාව, මනෝ විද්‍යාව, දේශපාලනය, නූතන ආර්ථිකය හා තවත් විෂයයන් පිළිබඳ ඇගේ දැක්ම ඉතා නිවැරැදි ය. වරෙක ඈ කියා සිටින්නේ ආර්ථිකය නිදහස් නැති ව අපට නිදහස් මිනිසුන් විය නො හැකි බව ය. තව වරෙක ඈ කියා සිටින්නේ පිරිමියා ස්ත්‍රීන්ගේ ශරීර ඔස්සේ ආලය කරන බව ය. ගැහැනිය ප්‍රේමය පිළිබඳ සිහිනයක පැටැලී සිටින බව ය. තවත් වරෙක ඈ කියා සිටින්නේ කෙසේ ‍වුව තමන් ගැහැනුකම ගැන සන්තෝෂයට පත්වන බව ය. කතුවරියගේ දැක්ම ඔස්සේ ජීවිතය පිළිබඳ අලුත් වැටහීමක් ලද හැකි ය.

දියෝනියස් දෙවොල පාමුල සිට කෘතියෙහි තවත් විශේෂතාවක් වන්නේ එදා පැවැති ප්‍රධාන දේශපාලන සිදුවීම් චරිතවලට බලපාන ආකාරය විග්‍රහ කිරීමට වෑයම් කිරීම ය. යුද්ධය, ඇඳිරි නීතිය, බෝම්බ පිපිරීම් සමාජ ජීවිත කම්පනයට පත්වන හැටි කතුවරියගේ අවධානයට ලක් වේ.

“ප්‍රභාකරන්ගේ බෝම්බ ප්‍රහාරයකින් අප මිය යා හැකිය යන්න නිශ්චිත කාරණයක්ව පැවැතිණි. එහෙත් එය අවසන් විය. එය ඉතිහාසය එක් අතකින් නිමා වීමකි. මා ඉපදුණේ ද වැඩුණේ ද තරුණ වූයේ ද ඔහුගේ එම සිහිනය මැද ය. ඔහුගේ ඊළාම් සිහිනය මිය ගොස් ඇත. එපරිද්දෙන් ම ඔහුගේ සිහිනය සමඟ කිසිදු සම්බන්ධයක් නැති මගේ සිහිනය ද මිය ගොස් ඇත.”
(හත පරිච්ඡේදය - පිටුව 261)

පිරිමින්ගේ ලිංගික විකාර මේ කෘතියේ දී නිර්දය විවේචනයට ලක් වේ. එය පිරිමින් නිරුවත් කිරීමක් ලෙස ද දැක්විය හැකි ය. කබරයා, සුරේ, ශාන්, කරුණානායක, සමන් තුඩුගල, කණිෂ්ක, සාගර, කාලිංග ඇතුළු තවත් බොහෝ පිරිමි විකෘති කාම සිතැත්තෝ වෙති. ඔවුන්ගේ රෙදි ගලවා, වෙස් මුහුණු ඈතට වීසිකොට සම්පූර්ණ නිරුවත් මිනිසා දැක්වීමට කතුවරිය සමත් වෙයි. එය පිරිමින් ලැජ්ජාවට පත්කරන නිරූපණවලින් සමන්විත කෘතියකි.

මේ කතාව දිග හැරෙන්නේ කතුවරියගේ ආත්ම කථනයක් ලෙස ය. නවකතාවේ සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම තුට්ටුවකට ගණන් නො ගන්නා ඇය නිදහස් හා ස්වාධීන ලෙස කතාව ගලා යන්නට ඉඩ හරියි. ආකෘතිවල හිරවීමක් නැත. සදාචාරයේ සීමා - මායිම් ළඟ නැවතීමක් හෝ පසුබෑමක් හෝ නැත. ඈ කිව යුත්ත හැඟීම් - දැනීම් ඇතිව කියාගෙන යයි. නූතන නවකතාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වූ දෙබස්වලට හෙවත් සංවාදවලට කතුවරියගෙන් ඉඩක් ලැබෙන්නේ නැත. එහි සංවාද ඇත්තේ දෙකක් - තුනක් පමණි. එහෙත් ඇය ගොඩනඟන ආඛ්‍යානය ඉතා ශක්තිමත් ය. ඇයගේ ප්‍රකාශන රීතිය සාම්ප්‍රදායික නවකතාව සමඟ සංසන්දනය කළ නො හැකි ය.

නවකතාවේ ප්‍රධාන දුර්වලතාවක් වන්නේ අනවශ්‍ය වග - විස්තර මගින් පාඨකයා වෙහෙසට පත් කිරීම ය. ප්‍රධාන චරිතයට මුණගැසෙන සෑම චරිතයක ම ඉතිහාසය, වර්තමානය හා අනාගතය විස්තර කිරීම මහා විකාරයකි. කතුවරිය එය දිගට ම සිදු කරයි. තවත් දුර්වලතාවක් වන්නේ සිංහලයේ සරල ව්‍යාකරණය පවා ඇතැම් විට නො සලකා හැරීම ය. එය භාෂා භාවිතය සම්බන්ධයෙන් හොඳ පුරුද්දක් නො වේ. මේ කෘතිය සංස්කරණයකට ලක් කළේ නම් මැනැවැයි අපට සිතේ.

දියෝනියස් දෙවොල පාමුල සිට නවකතාව ස්ත්‍රීවාදී ප්‍රබන්ධයක් ලෙස ද හඳුන්වා දෙන්නට පුළුවන. ස්ත්‍රීවාදයෙහි කිසිදු වැරැද්දක් නැත. එය මාක්ස්වාදී සාහිත්‍යයෙහි ම ඉදිරි පියවරකි. මෙබඳු කෘතියක් එළිදැක්වූ සංහිඳ ප්‍රකාශන ආයතනයට කෘතඥතාව පළ විය යුතුය. රුපියල් 500/- ක් ගෙවා දියෝනියස් දෙවොල පාමුල සිට නවකතාව මිලට ගැනීමෙන් කිසිදු පාඩුවක් සිදු නො වේ.


රන්ජන් අමරරත්න
දිනමිණ 2014-10-15

http://samakayawate.blogspot.com/2014/10/blog-post_14.html

26 comments: 

  1. කියවලාම බලන්න ඕනෙ. ස්තූතියි නලින් අයියේ මේ පොත් ඔත්තුවට
    Reply

    Replies







    1. මූ නම් කාවෙක්ද කොහෙද ? උඹ පොත් කනවද?
    2. දුප්!
      උඹ තකහනියෙ වැඩ සේරම නවත්තලා "සිහින සිහින සහ සිහින" පොත හොයන්න ගියෙත් ඒක මලවලා දවල්ට කන්ඩ වෙන්ටැ නේද?

  2. //"රුපියල් 500/- ක් ගෙවා දියෝනියස් දෙවොල පාමුල සිට නවකතාව මිලට ගැනීමෙන් කිසිදු පාඩුවක් සිදු නො වේ."// මෙච්චර දවස් තිබ්බ වැස්සත් නැවතුනා එක පාරටම .
    Reply
  3. රැඩිකල් ලේඛිකාවක් රැඩිකල් පොතක් .... මේ විදිහට අලුත් පොත් ගැන කියනවට ස්තුතියි ..
    Reply
  4. //රුපියල් 500/- ක් ගෙවා දියෝනියස් දෙවොල පාමුල සිට නවකතාව මිලට ගැනීමෙන් කිසිදු පාඩුවක් සිදු නො වේ.//
    මගේ ආදරනිය යක්ෂනිට වියදම් කරපු 650/=න් බල්ලන්ට ආප්ප අරන් දුන්නානම් උන් නගුට හරි වනනවා.
    Reply
  5. තවත් හොඳ පොතක් වගේ. ස්තූතියි නලින් අයියේ.
    Reply
  6. ස්තූතියි නලීන්... ස්තූතියි රන්ජන්....

    හැමදාම වගේ ලස්සන කතාවක තොරතුරු ගෙනාවට.. ඒ වගේ ම නදීකාගේ පළමු නවකතාවටත් සුභපතනවා....
    Reply
  7. ස්තුතියි නලින් අයියා.
    Reply

    Replies







    1. සුබ උපන් දිනයක් වේවා පත්තර මල්ලි
    2. සුබ උපන් දිනයක් වේවා පත්තර මල්ලි X 2

  8. බොහෝම ස්තූතියි රන්ජන්!!

    නලියා උඹ දැන් රන්ජන්ගෙන්ම ගොඩ යනවා නේද...
    Reply

    Replies







    1. මලා මට මතක තිබුනෙ මේක රන්ජන්ගෙ බ්ලොග කියල! කාලෙකට ඉස්සර නලින් අයියත් මේ බ්ලොගේ ලිවුව නේන්නම්!

  9. අද රන්ජන්ගෙන් හොඳ විවරණයක්...:D
    Reply
  10. රන්ජන්ගෙ විචාරය පට්ට!
    Reply
  11. මාක්ස් වාදී සාහිත්‍ය කියා එකක් නැත...
    මාක්ස් වාදය හුදු දේශපාලන ප්‍රගල්භයක් පමණි.. ලංකාවේ සිටි බොහේ මුග්ධ විචාරකයන් පොර සංකල්පය මැද්දේ පොරක් වීමට මාක්ස් වාදය භාවිතා කළෝය... මාක්ස් කිසිදා සාහිත්‍ය හා දේශපාලනයපැටලූ අයෙක් ලෙස මට මතක නැත....

    කෘතිය කියවන්නට පොළඹවන සුළු විචාරයකි... බලමු කියවා මිස කිසිත් කියන්නට නොහැක
    Reply
  12. කියවිය යුතුම පොතක් බවයි දැනුනේ.. ස්තුතියි..
    Reply
  13. රන්ජන් ගේ පොත් පිළිබඳ විචාර කිහිපයකින් ඔහු ගැන ගැන පූර්ව නිගමන වලට පැමිණි අයට කදිම පිළිතුරක් මෙයින් ලබා දී ඇත. ඇති සැටියෙන් දෙයක් ගැන විග්‍රහ කරන පුද්ගලයෙකු ලෙස ඔහු පෙනේ. හොඳයි මේ මේ පොත බලමු.
    Reply
  14. හැම විටම ගැහැනිය දෙස උපහාසයෙන් හා අපහාසයෙන් බලන ඇත්තන්ට හොඳ විවරණයක්. සමාජ යතාර්ථය හෙළි කළ නදීකාට වගේම මැදහත් සිතින් විචාරය ලියූ රන්ජන්ටත් ස්තූතියි.!
    Reply
  15. කියවන්න හොඳ පොතක් වගේ.
    Reply
  16. පොත අරගෙන කියවන්නම හිතුනා. එත් පොත හොයන්න යන්න වෙලාව?
    Reply