නදීකා බණ්ඩාරගේ 'තෙත් භූමි'යට කලාපය තුළ ගිලී ගිය හෝරා එකහමාරක කුරිරු කාලාවකාශය තුළ නන්වැදෑරුම් කම්පනයට ගොදුරු වූයෙමි. විලාප- ගෝරනාඩු- පොර බැදීම්- ගහමරා ගැනීම්- කෙඳිරිලි- ශාප කිරීම්... ඔස්සේ ඉතිහාසය හරහා ප්‍රාග් ඉතිහාසයික යුගය දක්වා ගමන් කරමින් සිටියෙමි.
එසඳ මිනිස් ඉතිහාසයේ පළමු කැරැල්ලේ දෝංකාරය මා හට ඇසෙන්නට විය.
ඒ ගැහැණිය විසින් පිරිමියාට එරෙහිව ගැසුවා වූ අසාර්ථක කැරලි ප්‍රයත්නයයි.
එතැන් පටන් කොට ඉතිහාසය පුරා විවිධ කාලාවකාශයන්හි විටින් විට මතු වූ නන් වැදෑරුම් (හුදකලා වූ ද, කල්ලිවාදී වූද) ගැහැනු කැරලි මර්ධනයටද, ඝාතනයටද ලක් වෙද්දී ඔවුන් නැගූ මරහඬ තැලීම්, විලාපයන් හා ශාප කිරීම්වලින් සවන් පුරවා ගෙන ම නැවත නදීකාගේ ‘තෙත් භූමි’ය වෙත සපැමිණියෙමි.
‘ලිලිත්’ද ඒ අව් අස්සේ මා මනස අරා සැරිසැරුවා ය.
මාතෘ මූලික සමාජය බිඳ වැටීමෙන් පසු ගැහැනිය අරභයා ස්ථාපිත වූ පිරිමි මතවාදයන් ව්‍යවස්ථාවක් බඳුව සියලු ආගම්හි ආගමික ග්‍රන්ථයන් තුළට අවශෝෂණය වී ශුද්ධවූ පාඨයන් බවට පත්ව, වර්තමානයේ අප ගැහැනු පිරිමි භේදයකින් තොරව ඒවා ජප කරමින් අදහමින් සිටින්නෙමු.
වේදයේ පටන් කොට බයිබලය, කුරානය, ටෝරා , ත්‍රිපිටකය හා ඒ හරහා බිහිවූ අටුවා ටීකාවන් සියුම්ව පරිශීලනය කළ හොත් ගැහැනිය පිළිබඳව මුල් බැසගත් ස්ථාපිත පුරුෂ මතය මේ කෘති සියල්ල තුළ සාම්‍යයක් බවට පත්ව ඇත.
බයිබලයට අනුව පිරිමි දරුවකු වැදූ කළ සත් දවසක් අපවිත්‍ර වන ගැහැණිය ගැහැණු දරුවකු වැදූ කළ දෙසතියක් ම අපවිත්‍ර වන්නීය.
(බලන්න- ලෙවීගේ කතාව: 12 පරිච්ඡේදය- බයිබලය)
පූජාවලියෙහි මෙසේ සඳහන් වේ...
‘ තවද, මේ සසර සමහරු පරදාරාදී වූ අකුසල් බෙලෙන් ඉපිද පියා සිය දහස් ගණන් වාරයෙහි නරක දුක් වැනි වූ ස්ත්‍රී කර්මයෙන් දුක් විඳිති. මාගේ බුදු හූ එක් කලෙකවත් ස්ත්‍රී ව නූපන් සේක.’
(පූජාවලිය- මයුරපාද පරිවේණාධිපති හිමි- පිට 5)
‘ස්ත්‍රී නම් බඩ ඇතුලේ ලා ගෙන ඇවිද්දත් රක්නා නො පිළිවන. මේ ලෝකයෙහි එක පුරුෂයකු පතා පතිවෘතතා ධර්මය ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් නැත... එසේ හෙයින් මේ ලෝකයේ ස්ත්‍රීහු නම් මෙසේ අධර්මයෙන් සමන්විතයෝය.”... ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මෙසේ ස්ත්‍රීහු නම් රැකිය නොහැකි සත්ව කෙනෙකැ’යි මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාල සේක.’
(අන්ධභූත ජාතකය- ජාතක පොත් වහන්සේ- වෙළුම 2- පිට 307)
මෙවන් වූ අතීත කතන්දර තොගයක් ‘තෙත් භූමි’ අවකාශයේ සිටි කාලය තුළ දී මගේ මතකය අවුලුවා ලීය. එසේ අවුලවා ලන්නට තරම් ප්‍රාබල්‍යය වූ නිමිති ‘තෙත් භූමි’ තුළ නිධන්ගතව තිබුණි. මුලින්ම සඳහන් කළ ආකාරයට මා කම්පනයට ලක් වූයේ මෙවන් වූ මානසිකත්වයක් තුළය. සමහර විට එය මට පමණක් පෞද්ගලික වූ අත්දැකීමක් වන්නට පුළුවන.
කෙසේ වුවද නදීකාගේ මේ රංග කාර්යය ‘නාට්‍යය’ ගණයේ ලා විමසුමට ලක් කළ නොහැකිය. එසේ කිරීමට උත්සාහ දැරීමද නිෂ්ඵලය. නමුදු සාර්ථක නිර්මාණයක් බිහි කිරීමේ ලා මූලික වන ප්‍රබල සංකල්පයක් හා එය පෝෂණය කිරීමට අවැසි වන ආම සම්පත් බහුල ව ඈ සතුව තිබිණි. විවිධ අවස්ථාවන්හිදී අති ප්‍රබල නාට්‍යෝචිත අවස්ථා අවස්ථාද සැණින් මතුව එසැණින්ය මැකී යනු ද පෙනිණි.
නදීකා හා ඒකාත්මික වූ ඇගේ සමස්ත රංග කැළ ඇගේ සංකල්පය තුළ සාමූහික මෝහනයකට ලක්ව සිටියෝය. ඔවුන් තුළින් මතු වූ ඒ ‘අමු ගතිය’ ගතියක්ම විය. මට ඔවුන් පෙනුණේ කොන්ක්‍රීට් වැඩ බිමක කාර්යාවධානයට පමණක් මෝහනය ව, අඛණ්ඩ ව වැඩෙහි නිරතව උන් ‘කුඩ්ඩන්’ සමූහයක් ලෙසමය.
ආරම්භය ‘ස්ත්‍රී සමලිංගික’ දර්ශනයක් වීම හා එය පළමු ඇසිල්ලේම රසික මනස් තුළට කාන්දු වීම හරහා සමස්ත ප්‍රකාශනය ට සිදු වූ පාඩුව හා අසාධාරණය ඉමහත් යැයි මා පෞද්ගලිකව විශ්වාස කරමි. එය කණ්ණාඩියක් පළන්දා රංග භූමිය වෙත මුදා හැරියාක් බඳු විය.
නදීකාගෙන් වෙන්කොට නිර්මාණ විමසිය නොහැකිය. එය වෙනමම කළ යුතු කාර්යයකි. කෙසේ හෝ තවත් කම්පනයක් ඉතිරිව ඇත. මෙවන් වූ නිර්මාණ වල පැවැත්මට ඉදිරියේදී අත්වන්නා වූ ඉරණම ගැන සිතන විටය. ‘තෙත් භූමි’ තව පියවරකින් දෙකකින් වියළී යනු ඇතැයි මට හැඟේ. උදාවෙමින් පවතින්නේ එම වාස්තවිකයයි.
ත්‍රිපිටකය හරිම හදිසියේ ‘ජාතික උද්දාමය’ක් බවට පත්කොට ඇත. බුදුන්ගේ දර්ශනය කෙරෙහි ඇති බැඳියාව නොව එතුළ ඇත්තේ වෙනත් යටි අරමුණකි. සමස්ත ලෝකයේම උරුමයක් වන දර්ශනයක් ‘ජාතික උරුමය’ක් කිරීමම විහිළුවකි.
අනාගතයේ යම් දිනක බොදුනු කාන්තා චරිතයන් වූ යසෝදරාව, විශාඛාව ගැන හෝ අම්බපාලි ගැන නව දැක්මකින් නාට්‍යයක් හෝ වෙන යම් නිර්මාණයක් බිහි වුවහොත්, එය... එම චරිත ගැන ත්‍රිපිටකයේ සම්මත කියවීමට පරිබාහිර වුවහොත් නිසැකයෙන්ම ජාතික උරුමයක් වූ ත්‍රිපිටකය විකෘති කොට අපහාසයට ලක් කළා ය යන පදනමේ සිට වාරණය කිරීමට මේ ඊනියා ‘ජාතික උරුම’ කතන්දරේම දඩමීමා කර ගනු ඇත.
එවිට ‘කාලාම සූත්‍රය’ ඝනීභූත වනු ඇත.
දැන් මෙය අවසන් කළ යුතුව ඇත.
‘ලිලිත්’ගේ පටන් කොට මේ මොහොතේ නදීකා දක්වාම මේ කුරිරුවේගී නැගී සිටීම්, ආම හැඟීම් මෝචනයන්, ශාප කිරීම් ඉතිහාසය පුරාම සිදු වෙමින් තිබේ. හෙටද සිදුවනු ඇත... සහ අතීතය පුරාම සිදු වුණාක් මෙන් ම විශේෂයෙන්ම මේ කොදෙව්ව තුළ එය මර්දනයට ද වාරණයටද ලක්වීමේ ඉඩකඩ වැඩි වෙනු ඇත.
මන්ද අප වේගයෙන් ආපස්සට ගමන් කරමින් සිටිනා බැවිනි.
-ගොයුම් එවරස්ට් ආරච්චිගේ
+++++++++++++++
ReplyDelete