Monday, September 17, 2018

පරාදවූ වම, සංස්කෘතික නියඟය හා ‘තෙත්භූමි’



බැලු බැල්මටම ඉහත කාරණා තුන අතරේ මෙලෝ සහසම්බන්ධයක් නැත. විශේෂයෙන්ම එකම එක දර්ශනයක් රඟ දැක්වුණු ‘තෙත් භූමි’යේ  නිර්මාණකාරිය වූ  නදීකා බණ්ඩාර පරාද වූ වමේ කොටස්කාරියක් නොවේ. අඩුම තරමින් බංකොලොත් වූ වමේ ණයකාරියක්ද  නොවේ.  එසේ නම් අපි සෑම තැනකදීම වම නැමැති මුව හමට තලන්නට සූදානම් වන්නේ ඇයි?

රෝයල් තැප්‍රොබෝනයේදී ‘තෙත් භූමි’ දුටු හැන්දෑවේ අපට පළමුව කම්පාවක් ඇතිවුණේය. දෙවනුව කෝපයක් ඇති වුණේය. තෙවනුව සතුටක් සතුටක් ඇතිවුණේය. කම්පාව ඇතිවුණේ ලාංකික සමාජයේ ස්ත්‍රී ආත්මයක ඉරණම ස්ත්‍රීන් විසින්ම නිර්මාණය කර රඟ දක්වීම විඳීමෙන්ය. කෝපය ඇතිවුණේ ශාලාවේ මුහුණු අතරේ කලා පුරෝගාමීන්, අනාගතවාදීන් තබා තවමත් දණගානා පෙරටුගාමියෙක්වත් එහි සිටිනු නොදැකීමෙන්ය.  සතුට ඇති කළේ පෙර පරම්පරාවල දකින්නට සිටි, මට පිරිමි ආත්මයක් පතනැයි පිරිමින්ගෙන්ම ඉල්ලන ගැහැනුන් වෙනුවට නූතන ලංකාව තුළ ස්ත්‍රීන් දකින්නට ලැබීම නිසාය. මේ ස්ත්‍රීන්ද කුලියට හෝ පෙනුමට ස්ත්‍රීවාදීන් නොවූ ස්ත්‍රීන් වීම සතුට දෙගුණ තෙගුණ කළේය. 

නමුත් දැන් දැන්  අපේ සිත්සතන් තුළ තුන් බියක් පැතිරෙන්නේය.  ඒ නදීකා බණ්ඩාරලා නිහඬ කිරීමේ අනතුරයි.  ඔවුන්ට අවමන් කිරීමේ අනතුරයි.  ඔවුන් විනාශ කිරීමේ අනතුරයි.  මේ තුන් බිය තුරන් කරන්නට නිර්භීත අනාගතවාදී වමක් අපට උවමනාය. නිර්මාණකරුවන් හා බුද්ධිමතුන් රස්තියාදු වෙමින් සිටින වමක් අපට උවමනාය. නායකයන් කලා රසිකයන් වූ වමක් අපට උවමනාය.

අවාසනාවකට නදීකා බණ්ඩාරලාගේ යුගයට එබඳු වමක් නැත. ඇත්තේ සංස්කෘතිය කියා අටපිරිකර උස්සාගෙන මහනුවරට ගොස් කුලවාදී පූජකයන්ගේ දෙපා ලඟ දණින් වැටෙන වාම නායකයන්ය.  කලාව රසවිඳීම වෙනුවට ඊලඟ ආත්මය කෙලින් කිරීමට භාවනා කරන නායකයන්ය.  ඒ කිසිවක් නොකරන්නේ නම් පක්ෂවලට එන නිදහස්කාමී ස්ත්‍රීන් ලිංගික වහලියන් කරගන්නා වාම නායකයන්ය. 

ලෝකයේ නූතන හා පශ්චාත් නූතන කලා ව්‍යාපාරය තුළ පෙරමුණ ගත්තේත්, ස්ත්‍රී අයිතිවාසිකම් වල පෙරමුණ ගත්තේත්  රැඩිකල් වමේ ව්‍යාපාරයේ සාමාජිකත්වයයි. එසේත් නැතිනම් එහි ආනුභාවය ලැබූවන්ය. බියටි්‍රස් වෙබ්ලා හා වර්ජිනියා වුල්ෆ්ලා නායකත්වය දුන් පුරෝගාමී ස්ත්‍රී පරපුරේ පදනම තිබුණේ රැඩිකල් වම තුළය.  එබඳු පදනමක් නැති තැනක සංස්කෘතික නියඟයන් මිස වර්ජිනියා වුල්ෆ්ලා පූදින්නේ නැත. අප මුහුණ දෙමින් සිටින්නේ මේ කටුක ඉරණමටය. ‘තෙත් භූමි’ රකින්නට කලාකරුවන්, කලාරසිකයන් හා අනාගතවාදීන් පෙළ ගැසිය යුත්තේ ඉහත කොන්දේසි මේ භූමියේ නැති නිසාය.

-නන්දන වීරරත්න 

No comments:

Post a Comment