Saturday, February 13, 2016

දියෝනිස් දෙවොල පාමුල සිට සහ මම

              

                    
දියෝනිස් දෙවොල පාමුල ලියා අවසන් කර ප්‍රකාශයටත් පත් කර ඇති නිසා පොත ගැන මට කීමට ඇති කාරණා ඉතා අල්පය. සමහරක් විට ඒ ගැන මට කීමට යමක් නැති තරම්ය. එම නවකතාවෙ ඉන්න අනෝලි සහ ඇගේ ජීවිතයට සම්බන්ධ චරිතයන්ද ඇය මුහුණ දෙන අත්දැකිම්ද ඒ ගැන ඇය දරන අදහස් ද අද මට දැනෙන්නේ මා සමග ජීවත් වී මා අත්හැර ගිය අයවුලුන් ලෙසය. එම පොත ලියන විට යම් කිසි ආකාරයක වේදනාත්මක විඳවිල්ලක්ද සමඟ වු  විශාල ආතතියක් තිබුනා. ඇතැම් විටෙක එම ආතතිය මට පාලනය කර ගත නොහැකි කරම මට්ටමක තිබුනා, පොතෙන්  වියුක්තව පිටත ඉන්න පුලුවන් සීමාව එළඹෙන තුරුම විශාල ආතතියකට මුහුණ දෙන්නට මට සිදු වුනා. 

'දරුණු ලෙස තුවාල වු පක්ෂියෙකු එසේත් නැත්නම් තටු කැඩුණු පක්ෂියෙකු ගැන ඔබට සිතෙන්නේ මොනවාද? කිසිවෙකු මගේ ගෙල සිර කරනු මට දැනේ. එම මුලු කාලයම මම හැසිරුනේ හුස්ම ගැනීමට අපහසු රෝගියෙකු සේය. ඔව් දරුණු උදාසීනත්වයේ දෑතින් මගේ ගෙල සිර වී යනු ඇතැයි මම නිසැක ලෙස සිතුවෙමි. ආශ්චර්්‍යය ගැන මට  තවදූරටත් විශ්වාසයක් නොවීය. බලාපොරොත්තුව මට කිසිවක් සහතික නොකරයි. මා කවුද සහ මා කළ යුත්තේ කුමක්ද යන්න දැන ගැනීමට මට කිසිදිනක හැකි නොවීය. පංතියක අසමත් ශිෂ්‍යාවක ලෙසින් මට මා ගැන පැහැදිලි චිත්‍රයක් නැත. මා කිසිවක් අවබෝධ කොට ගෙන නැත. සෑම මොහොතකම සිදුවන්නේ මා කැබලි වලට කැඩී විසිරි  ගොස් ශුන්‍යත්නයක සිර වීමය. අවපීඩන රෝගියෙකු සේ මම මරණයට ආශා කරන්නට පටන් ගතිමි. මගේ ස්නායු බිඳ වැටී මගේ දෙතොලග වූයේ අමිහිරි පල් රසකි. '                                
                                                   -පිටු අංක 298

      පොත ලියන විට ද එබඳු අමිහිරි පල් රසක් මට තිබුනා. 



    පොත ලියා අවසාන කරාට පස්සේ සහමුලින්ම කියලා ඉවර කරන්න බැරිවුනු මොකද්දෝ  දෙයක් ඉතිරි වෙලා තියෙනවා කියලා මට දැනෙන්න පටන් ගත්තා. නමුත් එය වචන වලට ගෙන්න තරමට මට ම අපහැදිලි වු යමක් , පොත ලියා අවසන් වීමෙන් පසුව බොහෝ දෙනෙකුට වුවමනා වුනා ඒ අත්දැකිම් මගේ අත්දැකම් ද කියලා දැන ගන්න, ඒ අත්දැකිම් මගේ ද නැත්නම් වෙන කෙනෙක් ගේද කියලා දැන ගන්න එකේ ඇති වැදගත්කම මොකද්ද කියලා ඇත්තටම මට තේරෙන්නේ නෑ.
   පොතක් ලියන එක කොයි වගේ ද කියලා කවුරු හරි ඇහුව්වොත් මට හිතෙන්නේ ඒක හරිම වේදනාකාරි අත්දැකීමක්, ඒක පහසු නෑ . චරිත , සිතුවිලි , ආවේග, හැඟීම් ජීවමය දෙයක් බවට පත් කරන්ඩ ගන්න විශාල පරිශ්‍රමයක්  වගේ දෙයක් කියලා මට දැනෙනවා. ඇත්තටම  වේදනාකාරි දෙයක් , ජිවිතේ සැත්කම් මේසයක් මත තියාගෙන තියුණු පිහියකින් අමුවෙන් කපලා කොටලා බලනවා වගේ  දෙයක්,
     මිනිස්සුන්ගේ  ජීවිත ඉරණම විසින් මෙහෙය වන්නේ නෑ. ප්‍රාග්ධනය ගමන් කරන විදිහත් එක්ක මිනිස්සුන්ගේ  ජීවිත ගැට ගැහිලා තියෙන්නෙ . අපි කොහෙද ඉන්නේ අපි මොනවද කරන්නේ අපේ සම්බන්ධකම් වලට මොකද වෙන්නේ කියන එකට අපි ජීවත් වෙන සිස්ටම් එක සෘජුව සම්බන්ධයි. ඒ හින්දා ලැජ්ජා වෙන්න ඕන කියලා මම හිතන්නේ නෑ. අපි කාටවත් වහගන්න හෙලුවක් ඉතිරු වෙලා තියෙනවා කියලා මම හිතන්නේ නෑ. අපි හැමෝටම පය ගහලා ඉන්න වෙලා තියෙනනේ ශුද්ධ වු දේවාල වල නොවෙයි.

   'ඔබට අවශ්‍ය කරන දොරක් ඇත්තේ අතනය. එය විවර කළ හැක්කේ අර පුද්ගලයාටය යනුවෙන් හමු වු සෑම පුද්ගලයෙකු මෙන්ම කාලිංග මනබන්දු ද මට පැවසුවේය. යම් අහඹු සිදුවීමකින් මගේ දෛවය අවශ්‍ය තැනට මා ගෙන යනු ඇති බවට මට සැකයක් නොවිණි. ආරංචියකට මට ගෙවීමට තිබුණේ මගේ ශරීරයෙනි. ඔවුනට අවශ්‍ය වුයේ ද ශරීරයයි. මට ද වෙනත් කිසිවක් තිබුණේ නැත.'                                                              
                                                                               - පිටු අංක 84
                                                                                  
   මිනිස්සුන්ගේ ලිංගික සම්බන්ධකම් වුනත් අතීතයත් එක්ක සම්බන්ධ කරලා හිතන්ඩ බෑ. ප්‍රේමය වුනත් එහෙමයි. මිනිස්සුන්ගේ සම්බන්ධකම් වුනත් එහෙමයි. ප්‍රේමය පැරණි අර්ථයෙන් නැවත නිපදවන්න පුලුවන් කමක් නෑ කියලා මට හිතෙන්නේ . අපට ජීවත් වෙන්ඩ සිද්ධ වෙලා තියෙන යාන්ත්‍රික  සිස්ටම් එක විසින් ජනනය කරන පීඩාව, තාමට තමා අහිමි වීම විසින් ප්‍රේමයේ සහ ලිංගිකයේ හැඩ රටාවන් සහ බල රටාවන් වෙනස් කරලා තියෙනවා. 

         මිනිස්සුන්ගේ  ජීවිත උඩු යටිකුරු වෙලා තියෙනවා උනත් අපිට අනෙකාගේ ජීවිතය විසිතුරුව පේනවා. සුපිරි වෙළඳ සංකීර්ණ හිතා ගන්න බැරි තරම් අහසට නැගලා තියෙනවා. පරිභෝජනය කරන්න ඕනෑ නම් ඕනෑ තරම් ක්‍රම ද පවතිනවා. නමුත් භයනක විදිහට මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය නොවන ගොඩාක් දේවල් කරන්ඩ වෙලා තියෙනවා. සිස්ටම් එක ඇතුළේ තියෙන මේ තිත්ත අමු ගතිය රිද්මයක් විදිහට මම දියෝනිස් දෙවොල පාමුල තියාගෙන ගියා.  
  නිදහස්කාමි සමබන්ධකම් ලංකාව වගේ රටක ගොඩනැගෙන්නේ සම්ප්‍රදායට එරෙහිව එහි බැමි පුපුරුවා හරිමින් නෙමෙයි. ඒ හින්දා නිදහස්කාමි සමිබන්ධකම් නැවතත් සේවය කරන්නේ සම්ප්‍රදායික පිරිමියාටමයි. මොකද පිරිමිි සමිප්‍රදායික  ගැහැනියක් සමග විවාහ වෙන්න ප්‍රර්ථනා කරන අතරේ නිදහස්කමි ගැහැනුන්ව ලිංගිකව භාවිතා කරනවා. එම නිසා ලංකාවෙ නිදහස්කාමිත්වයට අත් වෙලා තියෙන්නේ විපරිත තත්වයක්.

'නිදහස! සැමියා සහ ආලය මේ දේවල් එකට එකතුවන්නේ නැති රේල් පීලි වගේය. මට නිදහස අවශ්‍ය විය. මට මා සොයා ගැනීමට අවශ්‍ය  විය. විවාහ වී පවුලක් ගොඩ නැගීම පිළිබඳ ඔහුට වු බලාපොරොත්තු මා අතින් බිඳ වැටුණු නුමුදු එහි වගකීම භාර ගැනීමට මා සුදානම් නැත. මම ඊට සුදුසු ගැහැනියක් ද නැද්ද යන්න දැන ගැනීමට මට ඉඩ නොදුන් සාමාජ සදාචාර නීති ඊට වගකිව යුතුය.'                                     
                                                                              -පිටු අංක 47
                                                                   
   මම උත්සාහ කරනවා  පිරිමි විසින් ගොඩ නගපු සාහිත්‍ය ඇතුලට ගැහැනියගේ ඇහැ අරගෙන යන්ඩ; ගැහැනුන් ලිංගිකයට දක්වන සම්බන්ධය සාහිත්‍ය ඇතුලේ ගොඩනැගිලා තියෙන්නේ පුරුෂ මුලික කියවීමක්  විදිහට. ගැහැනු තේරුම් ගන්න බැරි හරිම සංකීර්ණ වස්තුවක් විදිහට තමයි පිරිමි සාහිත්‍ය ඇතුලේ  ඉන්නේ, ගැහැනු සාහිත්‍යකාරියන් පවා බහුතරයක් තමන්ගේ කියවීමි ගන්නේ එතැනින්. මට ඕන වෙන්නේ එතැනින් එලියට එන්න. විශේෂයෙන් ලිංගික තෘප්තිය පවා හැසිරෙන්නේ අධිපති කතිකාවක් ඇතුලේ. ලිංගිකය කියන්නේ ශරිරය මූලික කර ගත්ත දෙයක් කියලා හිතන එක ඇත්තටම බොහොම පරණ අදහසක් . විශේෂයෙන් ගැහැනියගේ සුරතාන්තය පිරිමි සාහිත්‍ය තුල ගොඩ නැගෙන්නේ පුරුෂමය අහැකින් ; ගැහැනු සාහිත්‍ය තුළ පවා එයම පුනරුච්චාරණය කරමින් යනවා. මේකත් එක්ක මට දිගටම අවුලක් තිබුනා. ඉතින් ඒක කරන්ඩ යන කොට මම ඉස්සෙල්ලාම කරේ අමු, මටසිලුටු නැති  විදිහට මගේ අදහස කියන්ඩ උත්සාහ කරපු එක. සමහර හැඟීම් මට ලියන්න හිතුනේ ඒ විදිහට; සමහර වචන ඒ කියන්නේ තිත් ඉරි ගහලා හංගන එහෙමත් නැත්නම් සාහිත්‍ය ඇතුලේ හංගන වචන මම භාවිතා කරා. මට හිතුනේ තිත් සහ ඉරි ගැහැව්වාම ඒ වචනනෙන් පැන නගින අමු රසය එන්නේ නෑ. සාමාන්‍යයෙන් සාහිත්‍ය කීවාම එන්නේ මෘදු , සුකොමල ලාලිත්‍ය සුචරිත සදාචාරවත් ජීවිතයෙන් පරිභාහිර මොකක්දෝ සදාචාරයක්,   ගැහැනියක් කීවමත් එහෙමයි . මට පුද්ගලිකව ඒ වගේ කෘති රසවිඳින්ඩ බෑ . කොහොම වුනත් ලිංගික සම්බන්ධකම් විස්තරතාමකව ලිවීමත් අසභ්‍ය යැයි සැලකෙන සාමාන්‍ය ව්‍යහාරයේ ඇති චවන කිහිපයක් භාවිතා කිරීමත් නිසා කොළඹ ජාතික පුස්තකාලයෙන් පොත ගැනීම ප්‍රතික්ෂේප කරා. සමහරු මාව මුණට මුණ ගැහෙන එක ප්‍රතික්ෂේප කරා. ඒවගේම සමහරු අගය කරා . සමහරු පොතට කැමති වුනා.  සමහර අය අකමැති වුනා. කොහොම වුනත් පොත රාක්ක අස්සෙ හැංගිලා තිබුනේ නෑ.  පොත එලි දැක්වීම දවසේ ආපු මගේ ඥාතියෙක් පොත එයාගේ පෙට්ටගමක් අස්සෙ හැංගුවා. අම්මා පොත කියවලා එයා ඒකට කැමති වුනත් එයාගේ දුව පොතක් ලීවා කියලා එයා කාටවත්ම කියන්ඩ ගියේ නෑ . 
     'ප්‍රභාකරන් යුද්ධයෙන්  මිය ගිය බව ආරංචිය ලැබෙන විට මා සිටියේ ගයා සමග කාමරයකය. මම වහා ඩොලීගේ නිවෙසට යන්නට පිටත් වුයෙමි. ප්‍රභාකරන්ගේ බෝම්බ ප්‍රභාරයකින්  අප මිය යා හැකිය යන්න නිශ්චිත කාරණයක්ව පැවතිනි. එහෙත් එය අවසන් වී ඇත. එය ඉතිහාසය එක් අතකින් නිමා වීමකි. මා ඉපදුනේද වැඩුණේද තරුණ වුයේද එම සිහිනය මැදය. ඔහුගේ ඊලාම් සිහිනය මිය ගොස් ඇත. එපරිද්දෙන් ඔහුගේ සිහිනය සමග කිසිදු සම්බන්ධයක් නැති මගේ සිහිනයද  මිය ගොස් ඇත.'  
                                                                           -පිටු අංක 261                                    
                                                                    
කලාවෙන් ලෝකය වෙනස් කරන්ඩ පුලුවන් ද බැරිද කියලා මට ඇත්තටම තේරෙන්නේ නෑ. සාහිත්‍යයේ එකම කාර්්‍යභාරය සමාජය යහපත් කිරීම කියලා මම හිතන්නේ නෑ. නමුත් කලා කෘතියක් ගිනි දැල්ලක් වගේ වෙනවට මම පුද්ගලිකව කැමතියි.  කොහොම වුනත් නවකතාවක් ලියන විට හෝ නාට්‍යයක් නිර්මාණය කරන විට ජීවිතයේ අඳුරු පැති ගවේෂණය කරන්න මම කැමැත්තක් දක්වනවා. කොහොමටත් ජීවිතය ඇතුලේ තියෙන අඳුරු වීදි ඔස්සේ ඇවිදගෙන ගිහිල්ලා බලන්න මම කැමතියි. දියෝනිස් දෙවොල පාමුල සිට ලියන්න මම පෙළඹෙන්නේ ඒ ආශාව ඇතුලේ.

'ආලය වනාහි වැදගැම්මකට නැතැයි පහසුවෙන් බැහැර කරවන ලද දේවල් වල පවා ජිවත්වීමේ හැකියාවයි. රඟහල කෙරෙහි  වූ මගේ ප්‍රේමයද එවැනිම වු ප්‍රේමයකි. '                                       
                                                                            -පිටු අංක 307

                                                                 
  ලුණු ගෙඩියක් පොතු අරිනවා වගේ තමයි ජීවිතය පොත්තෙන් පොත්ත ගලවලා බලන එක. මොකුත්ම නැති හිස් අගාධයකට වැටෙනවා වගේ , මේ පොත රචනා කරන කොට මම දැක්කා මගේ මනෝ ලෝකය ඇතුලේ හිස් පතුලක් නැති අගාධයක හිස්කම දරා ගන්න බැරිව ගල් ගැහැනු  තරුණ ගැහැනු ළමයෙක්,එයාට ඕන වුනේ සියදිවි නහ ගන්න , අන්තිමට එයා එයාගේ අත්දැකිම් වමාරමින් එයාව හොයා ගන්න උත්සාහ කරා. මම ඒක වචන වලට ගලපන්න උත්සාහ කලා. ඒ අත්දැකිම්  ඊනියා සෞන්දර්්‍ය රිතීන් අස්සේ හිර කරන්නේ නැතුව ඒවායේ සාරය එයටම අයත් වු හැඩයක බහාලන්න මම උත්සාහ කරා. 

     

                                                                           නදීකා බංඩාර

        

Thursday, February 11, 2016

මරියාගේ රමණය මාර්තු 19 ටවර්

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළ නදීකා බංඩාරගේ මරියාගේ රමණය  ආන්දෝලනාත්මක වේදිකා නාට්‍යය මාර්තු 19 වනදා  සවස 3.30ට සහ 6.30ට මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවීමට නියමිතය. 

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් මරියාගේ රමණය වැඩිහිටියන් සඳහා පමණක් යනුවෙන් නිර්දේශිත නාට්‍යයකි. 

පරිභෝජනවාදී සමාජය විසින් ස්ත්‍රියට යෝජනා කරන නව ජීවිතය මරියාගේ රමණය විසින් ප්‍රශ්න කරනු ලබයි. පරිභෝජනවාදී සමාජය දිගින් දිගටම අලංකාරය සහ සෞන්දර්යය ගැන මායා දර්ශන අපට සපයමින් සිටී. මෙහි ප්‍රධාන ස්ත්‍රිය බෝනික්කි ගෙදර නෝරා මෙන් සිය පවුල ප්‍රශ්න කරනු ලබයි. එහෙත් ඇය ප්‍රශ්න කරන්නේ පැරණි පවුල නොව නව පරිභෝජනවාදී නුතන පවුල තුළ ඇති අරාජිකත්වයයි. පරිභෝජන සමාජයක් තුළ සොයා යන ද්‍රව්‍යමය තෘප්තිය අතරේ බිහිවන ස්ත්‍රි පුරුෂ ප්‍රේමයන්හි හැඩහුරුකම් දකින්නට උත්සාහයකි. 

මෙම නාට්‍යයේ රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බංඩාරගෙන් වන අතර සංගීතය අජිත් කුමාරසිරිගෙනි. ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප්, රුවන් රංගේ, නදීකා බංඩාර රංගනයෙන් දායක වන මෙහි වේදිකා පරිපාලනය අජිත් සංජීව සහ සිසිල් ප්‍රියන්ත විසින් සිදු කෙරේ. ආලෝකකරණය සාලිය ඉඳුරුවිතානගෙන් වන අතර ආලෝකය මෙහෙයවීම ලහිරු චතුරංග විසිනි. අංගරචනය බුවනෙක කෞශල්‍යගෙනි.

https://www.youtube.com/watch?v=xuzDoIxm31c


භාව විරේක, ෆර්සොනා සහ කෝලම්




ජගත් ජයසේකරගේ භාව විරේක දේශීය ශාන්ති කර්මමය අභිචාර හා වෙස්මුහුණු  යොදා ගත් පර්යේෂණාත්මක නාට්‍යයකි. මෙහිදී ඇරිස්ටෝටලියානු භාව විරේචනය දේශීය වෛද්‍ය චිකිත්සාවේ භාව විරේක කිරීම සමග එක් අතකින් පෑහේ.

ස්විස් ජාතික මනෝ විද්‍යාඥ කාල් යුංග් විසින් ගෙනා ෆර්සොනාව හෙවත් වෙස්මුහුණ නම් සංකල්පයට අනුව අප බාහිර සමාජය සමග ගනුදෙනු කරනුයේ වෙනත් වෙස් මුහුණක් තුළිනි. ග්‍රීක නාට්‍ය කලාව තුළ ෆර්සොනා යන වෙස් මුහුණ අපගේ අතීත සම්ප්‍රදාය තුළ කෝලම් නම් විය. රත්පිත් උන්මාද, සන්නි, දිස්ටි, සමයං වන් නොයෙක් මනෝචිකිත්සක සංකල්ප ආයුර්වේදයේ මෙන්ම දේශීය මනෝ චිකිත්සාවේද දකිත හැකිය. එහිදී වෙස්මුහුණ නැතිනම් කෝලම් ප්‍රධානතම අංගයක් විය.

ජගත් නව නිර්මාණයක් ලෙස ගෙනෙන මෙහි එන ත්‍රිත්ව වෙස්මුහුණ තුළින් මහා අනෙකා හා සංකේතීය ව්‍යුහය නියෝජනය කෙරේ. එය සැබැවින්ම නවනිර්මාණයක් ලෙස වෙස්මුහුණු අතරට එක්වන්නක් පමණක් නොව දාර්ශනික වශයෙන් නව මානයක් ගෙන ඒමකි. අපගේ දේශීය මානසික චිකිත්සාව වූ ශාන්ති කර්ම තුළ යකා ගෙන්වීම තුළින් ආතුරයාට සිය ක්ෂතිය මුණ ගැස්සවීම සිදු කෙරිණි. බටහිර මනෝ චිකිත්සාවේ වශීකාරක ප්‍රතිගමනය හෙවත් මෝහනය යනුද එයම විය. මෙහි ආතුරයා විසින් මහා අනෙකාගෙන් නිදහස් වීම සඳහා පැළඳගත් අර්ධ වෙස්මුහුණ අවසානයේ ගලවා දමයි. පූර්වජ මහා අනෙකකු සංකේතීය පටිපාටිය බවට පත් මෙවැනි රටක් පිළිබඳ තියුණු මෙන්ම දාර්ශනික බැල්මක් හෙලන මෙය ප්‍රහසනාත්මක නාට්‍යයකි.

නූතන රංග ක්‍රම මෙන්ම සාම්ප්‍රදායික ජන රංගයන් අපූරුවට යොදාගත් ප්‍රශස්ත නිෂ්පාදනයකි. දාර්ශනික සංකල්පවලින් රස වින්දනයට කිසිදු බාධාවක් නොවන පරිදි ගොඩ නැගූ සරල විනෝදාත්මක ප්‍රහසනයකි.

රෝලන්ඞ් ඒ ප්‍රනාන්දුගේ දිවැස හෙලනු මැන හා විමලරත්න අධිකාරීගේ රාස්ස පරාස්ස’වලින් පසු මා දුටු ආරම්භයේ පටන් අවසානය දක්වාම ප්‍රේක්ෂාගාරය සිනහ සයුරේ ගිල්වන  සාම්ප්‍රදායික ශාන්තිකර්ම ආශ්‍රිත ශෛලිගත  නාට්‍යයකි.

කේ. කේ. සමන් කුමාර

Wednesday, December 2, 2015

-මරියාගේ රමණය- ප්‍රේක්ෂක ඇසකින්.

'නිරුවත යන්න උපායක් නොව ගවේෂණයක්. නිරුවතට අපි හුරුවීමත් සමඟ එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙනවා'

ප්‍රංශ ජාතිකයෙකු වන Xavier Le Ray විසින් නාට්‍ය නිර්මාණයක් ඉදිරිපත් කරනවා, Temporary Title නමින්. එහි විශේෂත්වය වන්නේ එහි සියළු ම නළුනිළියන් නිරුවතින් තම රංගනයන් ඉදිරිපත් කිරීමයි. මේ පිළිබඳව පැවති සාකච්ඡාවක දී කල ප්‍රකාශයකුයි ඉහතින් දක්වා ඇත්තේ.

මරියාගේ රමණය නැරඹීමට යාමට ප්‍රථම, මේ නාට්‍යය ගැන කනින් කොන ඇසුනු කතා හේතූවෙන්, මේ වෙනස ගැන කුහුලක් මසිත ඉපදින. එය කූටප්‍රාප්ත වන්නේ නවනඟර ශාලා වේදිකාව මත නදීකා ඇතුළු පිරිස කල රංගනයේ දීය. මිනිස් සබඳතා ඇතිවීම, ඒ තුලින් පවුල නම් කුටුම්බය මූලීක ව සමාජයක් බිහිවීම, එකී සමාජය තුල ස්ත්‍රිය යන භුමිකාවේ හැසිරීම ඒ කතාව තුල තිබෙන බව මට සිතුණි. අධි පරිභෝජනවාදී ලාංකීය සමාජය තුල ස්ත්‍රිය හුදෙක් ලිංගික මෙවලමක්, නැතහොත් සංකේතයක් ම පමණක් ද යන ප්‍රශ්නය ඇය අපෙන් අසයි.

ඇය එක් අවස්ථාවක තමාට ගැහැණු ඇඟ වෙනුවට පිරිමි ශරීරයක් ඉල්ලා සිටියි. මේ පවතින්නා වූ ක්‍රමවේදයෙන් පැනයෑමට ඈ තුල පවතින අවශ්‍යතාවය ඉන් පෙන්නුම් කෙරේ. නාට්‍ය ආරම්භ වන්නේ ඇය ස්වයං වින්දනයේ යෙදෙන ජවනිකාවකිනි. ඒ තුල, පෙනෙනා හැටියට විවාහක කාන්තාවක් ලෙස ඇය මෙසේ ස්වයං වින්දනයේ යෙදීම පුරුෂ පාර්ශවයේ යුතුකම් ඉටු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස හැඟේ. ආරම්භයේ දී ම මා සිත ඇය කෙරෙහි නොපහන් වන්නේ, ඒ තුලින් සමස්ත පිරිමි ප්‍රජාව යම් පහත් තත්ත්වයකට ඇද දමන ක්‍රියාවක් ලෙස පිරිමියෙක් ලෙස මට සිතුන නිසා විය හැක.

සැමියාගෙන් ඇය බොහෝ දේ බලාපොරොත්තු වෙයි. ඇය ඉල්ලා සිටින්නේ තරුණ කාලයේ තමන් සමඟ එක පෙලට සිට විප්ලව කල ඒ තරුණයා යි. නමුත්, පවුලෙහි වගකීම හා පවතින සමාජ ක්‍රමය හමුවේ ඔහු, ක්‍රමයෙන් ඒ ඇය බලාපොරොත්තු වන චරිතයෙන් ඈතට ගෙන ගොස් ඇත. අහිමි වූ තම සිතැඟී සපුරා ගැනීමට ඈ අනුරාගී අනියම් පෙමවතෙකු සරණ පතයි. එහි ද ඇයගේ බලාපොරොත්තු නොමැති බව ඇයට වැටහෙයි. 
තම සැමියා හැර තවකෙකු පහස පතන නුඹ මගෙන් සතුටු නොවී ඊට එහා ගිය රසයක් සොයා තවකෙකු පහස නොපැතුවොත් එය පුදුම විය හැකි කරුණක් යැයි ඔහු පවසන්නේ මෙම අර්බුදයේ උච්ඡතම අවස්ථාවේ දී ය.
ඇය තම ශරීරය හුවමාරු කරන්නට යෝජනා කරන්නේ, මේ සියලු කාරණාවල මූලය පවතින්නේ මේ ස්ත්‍රි ශරීර කූඩුව තුල යැයි ඇය විශ්වාස කරනා බැවින් ය. නාට්‍යයේ ලිංගික දර්ශන නිරූපනය ඕනාවට වඩා ඉස්මතු කිරීමට වෙහෙසක් දරන බව ද පෙනේ. එය සමහර විටක මසිත ඒ පිළිබඳව පවතින්නා වූ ඇල්ම හේතූවෙන් ඇති වූ විශේෂත්වයක් ද විය හැක.

කතා නායිකාවගේ ජීවිතයේ ගලායාම ආරම්භයට ගියහොත්, ඇය වැඩිවියට පත්වීමත් සමඟ පිය සෙනෙහසින් දුරස් වන අතර, ඒ අහිමි සෙනෙහස ගැන ද මැසිවිලි කියයි. මෙහි පූසා යොදාගැනීම තුලින් විවාහ ජීවිතය තුලින් හා අනියම් පෙම තුලින් මතුකල නොහැකි පැතිකඩයන් ගෙනහැර දක්වනු දැකිය හැකි ය. විටෙක වඩාත් ස්ත්‍රීවාදී යැයි සිතුන ද ඒ තුල සත්‍ය වශයෙන් ම ස්ත්‍රියට ඍණාත්මක තත්ත්වයක් ඇතැයි සිතේ. නමුත් පිරිමියෙකු වශයෙන් ඉන් එහා යෑමට මගේ පිරිමිකම ඉඩ නොදෙයි.

මා නරඹා ඇති සීමිත වේදිකා නාට්‍ය කීපය අතරින් වෙනස් ම මුහුණුවරක් ගත් විප්ලවීය වේදීකා නාට්‍යයක් ලෙස නදීකා බංඩාර විසින් රචනා කොට අධ්‍යයක්ෂණය කර, ප්‍රධාන චරිතය ද රඟපානා අජීත් කුමාරසිරි සංගීතවත් කරන, මරියාගේ රමණය නම් වේදීකා නිර්මාණය දැක්විය හැකිය.

ඒ නිරභීතත්වය, හිතුවක්කාරකම, විප්ලවීය බව ඔබගේ ඊ ලඟ නිර්මාණයෙන් ද බලාපොරොත්තුවෙන් සිටීමි.

ජය !!!

-රෝ-
රෝහණ ගුණතිලක

Saturday, November 14, 2015

මරියාගේ රමණය 28 දා



නදීකා බංඩාරගේ මරියාගේ රමණය ආන්දෝලනාත්මක වේදිකා නාට්‍යය නොවැම්බර් 28  සවස 3.30ට සහ 6.30ට නවනගර ශාලාවේදී වේදිකා ගතවීමට නියමිතය. මෙවර එය රඟ දැක්වෙන්නේ රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවන වටය නියෝජනය කරමිනි.  

පරිභෝජනවාදී සමාජය විසින් ස්ත්‍රියට යෝජනා කරන නව ජීවිතය මරියාගේ රමණය විසින් ප්‍රශ්න කරනු ලබයි. පරිභෝජනවාදී සමාජය දිගින් දිගටම අලංකාරය සහ සෞන්දර්යය ගැන මායා දර්ශන අපට සපයමින් සිටී. මෙහි ප්‍රධාන ස්ත්‍රිය බෝනික්කි ගෙදර නෝරා මෙන් සිය පවුල ප්‍රශ්න කරනු ලබයි. එහෙත් ඇය ප්‍රශ්න කරන්නේ පැරණි පවුල නොව නව පරිභෝජනවාදී නුතන පවුල තුළ ඇති අරාජිකත්වයයි. පරිභෝජන සමාජයක් තුළ සොයා යන ද්‍රව්‍යමය තෘප්තිය අතරේ බිහිවන ස්ත්‍රි පුරුෂ ප්‍රේමයන්හි හැඩහුරුකම් දකින්නට උත්සාහයක් වන මරියාගේ රමණය වැඩිහිටියන් සඳහා පමණක් සුදුසු නාට්‍යයකි. 

මෙම නාට්‍යයේ රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බංඩාරගෙන් වන අතර සංගීතය අජිත් කුමාරසිරිගෙනි. ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප්, රුවන් රංගේ, නදීකා බංඩාර රංගනයෙන් දායක වන මෙහි වේදිකා පරිපාලනය අජිත් සංජීව සහ සිසිල් ප්‍රියන්ත විසින් සිදු කෙරේ. ආලෝකකරණය සාලිය ඉඳුරුවිතානගෙන් වන අතර ආලෝකය මෙහෙයවීම ලහිරු චතුරංග විසිනි. අංගරචනය බුවනෙක කෞශල්‍යගෙනි.



Monday, October 12, 2015

මරියාගේ රමණය




නදීකා බංඩාරගේ මරියාගේ රමණය  වේදිකා නාට්‍යය නොවැම්බර් 28  සවස 3.30ට සහ 6.30ට නව රඟහලේදී වේදිකා ගතවීමට නියමිතය.

පරිභෝජනවාදී සමාජය විසින් ස්ත්‍රියට යෝජනා කරන නව ජීවිතය මරියාගේ රමණය විසින් ප්‍රශ්න කරනු ලබයි. පරිභෝජනවාදී සමාජය දිගින් දිගටම අලංකාරය සහ සෞන්දර්්‍යය ගැන මායා දර්ශන අපට සපයමින් සිටී. මෙහි ප්‍රධාන ස්ත්‍රිය බෝනික්කි ගෙදර නෝරා මෙන් සිය පවුල ප්‍රශ්න කරනු ලබයි. එහෙත් ඇය ප්‍රශ්න කරන්නේ පැරණි පවුල නොව නව පරිභෝජනවාදී නුතන පවුල තුළ ඇති අරාජිකත්වයයි. පරිභෝජන සමාජයක් තුළ සොයා යන ද්‍රව්‍යමය තෘප්තිය අතරේ බිහිවන ස්ත්‍රි පුරුෂ ප්‍රේමයන්හි හැඩහුරුකම් දකින්නට උත්සාහයකි මරියාගේ රමණය. 

මෙම නාට්‍යයේ රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බංඩාරගෙන් වන අතර සංගීතය අජිත් කුමාරසිරිගෙනි. ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප්, රුවන් රංගේ, නදීකා බංඩාර රංගනයෙන් දායක වන මෙහි වේදිකා පරිපාලනය කසුන් ජයරත්න විසින් සිදු කෙරේ. ආලෝකකරණය සාලිය ඉඳුරුවිතානගෙන් වන අතර ආලෝකය මෙහෙයවීම ලහිරු චතුරංග විසිනි. අංගරචනය සුමේධ හේවාවිතාරණගෙනි.

'භාව විරේක' ඌවේ


නදීකා බංඩාර විසින් රචනා කළ ජගත් ජයසේකර අධ්‍යක්ෂනය කළ 'භාව විරේක' පරේක්ෂණාත්මක නාට්‍යයේ දර්ශණයක් නෙවැම්බර් 11 වන දින සවස 6.30ට ඌව සරසවි කළා උළෙල වෙනුවෙන් රඟ දැක්වේ. නදීකා බංඩාර, සුසන්ත ප්‍රදීප්, රැවන් රංගේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වේ. මෙය ජෙනී තියටර් රංග කලා සංසදයේ ඉදිරිපත් කිරීමකි.  

භාව විරේක නාට්‍යය ඔස්සේ දේශීය සම්ප්‍රදාය තුළ වන භාව විරේචනාත්මක සම්ප්‍රදායන් ඒ හා මුසු කරන්නට දැරූ උත්සාහයකි. දේශීය වෙස්මුහුණු කලාව යොදා ගනිමින් මානව සමාජය තුළ ක්‍රියාත්මක වන අනන්‍යතා අර්බුධය මෙන්ම කුහකත්වයද, දෙබිඩිබව හා පරාරෝපනයද ස්පර්ශ කරන මෙය මහා අනෙකා විසින් අපගේ ජීවිත කෙරේ කරන බලපෑමද දක්වයි. 

භාව විරේක නූතන නාට්‍යමය ලක්ෂණ හා ශ්‍රී ලාංකීය තොවිල් සම්ප්‍රදාය ඇසුරු කොටගෙන නිර්මාණය කරන ලද්දකි. සමාජීය තංහචි කලාපය මිනිසා තුළට කාන්දු කරන පීඩනය සහ ප්‍රමෝදය නාටකයක් තුළින් මෙහිදී දක්නට උත්සාහ කොට ඇත. මෙහි සමාජ තහංචිවල පීඩනය සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද වෙස් මුහුණ ශ්‍රී ලාංකීය වෙස් මුහුණු සංස්කෘතියට එකතු වන නවමු මුහුණක් ලෙස හැඳින්විය හැක. එම වෙස් මුහුණ මිනිස් ප්‍රකෘතිය සහ විකෘතිය හසු කරගන්නට ගන්නා ලද උත්සාහයකි. වේදිකා රංගාලෝක හා ආලෝක පන්දම් මිශ්‍රකරමින් මෙහි ආලෝක නිර්මාණ සිදු කෙරිණි. එළිමහන් වේදිකා අත්දැකීමක් ලෙස හැදින්විය හැකි එය ගෘහස්ත රඟහලකදී වුව රංගගත කිරීම සඳහා නිර්මාණය කොට ඇත.

මෙහිදී ඒ එළිමහන් රංග භූමියක ඉදිරිපත් කෙරෙනු ඇත.