Thursday, February 11, 2016

භාව විරේක, ෆර්සොනා සහ කෝලම්




ජගත් ජයසේකරගේ භාව විරේක දේශීය ශාන්ති කර්මමය අභිචාර හා වෙස්මුහුණු  යොදා ගත් පර්යේෂණාත්මක නාට්‍යයකි. මෙහිදී ඇරිස්ටෝටලියානු භාව විරේචනය දේශීය වෛද්‍ය චිකිත්සාවේ භාව විරේක කිරීම සමග එක් අතකින් පෑහේ.

ස්විස් ජාතික මනෝ විද්‍යාඥ කාල් යුංග් විසින් ගෙනා ෆර්සොනාව හෙවත් වෙස්මුහුණ නම් සංකල්පයට අනුව අප බාහිර සමාජය සමග ගනුදෙනු කරනුයේ වෙනත් වෙස් මුහුණක් තුළිනි. ග්‍රීක නාට්‍ය කලාව තුළ ෆර්සොනා යන වෙස් මුහුණ අපගේ අතීත සම්ප්‍රදාය තුළ කෝලම් නම් විය. රත්පිත් උන්මාද, සන්නි, දිස්ටි, සමයං වන් නොයෙක් මනෝචිකිත්සක සංකල්ප ආයුර්වේදයේ මෙන්ම දේශීය මනෝ චිකිත්සාවේද දකිත හැකිය. එහිදී වෙස්මුහුණ නැතිනම් කෝලම් ප්‍රධානතම අංගයක් විය.

ජගත් නව නිර්මාණයක් ලෙස ගෙනෙන මෙහි එන ත්‍රිත්ව වෙස්මුහුණ තුළින් මහා අනෙකා හා සංකේතීය ව්‍යුහය නියෝජනය කෙරේ. එය සැබැවින්ම නවනිර්මාණයක් ලෙස වෙස්මුහුණු අතරට එක්වන්නක් පමණක් නොව දාර්ශනික වශයෙන් නව මානයක් ගෙන ඒමකි. අපගේ දේශීය මානසික චිකිත්සාව වූ ශාන්ති කර්ම තුළ යකා ගෙන්වීම තුළින් ආතුරයාට සිය ක්ෂතිය මුණ ගැස්සවීම සිදු කෙරිණි. බටහිර මනෝ චිකිත්සාවේ වශීකාරක ප්‍රතිගමනය හෙවත් මෝහනය යනුද එයම විය. මෙහි ආතුරයා විසින් මහා අනෙකාගෙන් නිදහස් වීම සඳහා පැළඳගත් අර්ධ වෙස්මුහුණ අවසානයේ ගලවා දමයි. පූර්වජ මහා අනෙකකු සංකේතීය පටිපාටිය බවට පත් මෙවැනි රටක් පිළිබඳ තියුණු මෙන්ම දාර්ශනික බැල්මක් හෙලන මෙය ප්‍රහසනාත්මක නාට්‍යයකි.

නූතන රංග ක්‍රම මෙන්ම සාම්ප්‍රදායික ජන රංගයන් අපූරුවට යොදාගත් ප්‍රශස්ත නිෂ්පාදනයකි. දාර්ශනික සංකල්පවලින් රස වින්දනයට කිසිදු බාධාවක් නොවන පරිදි ගොඩ නැගූ සරල විනෝදාත්මක ප්‍රහසනයකි.

රෝලන්ඞ් ඒ ප්‍රනාන්දුගේ දිවැස හෙලනු මැන හා විමලරත්න අධිකාරීගේ රාස්ස පරාස්ස’වලින් පසු මා දුටු ආරම්භයේ පටන් අවසානය දක්වාම ප්‍රේක්ෂාගාරය සිනහ සයුරේ ගිල්වන  සාම්ප්‍රදායික ශාන්තිකර්ම ආශ්‍රිත ශෛලිගත  නාට්‍යයකි.

කේ. කේ. සමන් කුමාර

No comments:

Post a Comment