Saturday, February 13, 2016

දියෝනිස් දෙවොල පාමුල සිට සහ මම

              

                    
දියෝනිස් දෙවොල පාමුල ලියා අවසන් කර ප්‍රකාශයටත් පත් කර ඇති නිසා පොත ගැන මට කීමට ඇති කාරණා ඉතා අල්පය. සමහරක් විට ඒ ගැන මට කීමට යමක් නැති තරම්ය. එම නවකතාවෙ ඉන්න අනෝලි සහ ඇගේ ජීවිතයට සම්බන්ධ චරිතයන්ද ඇය මුහුණ දෙන අත්දැකිම්ද ඒ ගැන ඇය දරන අදහස් ද අද මට දැනෙන්නේ මා සමග ජීවත් වී මා අත්හැර ගිය අයවුලුන් ලෙසය. එම පොත ලියන විට යම් කිසි ආකාරයක වේදනාත්මක විඳවිල්ලක්ද සමඟ වු  විශාල ආතතියක් තිබුනා. ඇතැම් විටෙක එම ආතතිය මට පාලනය කර ගත නොහැකි කරම මට්ටමක තිබුනා, පොතෙන්  වියුක්තව පිටත ඉන්න පුලුවන් සීමාව එළඹෙන තුරුම විශාල ආතතියකට මුහුණ දෙන්නට මට සිදු වුනා. 

'දරුණු ලෙස තුවාල වු පක්ෂියෙකු එසේත් නැත්නම් තටු කැඩුණු පක්ෂියෙකු ගැන ඔබට සිතෙන්නේ මොනවාද? කිසිවෙකු මගේ ගෙල සිර කරනු මට දැනේ. එම මුලු කාලයම මම හැසිරුනේ හුස්ම ගැනීමට අපහසු රෝගියෙකු සේය. ඔව් දරුණු උදාසීනත්වයේ දෑතින් මගේ ගෙල සිර වී යනු ඇතැයි මම නිසැක ලෙස සිතුවෙමි. ආශ්චර්්‍යය ගැන මට  තවදූරටත් විශ්වාසයක් නොවීය. බලාපොරොත්තුව මට කිසිවක් සහතික නොකරයි. මා කවුද සහ මා කළ යුත්තේ කුමක්ද යන්න දැන ගැනීමට මට කිසිදිනක හැකි නොවීය. පංතියක අසමත් ශිෂ්‍යාවක ලෙසින් මට මා ගැන පැහැදිලි චිත්‍රයක් නැත. මා කිසිවක් අවබෝධ කොට ගෙන නැත. සෑම මොහොතකම සිදුවන්නේ මා කැබලි වලට කැඩී විසිරි  ගොස් ශුන්‍යත්නයක සිර වීමය. අවපීඩන රෝගියෙකු සේ මම මරණයට ආශා කරන්නට පටන් ගතිමි. මගේ ස්නායු බිඳ වැටී මගේ දෙතොලග වූයේ අමිහිරි පල් රසකි. '                                
                                                   -පිටු අංක 298

      පොත ලියන විට ද එබඳු අමිහිරි පල් රසක් මට තිබුනා. 



    පොත ලියා අවසාන කරාට පස්සේ සහමුලින්ම කියලා ඉවර කරන්න බැරිවුනු මොකද්දෝ  දෙයක් ඉතිරි වෙලා තියෙනවා කියලා මට දැනෙන්න පටන් ගත්තා. නමුත් එය වචන වලට ගෙන්න තරමට මට ම අපහැදිලි වු යමක් , පොත ලියා අවසන් වීමෙන් පසුව බොහෝ දෙනෙකුට වුවමනා වුනා ඒ අත්දැකිම් මගේ අත්දැකම් ද කියලා දැන ගන්න, ඒ අත්දැකිම් මගේ ද නැත්නම් වෙන කෙනෙක් ගේද කියලා දැන ගන්න එකේ ඇති වැදගත්කම මොකද්ද කියලා ඇත්තටම මට තේරෙන්නේ නෑ.
   පොතක් ලියන එක කොයි වගේ ද කියලා කවුරු හරි ඇහුව්වොත් මට හිතෙන්නේ ඒක හරිම වේදනාකාරි අත්දැකීමක්, ඒක පහසු නෑ . චරිත , සිතුවිලි , ආවේග, හැඟීම් ජීවමය දෙයක් බවට පත් කරන්ඩ ගන්න විශාල පරිශ්‍රමයක්  වගේ දෙයක් කියලා මට දැනෙනවා. ඇත්තටම  වේදනාකාරි දෙයක් , ජිවිතේ සැත්කම් මේසයක් මත තියාගෙන තියුණු පිහියකින් අමුවෙන් කපලා කොටලා බලනවා වගේ  දෙයක්,
     මිනිස්සුන්ගේ  ජීවිත ඉරණම විසින් මෙහෙය වන්නේ නෑ. ප්‍රාග්ධනය ගමන් කරන විදිහත් එක්ක මිනිස්සුන්ගේ  ජීවිත ගැට ගැහිලා තියෙන්නෙ . අපි කොහෙද ඉන්නේ අපි මොනවද කරන්නේ අපේ සම්බන්ධකම් වලට මොකද වෙන්නේ කියන එකට අපි ජීවත් වෙන සිස්ටම් එක සෘජුව සම්බන්ධයි. ඒ හින්දා ලැජ්ජා වෙන්න ඕන කියලා මම හිතන්නේ නෑ. අපි කාටවත් වහගන්න හෙලුවක් ඉතිරු වෙලා තියෙනවා කියලා මම හිතන්නේ නෑ. අපි හැමෝටම පය ගහලා ඉන්න වෙලා තියෙනනේ ශුද්ධ වු දේවාල වල නොවෙයි.

   'ඔබට අවශ්‍ය කරන දොරක් ඇත්තේ අතනය. එය විවර කළ හැක්කේ අර පුද්ගලයාටය යනුවෙන් හමු වු සෑම පුද්ගලයෙකු මෙන්ම කාලිංග මනබන්දු ද මට පැවසුවේය. යම් අහඹු සිදුවීමකින් මගේ දෛවය අවශ්‍ය තැනට මා ගෙන යනු ඇති බවට මට සැකයක් නොවිණි. ආරංචියකට මට ගෙවීමට තිබුණේ මගේ ශරීරයෙනි. ඔවුනට අවශ්‍ය වුයේ ද ශරීරයයි. මට ද වෙනත් කිසිවක් තිබුණේ නැත.'                                                              
                                                                               - පිටු අංක 84
                                                                                  
   මිනිස්සුන්ගේ ලිංගික සම්බන්ධකම් වුනත් අතීතයත් එක්ක සම්බන්ධ කරලා හිතන්ඩ බෑ. ප්‍රේමය වුනත් එහෙමයි. මිනිස්සුන්ගේ සම්බන්ධකම් වුනත් එහෙමයි. ප්‍රේමය පැරණි අර්ථයෙන් නැවත නිපදවන්න පුලුවන් කමක් නෑ කියලා මට හිතෙන්නේ . අපට ජීවත් වෙන්ඩ සිද්ධ වෙලා තියෙන යාන්ත්‍රික  සිස්ටම් එක විසින් ජනනය කරන පීඩාව, තාමට තමා අහිමි වීම විසින් ප්‍රේමයේ සහ ලිංගිකයේ හැඩ රටාවන් සහ බල රටාවන් වෙනස් කරලා තියෙනවා. 

         මිනිස්සුන්ගේ  ජීවිත උඩු යටිකුරු වෙලා තියෙනවා උනත් අපිට අනෙකාගේ ජීවිතය විසිතුරුව පේනවා. සුපිරි වෙළඳ සංකීර්ණ හිතා ගන්න බැරි තරම් අහසට නැගලා තියෙනවා. පරිභෝජනය කරන්න ඕනෑ නම් ඕනෑ තරම් ක්‍රම ද පවතිනවා. නමුත් භයනක විදිහට මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය නොවන ගොඩාක් දේවල් කරන්ඩ වෙලා තියෙනවා. සිස්ටම් එක ඇතුළේ තියෙන මේ තිත්ත අමු ගතිය රිද්මයක් විදිහට මම දියෝනිස් දෙවොල පාමුල තියාගෙන ගියා.  
  නිදහස්කාමි සමබන්ධකම් ලංකාව වගේ රටක ගොඩනැගෙන්නේ සම්ප්‍රදායට එරෙහිව එහි බැමි පුපුරුවා හරිමින් නෙමෙයි. ඒ හින්දා නිදහස්කාමි සමිබන්ධකම් නැවතත් සේවය කරන්නේ සම්ප්‍රදායික පිරිමියාටමයි. මොකද පිරිමිි සමිප්‍රදායික  ගැහැනියක් සමග විවාහ වෙන්න ප්‍රර්ථනා කරන අතරේ නිදහස්කමි ගැහැනුන්ව ලිංගිකව භාවිතා කරනවා. එම නිසා ලංකාවෙ නිදහස්කාමිත්වයට අත් වෙලා තියෙන්නේ විපරිත තත්වයක්.

'නිදහස! සැමියා සහ ආලය මේ දේවල් එකට එකතුවන්නේ නැති රේල් පීලි වගේය. මට නිදහස අවශ්‍ය විය. මට මා සොයා ගැනීමට අවශ්‍ය  විය. විවාහ වී පවුලක් ගොඩ නැගීම පිළිබඳ ඔහුට වු බලාපොරොත්තු මා අතින් බිඳ වැටුණු නුමුදු එහි වගකීම භාර ගැනීමට මා සුදානම් නැත. මම ඊට සුදුසු ගැහැනියක් ද නැද්ද යන්න දැන ගැනීමට මට ඉඩ නොදුන් සාමාජ සදාචාර නීති ඊට වගකිව යුතුය.'                                     
                                                                              -පිටු අංක 47
                                                                   
   මම උත්සාහ කරනවා  පිරිමි විසින් ගොඩ නගපු සාහිත්‍ය ඇතුලට ගැහැනියගේ ඇහැ අරගෙන යන්ඩ; ගැහැනුන් ලිංගිකයට දක්වන සම්බන්ධය සාහිත්‍ය ඇතුලේ ගොඩනැගිලා තියෙන්නේ පුරුෂ මුලික කියවීමක්  විදිහට. ගැහැනු තේරුම් ගන්න බැරි හරිම සංකීර්ණ වස්තුවක් විදිහට තමයි පිරිමි සාහිත්‍ය ඇතුලේ  ඉන්නේ, ගැහැනු සාහිත්‍යකාරියන් පවා බහුතරයක් තමන්ගේ කියවීමි ගන්නේ එතැනින්. මට ඕන වෙන්නේ එතැනින් එලියට එන්න. විශේෂයෙන් ලිංගික තෘප්තිය පවා හැසිරෙන්නේ අධිපති කතිකාවක් ඇතුලේ. ලිංගිකය කියන්නේ ශරිරය මූලික කර ගත්ත දෙයක් කියලා හිතන එක ඇත්තටම බොහොම පරණ අදහසක් . විශේෂයෙන් ගැහැනියගේ සුරතාන්තය පිරිමි සාහිත්‍ය තුල ගොඩ නැගෙන්නේ පුරුෂමය අහැකින් ; ගැහැනු සාහිත්‍ය තුළ පවා එයම පුනරුච්චාරණය කරමින් යනවා. මේකත් එක්ක මට දිගටම අවුලක් තිබුනා. ඉතින් ඒක කරන්ඩ යන කොට මම ඉස්සෙල්ලාම කරේ අමු, මටසිලුටු නැති  විදිහට මගේ අදහස කියන්ඩ උත්සාහ කරපු එක. සමහර හැඟීම් මට ලියන්න හිතුනේ ඒ විදිහට; සමහර වචන ඒ කියන්නේ තිත් ඉරි ගහලා හංගන එහෙමත් නැත්නම් සාහිත්‍ය ඇතුලේ හංගන වචන මම භාවිතා කරා. මට හිතුනේ තිත් සහ ඉරි ගැහැව්වාම ඒ වචනනෙන් පැන නගින අමු රසය එන්නේ නෑ. සාමාන්‍යයෙන් සාහිත්‍ය කීවාම එන්නේ මෘදු , සුකොමල ලාලිත්‍ය සුචරිත සදාචාරවත් ජීවිතයෙන් පරිභාහිර මොකක්දෝ සදාචාරයක්,   ගැහැනියක් කීවමත් එහෙමයි . මට පුද්ගලිකව ඒ වගේ කෘති රසවිඳින්ඩ බෑ . කොහොම වුනත් ලිංගික සම්බන්ධකම් විස්තරතාමකව ලිවීමත් අසභ්‍ය යැයි සැලකෙන සාමාන්‍ය ව්‍යහාරයේ ඇති චවන කිහිපයක් භාවිතා කිරීමත් නිසා කොළඹ ජාතික පුස්තකාලයෙන් පොත ගැනීම ප්‍රතික්ෂේප කරා. සමහරු මාව මුණට මුණ ගැහෙන එක ප්‍රතික්ෂේප කරා. ඒවගේම සමහරු අගය කරා . සමහරු පොතට කැමති වුනා.  සමහර අය අකමැති වුනා. කොහොම වුනත් පොත රාක්ක අස්සෙ හැංගිලා තිබුනේ නෑ.  පොත එලි දැක්වීම දවසේ ආපු මගේ ඥාතියෙක් පොත එයාගේ පෙට්ටගමක් අස්සෙ හැංගුවා. අම්මා පොත කියවලා එයා ඒකට කැමති වුනත් එයාගේ දුව පොතක් ලීවා කියලා එයා කාටවත්ම කියන්ඩ ගියේ නෑ . 
     'ප්‍රභාකරන් යුද්ධයෙන්  මිය ගිය බව ආරංචිය ලැබෙන විට මා සිටියේ ගයා සමග කාමරයකය. මම වහා ඩොලීගේ නිවෙසට යන්නට පිටත් වුයෙමි. ප්‍රභාකරන්ගේ බෝම්බ ප්‍රභාරයකින්  අප මිය යා හැකිය යන්න නිශ්චිත කාරණයක්ව පැවතිනි. එහෙත් එය අවසන් වී ඇත. එය ඉතිහාසය එක් අතකින් නිමා වීමකි. මා ඉපදුනේද වැඩුණේද තරුණ වුයේද එම සිහිනය මැදය. ඔහුගේ ඊලාම් සිහිනය මිය ගොස් ඇත. එපරිද්දෙන් ඔහුගේ සිහිනය සමග කිසිදු සම්බන්ධයක් නැති මගේ සිහිනයද  මිය ගොස් ඇත.'  
                                                                           -පිටු අංක 261                                    
                                                                    
කලාවෙන් ලෝකය වෙනස් කරන්ඩ පුලුවන් ද බැරිද කියලා මට ඇත්තටම තේරෙන්නේ නෑ. සාහිත්‍යයේ එකම කාර්්‍යභාරය සමාජය යහපත් කිරීම කියලා මම හිතන්නේ නෑ. නමුත් කලා කෘතියක් ගිනි දැල්ලක් වගේ වෙනවට මම පුද්ගලිකව කැමතියි.  කොහොම වුනත් නවකතාවක් ලියන විට හෝ නාට්‍යයක් නිර්මාණය කරන විට ජීවිතයේ අඳුරු පැති ගවේෂණය කරන්න මම කැමැත්තක් දක්වනවා. කොහොමටත් ජීවිතය ඇතුලේ තියෙන අඳුරු වීදි ඔස්සේ ඇවිදගෙන ගිහිල්ලා බලන්න මම කැමතියි. දියෝනිස් දෙවොල පාමුල සිට ලියන්න මම පෙළඹෙන්නේ ඒ ආශාව ඇතුලේ.

'ආලය වනාහි වැදගැම්මකට නැතැයි පහසුවෙන් බැහැර කරවන ලද දේවල් වල පවා ජිවත්වීමේ හැකියාවයි. රඟහල කෙරෙහි  වූ මගේ ප්‍රේමයද එවැනිම වු ප්‍රේමයකි. '                                       
                                                                            -පිටු අංක 307

                                                                 
  ලුණු ගෙඩියක් පොතු අරිනවා වගේ තමයි ජීවිතය පොත්තෙන් පොත්ත ගලවලා බලන එක. මොකුත්ම නැති හිස් අගාධයකට වැටෙනවා වගේ , මේ පොත රචනා කරන කොට මම දැක්කා මගේ මනෝ ලෝකය ඇතුලේ හිස් පතුලක් නැති අගාධයක හිස්කම දරා ගන්න බැරිව ගල් ගැහැනු  තරුණ ගැහැනු ළමයෙක්,එයාට ඕන වුනේ සියදිවි නහ ගන්න , අන්තිමට එයා එයාගේ අත්දැකිම් වමාරමින් එයාව හොයා ගන්න උත්සාහ කරා. මම ඒක වචන වලට ගලපන්න උත්සාහ කලා. ඒ අත්දැකිම්  ඊනියා සෞන්දර්්‍ය රිතීන් අස්සේ හිර කරන්නේ නැතුව ඒවායේ සාරය එයටම අයත් වු හැඩයක බහාලන්න මම උත්සාහ කරා. 

     

                                                                           නදීකා බංඩාර

        

No comments:

Post a Comment