නදීකා බණ්ඩාරගේ අලුත්ම නවකතාව ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ හැඳින්විය හැක්කේ අනේකාන්තවාදී නවකතාවක් ලෙසය. එහි ගොඩ නගනු ලබන ප්‍රබන්ධ යථාර්ථය තුළ වන ප්‍රධාන යටි පෙළ වනුයේ ද්වි ධ්‍රව අක්‍රමිකතාවෙන් හෙවත් බයිපෝලා මනෝ අක්‍රමිකතාවෙන් පෙළෙන තරුණියක කරන ජීවන අරගලයයි. එහි සමාන්තර කතාවක් ලෙස ඒ.ඩී.එච්.ඩී. හෙවත් ඌන අවධාන අධික්‍රියාකාරී අක්‍රමිකතාවෙන් පෙලෙන දරුවකුත්, ඈ සමග ඇගේ මව කරන අරගලයකුත් දකිත හැකිය.
එහෙත් සහජාශමූල ප්‍රකෘති ස්ත්‍රී ශක්තියේ දියෝනිසියානු චාරිකාවක් මෙන්ම දිව්‍යමය ස්ත්‍රීත්වයක ත්‍රාසෝන්මාදී විකුම් සැරියක් ලෙසද ඒ දකින හැකිය. ලාංකීය ස්ත්‍රීමය ලේඛනයේ නැතොත් ස්ත්‍රී මනෝ විශ්ලේෂණීය ලියවිලි අතර මෙතෙක් මා කිය වූ වඩාත්ම නිර්භීත ප්‍රකාශනය වන එය ජ්‍යෝතිෂය වැනි පාර මානසික විද්‍යාවක් තුළින්, නැතොත් පුරාකෘත ස්ත්‍රීවාදයේ කෝණයෙන්ද කියවිය හැක. එසේම ස්ත්‍රී ආශාව සහ පුරුෂ ආශාව පිළිබඳ ලකානියානු හෝ යුංගියානු කෝණයෙන් අසම්පාතික ලෙසද එය කියවිය හැකිය.
කෙසේ වුව එය අනේකාන්තවාදී නවකතාවකි. එය සහජයානික තාන්ත්‍රික උමතු ප්‍රඥාවෙන් යුතු දිව්‍යමය ස්ත්‍රී ආත්මයක් තමාගේ සහ අනෙකාගේ ආශාව පිළිබඳ සරණ ගවේෂණශීලී, කුතුහලජනක වික්‍රමාන්විත ජීවන චාරිකාවකි. නිරීක්ෂකයකු නැති විට ඝණ සිහිය අතුරුදහන්ව තරංගමය ස්වභාවයක් ගන්නා අපගේම මනස පිළිබඳ සිතිවිලි පරීක්ෂණයකි. ඒ රසයන් බවට පත්වන ස්ථායී භාවයන්ට ඉඩදී ඊට උපස්ථම්භකව නැතිව යාමට පමණක් පවතිතැයි කියන සංචාරී බව හෙවත් ව්‍යභිචාරී භාව රස භාවයන්ට, ආනන්දයට පමණක් නොව ප්‍රඥාවටද සමතික්‍රමණය කිරීම අරභයා කළ සුවිසල් සෞන්දර්යවේදී අත්හදා බැලීමකි. එය අනේකාන්තවාදී ගැහැණියකගේ එම අනේකාන්තවාදී ගුණය මහා යමහලක් සේ විදාරණය කිරීමකි. එය ශිව විසින් අපට දක්වන බඳු පත්ලක් නොමැති අගාධයකට පැනීමකි. කාරණය පත්ලක් නොමැති අගාධයකට පනින්නට බිය විය යුතු නොවීමයි.
කේ. කේ. සමන් කුමාර
No comments:
Post a Comment