Monday, September 24, 2018

දියෝනිස් පාමුලටම ආපසු...



නදීකා බණ්ඩාරගේ ‘තෙත් භූමි’ ප්‍රකාශනවාදී කුරිරු රංගය ගැන විචාරාත්මක කියවීමක්.


නදීකා බණ්ඩාරගේ ‘තෙත් භූමි’ කුළුපග රංගය  (Intimate Theatre) අත්දැකීමකි. එහිදී ඇය ෆ්‍රෝසීනියම් වේදිකාව අතික්‍රමණය කළ කුරිරු රංගය, මලල රංගය, ජෛව යාන්ත්‍රන වේදිකාව, දිළිඳු රංගය, දිවමන් රංගය වැනි ෂානරයන්හි මුහුම් කළ උරුමයත් සමග රංග ඉතිහාසයේ අතීතය කරා ආපස්සට කැණීමක් කරයි. එය ප්‍රභූ, පුරුෂ පින්තූර රාමු වේදිකාවෙන් ආපිට හැරී ප්‍රාථමික ගෝත්‍රික රඟමඩල කරා ආපසු යාමකි.

එය පිටපතත් අධ්‍යක්ෂණයත් අතර වෙනස අතුරුදහන් කරමින් ප්‍රවර්ධනාත්මක හිටිවන ගුණය හරහා ක්‍රියාකාරී චිත්‍ර ශිල්පිනියක සේ වටරවුම් කැන්වස අවකාශයක් ඉදිරියේ කළ ආත්ම ප්‍රකාශනයකි. එහි වර්ණයන් වන්නේ රංග ශිල්පීන්ය.

ජෙහාන් ශ්‍රීකාන්තට අනුව එය සමස්ත ලාංකීය රංග කලාවේ හැරවුම් ලක්ෂ්‍යයකි.

සදා නිම කළ පිටපතකින් හෝ සදා නිම කළ නිෂ්පාදනයකින් නොයුතු එය රංගයෙන් භාෂාවේ අධිකාරිය ඉවත් කරයි. සාහිත්‍යය දූරීභූත කර දමයි. දෘෂ්‍ය කාව්‍ය යන යෙදුමම අනතුරාසන්නභාවයට ඇද දමයි. 
හෙලන් සිෂෝ කියනා පරිදි ස්ත්‍රිය තම ශරීරයෙන් ලියයි. නදීකා එම ස්ත්‍රීමය ලේඛනය ශිල්පී කණ්ඩායමක ශරීරවලින් ලියා දමයි. එය නාට්‍ය විද්‍යාගාරයකි.

නාට්‍ය පිටපත් කියා දෙයක් මත ගොඩ නැගෙන, අවසානයේ සාහිත්‍යයට එකතු වන, තවෙකෙකුට අධ්‍යක්ෂණය කළ හැකි නාට්‍යය නදීකා අහෝසි කොට දමයි. පළමුව එය ප්‍රේක්ෂකයාට ඉහළින් පවතින ප්‍රභූ වේදිකාව අහෝසි කරයි. දෙවනුව නාට්‍යමය විකාශනයේ සාරය පමණක් උකහාගෙන නාට්‍යමය සංදර්භය පමණක් නොව නාට්‍යයම තුරන් කරයි. ඉන් පසුව ඉතිරි වන්නේ රඟමඩලත්, රංගයත් පමණි.

‘තෙත් භූමි’හි ප්‍රධානතම ෂානරීය සංරචකය ප්‍රකාශනවාදයයි. එයට ඇය පාදක කොට ගන්නේ අන්තොනින් ආටෝගේ කුරිරු රංග තාක්ෂණයයි. මලල රංගයෙහි සේම ජෛව යාන්ත්‍රන වේදිකාවේද, අභිචාර රංගයේද ලක්ෂණ එකිනෙක මුහුවෙමින් ඒ හා ගමන් කරයි. සමස්තාංගමය හෝ පරිපූර්ණ වේදිකාවේ  (Total Theatre)  තාක්ෂණික සහායන් කිසිවක් යොදා නොගනිමින් දිළිඳු රංගයේ මෙන් අත්‍යාවශ්‍ය සහ සපයා ගත හැකි දෙයට පමණක් ඇය සීමා වේ. තත්වානුරූපී මායා රංගයක් නොවූවද ප්‍රේක්ෂකයාව මුල සිට අග දක්වාම අත් අඩංගුවට ගන්නා ඇය දිවමන් වේදිකා උපක්‍රමයකින් (ප්‍රේක්ෂකයාගෙන් ගින්දර ඉල්ලමින්) ඒ තදාත්ම විඝටනය කරයි.



එහෙත් සමස්ත රංගය පුරා ඇය සංකල්පරූපිකව හැර ප්‍රේක්ෂකයාට සිතන්නට ඉසිඹුවක් නොදෙමින් තදාත්ම විඝටනය වෙනුවට- තත්වානුරූපී මායාවෙන් හා භාවවාදයෙන් උද්ධරණය කළ මෙන්ම උත්කර්ශනය කළ ආවේශගත තාක්ෂණයක් හරහා අප තුෂ්ණිම්භූතභාවයට ඇද දමයි. රංගයේ මුල සිට අග දක්වා දිවෙන එම අමූර්ත ආවේශගත තාක්ෂණය ප්‍රේක්ෂකයාට සමාරෝපනය වන්නට නොව තුෂ්ණිම්භූත වන්නටම මෙහෙ කරයි. පළමුව සමාරෝපනය වන්නට චරිත කිසිවක් එහි නොවේ. එහි ඇත්තේ කැඩී බිඳී ගිය විගලිත චරිත කැබලිතිය. චරිතවල පලුය. ඒවා චරිත කියා, පුද්ගලයන් කියා කිසිවක් නොවන බවත්, ඒ වෙනුවට ව්‍යුහයක් හා පද්ධතියක් (ක්‍රමයක්) මිස අන් කිසිවක් නොවන බවත් දක්වා ලයි.

ග්‍රීක නාට්‍යයට චරිත එකින් එක එක්වීමේ ඉතිහාසයේ සිට ඇරිස්ටෝටල්ගේ ක්‍රමවේදය ගොඩ නැගුණු තැන් පටන්, නූතන නාට්‍යයේ පියා වූ ඉබ්සන් දක්වා, ඇරිස්ටෝටලියානු භාව විශෝධනවාදයේ සිට ස්ටැනිස්ලව්ස්කිගේ භාව සමාරෝපනවාදය  (Method Acting)  දක්වාද, සංස්කෘත නාට්‍යය තුළද වශයෙන් චරිත ගොඩ නැගීම, ගැටුම, අරමුණ, බාධාවන්, වීරයා- ප්‍රති වීරයා, ආපසු හැරෙත නොහැකි ලක්ෂ්‍යය, උච්චාවස්ථාමය නාට්‍යමය සංදර්භය, ප්‍රති උච්චාවස්ථාව වශයෙන් පොදු ලක්ෂණ අපට හඳුනා ගත හැකිය. සාහිත්‍යය දෙසට ආන්තීකරණය වූ මෙය නවකතාවේද, සිනමාවේද පදනම බවට පත් විණි. නූතනවාදී නාට්‍යය මේ සියල්ල බැහැර කළේය. ස්ටැනිස්ලව්ස්කිව අතික්‍රමණය කරමින් ආටෝ භාවවාදය අමූර්තකරණය කළේය. ස්ටැනිස්ලව්ස්කියානු භාවමය රාජධානිය ඔහු පුරාණ ප්‍රාථමික රඟමඩලේ, අභිචාර රංගයේ තැනට ප්‍රත්‍යාවලෝකනය කළේය. එය ශික්ෂිත භාව, ශිෂ්ඨත්වය කොට්ට උරයක් මෙන් කණපිට ගැසීමකි.

නිට්ෂේගේ දාර්ශනික අදහස් මත පාදකව වසංගත කාලවල මිනිසුන්ගේ හැසිරීම, උන්මත්තකයන්ගේ චර්යාවන්, බාලි නර්තනය සහ අභිචාර රංගය ඇසුරු කොට ගනිමින් ඔහු සරලු රංග කලාවක් වන කුරිරු රංග කලාවට මුල පිරුවේය. මිනිසාගේ අවිඥානය කරා යමින් කෲරත්වයේ මානවීයත්වය සහ විනාශයේ නිර්මාණශීලී බව ඔහු ග්‍රහණය කොට ගත්තේය. පිටර් වයිස්ගේ ‘චැරින්ටන් සායනයේ නේවාසිකයන් විසින් සාද් ඈපානන්ගේ අධ්‍යක්ෂණයෙන් යොන් පොල් මරාත්ගේ වධ විඳීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු- මරා සාද්’ වේදිකාවට ගෙන එමින් පීටර් බෲක් ආටෝගේ රංග ආර පරිපාකයට ගෙන ගියේය. එය ස්ත්‍රීකරණය කරනු ලැබුවේ සාරා කේන් විසිනි.



නව සම්භාව්‍යවාදය විසින්ද, ප්‍රංශ ඇකඩමිය විසින්ද පැනවූ නීති මත ගොඩ නැගුණු සුසාධිත නාට්‍යයේ සංඝටක සියල්ලම නදීකා බැහැර කරයි. පසුව ප්‍රකාශනවාදයද යථාර්ථයේ රූපික සාරයම අපරූපනය කොට ඉදිරිපත් කිරීම තුළ යම් සුසාධිත රංග වියරණයක් තුළම සිර විණි. ඒ තමන්ටම ආවේණික ලෙස සාරා කේන්  In your face theatre  තුළින් ගෙන ආවේය.

රංගයද, නර්තනයද, නාට්‍යයද, ක්‍රීඩාවද, සටන් කලාවද යනුයෙන් විභේදනය නොවූ හා විශේෂඥකරණයෙන් තොර, කලාකරුවන්, ක්‍රීඩකයන්, නළුවන්, නර්තකයන් කියා කිසිවෙක් නොසිටි ප්‍රාථමික යුගයේ සියල්ල එකට පැවතිණි. සියල්ලෝ සියල්ලන් වූහ. ක්‍රීඩාව, සටන් කලාව (?), නාට්‍යයෙන් හා නර්තනයෙන් විභේදනය වීමේදී අහම්බය, අබග්ගය, ආපතිකතාව ක්‍රීඩාවටත් සටන් කලාවටත් ආවේණික විය. ක්‍රීඩාවට අන්තර් ක්‍රියාකාරී ගුණය, තිරණ ගැනීමේ හැකියාව සමග සැලසුම් කළ නොහැකි අහම්බය, අබග්ගය එක් විය. රංග කලාව හෙවත් නාට්‍යයට හා නර්තනයට ඒ අහිමි විය. හිටිවන ප්‍රවර්ධන ගුණය මුල් යුගයේ නාට්‍යයට ආවේණික වුව ඒද කෙමෙන් වියැකී ගියේය. රංග කලාවේදී ඊළඟට සිදුවන දෙය සහභාගි වන්නන්- එනම් නළුවන්, ශිල්පීන් කල් තබා දනී. ක්‍රීඩාවේදී එසේ නොවේ. ප්‍රේක්ෂකයා පත් වන සංත්‍රාසයට ක්‍රීඩකයාද පත් වෙයි. එහෙත් නාට්‍යයේ නළුවෝ සිදුවන දෙය දනියි. නොදන්නා සේ ප්‍රේක්ෂකයාට මවා පායි. ප්‍රේක්ෂකයා පමණක් සංත්‍රාසයට පත් වේ. නාට්‍ය පිටපත් විසින් යථෝක්ථ හිටිවන ගුණය සපුරා ඉවත් කර දමන ලදී. වචනයෙන් තොරව ශාරීරික භාෂණය ශෛලිගත අමූර්තනයට නැංවූ රංගය නර්තනය බවටත්, නාට්‍ය ධර්මී වුව වචනයේ මැදිහත් වීම, දෙබස හා ලෝක ධර්මය අනුකරණය කිරීම සහිත රංගය නාට්‍යය බවටත් පත්විණි.

නදීකා තත්සැණ ප්‍රතිචාර දැක්වීමේ හිටිවන ගුණය හා ක්‍රීඩාවේ මලලමය ගුණය ජෛව යාන්ත්‍රන වේදිකා ස්වරූපයත් සමග මෙහිදී යම් පමණකට මුහු කරයි. වේදිකාව හා ප්‍රේක්ෂකයා අතර දුර බිඳ දමමින් ප්‍රභූත්වය දුරලා කුළුපග රංගය කරා යමින් රංග කලා ඉතිහාසයේ ප්‍රාථමික අවස්ථාව කරා අප ගෙන යයි. එය සුභාවිත නාට්‍යය ලූණු සිවි ඇරීමක් වැනිය. පළමුව නාට්‍යමය සංදර්භයද, චරිත නිරූපනයද, සාත්විකාභිනයෙන් සියුම් මනෝභාව නිරූපනයද, වාචිකාභිනයෙන් ගැඹුරු සංකීර්ණ සත්‍යයන් ගෙනහැර පෑමද, රසවාදයේ සහ භාවවාදයේ වියරණය මෙන්ම සුභාවිත රංග වියරණයද, භාව විභාව අනුබාව, උද්දීපන විභාව, ආලම්බන විභාව හත් මාළු හැලියද ඇය පොළවේ ගසයි.

ඉන්පසුව ඉතිරි වන්නේ කුමක්ද? ඉතිහාසය පුරා නාට්‍ය යැයි ගොඩ නගන ලද සියල්ලේ ප්‍රතිපක්ෂයයි. මෙය පිටර් හැන්ඞ්කෙ වන් නාට්‍යවේදියකුගේ අරුතින් ප්‍රති රංගයක් නොවන්නට හැකත් ප්‍රතිරංගයක්ම වේ.



ප්‍රාථමික රංගයෙන් නික්ම ආ දා සිට ඇක්‍රොපොලීස්හි වටරවුම් වේදිකාවේ පටන් (රජගල පැවතිනැයි සාක්ෂි ලැබී ඇති, ප්‍රේක්ෂකයන්ට අලෙවි කළ මැටිමුවා ප්‍රවේශපත්‍ර යැයි සැක කෙරෙන පුරා විදු සාක්ෂි සහිත මහා රඟහල ගැන අප නොදනිමු), සංස්කෘත රඟමඩල, නෝ කබුකි සියල්ලටද, නූතන නාට්‍යයේ ආධිපත්‍යය දරණ තත්වානුරූපී මායාවෙන් හෙබි පින්තූර රාමු වේදිකාව දක්වාද පොදු පුරුෂ ඇස සිය කුළුපග රංග ආකෘතිය තුළ ඇය බිඳ දමයි.  එහිදී වේදිකාවට, සිනමා තිරයට, ශාලිකා චිත්‍රයට, ඡායාරූපයට පොදු මිනිස් ඇසේ ග්‍රාහකත්ව රටාවන්- අවධාන ලක්ෂ්‍යය, රත්තරන් ඍජු කෝණාශ්‍රය, තුන්වන නියමය, ස්වර්ණමය නියමය, දකුණේ සිට වමට සිදුවන ඇසේ චලනය හා ඒ සමග ආරෝපිත මනෝභාවිකත්වය අරුත් සුන් වේ. දෘෂ්‍ය මානව විද්‍යාව විසින් අනුදකින ස්ත්‍රී ඇසේ සහ පිරිමි ඇසේ වෙනස- ස්ත්‍රී 1200/ පිරිමි 800 සහ ලෝරා මල්වි ගෙනෙන පුරුෂ දැක්ම බිඳ දැමීමක් සමග ඒ අතිනත ගනී. ස්ත්‍රී සිරුර කාම වස්තුවක්, ආශා වස්තුවක් ලෙස සුරුවම්මය ගුණයකින් ස්ථානගත කිරීමට නදීකා යොදා ගන්නා කුළුපග රංගමය පෙරහැර ආකෘතිය හා ගරිල්ලා ප්‍රහාරමය සංත්‍රාසය ඉඩ නොදෙයි. එම කුළුපග රංගයේ  (IntimateThetre)  සංඝටක ලෙස මේයර්හෝල්ඩියානු ජෛව යාන්ත්‍රන වේදිකාවේ  (Bio Mechanical Theatre),    මලල රංගයේ  (Aearobic)   , අභිචාර රංගයේ  (Ritual Theatre), දිළිඳු රංගයේ  (Poor Theatre), කුරිරු රංගයේ  (Crual Theatre- Theatre of the Double), සාරා කේනියානු  In your face  රංගයේ යොදා ගනිමින් ඇය වේදිකාව ප්‍රාථමික ගෝත්‍රික රඟමඩල දක්වා හෙළමින් නිර් සෞන්දර්යකරණය කරයි. 

මෙහිදී අවමව යොදා ගන්නා වාචිකාභිනයෙන්ද වාගාලංකාර හා සාහිත්‍යය තුරන් කෙරෙන බැවින් නාට්‍ය සාහිත්‍යයක් තවදුරටත් නොපවතී. ඇය පුරුෂ භාෂාව වෙනුවට ශාරීරික භාෂණය මාධ්‍යය කොට ගනී.

පීතෘ මූලිකත්වයේ ඉතිහාසය කරා කැණ එය වර්තමානය කරා අති පිහිත කිරීමේදී  ඇය කරන යථත් සංකේතීය ව්‍යුහයත් අතර වන පරිකල්පනීය ව්‍යුහය සහ යථාර්ථමය ආරක්ෂණ දැල ඉවත් කිරීම මත මෙය පාදක වේ. එම පරිකල්පනීයත්වයත් සමග ආංගික, සාත්වික හා චාවාචිකාභිනයන්හි වන වසඟය, භාවහාව ලීලා, ස්ත්‍රී ලාස්‍යය, හැට හතර මායම්, වක්‍රෝත්තිය, ව්‍යංගය, අන්‍යාලාපය, අලංකාර, ධ්වනිය සියල්ල ඉවත් කෙරේ. එනම් කලාව යැයි නිර්වචනය කරන ලද සියල්ලය.

කේ. කේ. සමන් කුමාර

Friday, September 21, 2018

නාට්‍ය කලාවේ ශුද්ධෝත්තමවාදය’ කුඩුපට්ටම් කිරීමට මොන්කාඩා ප්‍රහාරයක්





‘තෙත් භූමි’ නැරඹීමෙන් අනතුරුව ඒ ගැන යමක් ලියා තැබීමට සිතා සිටියත් එය මේ දක්වා පසුබැස්සේ අවිවේකිත්වය නිසා ය. මේ කෙටි වචන කිහිපිය ලියා තබනුයේ නදීකා බණ්ඩාර ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමේ ශ්‍රමයට සේම වෑයමට කරන ගෞවරයක් ලෙසින් බව පළමු කොට කිව මනා ය.

කුරිරු රංගයක් ලෙසින් නම් කළ ‘තෙත් භූමි’ ඉදුරාම අසම්මත නාට්‍යමය අත්දැකීමකි. නාට්‍යයක් ලෙසින් වර නගා ඇති නිර්ණායකන් ඔලුවෙන් සිටුවා කණපිට හැරවීමකි. ඒ නිසාම බොහෝ පිරිසකට මෙය නාට්‍යයක් නොවෙනු ද ඇත. නදීකා විවර කරන මේ නව එළැඹුම වින්දනයට විචාරයට සහ ග්‍රහණයට නතු කරගත යුත්තේ එයම ඉල්ලා සිටින විචාර වින්දන ග්‍රහණ වේදයන්ට යටත්ව ය. සම්මත කෝදුවලින් එය මිණිය නොහැක. එසේ මනින්නට තැත් කිරීම ම ගොන් වැඩකි. ඒ අර්ථයෙන් ගෙන මෙය විචාරය කිරීම ලාංකේය විචාරකයන්ට පැවරෙන වගකීමකි. 

තවත් නාට්‍යකරුවෙකු ලෙස මට කීමට ඇත්තේ මම නම් මළාට ඔය විදියේ නාට්‍යයක් නොකරන බවයි. මම එවැන්නක් නොකිරීම යන්නෙන් නදීකාට එවැන්නක් කිරීමට ඇති අයිතිය කිසිලෙසකින්වත් හෙළා දැකීමක් සිදුවන්නේ නැත. ලාංකීය නාට්‍ය කලාවේ ශුද්ධෝත්තමවාදය’ කුඩුපට්ටම් කිරීමට ඔය ආකාරයේ මොන්කාඩා ප්‍රහාර දහස් ගණනින් වුවමනාවේ. මම එවැන්නක් නොකිරීම යන්නෙන් එවැනි වර්ගයේ නාට්‍ය විඳීමට, විචාරයට මට ඇති අයිතිය ද අහෝසි නොවේ. ‘තෙත් භූමි’ තුළ අපට සමපාත වන්නේ නළුවන් නිළියන් නොව මිනිසුන් සහ ගැහැණුන් ය. ඔවුහු රඟපාන්නේ නැත. හැසිරේ. පෞද්ගලික වශයෙන් ඒ බොහෝ ගැහැණුන්ගේ මිනිසුන්ගේ ජීවිත අන්දර ගැන ඡායාමාත්‍රික අවබෝධයක් ඇති නිසා ඒ හැසිරීම් බොහෝ අව්‍යාජ බව දැනේ. නදීකා වේදිකාව මත පුපුරුවා හරින සියලු වේගයන්’ වඩා තීව්‍ර වන්නේ ඒ අව්‍යාජ සංවේදයන් මුහුවීම තුළිනි. 

‘තෙත් භූමි’ තුළත් ඉන් පිටත් නදීකා නගන වේගයන්’ සමඟ පාර්ශවීය එකඟතාවන් සේම පාර්ශ්වීය විවේචනයන් ද මට ඇත. පීඩිත භාවය ගැහැණියට ඌණනය කිරීමත්, ක්‍රමවිරෝධය පුරුෂ විරෝධයකට ඌණනය කිරීමත් ඇගේ වේගයන්’ තුළ ඇති විශාලතම ගැටලූවයි. ‘තෙත් භූමි’ තුළ ගලන්නේ ද එයම පමණි. 

ව්‍යාජ දේශපාලන සටන් පාට ඔසවා ගත් ව්‍යාජ අරගලකරුවන් සිටින භූමියක නදී අව්‍යාජ සටනක් දියත් කරයි. එය දෙකක් නොව එකකි. ඇය නවකතාවක් ලිව්වත්, දේශනයක් පැවැත්වුවත්, නාට්‍යයක් කළත් එයින් ගලන්නේ එකම වේගයකි’. එකඟතා, විවේචන සහිතව වුව දෑතම ඔසවා මා ආචාර කරන්නේ නදීගේ ඒ එඩිතරකමට සහ අව්‍යාජකමටයි.

-අසංක සායක්කාර

Monday, September 17, 2018

පරාදවූ වම, සංස්කෘතික නියඟය හා ‘තෙත්භූමි’



බැලු බැල්මටම ඉහත කාරණා තුන අතරේ මෙලෝ සහසම්බන්ධයක් නැත. විශේෂයෙන්ම එකම එක දර්ශනයක් රඟ දැක්වුණු ‘තෙත් භූමි’යේ  නිර්මාණකාරිය වූ  නදීකා බණ්ඩාර පරාද වූ වමේ කොටස්කාරියක් නොවේ. අඩුම තරමින් බංකොලොත් වූ වමේ ණයකාරියක්ද  නොවේ.  එසේ නම් අපි සෑම තැනකදීම වම නැමැති මුව හමට තලන්නට සූදානම් වන්නේ ඇයි?

රෝයල් තැප්‍රොබෝනයේදී ‘තෙත් භූමි’ දුටු හැන්දෑවේ අපට පළමුව කම්පාවක් ඇතිවුණේය. දෙවනුව කෝපයක් ඇති වුණේය. තෙවනුව සතුටක් සතුටක් ඇතිවුණේය. කම්පාව ඇතිවුණේ ලාංකික සමාජයේ ස්ත්‍රී ආත්මයක ඉරණම ස්ත්‍රීන් විසින්ම නිර්මාණය කර රඟ දක්වීම විඳීමෙන්ය. කෝපය ඇතිවුණේ ශාලාවේ මුහුණු අතරේ කලා පුරෝගාමීන්, අනාගතවාදීන් තබා තවමත් දණගානා පෙරටුගාමියෙක්වත් එහි සිටිනු නොදැකීමෙන්ය.  සතුට ඇති කළේ පෙර පරම්පරාවල දකින්නට සිටි, මට පිරිමි ආත්මයක් පතනැයි පිරිමින්ගෙන්ම ඉල්ලන ගැහැනුන් වෙනුවට නූතන ලංකාව තුළ ස්ත්‍රීන් දකින්නට ලැබීම නිසාය. මේ ස්ත්‍රීන්ද කුලියට හෝ පෙනුමට ස්ත්‍රීවාදීන් නොවූ ස්ත්‍රීන් වීම සතුට දෙගුණ තෙගුණ කළේය. 

නමුත් දැන් දැන්  අපේ සිත්සතන් තුළ තුන් බියක් පැතිරෙන්නේය.  ඒ නදීකා බණ්ඩාරලා නිහඬ කිරීමේ අනතුරයි.  ඔවුන්ට අවමන් කිරීමේ අනතුරයි.  ඔවුන් විනාශ කිරීමේ අනතුරයි.  මේ තුන් බිය තුරන් කරන්නට නිර්භීත අනාගතවාදී වමක් අපට උවමනාය. නිර්මාණකරුවන් හා බුද්ධිමතුන් රස්තියාදු වෙමින් සිටින වමක් අපට උවමනාය. නායකයන් කලා රසිකයන් වූ වමක් අපට උවමනාය.

අවාසනාවකට නදීකා බණ්ඩාරලාගේ යුගයට එබඳු වමක් නැත. ඇත්තේ සංස්කෘතිය කියා අටපිරිකර උස්සාගෙන මහනුවරට ගොස් කුලවාදී පූජකයන්ගේ දෙපා ලඟ දණින් වැටෙන වාම නායකයන්ය.  කලාව රසවිඳීම වෙනුවට ඊලඟ ආත්මය කෙලින් කිරීමට භාවනා කරන නායකයන්ය.  ඒ කිසිවක් නොකරන්නේ නම් පක්ෂවලට එන නිදහස්කාමී ස්ත්‍රීන් ලිංගික වහලියන් කරගන්නා වාම නායකයන්ය. 

ලෝකයේ නූතන හා පශ්චාත් නූතන කලා ව්‍යාපාරය තුළ පෙරමුණ ගත්තේත්, ස්ත්‍රී අයිතිවාසිකම් වල පෙරමුණ ගත්තේත්  රැඩිකල් වමේ ව්‍යාපාරයේ සාමාජිකත්වයයි. එසේත් නැතිනම් එහි ආනුභාවය ලැබූවන්ය. බියටි්‍රස් වෙබ්ලා හා වර්ජිනියා වුල්ෆ්ලා නායකත්වය දුන් පුරෝගාමී ස්ත්‍රී පරපුරේ පදනම තිබුණේ රැඩිකල් වම තුළය.  එබඳු පදනමක් නැති තැනක සංස්කෘතික නියඟයන් මිස වර්ජිනියා වුල්ෆ්ලා පූදින්නේ නැත. අප මුහුණ දෙමින් සිටින්නේ මේ කටුක ඉරණමටය. ‘තෙත් භූමි’ රකින්නට කලාකරුවන්, කලාරසිකයන් හා අනාගතවාදීන් පෙළ ගැසිය යුත්තේ ඉහත කොන්දේසි මේ භූමියේ නැති නිසාය.

-නන්දන වීරරත්න 

Friday, September 14, 2018

“ස්ත්‍රී කෙමිය”



ස්ත්‍රීත්වයට වඩා “ස්ත්‍රී කෙමිය” ගැන හද ඇතිරී තිබූ කුහුල හා ඒ මැදින් ගොඩ නැගුනා වූ ප්‍රශ්නාර්ථය බොහෝ කල් නිදන් ගත වූවකි. කුහුලක් දැනවූ මේ දාර්ශණික පිපාසාව නදීකා හමුවන තුරුම නිසි උත්තරයක් නොතිබූ පැටි වියේම මහද නිධන් ගත වූවකි. විටෙක ජීවිතයට හමුවූ විවෘතම ගැහැණුන් පවා සඟවාලනු ලැබූවකි. සම්බුද්ධ පාද මූලයේ විමුක්තිකාමි සරාඟී ස්ත්‍රීන් විසින්ද අවුලා තැබූ “යෝනි කෙමිය” ගැන මේ පිපාසිත කථාව නදීකා බණ්ඩාරගේ ප්‍රවාදය තුළ ඉසඹුවක් ලැබුවේය. තන්ත්‍රයානික බෞද්ධ සාරය ඔස්සේ වියමන් බැඳ ලැබූ “ස්ත්‍රී කෙමිය” ගැන වූ සුවිශුද්ධ විවරණය සොබා රිද්මයේ හමුවූයේ නදීකාගේ “ස්ත්‍රී කෙමිය” ගැන වූ දාර්ශණික සල්ලාපයෙනි. ස්ත්‍රිය ඇසුරු කිරීමම පුරුෂාධිපත්‍යයකැයි මම සිතමි. නදීකා ගැන මට එහිදී විවේචනයක් නැත. බහුසරාගීත්වය හෝ සමසරාගීත්‍වය නොවේ නම් ද්වි සරාගීත්‍වය හෝ විෂම සරාගීත්‍වය ලෙස කවර ඉමක හෝ පුරුෂයා ස්ත්‍රිය මත පීඩකත්‍වය මුදා හරින බවට විවාදයක් නොවිණි. නදීකා කියන ලෙස සරාගය, බහු සරාගික, සමසරාගික හෝ දිවි සරාගික නැත්නම් විෂම සරාගීත්‍වය ලෙස මායිම් බද්ධ සීමාවෙන් සෙවිය නොහැකි විෂයකි. එනමුත් මායිම් බද්ධ සීමාවෙන් භේද විභේදා ගත් සංජානනය තුළ එලෙස කථිකා නොකොට බේරුම් කරගත නොහැකිය. මේ විෂය රසාලිප්තය ගෝචර රසයෙන් වියුක්තව ගුප්ත සදාචාර වහලෙකුට සින්න කර ස්ත්‍රී පුරුෂ සියල්ල විඳවන සදාතනික වේදනාවේ මමංකරය පුපුරුවාලීමට නදීකා කරන දෲඪ ප්‍රයත්නයට සැබැවින්ම ආසක්තද වූයෙමි. ස්ත්‍රිය නමින් යමක් පවතීද?  පුරුෂයා නමින් යමක් පවතීද? නිමක් නැති ගැටුමකට මානවයා ඇද තැබූ මේ බද්ධ සීමා මායිම්කරණය වියුක්ත කර දමා ගන්නට ආරෝපණ කරගත් සියළු දැකීම් විසින් යලි යලි ගල් ගසා පවුරම බැඳ ගෙනය. එහි සිරගතව ඇති ඛේදනීය ඉම ගැන නදීකා බණ්ඩාර හෙලන දැකීම අන් කවර දැකීමටත් වඩා සොබාවාදී යැයි මම නිර්භයවම කියමි.



මිනිසා සොයන පරමානන්දය කොතැනද?. “ස්ත්‍රී කෙමිය” පුරුෂ ලිඟුවට සාපේක්‍ෂ පරමානන්දය බවට ද, පුරුෂ ලිඟුවට සාපේක්‍ෂ පරමානන්දය “ස්ත්‍රී කෙමිය” බවට ගල් ගසා පැල කරගත් මිත්‍යාවද දැන දැන මානවයා නඩත්තු කරගනී. එයම බලය වියුක්ත කොට සරාගය වර නගා ගැනීමට ඇති නොහැකියාවය. නොවේ නම් “ස්ත්‍රී කෙමිය” මෙන්ම පුරුෂ ලිඟුව ද ගෝචර කරගත් බද්ධ සීමාය. ඒ සීමා වූ කලී බලය හා තෘප්තිය අතර ද වේදනාව, තෘෂ්ණාව හා සංවේදනා අතර ද තුලනය නොදුටු පුහුදුන් මානව දුක්ගැනවිල්ලේ උමතු මමංකාරයෙහි පාට තවරා ගත් සම්මතය ය. මේ සම්මතය පිළිබඳ පුපුරවා ලීමකට නදීකා බණ්ඩාර “තෙත් භූමි” වේදිකාවට නගා ඇතැයි සිතුණි. ඇගේ රචනා වීමංසා වගේම හමුවීම් මැද දොඩන දෲඪ ක්‍රම විරෝධී සොබාවාදය මේ බද්ධ සීමාවෙන් පිටත සිටිනා මාවද කුල්මත් කළේය. ඒ කුල්මත් බව කවරක්ද? මම තවමත් “තෙත් භූමි” කියවා ගන්නට වෙර දරමින් සිටිමි. එහෙත් ඒ ගැන ලියන්නට පමා නොකල යුත්තේය.   “ස්ත්‍රී කෙමිය” පෙලන ප්‍රශ්ණය පුරුෂ ලිඟුව ද ගොදුරු කර ගත්තක් බව මාගේ තේරුම් ගැනීමය. එය කෙසේ වුවත් නදීකාගේ වේදිකා වියමන මඟහැර යා නොහැකි රංග පීඨයක් බව කිව යුතුමය.



පළමුව වේදිකාවක අහම්බෙන් හමුවන සාමූහික රංගනය දුටුවේ බොහෝ කාලාන්තරයකිනි. නදීකාට තම ශිල්ප කැළ මේ තරමට නිර්මාණයට ආවේශගත කර තබා ගත හැකිවූයේ කෙලෙසද ? නාට්‍යවේදී ශිල්පීය ශෛලිය මෙයැයි සිතමි. වේදිකාව අන් රංග කලා මායිමෙන් වෙනත් අනන්‍යතාවයක් හිමිකර ගන්නේම මෙකී ශිල්ප ශෛලිය නිසාය. ඒනයින් “තෙත් භූමි” වේදිකා කලාවේ ශිල්පීය අවස්ථාවක් පිළිබඳ මෑත කාලීන ලකුණක් ලෙස හඳුනාගත හැකිය. සාමුහික රංගාවෘත්‍රය වඩාත් තීව්‍රර වන්නේ මේ සියළු ශිල්පීන් සම්මත රංග ශිල්ප රාමුවෙන් මායිම් බද්ධ නොවූ බැවිණි. කෞශල්‍යය පිළිබඳ නදීකා මුද්‍රාගත කරන මෙම ඉඟිය ඈ “තෙත් භූමි” හරහා දිග හරින විෂය ක්‍ෂේත්‍රයෙහිම දිගුව විද්‍යාමාන කරතැයි හැඟේ. අන් අතකින් “තෙත් භූමි” රංග වින්‍යාසය සේම සිද්ධි වියමන ඓතිහාසික පුරාවෘත සිතුම් අවදි කරවයි. සැබැවින්ම ලංකා සමාජයේ දඹදෙණි කතිකාවත පැනවෙන තුරා පැමිණි කින්නඟරාවියන්ගේ සමාජ රංචු ගැන අවදි මතකයන් “තෙත් භූමි” තුළින් සිහිපත් විය. 



කින්නඟරාවියන්ට එරෙහිව පුරුෂ පීඩනයත්, ස්ත්‍රී පීඩනයත් බ්‍රාහ්මණ බුද්ධාගම විසින් වර නගා වික්ටෝරියානු ක්‍රිස්තියානි බුද්ධාගම ඔස්සේ ක්‍රියාවට නැඟුණු ඉතිහාසය සිහිපත් විය. එමෙන්ම එය කින්නඟරාවියන්ට පමණක් නොව කින්නඟරාවන්ට ද එරෙහිව පීඩනයක් බවට පත් වූ දේව ආගම්වල ශාපයේ දෝංකාරය සිහිපත් කරවන තරම් භාවතිෂය බවක්ද දැනුණි. සමස්ත ලෙස නාට්‍යයට පාදක නාද මාලාවද අවම දෙබස් ද කලාවේ රාගය රැකගත් බව සිතේ. “ස්ත්‍රී කෙමිය” පමණක් නොව පුරුෂ ලිඟුවේ විඩාව පීඩාව අරභයා ද නදීකා වේදිකාවට ගොඩ නඟන නිර්භය පිවිසුම ප්‍රපංචයේ මූලය විය යුතුය. එහෙත් නදීකාගේ රංග වේදිකා වියමන ස්ත්‍රී කුහකත්‍වය මෙන්ම පුරුෂ කුහකත්‍වය විසින් වල දමන බව නම් සත්‍යයකි. නදීකාගේ නැඟීම පෙන්වන්නේ එක් දෙයකි. පුරුෂයාගේ පීඩාකාමුකත්‍වය අභිබවන තරමට ස්ත්‍රී කුහකත්‍වය ද පීඩාකාමුක බවය. මෙලෙස “තෙත් භූමි” හරහා නිර්මාණය වී නිරාවරණය වන්නේ මනුෂ්‍ය ජීවිතයට සොබා දහම් යුගයේ තිබූ නිර්ව්‍යාජයය. “ස්ත්‍රී කෙමිය” ඒ නිර්ව්‍යාජ සමයේ විඳ ගත් පහන් රාගයය. කින්නඟරාවියන්ගේ ආල සැළලිවල ශෘංගාරයෙහි අවිහිංසක ලතාවය. ඒ ලතාවේ ලතැවිල්ල පිරිමින් මැද විඳ ගන්නට හැකිවීම “තෙත් භූමි” මැදින් නදීකා බණ්ඩාර පුරුෂ පීඩකයන් හා ස්ත්‍රී පීඩකයන්ට දමා ගසා ඇති ස්ත්‍රී කෙමියේ ශෘංගාර කැරැල්ලය. ඇය සංයමය හදවතටම ගෙන සුහුරු දෲඪ භාවයෙන් ලාංකික කින්නඟරා අන්දරය දිග හැරිය යුතුය. ඒත් නදීකාගේ සංයමය නදීකාම බිඳ දමා ගැනීම ඇයට අගුණ දෙන තැනය. නදීකාට  සංයමය යන්න පුරුෂ පීඩකයාගේ නාදයෙන් නොඇසී කින්නඟරාවි කින්නඟර ආලයෙන්ම දැනේ නම් නදීකා බණ්ඩාරට කලාත්මක යගදාවේ “ස්ත්‍රී කෙමිය” එසවිය හැකිය. 

සුජිත් අක්කරවත්ත. 

Tuesday, September 11, 2018

නදීකා බංණ්ඩාරගේ ‘තෙත්භූමි’ 28දා




නදීකා බංණ්ඩාරගේ නවතම රංග කාර්යය ‘තෙත්භූමි’ සැප්තැම්බර් 28 වනදා සවස 7.00ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වේ.


ප්‍රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි. 

නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහගෙනි.


නර්තන රචනයෙන් සුසන්ත ප්‍රදීප් දායක වන අතර මුරුගන් එමා රංග භාණ්ඩ නිර්මාණය කරයි. 

‘තෙත්භූමි’ මයි වොයිස් ෆෙමිනිස්ට් තියටර් ඉදිරිපත් කරයි.   

Sunday, September 2, 2018

සමස්ත ලාංකීය රංගකලාවේ හැරවුම් ලක්ෂ්‍යයක්




නදීකා බණ්ඩාරගේ ‘තෙත් භූමි’ නැරඹුවෙමි. කුරිරු රංග කලාව ඇය ස්පර්ශ කර ඇත්තේ ඇගේ ජිවිතයේ කුරිරු ජීවන ස්වභාවය තුළමය... නමුත් නදීකාගේ වේදනාව හැම ස්ත්‍රීයකගේම වේදනාවයි.... ඒ වේදනාවේ මූලිකයා පිරිමියා කියා නදීකා සිතා සිටිනවා නම් එය කවමදාවත් සත්‍යයක් නොවේ.... ගැහැණු වේවා... පිරිමි වේවා... වේදනාව ශාරීරිකව නොව මානසිකව සමස්ථ මනුෂ්‍යයාටම පොදු කරුණකි.... ඔබ ශාරිරික වේදනාව තුළ සමස්ත පිරිමියාට සාපකර ඔහුව අතහැර කාන්තා විමුක්තියක් ගැන සිතන්නේ නම් ඔබේ විමුක්තිය ඔබ ලඟම සදාකල් තියේවි.... අපට තනි තනියෙන් ලඟාකරගන්න පුලු‍වන් විමුක්තියක් නැහැ නදීකා...

කෙසේ නමුත් නදීකා ඔබ අතුලු‍ ඔබේ කණ්ඩායමේ ඉතාමත් ශ්‍රේෂ්ඨතම පෙනී සිටීම ලෙස මා මේ පෙනී සිටීම දකින්නෙමි.... එය සමස්ත ලාංකීය රංගකලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මා ඉතාමත් වගකීමෙන් කියන්නෙමි.... ඔබ ඇතුළු ඔබේ නාට්‍ය කණ්ඩායමට ජය වේවා.....

ජෙහාන් අප්පුහාමි