Friday, September 14, 2018

“ස්ත්‍රී කෙමිය”



ස්ත්‍රීත්වයට වඩා “ස්ත්‍රී කෙමිය” ගැන හද ඇතිරී තිබූ කුහුල හා ඒ මැදින් ගොඩ නැගුනා වූ ප්‍රශ්නාර්ථය බොහෝ කල් නිදන් ගත වූවකි. කුහුලක් දැනවූ මේ දාර්ශණික පිපාසාව නදීකා හමුවන තුරුම නිසි උත්තරයක් නොතිබූ පැටි වියේම මහද නිධන් ගත වූවකි. විටෙක ජීවිතයට හමුවූ විවෘතම ගැහැණුන් පවා සඟවාලනු ලැබූවකි. සම්බුද්ධ පාද මූලයේ විමුක්තිකාමි සරාඟී ස්ත්‍රීන් විසින්ද අවුලා තැබූ “යෝනි කෙමිය” ගැන මේ පිපාසිත කථාව නදීකා බණ්ඩාරගේ ප්‍රවාදය තුළ ඉසඹුවක් ලැබුවේය. තන්ත්‍රයානික බෞද්ධ සාරය ඔස්සේ වියමන් බැඳ ලැබූ “ස්ත්‍රී කෙමිය” ගැන වූ සුවිශුද්ධ විවරණය සොබා රිද්මයේ හමුවූයේ නදීකාගේ “ස්ත්‍රී කෙමිය” ගැන වූ දාර්ශණික සල්ලාපයෙනි. ස්ත්‍රිය ඇසුරු කිරීමම පුරුෂාධිපත්‍යයකැයි මම සිතමි. නදීකා ගැන මට එහිදී විවේචනයක් නැත. බහුසරාගීත්වය හෝ සමසරාගීත්‍වය නොවේ නම් ද්වි සරාගීත්‍වය හෝ විෂම සරාගීත්‍වය ලෙස කවර ඉමක හෝ පුරුෂයා ස්ත්‍රිය මත පීඩකත්‍වය මුදා හරින බවට විවාදයක් නොවිණි. නදීකා කියන ලෙස සරාගය, බහු සරාගික, සමසරාගික හෝ දිවි සරාගික නැත්නම් විෂම සරාගීත්‍වය ලෙස මායිම් බද්ධ සීමාවෙන් සෙවිය නොහැකි විෂයකි. එනමුත් මායිම් බද්ධ සීමාවෙන් භේද විභේදා ගත් සංජානනය තුළ එලෙස කථිකා නොකොට බේරුම් කරගත නොහැකිය. මේ විෂය රසාලිප්තය ගෝචර රසයෙන් වියුක්තව ගුප්ත සදාචාර වහලෙකුට සින්න කර ස්ත්‍රී පුරුෂ සියල්ල විඳවන සදාතනික වේදනාවේ මමංකරය පුපුරුවාලීමට නදීකා කරන දෲඪ ප්‍රයත්නයට සැබැවින්ම ආසක්තද වූයෙමි. ස්ත්‍රිය නමින් යමක් පවතීද?  පුරුෂයා නමින් යමක් පවතීද? නිමක් නැති ගැටුමකට මානවයා ඇද තැබූ මේ බද්ධ සීමා මායිම්කරණය වියුක්ත කර දමා ගන්නට ආරෝපණ කරගත් සියළු දැකීම් විසින් යලි යලි ගල් ගසා පවුරම බැඳ ගෙනය. එහි සිරගතව ඇති ඛේදනීය ඉම ගැන නදීකා බණ්ඩාර හෙලන දැකීම අන් කවර දැකීමටත් වඩා සොබාවාදී යැයි මම නිර්භයවම කියමි.



මිනිසා සොයන පරමානන්දය කොතැනද?. “ස්ත්‍රී කෙමිය” පුරුෂ ලිඟුවට සාපේක්‍ෂ පරමානන්දය බවට ද, පුරුෂ ලිඟුවට සාපේක්‍ෂ පරමානන්දය “ස්ත්‍රී කෙමිය” බවට ගල් ගසා පැල කරගත් මිත්‍යාවද දැන දැන මානවයා නඩත්තු කරගනී. එයම බලය වියුක්ත කොට සරාගය වර නගා ගැනීමට ඇති නොහැකියාවය. නොවේ නම් “ස්ත්‍රී කෙමිය” මෙන්ම පුරුෂ ලිඟුව ද ගෝචර කරගත් බද්ධ සීමාය. ඒ සීමා වූ කලී බලය හා තෘප්තිය අතර ද වේදනාව, තෘෂ්ණාව හා සංවේදනා අතර ද තුලනය නොදුටු පුහුදුන් මානව දුක්ගැනවිල්ලේ උමතු මමංකාරයෙහි පාට තවරා ගත් සම්මතය ය. මේ සම්මතය පිළිබඳ පුපුරවා ලීමකට නදීකා බණ්ඩාර “තෙත් භූමි” වේදිකාවට නගා ඇතැයි සිතුණි. ඇගේ රචනා වීමංසා වගේම හමුවීම් මැද දොඩන දෲඪ ක්‍රම විරෝධී සොබාවාදය මේ බද්ධ සීමාවෙන් පිටත සිටිනා මාවද කුල්මත් කළේය. ඒ කුල්මත් බව කවරක්ද? මම තවමත් “තෙත් භූමි” කියවා ගන්නට වෙර දරමින් සිටිමි. එහෙත් ඒ ගැන ලියන්නට පමා නොකල යුත්තේය.   “ස්ත්‍රී කෙමිය” පෙලන ප්‍රශ්ණය පුරුෂ ලිඟුව ද ගොදුරු කර ගත්තක් බව මාගේ තේරුම් ගැනීමය. එය කෙසේ වුවත් නදීකාගේ වේදිකා වියමන මඟහැර යා නොහැකි රංග පීඨයක් බව කිව යුතුමය.



පළමුව වේදිකාවක අහම්බෙන් හමුවන සාමූහික රංගනය දුටුවේ බොහෝ කාලාන්තරයකිනි. නදීකාට තම ශිල්ප කැළ මේ තරමට නිර්මාණයට ආවේශගත කර තබා ගත හැකිවූයේ කෙලෙසද ? නාට්‍යවේදී ශිල්පීය ශෛලිය මෙයැයි සිතමි. වේදිකාව අන් රංග කලා මායිමෙන් වෙනත් අනන්‍යතාවයක් හිමිකර ගන්නේම මෙකී ශිල්ප ශෛලිය නිසාය. ඒනයින් “තෙත් භූමි” වේදිකා කලාවේ ශිල්පීය අවස්ථාවක් පිළිබඳ මෑත කාලීන ලකුණක් ලෙස හඳුනාගත හැකිය. සාමුහික රංගාවෘත්‍රය වඩාත් තීව්‍රර වන්නේ මේ සියළු ශිල්පීන් සම්මත රංග ශිල්ප රාමුවෙන් මායිම් බද්ධ නොවූ බැවිණි. කෞශල්‍යය පිළිබඳ නදීකා මුද්‍රාගත කරන මෙම ඉඟිය ඈ “තෙත් භූමි” හරහා දිග හරින විෂය ක්‍ෂේත්‍රයෙහිම දිගුව විද්‍යාමාන කරතැයි හැඟේ. අන් අතකින් “තෙත් භූමි” රංග වින්‍යාසය සේම සිද්ධි වියමන ඓතිහාසික පුරාවෘත සිතුම් අවදි කරවයි. සැබැවින්ම ලංකා සමාජයේ දඹදෙණි කතිකාවත පැනවෙන තුරා පැමිණි කින්නඟරාවියන්ගේ සමාජ රංචු ගැන අවදි මතකයන් “තෙත් භූමි” තුළින් සිහිපත් විය. 



කින්නඟරාවියන්ට එරෙහිව පුරුෂ පීඩනයත්, ස්ත්‍රී පීඩනයත් බ්‍රාහ්මණ බුද්ධාගම විසින් වර නගා වික්ටෝරියානු ක්‍රිස්තියානි බුද්ධාගම ඔස්සේ ක්‍රියාවට නැඟුණු ඉතිහාසය සිහිපත් විය. එමෙන්ම එය කින්නඟරාවියන්ට පමණක් නොව කින්නඟරාවන්ට ද එරෙහිව පීඩනයක් බවට පත් වූ දේව ආගම්වල ශාපයේ දෝංකාරය සිහිපත් කරවන තරම් භාවතිෂය බවක්ද දැනුණි. සමස්ත ලෙස නාට්‍යයට පාදක නාද මාලාවද අවම දෙබස් ද කලාවේ රාගය රැකගත් බව සිතේ. “ස්ත්‍රී කෙමිය” පමණක් නොව පුරුෂ ලිඟුවේ විඩාව පීඩාව අරභයා ද නදීකා වේදිකාවට ගොඩ නඟන නිර්භය පිවිසුම ප්‍රපංචයේ මූලය විය යුතුය. එහෙත් නදීකාගේ රංග වේදිකා වියමන ස්ත්‍රී කුහකත්‍වය මෙන්ම පුරුෂ කුහකත්‍වය විසින් වල දමන බව නම් සත්‍යයකි. නදීකාගේ නැඟීම පෙන්වන්නේ එක් දෙයකි. පුරුෂයාගේ පීඩාකාමුකත්‍වය අභිබවන තරමට ස්ත්‍රී කුහකත්‍වය ද පීඩාකාමුක බවය. මෙලෙස “තෙත් භූමි” හරහා නිර්මාණය වී නිරාවරණය වන්නේ මනුෂ්‍ය ජීවිතයට සොබා දහම් යුගයේ තිබූ නිර්ව්‍යාජයය. “ස්ත්‍රී කෙමිය” ඒ නිර්ව්‍යාජ සමයේ විඳ ගත් පහන් රාගයය. කින්නඟරාවියන්ගේ ආල සැළලිවල ශෘංගාරයෙහි අවිහිංසක ලතාවය. ඒ ලතාවේ ලතැවිල්ල පිරිමින් මැද විඳ ගන්නට හැකිවීම “තෙත් භූමි” මැදින් නදීකා බණ්ඩාර පුරුෂ පීඩකයන් හා ස්ත්‍රී පීඩකයන්ට දමා ගසා ඇති ස්ත්‍රී කෙමියේ ශෘංගාර කැරැල්ලය. ඇය සංයමය හදවතටම ගෙන සුහුරු දෲඪ භාවයෙන් ලාංකික කින්නඟරා අන්දරය දිග හැරිය යුතුය. ඒත් නදීකාගේ සංයමය නදීකාම බිඳ දමා ගැනීම ඇයට අගුණ දෙන තැනය. නදීකාට  සංයමය යන්න පුරුෂ පීඩකයාගේ නාදයෙන් නොඇසී කින්නඟරාවි කින්නඟර ආලයෙන්ම දැනේ නම් නදීකා බණ්ඩාරට කලාත්මක යගදාවේ “ස්ත්‍රී කෙමිය” එසවිය හැකිය. 

සුජිත් අක්කරවත්ත. 

No comments:

Post a Comment