Monday, June 18, 2018

“කෙළින් වීම” බස්සපු මං කෙළින් මිනිහෙක්...

...නොහොත් 
වමේ පියවරු ශිෂ්ට කිරීමේ සායක්කාරගේ අනුරාගය





ස්ත්‍රියගේ “සංසර්ගීය සතුට” කියන්නෙ මොකද්ද කියන එක ගැන ලාංකීය පුරුෂ නාට්‍ය කලාවේ සායක්කාර තැබූ සටහන නැවත හැරවිය නොහැක. එය සායක්කාරට වුවමනා වුවද හැරවිය නොහැක. කොටින්ම කියනවා නම් එකී ස්ත්‍රියගේ සංසර්ගීය ආශාව නිසා නාගසිංහ නම් පිරිමියාගේ පුරුෂ ලිංගය කෙලින් වූ අතර ප්‍රේක්ෂකාගාරයේ පිරිමින්ගේ ලිංගයන් පණ නැති වෙන තරමටම ඇය ඇගේ ආශාව ප්‍රකට කරවනු ලැබුවාය. බැලු බැල්මට නාට්‍යය තුළ වාමාංශික විරෝධයක් ඇතැයි ඇතැමුන් කලබල වීමට ඉඩ ඇත. නමුත් සායක්කාර කරන්නෙ වම බේරා ගැනීමය. සායක්කාර මේ කියන්නෙ තක්ෂිලා වැනි හරියට තමන්ගේ “ගේම්” එක ගහන ගෑනු හිටියා නම් වාමාංශයට මෙහෙම නොවන බවයි. ආතල් ගත් ප්‍රේක්ෂකාගාරය ගල් ගැසෙන්නෙ වම පවා දුන් නිසා නොවෙයි. ඈ විසින් නාගසිංහව ඇඳක බැඳ දැමූ නිසාද නොවෙයි. ස්ත්‍රියගේ විනෝදය සහ පුරුෂ ලිංගය අතර ඇති පැල්ම තුළ ප්‍රේක්ෂකයාගේ ආතල් එක කැඩීම නිසාය. නාටකය ප්‍රේක්ෂක මනසේ කොටස් දෙකකට කැඩී යයි. පළමු කොටස නාගසිංහගේ ආශාව සහ ප්‍රේක්ෂකයාගේ ආශාව එකට සමපාත වෙමින් නාටකය ගමන් කරන දුරයි. තක්ෂිලා ප්‍රකට කරවනු ලැබූ ආශාවේ නාගසිංහ මෙන්ම ප්‍රේක්ෂකයාද ගැලෙයි. ප්‍රේක්ෂකයාගේ ආශාව ලෙස සායක්කාර ගොඩ නගන්නේ තක්ෂිලා නාගසිංහගේ ලිඟුවට ආශා කිරීමයි. ඔහු සමග ඇති සංසර්ගයට ආශා කිරීමයි. නාටකය මුලදී එය නාගසිංහගේ මෙන්ම ප්‍රේක්ෂකයාගේ ආශාව බවටද පත් කිරීමට සායක්කාර සමත් වෙයි. දිගින් දිගටම ප්‍රේක්ෂකයාට මෙම විනෝදයේ ගැලී සිටීමට ඉඩ දෙන මෙන් කොක් හඬලා සිනහසෙන ප්‍රේක්ෂකයා ඉල්ලා සිටී. ව්‍යාඝ්‍රා පෙත්තක් වෙනුවට දෙකක් දැමුවේ ඈ නාගසිංහ ලවා කර ගැනීමට තිබූ ආශාව නිසා බව තක්ෂිලා වරින් වර කියයි. ප්‍රේක්ෂකයා පැටලෙන්නේ ඈ නිර්මාණය කරන මෙම ආශාව වටාය.



 https://www.youtube.com/watch?v=Trft01UetSI&feature=share

මේ වගේ ගැහැනියක්... පිරිමියෙකුගේ ලිඟුවට ආශා කරන ගැහැනියක්... පිරිමි ප්‍රේක්ෂකයාගේ විනෝදය නාටකයේ ආරම්භයේ සිට මනා ලෙස ගොඩ නගයි. ප්‍රේක්ෂකයන් සිනහවෙන්, විනෝදයෙන් එහි පැටලෙයි. මෙවන් ගැහැනියක්... ප්‍රේක්ෂකාගාරයම කෙළින් කිරීමට සමත් ගැහැනියක්...  සංසර්ගය සහ ස්ත්‍රිය සම්බන්ධයෙන් ආතල් ලොරියක් අස්සේ ඔහු ප්‍රේක්ෂකයා විනෝදයේ ගිල්වයි. එහෙත් හදිස්සියෙම නාටකය ඛණ්ඩනය වෙනු ලබන්නේ තක්ෂිලා සංසර්ගය සමග කිසිදු සම්බන්ධයක් නැති බවත් ඇය නාගසිංහගේ බලය සහ මුදල් සමග එතුවක් ගනුදෙනු කර ඇති බවත් දැනෙන විටය. එතෙක් නාගසිංහගේ විනෝදය සමග එක්වූයේ නම් ප්‍රේක්ෂකයාට සිදු වන්නේ එම විනෝදයට දඩුවම් ලැබීමටයි. ඒ නාගසිංහ ගැට ගසා දැමීම හෝ ඔහු පාවා දී ඇය මුදල් ලබා ගැනීම නිසා නොවේ. සංසර්ගයේ දී ඈ දී ඇත්තේ බොරු ආතල් එකක් බවත්, ඈ කෙඳිරි ගා ඇත්තේ බොරුවට බවත් දැන ගැනීම නිසාය. ප්‍රේක්ෂකයාද නාගසිංහ මෙන්ම තක්ෂිලා සමග රමණයෙන් භාවාත්මක ඒකත්වයකට පත්ව සිටියේ නම් ඔහු නාගසිංහ මෙන්ම අකරතැබ්බයකට වැටේ. නාගසිංහගේ වේදනාව කෝටි හතර නැති වූවාටත් වඩා වැඩි යමකි. වාමවාදී ඔහුගේ ශුද්ධත්වය කෙලෙසා ගැනීමටත් වඩා වැඩි යමකි. ගැහැනියට තමන්ගේ ලිංගියත් එක්ක කිසිම සම්බන්ධයක් නැති බව දැන ගැනීම! සායක්කාර ඔහුටත් ප්‍රේක්ෂකයාටත් දෙන දඬුවම එයයි.  ඔන්න පිරිමින්ට ආශාව නිස්සරණය කිරීමට වුවමනා නම් ‘මම කෙළින් මිනිහෙක්’ හොඳ අත්දැකීමක්. නැවත කෙළින් වීමට නම් “මං කෙළින් මිනිහෙක්” සදහටම අමතක කර දැමිය යුතුය.

එස්කිමෝවරු ස්ත්‍රියගේ යෝනි මාර්ගයේ දත් ඇති බව කීවේ කට කහනවාට නොවේ. බලාගෙනයි!
  
හදිස්සියේම ඇගේ ආශාත්මක කෙඳිරිය පිටුපස තිබුණේ වෙනත් අරමුණක් බව පිරිමියෙකුට දැනුණු පසු... සායක්කාර පිරිමින්ගේ විනෝදය කප්පාදු කරයි. වාම හෝ දක්ෂිණ දේශපාලනික හෝ කුමන හෝ පිරිමියෙකු වන ප්‍රේක්ෂයෙකුට මෙම කප්පාදුවෙන් ගැලවිය නොහැක. සායක්කාරගේ නාට්‍ය බැලුවට පස්සෙ පිරිමින්ට දෙකින් එකක් තියෙනවා. එකක් දිගින් දිගටම ගැහැනියට තමාව රවටන ලෙස ඉල්ලා සිටිමින් ස්වයං රැවැටීම තුළ ලිංගයන් කෙළින් කර ගැනීමයි. නාගසිංහගේ බහින්නෙ නැති ලිගුව නිර්මාණය කරන සායක්කාර කරනුයේ පිරිමි ප්‍රේක්ෂකයාගේ කෙලින් වුණ සුරතලා පණ නැති කිරීමයි. මෙය ප්‍රේක්ෂකාගාරය දැඩි කෝපයකින් අවුලුවා ලීමට තරම් සමත් එකක් වෙන්ඩ පුළුවන්. එහෙත් මේ දඬුවම ඔහු කරන්නෙ තමන්ගේ සහෝදරයන් ගැන ආදරෙන් කියලා තමයි මට හිතෙන්නෙ. නාගසිංහලා වගේ පිරිමින්ට ගැට ගැහුනු ගැහැනු ප්‍රේක්ෂකයෙක් නම් නාට්‍ය ගැන තරහා වෙන්ඩ පුළුවන්. මොකද පිරිමින්ගේ පුරුෂ ලිංගය සමග තමන්ට කරන්ඩ සිදු වෙලා තියෙන ගේම් එක එළිදරව් වීම තරමක අපහසුතාවයක් වෙන්ඩ පුළුවන්. ඒ අනුව සායක්කාර ගැහැනුන්ට කරලා තියෙන්නෙ “බඩේ පාර දීමක් ” වගේ එකක්. මොකද පිරිමින්ට ඕනේ තමන්ගේ ලිගුවෙන් සතුටට පත් වෙන ගැහැනියක්. ගැහැනියක් පුරුෂ ලිංගයට දක්වන සංකීර්ණ සබඳතාවය ඔහු ගොඩ නගනවා. කොටින්ම ස්ත්‍රියක් පුරුෂ ලිංගයට දක්වන  ලිංගික දේශපාලනය ඔහු ගොඩ නගනවා. කොමියුනිස්ට්වාදය විශ්වාස කරන පිරිමි සහ දක්ෂිණාංෂික අදහස විශ්වාස කරන පිරිමි කියලා පිරිමි වෙනස් වෙන්නෙ නැති බවත් ගැහැනු හොඳටම දන්නවා. දක්ෂිණාංෂික පොහොසත් පිරිමින්ට වමේ පිරිමින්ට වඩා ගැහැනු ආකර්ශණය වෙන්නෙ ඒකයි. මොකද ඔවුන් ගැහැනුන්ගේ ලිංගික ශ්‍රමයට ගෙවනවා. ඔවුන් ඒක ගෙවන්නෙ ශ්‍රමයට මිලක් හැටියට නෙමෙයි. තමන්ගේ සුරතලා සම්බන්ධයෙන් ගැහැනු දෙන ව්‍යාජ පරිකල්පනයේ ගැලෙමින් ගැහැනියගේ සිරුර තුළින් සිය ප්‍රචණ්ඩත්වය නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔවුන් සන්තෝසම් දෙන්ඩ පැකිළෙන්නෙ නෑ. හැබැයි රාජ්‍යය වෙනස් කරන්ඩ සිහින දකින පිරිමි තමන්ගේ ලිඟුවට දී ඇති ව්‍යාජ පරිකල්පනය අතහැරීමට සුදානම් නැහැ. ගැහැනියගේ හීලෑ කරන ලද සිරුර ධනවාදයටත් වඩා පැරණි එකක්.  තමන්ගේ සිරුර හීලෑ කරලා කියලා ගොඩාක් ගැහැනු දන්නෙත් නෑ. මේ හීලෑ කරපු ශරීරය තමයි සියලුම පිරිමින්ට දීලා තියන එකම සහනය. අසංක සායක්කාර මේක ගැන ඉඟියක් දෙනවා. වාමාංශික යනු පක්ෂ දේශපාලනයෙන් එහා තිබෙන මිනිසා තමාගේ සියලු දුෂ්ටත්වයන්ට එරෙහිව කරන සටනක් මිසක් බොරු දෙවියන් වැඩ සිටින දේවාලයක් නොවේ. ඒ වගේම ඒක කාගේවත් උරුමයක්, පන්සලක් නොවේ. බෞද්ධ දර්ශනයේ නාමයෙන් සිදු වන විගඩම් බෞද්ධ දර්ශනයේ පැවැත්ම වෙනුවෙන් ඉවසන රටක වමේ පූජනීයත්වය වෙනුවෙන් එහි විගඩම්ද ඉවසිය යුතු නැත. ස්ත්‍රිය සම්බන්ධයෙන් වැඩවසම්වාදය ක්‍රියාත්මක කිරීමට ගිවිසගෙන ඉන්න “පවතින වම” සමග ස්ත්‍රියක් පවත්වාගත යුතු සබඳතාවය කුමක්ද යන්න ගැටලුවක්ව ඇත. පවතින වාමාංශික පක්ෂ හා සියලු දේශපාලන කණ්ඩායම් ස්ත්‍රිය සම්බන්ධයෙන් දරන්නේ එකම ස්ථාවරත්වයකි. ස්ත්‍රියක් තක්ෂිලාගේ පීඩිත බල ගේම් එකෙන් එළියට ඒම ස්ත්‍රියගේ දේශපාලනයේ ඇරඹුමයි. නමුත් එය ස්ත්‍රියගේ සිරුර සම්බන්ධයෙන් වූ ස්වයං නිර්ණ අයිතිය සමග බැඳී තිබෙයි. පෙඩරල් යන වචනය ඇහෙනකොට වෙව්ලන රටක ස්ත්‍රියගේ සිරුරේ ස්වයං නිර්ණ අයිතිය! ගණන් ගන්ඩ ඒපා ඒක පොඩි විහිලුවක්. වම දකුණ භේදයක් ස්ත්‍රියගේ සිරුර සම්බන්ධයෙන් නැත. ඇයව වමටද දකුණටද වස්තුවකි. තක්ෂිලාගේ ගේම් එක කියන්නෙ පුරුෂයාට රාජ්‍යය විසින් ඓතිහාසිකව පවරා දුන් හීලෑ කරපු ශරීරය. ඒ නිසා තක්ෂිලා කරන්නෙ ස්ත්‍රීවාදී වැඩක් එහෙම කියලා කවුරුවත් ස්ත්‍රීවාදය සමග ආරවුල් හදා ගන්ඩ හදන්ඩ එපා. බොහෝ ගැහැනු ස්ත්‍රීවාදයට වඩා තක්ෂිලාගේ ගේම් එක තෝරා ගනී.


සංසර්ගය සම්බන්ධයෙන් වූ නාගසිංහගේ බලය තක්ෂිලා අතට මාරු වෙනතුරු පිරිමි ප්‍රේක්ෂකයකු තක්ෂිලා අතින් අතිශය විනෝදයටත් ප්‍රමෝදයටත් පත් වීමට ඉඩ ඇත. පිරිමි ව්‍යාඝ්‍රා පෙති බොන්නෙ දිගු වේලාවක් කෙළින් කර ගෙන තබා ගැනීමටය. බොහෝ විට දිගු වේලාවක් කරේ නැත්නම් ගැහැනුන් ඔවුන් අතහැර දමා යනවාය යන භීතියක්ද පිරිමි සමාජයේ ඇත. කෝටි හතර ලැබුණු පසුව ව්‍යාඝ්‍රා පෙති කන්ටේනරයක් තක්ෂිලාගේ ගෙදර ඉදිරියේ නවත්වන බව නාගසිංහ ඇයට කියයි. ඔහුට වැරදෙන්නේ කොතැනද? නාගසිංහට වැරදෙන්නේ ඔහු හොඳ බඩුකාරයෙක් නොවණු නිසාය. නියම බඩුකාරයන් කිසිවිටක ගැහැනිය විශ්වාස කරන්නේ නැත. එසේම නාගසිංහ තරම් ළඳ බොළඳ ද නැත.  නාගසිංහ හිතන්නේ තක්ෂිලා ඔහුගේ ලිඟුවෙන් සතුටට පත් වෙන බවයි. තක්ෂිලා ඇතුළු මෙලොව උපදින සියලු ගැහැනු පිරිමින්ගේ ආශාව ගැන දැන ගන්නේ හය හතර දැනගන්නා විටය. පිරිමින්ට ඔවුන්ගේ සිරුරෙන් පිටට එල්ලෙන කුඩා කෙළි බඩුව සමග ඇති අනුරාගය ඔවුන් අවිඥාණිකව දැන ගනී. ඉතින් ගැහැනු පිරිමියා තමාට ආශා කිරීමට නම් එම කෙළි බඩුව සමගින් මනා සම්බන්ධතාවයක් තබා ගත යුතු බවද දනී. එසේම පිරිමින්ගෙන් වරප්‍රසාද ලබා ගැනීමටද, සමාජ තුළ තමන්ට අනන්‍යතාවය ලබා ගැනීමටද ගැහැනු මෙම කෙළි බඩුව සමග මනා සබඳතාවයක් තබා ගනී. ඉතින් සායාගේ වචනවලින් කියතහොත් සිතුවිල්ලකින් පවා ඉහලට එසවෙන මෙම සැහැල්ලු බිජ්ජ සමග කළ යුතු දේශපාලනය කුමක්ද කියා සෑම ගැහැනියක්ම දනී. ඒ ගැන උගන්වන්නට පංති දැමිය යුතු නැත. නාගසිංහ පුංචි එකෙකු මෙන් තක්ෂිලාව අවසාන මොහොත දක්වා විශ්වාස කරයි. එයට හේතුව වන්නේ  රට රාජ්ජවල් ජය ගැනීමට පිරිමි මාර ගේමක් දෙන කොට ගැහැනු බිජ්ජ සමග කරන දේශපාලනය ගැන ඔවුන් නොදන්නා නිසාය. පුංචි ළමයි හිතාගෙන ඉන්නෙ සරාගී ආශාව නිසා ගැහැනු පිරිමින්ට තමාගේ ශරීරය තුවාල කිරීමට දෙන බවයි. ඉතින් නාගසිංහගේ පුරුෂ ලිංගය ගැන ආශාව නිසා ව්‍යාඝ්‍රා පෙති දැමූ බව තක්ෂිලා කියූ කොට එය නාට්‍යයේ අවසානය තෙක්ම විශ්වාස කරයි. තක්ෂිලා කරන්නේ  ස්ත්‍රීවාදී වැඩක් කියලා සමහරු රැවටෙන්ඩ ඉඩ තියෙනවා. ස්ත්‍රීවාදීන් ව්‍යාඝ්‍රා පෙති වගේ දේවල් දාලා පිරිමින්ව කෙළින් කරන්ඩ කැමති නැති අයයි. ඒ නිසා තක්ෂිලාලා පිරිමින්ට වුවමනා වෙයි. එහෙත් තක්ෂිලා හොඳින් තබා ගැනීමට නම් නාගසිංහලා කළ යුතු වන්නේ ඇයට ඇගේ ශ්‍රමයට නිසි මිල ගෙවීමයි. එවිට නාගසිංහලාගේ පුරුෂ ලිගුවෙන් කොයි තරම් තෘප්තියට පත් වෙනවා ද කියමින් දැවටෙමින්, ආතල් දෙමින් ඈ නාගසිංහලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරනු ඇත. ස්ත්‍රීවාදියෙකු සෙක්ස් ප්‍රශ්න කළ හැකි වුවද තක්ෂිලාලා කිස ිදිනක සෙක්ස් ප්‍රශ්න කරන්නේ නැත. ඒ නිසා ගේම් එක ඇතුළේ තක්ෂිලාලා  හොඳින් තබා ගැනීමට නාගසිංහලා උගත යුතුය. තක්ෂිලා ස්ත්‍රිවාදී නොවුනද “මං කෙළින් මිනිහෙක් ”ස්ත්‍රීවාදී දේශපාලනය සමග සම්බන්ධ වනුයේ අසංක සායක්කාර සෙක්ස්වල ඇති දේශපාලනය නිරූපනය කිරීමට දක්වන සමත්කම හෙයිනි.
  
නාගසිංහ කෝටි හතරට කෙලවා ගත්තේ තක්ෂිට ලක්ෂ පහළොව නුදුන් නිසාය. ඔහු ලක්ෂ පහළොව දුන්නා නම් මෙම නාට්‍යය ගමන් කරන්නේ වාම විරෝධීත්වයකටයි. මුදල් දුන්නා නම් සිදු වන්නේ නාගසිංහ වම විවේචනය කර, අවසානයේ පක්ෂය පාවා දීමෙන් පසු තක්ෂිලා සමග සතුටින් ගෙවන සියලු ප්‍රශ්න විසඳුණු සුඛාන්තයකි. ඒ වෙනුවට සායක්කාර කරනු ලබන්නේ නාගසිංහට දඬුවම් කිරීමය. දඩුවම් කිරීම ශික්ෂණය කිරීමේ ක්‍රමයකි. ස්ත්‍රියගේ ආශාව පිළිබඳ වූ නාගසිංහගේ පරිකල්පනය බිඳ දැමීම තුළින් නාගසිංහලාගේ ලෝකය ශික්ෂණය කිරීමට නාට්‍යකරුවා උත්සාහ කරයි. සේඩිසම් නැමති ස්වයං පරපීඩක සෙක්ස්වල ඇති ලිංගික තෘප්තිය වන්නේද දඬුවම් කර ශික්ෂණය වීමේ සහ කිරීමේ ආශාවයි. සෙක්ස් කරන විට කස පහර ඉල්ලා සිටින ඇතැම් ගැහැනු සහ පිරිමි ඉල්ලා සිටින්නේ මාව ශික්ෂණය කරන්න යන ගැඹුරු ආයාචනයයි... අසංක සායක්කාරගේ  ‘මං කෙළින් මිනිහෙක්’ කොයි තරම් ලංකාවේ වමට අනුරාගිකද කිවහොත් තක්ෂිලා ලවා කෙල්මන් නාගසිංහ නම් වාමාංශික සහෝදරයාට පාවාදීම කිරීමට ඉඩ දුන්නේ නැත. අවසානයේ යථාර්ථයේදී සිදු වෙන අකාරයට කෙළින් වුණු බිජ්ජ බස්සවා ඔහුව මාධ්‍ය සාකච්ඡාවට ගෙන ගියා නම් පාවා දෙන්නෙකු ලෙස වාම ලෝලියෙකුට හිත හදා ගත හැකිව තිබිණි. එහෙත් ඒ වෙනුවට ඔහු කරන්නේ වාමාංශික තාත්තෙක්ව ගැහැනියක් ලවා ඇඳක ගැට ගසා දඬුවම් කිරීමය. මා හිතන්නේ මේ කාලයේ පිරිමි පිරිමින්ට දඬුවම් දීමට සිහින දකින්නේ ගැහැනියක් තුළිනි. තවත් පිරිමියෙකුට ගැහැනියක විසින් දඬුවම් කරනු දකින්නට පිරිමි හරිම ආශා කරයි. ‘මරාසාද්’ නාටකයේද දඬුවම ක්‍රියාත්මක කරනු ලබන්නේ චාලට් කෝර්දේ ලවාය. 



කොහොම හරි අසංක සායක්කාර අන්තිමට කරේ කෙළින් කරපු එක නෙමෙයි. කෙළින් වෙලා තිබුණු ඒවා බස්සපු එක. ඒක නම් හරිම උත්ප්‍රාසාත්මකයි. ඒ හින්දා අසංක සායක්කාර, ඔයා පැසසුම් බලාපොරාත්තු වෙන්ඩ එපා. කෙළින් වෙලා තියෙන ඒවා බස්සන අයට ලැබෙන ශෝකජනක ඉරණම ඔයාටත් පොදුයි. 

නදීකා බංඩාර





Sunday, June 10, 2018

සොක්‍රටීස්ට ෂෙන්තිප්පේ සමග තිබුනේ ආදර සම්බන්ධයක්ද?





විසේකාරියෝ ගැන කියවීමක්



ප්‍රියංකර රත්නායක විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රීක නාට්‍යයක් වන විසේකාරියෝ (ඇරිස්ටොපානිස්ගේ ලයිසිස්ට්‍රාටා) නාට්‍යය යුද්ධය සහ සාමය පිළිබඳ නාට්‍යකට ලඝු කළ නොහැක. එහි ඊට වඩා යමක් ඇත. එහෙත් එම ඊට වඩා වැඩි දේ ඇත්තේ නාට්‍යය තුළ සිට බැලූ විට නොවේ. 

මතුපිටින් එහි කැරලිකාරියක් ඉන්නවා... සාමය ගැන කතාවක්... ඉතා ශූර රඟපෑමක් හර්ෂිකා රත්නායක ඇතුළු නළු නිළියන් විසින් ඉදිරිපත් කරනු ලබනවා. කෙසේ නමුත් මෙහි ඇති සුවිශේෂීතම දේ වන්නේ නාට්‍යයෙන් “පිටත” බලන්නට මෙම නාට්‍ය නිෂ්පාදනය අපව පොලඹවනු ලැබුමයි. මේ ලිපිය එම “පිටත” ගැන කියවීමක්.”

පුද්ගලයන් දෙන්නෙක් අතර ආදර සබඳතාවයක් තිබෙනවා කියන එකේ තේරුම වෙන්නෙ ඒ ගොල්ල අතර භාෂාවක් වැඩ කරන බවයි. එහෙම නැතිව ඒගොල්ලන්ට ලිංගේන්ද්‍රියන් තිබුණ පලියට එතැන ආලය නිෂ්පාදනය  වෙන්නෙ නෑ.  අපි අතර අද තිබෙන ඓතිහාසික විෂම ලිංගික සබඳතාවය නිර්මාණය කරන්නෙ රාජ්‍යය. ඒ  මිසක් ඒක ප්‍රේමයේ නිෂ්පාදනයක් නෙමෙයි. හරියටම ඉස්කෝල, විශ්ව විද්‍යාල, හිරගෙවල්, පොලීසි නිපදෙව්වා වගේම තමයි. මේක සම්ූර්ණයෙන්ම ගැහැනු සතෙකු සහ පිරිමි සතෙකු අතර තිබෙන ස්වභාවික ලිංගික සබඳතාවයකින් වෙනස්. එතැනදී ඒ සත්තු දෙන්නම දෘෂ්ටිවාදාත්මකව නිදහස්. සත්තු හැසිරෙන්නෙ ස්වභාව ධර්මයේ යම් පෙළඹවීමකට යටත්ව. නමුත් මනුෂ්‍යයා සහ ලිංගික චර්යාව අතර තිබෙනවා හිඩැසක්. ඒ හිඩැස ඇතුළෙ තියෙන්නෙ සංකල්ප. භාෂාව. ලිංගික චර්යාවකට ශරීරය විතරක් නෙමෙයි තියෙන්නෙ. එතැන මැද පාර භෞතික සංකල්පයන් වැඩ කරනවා. 

ගැහැනිය සංසර්ගයට හීලෑ කිරීම

භෞතික සංසර්ගයක පැවතිය හැකි සියලු ප්‍රතිවිරෝධතා ඉවත් කොට එම භෞතික චර්යාව මත ගොඩ නැගූ පාර භෞතිකය වූයේ එය අතිශය මනරම් පහසු දෙයක් ලෙසයි. පුරුෂ ලිංගයක් යෝනියක තුනී පටක තුළින් ගමන් කරන විටක එහි ඉරීම්, සීරීම්, තුවාල ඇති වන බව පවා කියන්නට කිසිම ගැහැනියක් ඉදිරිපත් නොවූයේ පුරුෂ පාරභෞතිකයන් නිපදවීම තුළයි. උදාහරණයක් ලෙස වේගයෙන් සංසර්ගයේ යෙදෙන විට ගැහැනිය සුරතාන්තයට පත් වෙන බවටත් ඔවුන් පරිකල්පනයන් ගොඩ නැගුවා. හැබැයි ඒ පරිකල්පනයේ කොතැනකවත් යෝනිය තුවාල වීමටද ඉඩකඩක් පවතින බවත්, තුවාල වීමෙන් පසුව පැන නගින්නේ පරපීඩක ආශ්වාදයක් බවත් ඔවුන්ට මෙනෙහි වුනේ නෑ. තුවාල විඳ දරාගෙන තමයි ගැහැනිය සංසර්ගයට පුහුණු වෙන්නෙ. මේක ලිංගික ක්‍රියාවලියක තිබිය හැකි සියලු දුෂ්කරතා ඉවත් කිරීමක්. හැම විටම ගැහැනිය සිටින්නෙ ලිංගික අවශ්‍යතාවයකය යන්නත් එකීම පරිකල්පනයේ කොටසක්. ගැහැනියට භාෂාව නිපදවන්න අවසරයක් තිබුනේ නැති හින්දා ඇගේ ස්වයං පීඩක කාමුක චර්යාව ඇගේ දෛනික ජිවන විලාසිතාව උනා.  අන්න එහෙම තමයි ගැහැනිය ස්වපීඩක කාමුකයෙක් බවට ඉතිහාසය ඇයව වර්ධනය කරනු ලැබුවේ. පිරිමියා පරපීඩක කාමුකයෙක් විදිහට ඉතිහාසය සම්පූර්ණ බලය ඔහුට ලබා දෙන විට ගැහැනිය ස්වපීඩක කමුකයෙක් ලෙස පැවත ආවා. හේරා සහ සියුස් අතර සංසර්ගය සම්බන්ධයෙන් ඇති වූ තීරණාත්මක සංවාදයේදී තිරේසිස් භාවිතා කර සියුස් ජය ගනු ලබන්නේ මෙම පුරුෂ පාරභෞතික සංකල්පයන් ඉස්සරහට ගෙනල්ලා.

අපි නිකමට හෝ අහනවාද ගැහැනුන් දාර්ශනිකයන් නොවූයේ ඇයි කියලා. ග්‍රීසිය කියන්නේ පුරුෂ දාර්ශනිකයන් බිහි කරපු බල ප්‍රදේශයක්. අපි නිකමටවත් අහනවද ග්‍රීසියේ ගැහැනු නාට්‍යකාරියන් නැත්තෙ ඇයි කියලා.

“හීතිම” සහ “සංකල්ප” ගොඩ නැගීමේ බලය තිබුනේ පුරුෂයාට. “හීතීම” ගැහැනියට අයත් වූ විෂයයක් නොවෙයි. ග්‍රීසියේ ගැහැනියගේ කාර්යභාරය වුනේ රෙදි විවීම, ගෙතීම සහ කකුල් පළල් කිරීම. කකුල් පළල් කිරීමට ඔවුන් හීලෑ කර තිබුනා. ඔවුන් නිකම්ම ශරීර විතරයි. එතකොට ගැහැනුන්ට “හීතිම” අයත් නොවන කොට ඔවුන් වෙනුවෙන් “හිතීම” කරේ පිරිමි. පිරිමි දාර්ශනිකයෝ. තීරණ ගත්තෙ පිරිමි. ගැහැනිය ගැන සංකල්ප නිපදවූයේ පිරිමි මිසක් ගැහැනු නෙමෙයි. එතකොට මේ භාෂාව තුළ සැබෑ ඇය නෑ. තියෙන්නෙ පිරිමි පාර භෞතිකයන් ටිකක් විතරයි.

සොක්‍රටීස්ට ෂෙන්තිප්පේ සමග තිබුනේ ආදර සම්බන්ධයක්ද?
නැහැ. කිසිසේත්ම “හීතීම” නැති, භාෂාව නිපදවන්න අයිතියක් නැති කෙනෙක් සමග ආදර සම්බන්ධයක් ගොඩ නැගෙන්ඩ බෑ. එතැන අනිවාර්යයෙන් බිහි වෙන්නෙ යටත් වැසියෙක්. අපි දන්නවා ෂෙන්තිප්පේ සොක්‍රටීස් සමග රණ්ඩු කරපු බව. ඇයි ෂෙන්තිප්පේ රණඩු කරේ? ෂෙන්තිප්පේ නපුරු හින්දද ? නෑ. ඇය දන්නවා ඇය සොක්‍රටීස් ඉදිරිපිට ශරීරයක් විතරයි. ඇගේ ශරීරයට ශුක්‍රාණු පිටකරන සොක්‍රටීස් ඊට පස්සෙ ඇගැතන්ගේ ගෙදර ගිහිල්ලා සිම්පෝසියම් එකට සහභාගී වෙනවා. සංකල්ප නිපදවනවා. කථා කරනවා. මධු සාදයේදී ඔවුන් එළිවනතුරු, රෑ වන තුරු දාර්ශනික ප්‍රශ්න වග විභාගයට ගන්නවා. කොටින්ම ඔහු භාෂාව නිපදවනවා... පිරිමි පිරිමි එකතු වෙලා හිතීම තුළින් මානසික ආලිංගනයකට ඇතුල් වෙනවා. පිරිමි පිරිමි ප්‍රේමයෙන් බැඳෙනවා. මේ ඔක්කොමට පස්සෙ ඔහු ගෙදර යනවා. මේකට ඕන, එහෙමත් නැත්නම් පිරිමි - පිරිමි ආදර සම්බන්ධයට ඕන කරන ලිංගික ශ්‍රමය සොක්‍රටීස්ට ලබා දෙන්නෙ කවුද? ඒක තමයි පුරුෂ මූලික රාජ්‍යය. රාජ්‍යය පවත්වාගෙන යෑම සඳහා සංකල්ප නිපදවීම වෙනුවෙන් රාජ්‍යය පෙරළා පිරිමියාට ලබා දෙන සතුට වරප්‍රසාදය මොකද්ද? ගැහැනියගේ හීලෑ කරපු ශරීරය.  සොක්‍රටීස්ට රාජ්‍යය විසින් හීලෑ කරපු ෂෙන්තිප්පේගේ සිරුර ලබා දෙනවා. 
මේ කාරණය ගැන යම් සවිඥාණික අවබෝධයක් තිබුණ නාට්‍යකරුවෙක් තමයි ඇරිස්ටොපානිස්. ලයිසිස්ට්‍රාටා සහ ගැහැනු පාර්ලිමේන්තුව යන කෘතීන් දෙකේම ඔහු මේ ගැන තමයි කතා කරන්නෙ. ඔහු හිනා වෙන්නෙ රාජ්‍යයේ මෙන්න මේ විහිලුවට. ඔහු පුරුෂයාගේ මුග්ධකමට හිනා වෙනවා. ගැහැනියගේ හීලෑ කරපු ශරීරයෙන් පැන නගින අතිරික්ත ප්‍රමෝදය තමයි පුරුෂ මූලික සමාජය ගොඩ නගන්නෙ. ඔහු පෙන්නන්නේ මෙන්න මේ අතිරික්ත ප්‍රමෝදය. මේක ආකාර දෙකකට රාජ්‍යය ගොඩ නගනවා. යුද්ධයේ ආදිකාලිකම එක් රහසක් තමයි ප්‍රතිවාදියාගෙ ගැහැනිය අයත් කර ගැනීම. ආක්‍රමණිකයාගේ ගැඹුරු සතුට වුනේ ඒක. යුද්දෙට යන රණකාමීන්ට ලැබෙන වරප්‍රසාදයක් මේක. බලහත්කාරී ලිංගික සංසර්ගයේ පරපීඩක වින්දනය ඔහුට යුද්ධය ලබා දෙනවා. යුද්ධයේදී රමණය සහ මරණය තියෙන්නෙ එකට. අනෙක් අතට පවුල තුළ ඔහුට සංසර්ගයට හීලෑ කරපු බිරිඳ තුළින් රාජ්‍යයේ සම්මත පරපීඩක සතුට හිමි වෙනවා. ශිෂ්ටාචාරය ගොඩ නැගීම සඳහා ස්ත්‍රියක් සිය ශරීරයෙන් ගෙවූ මිල පැහැදිලියි. පුරුෂයාගේ හිතීිමට ගැහැනිය හසුවුනේ ශරීරය විදිහට. ඔහු ඇගේ ශරීරය සංකල්ප ගත කරනු ලැබුවා. මේ සංකල්ප ගත කිරීම ඇතුලේ ගැහැනිය සහ පිරිමියා අතර සම්බන්ධතාවයේ සංකල්පීය පදනම තමයි පිරිමියෙක් පිරිමියෙක් වීමට ගැහැනිය සමග සංසර්ගයේ යෙදිය යුතු බව. පොන්නයා යන වචනය ඇහෙන කොට පිරිමි කිලිපොලා යන්නෙ අන්න ඒ හින්දා. ගැහැනියකට “කිරීමයි” පිරිමිකමයි අතර භාෂාව ගොඩ නැගෙනවා. පොන්නයෙක් නොවී ඉන්න නම් ගෑනියෙක්ට “කරන්ඩ” ඕන. පොන්නයෙක් නොවීම යනු ගැහැනියගේ හීලෑ කරපු ශරීරයක් ඔහු සතු බවයි. පිරිමියෙක්ට සංසර්ගයට හීලෑ කරපු ගැහැනු අවශ්‍ය වෙන්නෙ  ලිංගික තෘප්තිය වෙනුවෙන් විතරක් නෙමෙයි. ඒක පිරිමිකම බවට පත් වුනාම ඒ පිරිමිකම ඉස්කෝල, විශ්වවිද්‍යාල, හිරගෙවල්, පොලීසි, උසාවි නිපදවනවා.  ශිෂ්ටාචාරය නිපදවීමට  ස්ත්‍රිය දීපු ඓතිහාසික දායකත්වය තමයි ඇගේ සිරුර. “ලිංගිකත්වය” සත්ව රාජධානියෙන් එළියට එන්නෙ එහෙමයි. ඒක ඇතුලේ භාෂාව තියෙනවා. සංකල්ප තියෙනවා. සංඥාවන් තියෙනවා. බලය වැඩ කරනවා. එතකොට ලිංගිකත්වය යනු පිරිමි භාෂාවක්. කිසිම ගැහැනියකට මේ පිරිමි භාෂාව ඇතුළේ “ලිංගික” විමුක්තියක් නෑ. ඒක කවුරු හරි හොයනවා නම් ඒක කෙළවර වෙන්ඩ පුළුවන් ඛේදවාචකවලින් විතරයි. ගැහැනියට ලිංගික විමුක්තිය හිමි වෙන්නෙ ප්‍රති ලිංගික භාෂාවක් නිපදවීමෙන් විතරයි. මේකට ඕනේ ගෑණු “හිතීම”. ගැහැනු තමන්ගේ ලිංගික භාෂාව නිපදවිය යුතුයි. මේකෙන් තමයි ලිංගික බල ධුරාවලියෙන් ඇයට එළියට එන්ඩ පුළුවන් වෙන්නෙ. සමහර අය හිතනවා ගෑනුන්ගේ ලිංගික නිදහස කියන්නෙ පිරිමි ඕනම කෙනෙක් එක්ක නිදා ගන්ඩ තියෙන නිදහස වගේ එකක්. ඒක සේවය කරන්නෙ පිරිමියාගේ ලිංගික භාෂාවට මිසක් ගැහැනියට නෙමෙයි. 

ගැහැනිය නැවත තමාගේ ලිංගිකත්වය සොයා ගත යුතුයි. එය ගවේෂණය කළ යුතුයි. ශරීරය ගවේෂණය කළ යුතුයි. මෙතෙක් අපිට කියලා තියෙන දේවල් ඇත්තද නැත්තද කියලා හොයලා බලන්ඩ ගැහැනියට වෙනවා. ඇගේ ශරීරය ලිංගිකකරණයට ලක් කරනු ලැබූ ඉතිහාසයෙන් ඈ කැඩී වෙන්වීම තමයි ලිංගික නිදහස කියන්නෙ. පැරණි සංසර්ගය අවසන් කරලා අලුතෙන් සංසර්ගය නිපදවන්නෙ කොහොමද කියලා ඇයට සිදු වෙනවා හොයලා බලන්ඩ. 

ඇරිස්ටොපානිස් ගේ “ලයිසිස්ට්‍රාටා” හිතීම පටන් ගන්නවා. ඒත් කෙළවර වෙන්නෙ නැවත හීතිම නවත්තලා. “මේක ගෑනු ගැන නාට්‍යයක් නොවන්නෙ ඒ හින්දයි. ඇත්තටම ඔහුට ඕන වෙන්නෙ ගැහැනුන්ගේ චින්තනය අවදි කරන්ඩ නෙමෙයි. ඒක ඔහුගේ අරමුණ නොවෙයි. ඔහුට ඕන වෙන්නෙ ගැහැනුන්ගේ අතිරික්ත ලිංගික ශ්‍රමය ගැන පිරිමින්ටයි, දාර්ශනිකයන්ටයි මතක් කරලා දෙන්ඩ. මේක ගෑනුන්ගේ නාට්‍යයක් වෙන්නෙ එයාලා තමන්ගේ ලිංගික වහල් සේවය ගැන කතා කරන්ඩ පටන් ගත්තා නම්... විසේකාරියෝ ටික පිරිමින්ට සාමය උදා කරලා ආපහු ලිංගික වහල් සේවයටයි, රෙදි වියන්ටයි, ගොතන්ටයි නැවත ගෙවල්වලට යනවා. ගැහැනු පාර්ලිමේන්තුවත් ඒ වගේමයි. ඔහු කතා කරන්නෙ පිරිමින්ට. ඔහු හිනා වෙනවා පිරිමින්ටයි, දාර්ශනිකයන්ටයි. මොකද ඔහු දන්නවා සොක්‍රටීස්ලා සහ ෂෙන්තිප්පේලා අතරේ ඇති සම්බන්ධතාවය.

පිරිමියා රාජ්‍යයේ ගොදුරක් වෙන්නෙ ඔහුව ගැහැනු ශරීරයට ගැට ගැසීමෙන්. පිරිමියා සංසර්ගයට ගැට ගැසීම යනු පිරිමියා පිරිමියෙකු වීමට නම් නියත ලෙස ස්ත්‍රී සංසර්ගයට යායුතුමයි යන්න. පුරුෂ “අතේ ගැහීම” පුරුෂයාට වරදකාරී අත්දැකීමක් ලෙස රාජ්‍යය විසින් නිපදවනු ලැබුවා. ඒ වගේම ගැහැනියගේ  ක්ලිටෝරසයන් කපා දැමුවා. එහෙමත් නැත්නම් එය නොවැදගත් එකක් බවට පත් කරා. ස්ත්‍රිය ස්වයං වින්දනයේ යෙදීම නවතා ලීමත්, ස්ත්‍රියගේ ලිංගික සංතෘප්තියේ ආවේනික ස්වභාවය විනාශ කර දැමීමත් සිදු කරනු ලැබුවේ එහෙමයි. ස්වයං වින්දනය රාජ්‍යයකට කිසිම ඵල ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙමෙයි. ගොඩාක් මුස්ලිම් රටවල තවමත් ක්ලිටෝරසයන් කපනවා. එවිට ගැහැනියට ඇති තරම් වේලාවක් සංසර්ගයේ යෙදිය හැකියි. ඇයට වේදනාවක් දැනෙන්නෙ නෑ. ඒ වගේම සුරතාන්තයත් නෑ. ළමයි වදන කොට වේදනාවක් දැනෙන්නෙ නෑ. ඇති තරම් යෝනිය භාවිතා කිරීමට දීමටත්, ඇති තරම් ළමයි වදන්නටත් ඇයව භාවිතා කරේ එහෙම. 

විසේකාරියෝ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා කෙළින් කරගෙන එන පිරිමින්ගේ ලිගුව අතිශයෝක්තියෙන් නිපදවීම මම කියවන්නෙ පිරිමියා කොයි තරම් ලිංගික ධුරාවලියේ එනම් “පිරිමි ලිංගික භාෂාවේ” ගොදුරක්ද යනුවෙනුයි. එනම් ඔවුන් ගැහැනුන් ඉදිරියේ කොතරම් නින්දාවට පත් වෙනවාද යත් මට නම් හිතුණේ “මුන්ට අතේ ගහන්ඩ බැරිද” කියායි. ඒ වගේම පිරිමින්ගේ ලිගුව නැතිව දඟලන ගැහැනුන් ගැනද ඇත්තේ එම ප්‍රශ්නයමයි. ගැහැනුන්ටත් ඔය ජාතියෙ පිරිමි නැතුව හොඳ නැද්ද ස්වයං වින්දනයේ යෙදීම? ඇත්තෙන්ම තමන්ව ශරීරයක් විදිහට භාවිතා කිරීමට ඉඩදීමට වඩා හොඳයි ස්වයං වින්දනයේ යෙදීම. නමුත් එහෙම නොවන්නේ ඇයි?  පිරිමි ලිගුව නැතිවීම ගැහැනියකට ලිංගික සංතාප්තිය පිළිබඳ ගැටලුවක් නොව තම වහල් සබඳතාවය පිළිබඳ ගැටලුවක්. පිරිමියාට එය බලය පිළිබඳ ගැටලුවක්. ලිංගික අවයව ඇසුරින් වින්දනයක් ලබා ගැනීමට තව කෙනෙක් අවශ්‍යම නැහැ. නමුත් මනුෂ්‍ය සබඳතාවයක් යනු එතැනින් ඔබ්බේ පවතින යමකි. එනම් මනුෂ්‍යයන් දෙදෙනකු එකිනෙකාට ඇලුම් කිරීම තුළින් ශාරීරිකව එක්ව තෘප්තිය ලබා ගැනීම දෙසට ගමන් කල හැකියි. එය හරියටම දෙන්නෙක් එකතු වෙලා තේ බොමින් හෝ බියර් එකක් බොමින් ගත කරන සෑදෑවක් වගෙයි. ඕනෑම නම් ඇලුම් කිරීම මත ශාරීරිකව හෝ මානසිකව ඕනෑ අටමගලයකට මිනිසුන්ට සංසර්ගයට යා හැකියි. නමුත් ලිගු කෙළින් වීමට වඩාම හොඳම පිළිතුර වන්නේ අතේ ගැසීමයි. නමුත් එය එසේ නොවන්නේ ඇයි? නාටකයේ දී  පිරිමි අතේ නොගසා ගැහැනුන් ඉදිරියේ නින්දාවට පත් වන්නේ “ගැහැනියකට කිරීම” පමණක් ඔවුන්ට පුරුෂත්වය උපදවා දෙන නිසයි. ඇරිස්ටොපානිස් නවතනු ලබන්නේ පුරුෂයාගේ ලිංගික තෘප්තිය නොවේ. ගැහැනියකට කිරීමෙන්  පිරිමියෙකු බවට  පත්වන්නේය යන සංසර්ගය මත ගොඩ නගන ලද පාර භෞතික අදහසයි. ඇත්තෙන්ම එය ලිංගික වර්ජනයක් නොව “ගැහැනියකට කිරීම” පිරිමියෙක් වීමය යන ආතල් එක නතර කිරීමයි.  ගැහැනුන් නතර කර ගැනීමට ලයිසිස්ට්‍රාටාට පහසු නොවන්නේද ලිංගික තෘප්තිය පිළිබඳ ගැටලුවක් නිසා නොව කකුල් පළල් කිරීම රාජ්‍යය විසින් ඔවුන්ට ලබා දී ඇති අනන්‍යතාවය නිසාය. වහල් ගැහැනියට ආත්මය යනු ඇගේ ශරීරයයි. ඇගේ ශරීරය පිරිමියෙකුට භාවිතා කිරීමට දුන් විට තමයි ඇය නිපදවන ලද යම් පැවැත්මක කොටසක් වෙන්නෙ. නැතිනම් වහලෙකු ලෙස ඇති ඇගේ පැවැත්ම අහෝසි වෙනු ලබයි. ගැහැනියගේ වහල්භාවය අහෝසි කිරීමට දේශපාලන ව්‍යාපාරයක් ග්‍රීසියේ තිබුනේ නෑ. ඔවුන් කරේ ඒක ගොඩ නගපු එක. එතකොට කකුල් පළල් නොකර ගැහැනියට එහෙම සමාජයක පැවැත්මක් නෑ.

ස්ත්‍රියගේ “හීතිම” පටන් අරන් මහා ලොකු කාලයක් ගිහිල්ලා නෑ. ස්ත්‍රීවාදය යනු ස්ත්‍රීන් ඉතිහාසයේ හිතීම ආරම්භ කරපු ඉතිහාසය. ඒක තමයි ගැහැනුන්ගේ ඉතිහාසය. එතෙක් ඉතිහාසයක් ගැහැනියට නෑ. ඒ ඉතිහාසය කියන්නෙ පිරිමි එකක්. ස්ත්‍රියක් හිතනවා යනුම ඈ (පුරුෂ භාෂවට) රාජ්‍යයට අහියෝග කිරීම. ග්‍රීසිය ස්ත්‍රියගේ ශරීරය මර්ධනය කරා. ග්‍රීසිය විතරක් නෙමෙයි ලෝකෙ කොහෙත් වුනේ ඒ විදිහටම තමයි. ගැහැනිය මර්ධනය කරේ පුරුෂ තෘප්තියට අදාළව ඇගේ චර්යාවන් සංවිධානය කරන්ඩ. වැඩවසම්වාදී සමාජය තුළ තිබුනෙත් ඒකම තමයි. ධනේශ්වරයේදී සිදු වෙමින් යන්නෙත් ඒකම තමයි. ඒ කියන්නෙ මතුපිටින් නිදහස.
ධනේශ්වරය ගැහැනියට ලිංගික නිදහස අරගෙන එන්නෙ නෑ. එය ව්‍යාජයක්. එය කරන්නෙ පුරුෂ ලිංගික භාෂාවේ සංකේත පද්ධතිය වෙනස් කරන එක. වැඩවසම් යුගයේදී සෙක්ස් තිබුනු විදිහට නෙමෙයි අද තියෙන්නෙ. නමුත් ඒක අතිශය පුරුෂ ඉරොටික් එකක්. නිල් චිත්‍රපටි කර්මන්තය අද ලිංගික රූපය නිපදවනවා. මේ පුරුෂ එකක්. ඇතැම් ස්ත්‍රීවාදීන් ගැහැනුන් උදෙසා පෝර්නෝ නිපදවන්න පටන් ගත්තේ ඒ රූපය සමග සම්බන්ධතාවය බිඳ දමමින්. පුරුෂ නිල් සිනමාව විශාල ලිගු, විශාල පුරුෂ ශරීර පිළිබඳ දෘෂ්ටිවාදයන් නිපදවනවා. සංසර්ග කාලය සහ සුරතාන්තය අතර ව්‍යාජ දෘෂ්ටිවාදයන් නිපදවනවා. දිගු වේලාවක් සංසර්ගයේ යෙදීම ගැහැනියගේ සුරතාන්තය සමග කිසිදු සම්බන්ධයක් නැති දෙයක්. නමුත් ගැහැනියගේ ශරීරයේ සැකැස්ම ගැන කිසිදු අවධානයක් නොදෙමින් ඉතාමත් ප්‍රචණ්ඩ ලිංගික රූපයක් ඔවුන් නිපදවනවා. මේක විශාල ප්‍රාග්ධනයක් ආයෝජිත කර්මාන්තයක්. පරපීඩක කාමුක චර්යාවන් උත්කර්ශයට නංවනවා. එම නිළියන් බොහෝ විට ඒවාට සහභාගි වන්නේ විවිධ නිද්‍රාශීලි පෙති, මත්ද්‍රව්‍ය භාවිතා කරමින්. එය ඔවුන්ට විශාල මිලක් ලැබෙන කර්මාන්තයක්. නිල් සිනමාවේදී ගැහැනිය ලිංගික වස්තුවක් ලෙස උත්කර්ශයට නංවනවා. ඔවුන් යෝනි කේන්ද්‍රීය ලිංගික රූපය සකස් කරන්නෙ ගැහැනියකගේ ශාරීරික ලිංගික සුරතාන්තයේ භෞතික සම්බන්ධතාවය වන ක්ලිටෝරසය සම්පූර්ණයෙන්ම අමතක කර දමා. බොහෝ රටවල් ස්ත්‍රියගේ සිරුර ලිංගික වස්තුවක් ලෙස හීලෑ කරනු ලැබුවේ ක්ලිටෝරසය පිළිබඳ සම්පූර්ණ දැනීම යටපත් කොට දමා. එනම් බොහෝ රටවල්වල කුඩා කාලයේදීම ක්ලිටෝරසයන් කපා දැමුවා. කන්‍යාභාවය වැනි පුරුෂ මූලික චාරිත්‍රයන් තුළින් ඇගේ සිරුර ගැන අවධානය ඇයට නැති කර දැමුවා. මෙම දේම නිල් චිත්‍රපටය තුළ විශාල ප්‍රාග්ධනයක් යොදවමින් සිදු කරනු ලබනවා. මෙම යුගයේ රාජ්‍යයේ පැවැත්මට විශාලම සේවාවක් කරන්නෙ නිල් චිත්‍රපටයි. 
ධනේශ්වරය කරේ ශිෂ්ටාචාරයේ පැවැත්ම වෙනුවෙන් ගැහැනිය ගෙවූ ශාරීරික වන්දිය නැවත ප්‍රති නිෂ්පාදනය කරපු එක. ඒක අහෝසි කරපු එක නෙමෙයි. ඒ හින්දා ධනේශ්වරයේ ලිංගික නිදහස කියන්නෙ ගැහැනියගේ ලිංගික නිදහස නෙමෙයි. පුරුෂයාගේ ලිංගික නිදහස. 

“ජෙන්ඩර්” සමානාත්වය ඉල්ලා සිටීමෙන් මේක වෙනස් වෙන්නෙ නෑ. ඒක තුළම ඉඳිමින් එහි යම් යම් අයිතීන් තමයි ලැබෙන්නෙ. ස්ත්‍රීවාදය ස්ත්‍රී පුරුෂ සමාජභාවයට වඩා වෙනස් වෙන්නෙ ස්ත්‍රීවාදීන් ගැහැනියගේ භාෂාව නිපදවනව හෙයිනුයි. ස්ත්‍රීවාදය කියන්නෙ බැලූ බැල්මට පුරුෂයාට විරුද්ධ දෙයක් ලෙස පෙනුනද එහි අර්ථය එය නොවෙයි. ස්ත්‍රිය වස්තුවක් ලෙස පවත්වාගෙන යන ඓතිහාසික නිෂ්පාදන සබඳතාවය තමයි ස්ත්‍රීවාදය ප්‍රශ්න කරන්ඩ පටන් ගත්තෙ.  
ග්‍රීසියේ ප්‍රඥාවන්ත පිරිමි පිරිමින්ට ආදරේ කරන අතර ගැහැනුන්ගේ සිරුර භාවිතා කරා. (ලංකාව වගේ රටක පිරිමි තනියම බාර්වලට ගිහිල්ලා පිරිමි - පිරිමි ලව් කරලා ගෙදර එන්නෙ ගැහැනියගේ සිරුර හොයාගෙන.)  ප්‍රති  භාෂාව නිපදවන්න පටන් ගත් (ස්ත්‍රීවාදීන්) ගැහැනු ගැහැනුන් සමග ආදර සබඳතා පැවැත්වූවා. විශේෂයෙන් ස්ත්‍රීවාදයේ දෙවෙනි රැල්ල තුළ ස්ත්‍රී සමකාමීත්වය ඉහළ ගියා. ඒකට හේතුව තමයි භාෂාව. ස්ත්‍රිය ප්‍රති භාෂාවකට ඇතුල් වෙනකොට වෙන දේ තමයි පුරුෂ භාෂාවේ ඉන්න පුරුෂයන් සමග ගනුදෙනු කරන්නට බැරිව යන එක. මොකද පුරුෂ භාෂාවේ ඉන්න පිරිමි රාජ්‍යය විසින් ඔහුට ලබා දීපු වරප්‍රසාදිත තත්වය තුළ ස්ත්‍රිය තබා ගන්නට උත්සාහ කරනවා. ආදර සබඳතාවයකට ලිංගික වෙනස පිළිබඳ කිසිදු ගැටලුවක් නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නවා ලිංගික අවයව ආලය නිපදවනවා කියලා. පැරණි සාහිත්‍යය හිතුවේම ආලය ලිංගික වෙනස විසින් නිපදවනවා කියලා. රාජ්‍යය විසින් නිපදවන ලද විෂම ලිංගික සබඳතාවය ආලය කරා රැගෙන ඒමට නම් විප්ලවීය වෙනසක් අවශ්‍ය වෙනවා. එනම් ආලය නැවත නිපදවිය විය යුතුයි. එනම් රාජ්‍යය විසින් තමන්ට දීපු වරප්‍රසාදය අතහරින්ට පිරිමි ලෑස්ති විය යුතුයි. ගැහැනුන් තමන්ගේ ස්වපීඩක ආත්මයට එරෙහිව කැරලි ගැසිය යුතුයි. එතෙක් පැවතිය හැක්කේ බල සබඳතාවයක් පමණයි. එහි පීඩිතයෙක් සිටීම අනිවාර්යයි. 

ලයිසිස්ට්‍රාටා නාට්‍යය මට සාමය පිළිබඳ නාට්‍යයක් නොවේ. එය රාජ්‍ය විසින් නිපදවන විෂම ලිංගික සබඳතාවය තුළ ස්ත්‍රිය කොහොමද වස්තුවක් විදිහට ඉන්නේ කියන එක පෙන්වනවා. ගැහැනුන්ට විෂම ලිංගිකයේදි ඉන්ඩ පුලුවන් ශරීරයක් විදිහට විතරයි කියන එක මුලු නාට්‍යය පුරාම සංකේතවත් කරනවා. පුරුෂයාගේ සෑබෑ දේශපාලනය උපදීමට නම් රාජ්‍යය විසින් ඔහුට, ඔහුගේ ලිඟුවට සපයා දී ඇති ව්‍යාජ විඥානය අතහැර දැමීමට ඔහු නිර්භීත විය යුතුයි. 

නදීකා බණ්ඩාර.


Wednesday, June 6, 2018

සාමා... අමර... එන්න අපි භාෂාත්මක පුරුෂ ලිංගය මරා දමමු..






එයට ඔබට පුරුෂ ලිංගයක් තිබීම බාධාවක් නොවේ.

              
ස්ත්‍රීවාදය යනු ස්ත්‍රියට විමුක්තිය ගෙන එනු ලබන විමුක්ති යානයක් බව සමහරු සිතන බව පෙනේ. නමුත් ස්ත්‍රීවාදයේ ඉතිහාසය යනු ස්ත්‍රීන් විමුක්තිය භාවිතා කළ ඉතිහාසයයි. එහි කැපී පෙනෙන භාවිතාවක් වූයේ පුරුෂ භාෂාවේ ප්‍රචණ්ඩත්වය පෙරළා දැමීමයි. එය ශුන්‍ය කිරීමයි. පිරිමින් බිය වූයේ මෙම හිස් ශුන්‍යත්වයටයි. භාෂාව සන්නිවේදනයේ උපකරණයක් ලෙස සිතාගෙන සිටින අයට මෙය වටහා ගැනීමට අපහසුයි.

පෙරදිග පුරුෂ භාෂාව ස්ත්‍රීත්වය නිපදවීම සිදු කරනු ලැබුවේ ලාස්‍ය ස්වභාවය ස්ත්‍රියටත් තාණ්ඩව ස්වභාවය පුරුෂයාටත් අත්කර දීමෙනි. පෙරදිග යටහත් පහත් වීම, ඉවසීම, කැපවීම, හෙමින් කතා කිරීම, දරා ගැනීම, හුරතල් බස් දෙඩීම, බොළඳ බස් දීම යනාදී ගූණාංගයන් ඈට ආරා්පණය කරනු ලැබීම ස්ත්‍රීන්ට කරන ගෞරවයක් ලෙස සලකනු ලබන්නේ භාෂාව සන්නිවේදනයේ උපකරණයක් කොට සලකන අයයි. මෙම ආරෝපණය ස්ත්‍රියට එරෙහිව පෙරදිග පිරිමියා ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ ආකාරයයි. ඊට ප්‍රතිපක්ෂව තාණ්ඩව ගුණයන් අයිති වූයේ පිරිමියාටයි. එනම් ප්‍රචණ්ඩත්වය, යටත් කිරීම, රණකාමිත්වය, වේගයෙන් කතා කිරීම, ශබ්ද නගා කතා කිරීම, නොඉවසීම, අතහැර යාම, ප්‍රතික්ෂේප  කිරීම, ලබා ගැනීම බූදලයක් කොට පවරා දෙනු ලැබුවේ ඔහුටයි. පිරිමියා අතහැර යන්නා නම් ස්ත්‍රිය බලා සිටින්නා බවට පත් කළේ භාෂාවයි.  අපරදිගද මෙය මෙසේම වෙනත් ආකාරයකට සිදු වූවා. මෙහෙම තමයි ප්‍රචණ්ඩත්වය භාෂාවෙන් පුරුෂ ලිංගයට පවරා දෙනු ලැබුවේ. පිරිමියෙකු පිරිමියෙකු වන්නේ ඔහුට පුරුෂ ලිංගයක් තිබීම නිසා නොව ඔහුට අයත් භාෂාත්මක ප්‍රචණ්ඩත්වයක් ඔහුට හිමි නිසයි. භෞතික පුරුෂ ලිංගය ඇතුළු ඔහුගේ සමස්ත පැවැත්ම ඔහු ගෙන යනු ලබන්නේ මෙම භාෂාව විසින් ඔහුට අත් කර දුන් ප්‍රචණ්ඩත්වය යොදා ගනිමිනි. තැනින් තැන සිදුවන ලිංගික අපරාධ පමණක් නොව සම්මත සංස්කෘතිය සහ සම්ප්‍රදාය යනුම මෙම භාවිතාවයි. එම නිසා පෙරදිග පිරිමියා ප්‍රචණ්ඩ වන විට පෙරදිග ගැහැනිය ප්‍රචණ්ඩත්වය ඉවසාගෙන සිටින තැනැත්තිය බවට පත් වුනා. (පෙරදිග පිරිමියාට පිරිමි අතර ද හේදයක් තිබුණු අතර එය කුල හේදයයි...)  
ස්ත්‍රීවාදය විසින් සිදු කරනු ලැබුවේ මෙම භාෂාත්මක ප්‍රචණ්ඩත්වය භාර නොගැනීමයි. මෙම භාර නොගැනීම පිරිමියාට- විශේෂයෙන් පෙරදිග පිරිමියාට පෙනෙන්නේ ඔවුන් සතු තාණ්ඩව අයිතිය පැහැර ගැනීමක් විදිහට. මොකද ඔවුන්ට හුරු පුරුදු වූ භාෂාත්මක ප්‍රචණ්ඩත්වය අහිමි වෙනවා. පිරිමියෙකු වෙනස් වෙනවා යනු මෙම පුරුෂ භාෂාව අතහැරීමයි. ඔහුට එය කළ නොහැක්කේ ඔහුගේ පුරුෂ ලිංගය නිසා නොවේ. ඔහුට භාෂාව විසින් සපයා ඇති ප්‍රචණ්ඩ බලය නිසයි. (මේක ඉතාම හොඳින් සාහිත්‍යයේදී, නාට්‍යයේදී, සිනමාවේදී මෙන්ම ආගමික සංස්ථා තුළ සිදු කරනවා) ස්ත්‍රියට එරෙහිව ලිංගික අපරාධ සිදු කරන්නන් බිහි කිරීමේ පුරෝගාමින් ලෙස මේවා කටයුතු කරන්නේ ඒවාට විරුද්ධත්වය පළ කරමිනුයි.  ස්ත්‍රීවාදය කළේ මෙන්න මේ දේවල් කඩලා බිඳලා දාපු එක. එතකොට රිදෙන එක වළක්වන්ඩ බෑ. ඒ රිදෙන්නෙ තුවාල වෙන නිසා නෙමෙයි. තුවක්කුව නැති වෙන හින්දා. වෙඩි තියලා මරලා දාන්ඩ තියන අයිතිය නැති වෙන හින්දා. රිදවන්ඩ, තුවාල කරන්ඩ තියන අයිතිය නැති වෙන හින්දා. පෙරදිග ගැහැනියට විතරක් නෙමෙයි අපරදිග ගැහැනියටත් පුරුදු කරලා තිබුනෙ  පරපීඩක කාමුකත්වය ඉවසන්ඩ. පරපීඩක කාමුකත්වය ඉවසීමෙන් පමණයි සම්ප්‍රදායික ගැහැනියක් බවටත් පුරුෂයාගේ ආශාවේ වස්තුව බවටත් පත්විය හැක්කෙ. මේ රූකඩ නැටවීම දිගටම කරගෙන යන්න පෙරදිග පිරිමියාට අවශ්‍යයි. ස්ත්‍රීවාදය කරන්නෙ මේ රූකඩ නටවන්නාගේ ජොබ් එක නැති කරලා දාන එක. රූකඩ නටවන්නෝ කල්පනා කරන්නෙ මොකද්ද කරන්නෙ කියලා. ලංකාවේ ස්ත්‍රීවාදය කියන වචනය ඇහෙන කොට දඟලන්නෙ වෙන මොකුත් හින්දා නෙමෙයි රූකඩ කලාව ආරක්ෂා කරගැනීමට ඔවුන්ට තියන වුවමනාවට. මේක ජාති ආලය කියලා වුනත් කියන්ඩ පුලුවන්. ස්ත්‍රීවාදයට විරුද්ධ අයට ඉස්සරහට කරන්න වෙන්නෙ රූකඩ කලාව ආරක්ෂා කර ගන්ඩ අලුත් ව්‍යාපෘතියක් ප්‍රමෝට් කරන එක.  දැන් ඉතිරි වෙලා තියෙන්නෙ එක දෙයයි. රූකඩ ගම්මානයක් හදලා අපි රූකඩ නටවපු හැටි කියලා විදේශීය සංචාරකයන්ට පෙන්නලා ගාණක් හොයා ගන්න එක විතරයි. එතකොට ඒගොල්ල කියයි අපිත් ඔහොම කාලයක් රූකඩ නැටේව්වා. දැන් නම් හරි අමාරුයි. ඒ හින්දා අපි ඉලෙක්ට්‍රොනික රූකඩ හොයාගෙන තියෙන්නෙ කියලා.   
පිරිමි තමන්ට ලැබිලා තියෙන අසීමිත භාෂාවේ බලය අතහරින්ඩ සුදානම් නෑ වගේම සමහරක් ස්ත්‍රීන් මෙම අසීමිත භාෂාවේ බලයට නතු වීම අතහරින්ඩත් කැමති නෑ. මේ දෙක එකට බැඳිලා තියෙන්නෙ. මේක එක්තරා ජීවත්වීමේ ක්‍රමවේදයක්. ස්ත්‍රීවාදය මෙම සම්බන්ධය හැදිලා තියෙන්නෙ කොහොමද කියලා පෙන්නනවා. ඉතින් ගොඩක් අයට ලැජ්ජයි. මේ ලැජ්ජාව වහගන්ඩ ගිහිල්ලා තවත් ලැජ්ජා වෙන දේවල්ම කරනවා. 

සහෝදරියනි, ඔබ පිරිමින්ගෙන් විමුක්තිය ඉල්ලා සිටින අයෙකු නම් ඔවුන් ඔබ ගැන ගොඩාක් සතුටට පත් වේවි. එහෙත් ඔබ විමුක්තිය භාවිතා කරන්න... ඔබ ඔබේ අවකාශය පුරවන්න... එහි ඔබේ සටහන් තබන්න... අන්න එතකොට තමයි නරුමවාදය පැන නගින්නෙ. ඔබ ඔබේ ස්ත්‍ර්‍රීවාදී උරුමය ගැන කතා කරන්ඩ පටන් ගන්ඩ. අන්න එතකොට ඒගොල්ල ගොඩක් කුලප්පු වෙනවා. පහුගිය කාලේ ස්ත්‍රීවාදීය යන වචන ඇහෙනකොටම සමාජ ජාලය කැළඹෙනවා. වරින් වර එය මතුවෙනවා. යට වෙනවා. අලුත් වෙනවා. ස්ත්‍රීවාදීය සහ ලංකා බණ්ඩාරනායක පාදක කරගෙන පහුගිය දවස්වල සමාජ ජාලයේ නටපු නාඩගමත් එම කැලඹීමේ එක පරිච්ජේදයක්.


ස්ත්‍රීවාදය යනු වයින් ටිකක් තොල ගාමින් සිමෝන් ද බෝවා ගැන කතා කිරීම නොව බස් වල ජැක් ගහන පිරිමියා ඉවසා සිටින ගැහැණුන් වෙනුවෙන්ද කතා කිරීමයි.. !!

ස්ත්‍රීවාදය යනු ඒ ගැහැණුන් සිය කැමැත්තෙන් මෙන්ම ආශාවෙන් පිරිමියෙක් ජැක් ගහනකල් බලා සිටිනවා යයි කියන ගොඩයන් පචකර දැමීමයි...!!

ස්ත්‍රීවාදය යනු....!!

ලංකා බණ්ඩාරනායක

මේ දිනවල බුකි දේශයේ මහා විමුක්ති දායකයාණන් ලෙස තෙමේම කිරුළු පලන් "ගොඩේ බයියා" තුමා "ස්ත්‍රී වාදයට" විරුද්ධව මහා කැරැල්ලක් බුකිය තුල ආරම්භ කර ඇති අතර,මෙහි ප්‍රථම වෙඩි මුරය මා දන්නා තරමින් ස්ත්‍රී වාදිනියක නොවන Lanka Bandaranayake වෙත නිකුත් කර තිබේ..

සුමුදු ගුරුගේ

Feminism කියලා එක දෙයක් නෙවෙයි ලෝකේ feminisms තියෙනවා කියලත් එහෙම feminisms අවශ්‍ය බවත් තමයි ලෝකය දැන් පිළිගන්නේ. ප්‍රධාන ප්‍රවාහයෙන් බැහැර වෙලා ෆෙමිනිස්ම් ගැන කතා කරන විවිධ කණ්ඩායම් ඉන්නවා. ඔය ලංකා කියනවා වගේ වයින් බිබී ෆෙමිනිස්ට් සාහිත්‍ය කියවන එකත් එක්තරා ෆෙමිනිස්ම් එකක්. මහ පොළවට බැහැලා ඇත්තටම ගැහැණු/පිරිමි/ අනෙකුත් අය පුරුෂ මූලික ක්‍රමය නිසා මූණ දෙන ගැටළු අවම කිරීම වෙනුවෙන් වැඩකරන එකත් ෆෙමිනිස්ම්. ගොඩාක් ෆෙමිනිස්ට් ලා බයයි මේ වචනෙට. ඒකට විසදුම වචනෙ මාරු කරන එකනම් ඒක මට අවුලක් නෑ. හැබැයි මම හිතන්නේ ඒක නිකන් හිසරදේට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්. අපිට මේ වචන පිළිබඳ තියෙන අනියත බය නැති කරගන්න ඕනේ. ෆෙමිනිස්ම් නමින් කොහෙදි හරි කවදා හරි චාටර් වැඩ වෙලා තියෙනවා නම් ඒක මතු කරන එක වෙනම කාරණයක්. වචන සහ කන්සෙප්ට්ස් අතර පරතරය තේරුම් ගැනීමත් ටිකක් අමාරුයි තමයි. 
   

කෞශල්‍යා හේරත්









මම නම්, මා ලාංකිකයෙකු යැයි කියනවාට වඩා ආශාවෙන් ස්ත්‍රීවාදියෙක් යැයි කීමට කැමැත්තෙමි. මා දන්නා තරමින් ලංකා ද කිසිවිටක තමන් ස්ත්‍රීවාදියෙකු යැයි හඳුන්වා දීමට කිසිදු අවස්ථාවක පැකිළෙනු මම දැක නොමැත්තෙමි. ලංකාගේ “සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටිය ලංකාවේ ඊනියා පුරුෂෝත්මවාදී සම්ප්‍රදාය විසංයෝජනය කරනු ලබයි. ඈ ඊට සරදම්කාරී ස්වරයක් එක් කරමින් ඇගේ රූප රාමුවලට එක් කරනු ලබන්නේ සම්ප්‍රදාය කෙරෙහිත්, එහි ඊනියා වෙස්මුහුණ කෙරෙහිත් සිය විරෝධය පළ කරමිනි. ලංකාව වැනි රටක ලිබරල් ධනවාදී මෙහෙයුම සම්ප්‍රදායට විරුද්ධ නැත. වෙළඳපොළ විසින් එය නැවත ප්‍රතිනිෂ්පාදනය කරනු ආකාරය විවාහ මංගල උත්සවයන් ආශ්‍රිත කර්මාන්තය හැසිරෙන ආකාරයෙන් පැහැදිලි වෙයි. එවැනි සන්දර්භයකයි ඈ එහි විකාරරූපී පැවැත්ම සිය රූපරාමුවලට හසු කර ගනු ලබන්නෙ. ලංකාගේ චිත්‍රපටය මෙන්ම ඇයව මා අගය කරනු ලබනා අනෙක් කාරණය වන්නේ ස්ත්‍රීවාදියෙකු ලෙස පැවසීම අපහාසයට ලක් කරන සමාජයක ඈ තමා ස්ත්‍රීවාදියෙකු බව ප්‍රකාශ කිරීමයි. ඈ කිසිම විටෙක ‘ඔව්, ඉතින් ස්ත්‍රීවාදීය හොඳයි තමයි...  ඒත් ඉතින්... වගේ මුරුංගා අත්තේ කතා කියනු මා අසා නැත.

ස්ත්‍රීවාදිනියක් යැයි කියා ගන්නා ලංකා බණ්ඩාරනායක යනුවෙන් කියමින් පහත් විවේචන අක්ෂයක සිට ඈව අමතන ගොඬේ බයියාටත් මට නම් වඩා භයානක වන්නේ සුමුදු ගුරුගේ සිදුකරනු ලබන ඉහත ප්‍රකාශනයයි. ගොඬේ බයියා නිර්දය විය හැකි වුවත් එහි විරෝධය පැහැදිලිය. එහෙත් සුමුදු ගුරුගේ ලංකා බණ්ඩාරනායකව එම නිර්දය විවේචනයෙන් බේරා ගැනීමේ සද්කාර්යයකින් විය හැකි වුවත් කරනු ලබන්නේ ඇයව ඇය නොවන වෙනත් යමකට පරිවර්තනය කරනු ලැබීමයි. එය ද බයියා තරමටම භාෂාත්මක ප්‍රචණ්ඩත්වයකි. ඉතා පැහැදිලිව ඈ තමා ස්ත්‍රීවාදිනියක් බව ප්‍රකාශ කර සිටින විට ගුරුගේ පවසන්නේ ඈ ස්ත්‍රීවාදිනියක් නොවන නිසා ගොඬේ බයියා ඈට විරෝධය පළ කිරීම වැරදි බවය. භාෂාත්මක සදාචාරයක් අප විශ්වාස කරන්නේ නම් ගොඬේ බයියා අතිශය නිර්දය වූ විචාර අක්ෂයකින් පිටත සිට ගනුදෙනු කරනු ලබන අයෙකි. නමුත් සදාචාරත්මක යැයි සැලකෙන භාෂාව භාවිතා කරමින් ගුරුගේ ගොඬේ බයියා කිරීමට අසමත් වන ප්‍රහාරය ලංකා වෙත එල්ල කරනු ලබයි. එනම් ගොඬේ බයියාට කිරීමට වුවමනා වූ දේ ඔහුගේ නිර්දය භාෂාව විසින් අසමත් කරනු ලබන්නේ නම් සුමුදු ගුරුගේ ශිෂ්ට භාෂාව එය ඉටු කරයි. මෙම සංවාදයේදී බැලූ බැල්මට වෙනස් ලෙස පෙනී ගියද ගොඬේ බයියා සහ සුමුදු ගුරුගේ යනු එකක් මිස දෙකක් නොවන බව වටහා ගත යුතුයි. 

කෞෂල්‍යා කියනවා ෆෙමිනිසම් කියන වචනය ඇහෙන එක ගැන තියෙන අනියත බිය නැති කර ගන්ඩ ඕන කියලා. ඔව් ඒක ඇත්ත. එහෙත් අප මතක තබා ගත යුත්තේ ස්ත්‍රීවාදීය යන වචනය ඇසෙන විට සන්නි යකුන් ආවේශ වෙන පුරුෂ හෝ ස්ත්‍රී ආතුරයන්ට තොවිල් නටන්නටද අප ලෑස්ති විය යුතු නැති බවයි. ඔවුන් සනීප කරන්නට නොහැකි බොරු ආතුරයන් නිසා අප ඒ ගැන සැලකිලිමත් විය යුතු ද නැත. ස්ත්‍රීවාදීය යන වචනයට විරුද්ධ වීමෙන් පැහැදිලි වන්නේ ගැහැනිය තමන්ගේ සිරුර, ජිවිතය සහ සමස්ත ලෝකය සම්බන්ධයෙන් සිය ස්වයං නිර්ණ අයිතිය භාවිතා කිරීමට ඔවුන් දක්වන විරෝධයයි. සම්ප්‍රදායිකව මෙන්ම පිරිමින් විසින් පිරිනැමීමට සූදානම් විමුක්තියක සිරකාරියක් ලෙස ඇයව පවත්වාගෙන යෑමේ ඔවුනට ඇති වුවමනාවයි. ස්ත්‍රීවාදීය යනු, ස්ත්‍රියගේ ඉතිහාසය තුළ විමුක්තිය ඉල්ලා සිටීමේ ව්‍යාපෘතියක් නොව විමුක්තිය භාවිතා කිරීමේ ඉතිහාසයයි. ස්ත්‍රීවාදීන් විමුක්තිය ඉල්ලා සිටියා නම් නොවේ. ඔවුන් විමුක්තිය ජීවන භාවිතාවක් කළා. ස්ත්‍රීවාදීන් යෝජනා කරන්නේ විමුක්තිය තම ජීවිතය තුළ භාවිතා කරනා ලෙසයි. තමාගේ අයිතිය භාවිතා කරන ලෙසයි. කෙනෙකු ස්ත්‍රීවාදිනියන්ට එරෙහි වීමට හේතුව කුමක්දැයි එයින් පැහැදිලි වෙනවා. (නරුමයන් දන්නවා ස්ත්‍රීවාදීන් තමාගේ ශරීරයේ සහ ජීවිතයේ මෙන්ම තමාගේ සමස්ත ලෝකය තුළ එම විමුක්තිය භාවිතා කරන්නට සිද්ද වුනාම වෙන දේ.) ස්ත්‍රීවාදිනියක් යනු තමාගේ විමුක්තිය සම්බන්ධයෙන් අන් අයගේ එකඟතාවය විමසන අයෙක් නොවේ. 

ස්ත්‍රීවාදිනියක් අන් අය විසින් තමන් මත බලෙන් පටවන ලද ඉතිහාසයෙන් කැඩී වෙන් වෙනවා පමණක් නොව අනෙක් ස්ත්‍රීන්ට ද එසේ කැඩී වෙන්වීමට අවශ්‍ය ශක්තිය ප්‍රදානය කරන්නියකි. ස්ත්‍රීවාදීය පිරිමියාගේ ඉතිහාසය  ඈට අයත් කර දුන් අවකාශය ප්‍රතික්ෂේප කරමින් තමාගේ ඉතිහාසය ගොඩ නැගීමට ගත් අනේකවිධ  ප්‍රයත්නයන්ගේ එකතුවයි. එහිදී පිරිමියා අභියෝගයට ලක්වීම වැළැක්විය නොහැකියි. සම්ප්‍රදායික පුරුෂ සංකල්ප පමණක් නොව ඒ තුළින් නිර්මාණය වූ ස්ත්‍රීත්වයද, ගෝලීය වෙළඳපොල විසින් ගොඩ නගන ව්‍යාජ විමුක්තීන් ද ඉන් අහියෝගයට ලක් විමට නියමිතය. ස්ත්‍රිය සම්බන්ධයෙන් පුරුෂ ඔලු ගොඩ නැගූ කුරුසයන් බඳු, ස්ත්‍රියට කර තියාගෙන ජීවත් වීමට සැලැස්සූ පාරභෞතික සංකල්පයන් සුණුවිසුණු කර දැමීමේ ඉතිහාසයික ගෞරවය ස්ත්‍රීවාදීය සතුයි. එය මානවවාදීන්ගේ කලාපයක් මිස නරුමයන්ගේ සෙල්ලම් පිටියක් නොවේ.


නදීකා බණ්ඩාර