Wednesday, January 17, 2018

නදීකාට මොනර බිත්තර කොයින් ද?






නදීකා සිය විවෘතභාවය හා රැඩිකල්භාවය නැවතත් 
ප්‍රදර්ශනය කර තිබේ. ඇය මේ නවකතාවෙන් ශ්‍රී ලාංකේය ස්ත්‍රීන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරයි. එලෙසම සාම්ප්‍රදායික නවකතාවේ ශිල්පීය ලක්ෂණවලට ද තට්ටු කරයි. ඉතින් අපට අසන්නට ඇත්තේ නදීකාට මොනර බිත්තර කොයින් ද යන්න  පමණි...



නදීකා බණ්‍ඩාරගේ දෙවැනි ප්‍රබන්ධ කතාව වන 'මොනර බිත්තර' කෘතිය විෂය ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ විග්‍රහයට ලක්කළ හැකි බව පෙනෙයි. එක; ඇය විසින් භාවිත කරන නිදහස් ආඛ්‍යාන රටාව වන්නේ ය. එය සිංහල නවකතාවට අලුත් විලාසයක් එකතු කරයි. දෙක; සිංහල ස්ත්‍රීවාදී ලේඛනය වන්නේ ය. සිංහල ස්ත්‍රීවාදී ලේඛනයේ අලුත් ඉසව්වක් ද ඇය විසින් මතු කරනු ලැබේ. කෘතියට සංගෘහිත කර ඇති කේ. කේ. සමන් කුමාරගේ (සර්පයා) දීර්ඝ විවරණයෙන් ස්ත්‍රීවාදී ලේඛනයේ න්‍යාය හා භාවිතය ද; ඒ තුළ නදීකාගේ ලියැවිල්ලට හිමි වන ආස්ථානය ද විග්‍රහ කර තිබේ. එබැවින් අපගේ වැඩි අවධානය යොමු වන්නේ, කතුවරියගේ ආඛ්‍යාන රටාව කෙරෙහි ය.
කතාවෙන් මතු කරන්නේ, අපේ සමාජ ක්‍රියාකාරකම් තුළ ස්ත්‍රිය දරන පීඩනය හා වේදනාව යි. ඒ වේදනාව වරෙක ප්‍රතිරෝධයක් කරා ද, වරෙක වෛරයක් කරා ද ගමන් කරයි. කතානායිකාව සිය ආදරවන්තයා, පියා, මව හා දරුවා යන සංකේත සමඟ කරන සංවාදවලින් ඒ බව සනාථ වේ. ඇතැම් සංවාදයක මුළුමනින් ම පරිකල්පිත ය. ඇතැම් සංවාදයක් මුළුමනින්ම ස්වභාවික ය. මේ සංවාද මතු කිරීමේ දී අතීතය, වර්තමානය හා අනාගතය රේඛාවලින් වෙන් කරන්නේ නැත. කතාව එක ම දෘෂ්ටිකෝණයක් තුළ සිරගත කරන්නේ ද නැත. උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ දෘෂ්ටි‍ කෝණ මත ද, රංග කෝණ දෂ්ටිය මත ද කතාව රඟ දැක්වෙයි.
නවකතාව ආරම්භ වන්නේ පැරැණි ලන්දේසි රෝහලේ රාත්‍රියක සැමරුම් අවස්ථාවක් වෙතින් ය. අද එය රෝහලක් නොවේ. රෝහලක් හෝටලයක් බවට පරිවර්තනය වී ඇත. කිසිවකුගේ අවධානයට ලක් නොවූ මේ සිද්ධිය, නදීකා බංඩාරගේ සැලැකිල්ලට ලක් වන්නේ පරම්පරාවක වෙනසක් හැටියට ය. නවකතාවක ආරම්භය හා ඊට අදාළ පසුබිම ඉතා වැදගත් ය. එය පාඨකයා මුළුමනින් ම ග්‍රහණයට ගෙන, විස්මයට පත් කරන සිදුවීම්වලින් සමන්විත කිරීමට නදීකා සමත් වෙයි.
'හෝටලයේ පිටත කොරිඩෝවේ සුදු තරුණියක හා තරුණයකු වයින් තොලගානවා. තරුණිය වරින්වර තරුණයාගේ දෑත් ඇගේ දෙතොල්වලින් සිපගන්නවා. ඈ ඔහුගේ පෙම්වතා හෝ සැමියා හෝ වෙනත් ඕනෑම කෙනකු හෝ වෙන්ඩැති. ඈ ඇඳලා ඉන්නෙ ජිප්සි කොලරයකින් යුක්ත මිනි ගවුමක්.'
(පිටුව - 07)
නදීකා බංඩාර සිය චරිත නිරූපණයේදී එම චරිත හුවා දක්වන ආකාරය සිත්ගන්නාසුලු ය. චරිත නිරූපණයේදී බටහිර නවකතාව අනුදක්වන විශේෂ ලක්ෂණ හයක් තිබේ.
(I) චරිතය පිළිබඳ කෙටි විස්තරය.
(හඳුන්වාදීම)
(II) චරිතය නිශ්චය කළ හැකි විස්තර ය.
(III) විශේෂ ශාරීරික ලක්ෂණ හා ඇඳුම්
(IV) චරිතයක හැසිරීම් හා ක්‍රියාකාරකම්
(V) චරිතවල සංවාද (ඔවුන්ගේ ප්‍රශ්න හා
උත්තර)
(VI) චරිතවල මානසික ක්‍රියාකාරීත්වය හා
සිහින
නදීකාගේ කෙටි වාක්‍ය සහිත නිරූපණවලින් චරිතයක බාහිර පෙනුම මෙන් ම ඇතුළාන්තය ද එනම්; චරිතවල සිතුම් - පැතුම් හා හැඟිම් ද යම් පමණකින් වටහාගත හැකි ය. සාර්ථක චරිත නිරූපණය පාඨකයාට හොඳින් දැනෙයි. පාඨක ආකර්ෂණය ‍රඳවා ගනියි. මෙහි එන කතා නායිකාවට නමක් නැත. එහෙත් ඇය අපගේ මුළුමහත් අවධානය දිනාගන්නේ විශ්වාසයක් ද සමඟ ය.
නදීකා බංඩාරගේ ආඛ්‍යානයෙහි ඇති අමුත්ත ශිල්පීය ලක්ෂණ කිහිපයක් ඔස්සේ විමසුමට ලක් කළ හැකි ය.
(I) නිරූපණ
(II) භාෂාවේ උත්ප්‍රාසය
(III) පාඨකයාගේ පරිකල්පනයට ඉඩදීම
(IV) මැවීම හා සංකේත භාවිතය
චරිත හා අවස්ථා නිරූපණයේදී වරෙක වේදිකා රංගයක විලාසය පවතී. තව වරෙක චිත්‍රපට තිරනාටකයක විලාසය පවතී. කතුවරිය සිය කතාවේ සිදුවීම් ඔස්සේ මැවෙන රූපාවලියක් කෙරෙහි විශ්වාසය තබාගෙන ඇති බවක් පෙනෙයි. ගැහැනියගේ උමතුභාවය, ලිංගිකත්වය හා වේදනාව නිරූපණයේදී කතුවරිය වඩාත් නිදහස් ය. වඩාත් හැඟුම්බර ය.
'මට දරුවො එපා. දැන් මම මොකක්ද කරන්නෙ? මට බැහැ. මට ඕන වුණේ දැරියගේ හැඟීම්වලින් ගැලවෙන්න. ඈ දැනගෙන හිටියා. ඈ පුංචියි'
(පිටුව - 51)
නදීකා භාෂා භාවිතයේදී උත්ප්‍රාසය උපාය මාර්ගයක් ලෙස යොදා ගනී. එය නවකතාවේ මෙන් ම නූතන පත්‍රකලාවේ ද එක් විලාසයක් ලෙස පවතී.
'විශේෂයෙන් ශෝකී වූ විට ඈ හැසිරෙන්නේ කෝප වූවකු ලෙස නිසා, ඒක තවත් අමාරුයි. ඈ ළඟින් ම ඇසුරු කළ අය ඇගේ මෙම ගතිය දැන සිටියා. ඈ වඩා කෝපයෙන් නම් ඒ ඈ වඩා ශෝකයෙන්. මක්නිසාදයත්; තමා ශෝකයෙන් බව කිසිවකු දැනගන්නවාට ඈ කැමැති වූයේ නෑ'
(පිටුව - 24)
'ආදරණීය දෙවියන් වහන්ස, අපි ඉන්නෙ රජවරු වගේ. ඒකට අපි කඹුරනවා හැම මොහොතේම'
(පිටුව - 48)
කතුවරිය සිය භාෂා ප්‍රයෝග ඔස්සේ බොහෝ තැන්වලට ද, බොහෝ චරිතවලට ද විවේචන එල්ල කරන බවක් පෙනෙයි. එය පාඨකයාගේ බුද්ධියට තට්ටු කිරීමක් ලෙස සැලැකිය හැකි ය. අරුන්දතී රෝයි ද සිය ප්‍රබන්ධ කතා දෙකෙන් ම මේ කාරිය ඉටු කරන බව කිව හැකි ය.
නූතන නවකතාවේ තවත් එක් විලාසයක් වන්නේ, පාඨකයාගේ චින්තන ලෝකය කෙරෙහි අවධානය යොමු කිරීම ය. පාඨකයාට විනිශ්චය කිරීම සඳහා යමක් ඉතිරි කිරීම හා ඔහුගේ පරිකල්පන ලෝකය අවදිකිරීම මේ මඟින් සිදුවේ. නදීකා බණ්ඩාර සිය කතා නායිකාව නාමකරණයකට ලක් කර ඇත්තේ ද පාඨකයාගේ පරිකල්පනයට ඉඩ දෙමින් යැයි සිතන්නට පුළුවන. එකිනෙක නම්වලට ද අනන්‍ය හැඟීම් හා හැඩතල තිබෙන්නට පුළුවන. ඊට අනුව පාඨකයා ප්‍රධාන චරිතය නම් කර ගනු ඇත. එයත් හොඳ උපාය මාර්ගයකි.
නදීකා බංඩාර සිය ආඛ්‍යානයේදී මැවීමට හා සංකේත භාවිතයට වැඩි නැඹුරුවක් දක්වා ඇත. දේවල් හා හැඟීම් මැවීම සඳහා ප්‍රබන්ධ කථාවේ පරණ විලාස මෙන් ම, අලුත් විලාස ද භාවිත කරයි. වරෙක ඇය විඥානධාරා සංකල්පයට සමීප වෙයි. තව වරෙක ඉන්ද්‍රජාලික සංකල්පයට සමීප වෙයි. මේ ශෛලීන් සුසංයෝග කිරීමේදී කතුවරියට පැටලෙන අවස්ථා ද තිබේ. කොහොමටත් මේ කතුවරිය සිය කතාවේ ගැළපීම් ගැන මීට වඩා පරෙස්සම් සහගත වූයේ නම් වටී.
වඩාත් වැදගත් වන්නේ, නදීකාගේ ප්‍රකාශනයෙහි අර්ථ සමුදාය යැයි කියන්නට පුළුවන . මීට දින කිහිපයකට පෙර ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්යවරයකු විසින් සමීක්ෂණ වාර්තාවක් එළිදක්වන ලදී. එම සමීක්ෂණ වාර්තාවෙන් ස්ත්‍රීන් සම්බන්ධයෙන් බලපවත්වන ගෘහස්ථ හිංසනය කදිමට විස්තර කර තිබිණි. ජංගම දුරකථන, ෆේස්බුක් ආදී නූතන සන්නිවේදන භාවිතයන් නිසා කාන්තාවන්ගෙන් 26%ක් හිංසනයට ලක්වන බව සමීක්ෂණය පෙන්වා දෙයි. ‘මිස් කෝල්’ නිසා ද පවුල් ආරවුල් ඇතිවී තිබේ. මෙහිලා ගැටුමට මුල් වන ප්‍රධාන සාධකය වන්නේ පුරුෂ පාර්ශ්වය තුළ හටගන්නා සැකය බව සඳහන් වේ. සැකය එක අතෙකින් කාම ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵලයක් හැටියට සැලැකිය හැකි ය.
පුරුෂ පක්ෂය ගැන බලනවිට පහරදීම්වලට පෙලඹෙන හේතු ලෙස දක්වා ඇත්තේ, මත්පැන් භාවිතය, මුදල් පිළිබඳ ගැටලු හා අසහනයයි. සමීක්ෂණයට ලක් වූ කාන්තාවන්ගෙන් 63%ක් 117 ක් පාරකට වඩා පුරුෂයාගේ පහරකෑමට ලක් වී ඇත. ගැටලුවෙහි භයානක තත්ත්වය එයින් පැහැදිලි වේ. පහරකෑමට ලක්වන ස්ත්‍රීන්ගෙන් වැඩි දෙනකුගේ හිස හා මුහුණ දරුණු ලෙස අනතුරට ලක් වී ඇත. ඇතැම් පුරුෂයෝ කොසු මිටෙන් හා දොර පොලුවලින් පහර දෙති. තවත් පුරුෂයෝ බලහත්කාර ලිංගික හැසිරීම්වල නිරත වෙති. නදීකාගේ නවකතාවෙන් මේ ඛේදවාචකයේ වෙනත් පැතිකඩක් සාකච්ඡා වෙයි. ස්ත්‍රිය ලිංගිකත්වය කෙරෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? දරුවන් ලැබීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද? පුරුෂයා ලිංගිකත්වය කෙරෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? පුරුෂයා දරුවන් ලැබීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ‍මේවා අඩු වැඩි වශයෙන් සාකච්ඡා කිරීමට නදීකා උත්සාහ දරයි. ඒ අතින් බලන විට ප්‍රබල සමාජ සංවාදයකට අවශ්‍ය බීජ මෙහි පවතී.
මොනර බිත්තර ප්‍රබන්ධයේ කතා නායිකාවගේ ජීවිතය දෙස එබී බැලුවහොත්, ලිංගිකත්වය, පවුල ආදරය, දරුවන් හා අපේ සම්ප්‍රදාය පිළිබඳ බොහෝ දේ වටහා ගත හැකි ය. අපේ සම්ප්‍රදාය තුළ ලිංගිකත්වය විමර්ශනයට ලක් වන්නේ නැත. එය රීතිවලින් බැඳ පසෙකට තල්ලු කර තබා ඇත. ප්‍රශ්න කිරීම් නැත. විශේෂයෙන් ස්ත්‍රියට ඒ ගැන ප්‍රශ්න කිරීම තහනම් ය. නදීකා ඊට තදබල ලෙස විරෝධය දක්වන බවක් පෙනෙන්නට තිබේ. අපේ උසාවි තුළ දිනකට දික්කසාද නඩු විශාල ප්‍රමාණයක් විභාග වෙයි. ඒවායින් මතුවන ඇතැම් සාධක සමාජය වෙත වාර්තා වන්නේ අඩුවෙන් ය. බොහෝමයක් දික්කසාද නඩුවලට ලිංගික ප්‍රශ්න සම්බන්ධ වී තිබේ. එහෙත් ඒවා නඩුමඟට එන්නේ වෙනත් ප්‍රශ්න හරහා ය. එයින් ද පෙනී යන්නේ ලිංගික කරුණු පිළිබඳ සාකච්ඡාවකට අපේ සමාජය සූදානම් නැති බව ය.
නදීකාගේ මුල් නවකතාව මෙන් ම දෙවැනි නව කතාව ද, ජීවිතය හා ලිංගිකත්වය ගැන නිදහස්ව කතා කරයි. ඇය ඒ අතින් පමණක් නොව, නවකතාවේ ශිල්පීය අංග භාවිතය සම්බන්ධයෙන් වුව රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. නොබියව හා නොවහල්ව ලේඛනයේ යෙදෙන පිරිසක් අද අපට වුවමනා කර තිබේ. ඒ අඩුව පිරවීමට තවත් නදීකලා අවශ්‍ය වේ.
රන්ජන් අමරරත්න
Wednesday, ජනවාරි 17, 2018 - 01:00 DINAMINA


Sunday, January 14, 2018

දේශද්‍රෝහියෙකුගේ නිර්මල හෘදයෙන් සිඳුණු කන්‍යා සිවිය



තරංගනී රෙසිකාගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය කියවීමක්

තරංගනී බයිබලය අලුතින් ලියා ඇත. 

දෙවියන්වහන්සේ කවුරුන්ද කියා හරියටම කවුරුන් දනිත්ද? 

එහෙත් ඕනෑම දෙවි කෙනෙක් මනුෂ්‍යත්වය කෙරෙහි කැපවීම අපි බලාපොරොත්තු වෙමු. දෙවියන් දෙවියන් වන්නේ එවිටය. 

දෙවියන් පොළොවට ගෙන ඒමට තරංගනී රෙසිකාට වුවමනාය. ඒ ගැන මට කිසිදු විවාදයක් නැත. එහෙත් තරුරසී මට ඔබේ ස්වරයේ ඇති කන්‍යා ස්වරය දරා ගත නොහැකිය. එය මට ආගන්තුකය. 
  
එසේම ඈ, තරංගනී  වරින්වර ස්ත්‍රීත්වය පිළිබඳ ගැටලුව අප හමුවේ තබයි.

පිරිමියෙකුට ලේසියි ගෙදරින් පිටවෙන එක. ඒත් ගැහැනියකට ඒක අමාරුයි. බැන්දොත් බැඳුනාම තමයි. දරුවෙක් ලැබුනට පස්සෙ ඉතින් ලෝකෙම දරුවා. තවදුරටත් සමාජයට ආදරය කළ ගැහැනිය ඉතිරි වෙන්නෙ නැහැ. මට දරුවෙක් හිටියා නම් මම කවදාවත් ඒ දරුවා දාලා සමාජ වැඩවලට එළියට යන්නෙ නැහැ. එහෙම තමයි සිද්ධ වෙන්නෙ. පැවිදි වුවද මා තුළ සිටියේ සම්ප්‍රදායික සිතුම් පැතුම්වලින් මැඩුනා වූ ගැහැනියකි.

සිස්ට සෙව්වන්දි එසේ කියන විට ආදිත්‍ය එයට මෙසේ පිළිතුරු දෙයි- ඇගේ සිත පැහැර ගන්නා ආදිත්‍යය.

ඒක ඇත්ත මං දන්න ඉතාම හොඳ සමාජ ක්‍රියාකාරිනියො විවාහයත් එක්ක සම්ප්‍රදායික කාන්තාවගෙ භූමිකාවට කොටු වෙලා නැති වෙලා ගියා. මෙහෙමයි, පිරිමියා ගෙයින් පිට විප්ලව කරනවා වගේ ගැහැනිය ගේ ඇතුළෙ කරන්නෙත් විප්ලවයක් තමයි.

තරු, මට තේරෙන්නෙ නැත්තෙ මේ ඇතුළත සහ පිටත බෙදීම මොකද්ද කියලා. සමාජ වැඩ කියලා අදහස් කරන්නෙ මොකද්ද කියලා. දරුවෝ කියන්නෙ ගැහැනුන්ගේ ලෝකෙ අවුල් කරවන දෙයක් හෝ කරදරයක් ලෙස මා සලකන්නෙ නෑ. අප කරන සෑම වැඩක්ම දේශපාලනිකයි.  අපගේ සෑම සබඳතාවයක් පිටුපසම ඉතිහාසයක් ක්‍රියාත්මක වෙනවා. ගෙදරින් පිටත සහ දරුවා සහ මව- දෙමාපියන් සහ දරුවන්- සැමියා සහ බිරිඳ මේවා.

ගොඩනගා ඇති පරම පිවිතුරු මවගේ සංකල්පය සමග සෑම ගැහැනියක්ම විශාල අරගලයක් කරනු ලබනවා. එය අභිනිෂ්ක්‍රමණයක් නොවේ. එය ඈ මත බලෙන් පටවන ලද්දක් කියලයි මට හිතෙන්නෙ. දරුවා මත බලපවත්වන ආධිපත්‍යය පවා එසේමයි. අපි කොයි තරම් ආධිපත්‍යක් අපේ දරුවන් මත පටවා ඇතිද ?

බිරිඳ, ගෘහණිය, මව යන භුමිකාවන්වලට අර්ථයක් දිය හැකි නම් එය විඳදරා ගත හැකිය යනුවෙන් සිස්ට සෙව්වන්දි වරෙක හිතනවා. නමුත් ඒවාට දිය හැකි අර්ථ මම නම්  නොදනිමි. එසේ භූමිකා පවතිනවාද? ඒවාට අර්ථයක් සැපයෙන්නේ නම් ඇය සියල්ල උසුළා ගනු ඇතැයි යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි ඇත්තෙන්ම මට වටහා ගැනීමට අපහසුය. ඒවාට අපට සැපයිය හැකි අර්ථ මොනවාද? 

“ඔව් සහෝදරියනි, ඔබලා හොඳින් ඔබලාගේ හුමිකාව රගපෑවා.” යනුවෙන් අපේ මීනි වළවල්වල කවුරුහරි දේවදූතයෙක් පැමිණ ලියා තැබීමද එතැනදී අප බලාපොරොත්තු විය යුතු සම්මානය. 

පිතෘමූලික සමාජයක දරුවා සම්බන්ධයෙන් ස්ත්‍රියකට තියෙන්නෙ කම්කරුවා නිෂ්පාදනයට දක්වන සම්බන්ධතාවයමයි. මේ දේවල් ප්‍රශ්න නොකර ඒවා විඳදරා ගැනීමෙන් උත්කෘෂ්ඨත්වයට නංවන්නෙ ඇයිදැයි මට වැටහෙන්නෙ නැහැ.
බිරිඳගේ චරිතය හොඳින් රඟපෑම ඉතාම අසීරුය. එහි ඇත්තේ නිරන්තරයෙන් ලිංගිකත්වය වෙනුවෙන් කැපවීමකි. සියලු බිරින්දෑවරු මෙම භුමිකාව කොයිතරම් අපහසුවෙන් රඟපාන්නේ දැයි කන්‍යා සොහොයුරියකට වටහා ගැනීමට හැකියාව නැත. මක්නිසාද අල්තාරය ඉදිරිපිට දෙවියන් සමග ආලයෙන් වෙලීමත්,  පිතෘමූලික ගෙදරක නිදන කාමරයත් අතර ඇති පරතරය වටහා ගැනීමට කන්‍යා සොහොයුරියකට හැකියාවක් නැතිවීම ගැන මා ඈට දොස් නොකිය යුතුය. 

එම නිසා පමණක් මම ඔබේ කන්‍යා සොහොයුරිය හිතන ඒ දේවල්වලට සමාව දෙමි. එම භූමිකාව හරිහැටි රඟ නොපාන කාන්තාවන් පත්වන තත්වය ගැන අප වැනි සමාජයන් නිහඬ නිසා කන්‍යා සොයුරියකට ඒවා ඇස ගැටිය හැක්කේ ගෙදර ආරවුල් ලෙසය. එහෙත් ගෘහස්ථ හිංසනයේ අති විශාල ක්ෂේත්‍රයක් පිටුපස ඇත්තේ සංසර්ගය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවන ආරවුල්ය. හොඳින් චරිතය රඟපාන්නට නම් කළ යුතු දේවල් ගොඩාක් ඇත. එම නිසා ඊට හිමිවන කුමන අර්ථයක් වුවද මට අනුව නම් ඉතාම සාහසිකය. සාහසිකත්වය විඳ දරා ගැනීමට අප වැනි සමාජයන් දිගටම ස්ත්‍රියට යෝජනා කරයි. 

එමෙන්ම මෙහි සිස්ට සෙව්වන්දි ආදිත්‍යට දක්වන ආලය විවාහයෙන් කෙළවර නොවීම ගැනද මට සතුටක් ඇත. මක්නිසාද යත් එය ආදිත්‍යගේ කුටුම්භයේ දේවදාසිය බවට සිස්ට සෙව්වන්දිට පත්වීමට අවස්ථාව අහිමි කිරීම නිසාය. සමහරක් විට,... මතක තබා ගන්න සමහරක් විට සිස්ට සෙව්වන්දි ආදිත්‍ය හා විවාහ දිවියකට ඇතුළත් වූවා නම් ටික කලකින් නැවත පැවිදි බිමට ඇතුළත් වීමට ඉඩ තිබේ. (මා දන්නේ නෑ කන්‍යා සොහොයුරියකට විවාහයකට ගොස් පසුව එය එපා වී නැවත පැමිණීමට හැකිද කියා.)

කම්කරුවාට ෆැක්ටරියට යෑම එපා නොවන්නා මෙන් බිරින්දෑවරුන්ට කුටුම්භය එපා වෙන්නේ නැත. කුටුම්භයක් තුළ ලිංගික වස්තුවක් බවට පත් වීම, සදාචාරවත් පරම පිවිතුරු මව වීම සහ කැත දේපළ සම්බන්ධතාවයට දිය හැකි අරුත් මොනවාදැයි මම නොදනිමි. ආදරය සමග එයට ඇති ගනුදෙනුව කුමක්දදැයි මට වැටහෙන්නේ නැත. එමෙන්ම ආදරයේ ව්‍යාජය හැරුණු කොට ඊට සාක්ෂාත් කර ගත හැක්කේ මොනවාද යන්න මට සැකසහිතය. මා නිවැරදි නොවිය හැක. නමුත් මට සැක සහිතය.

කෙසේ වෙතත් ශුද්ධ කන්‍යාවගේ රූපය වරින්වර අඳුරු කරමින්, ගොදුරු කරමින් සහ යළි ආලෝකමත් කරමින් තරංගනී කන්‍යා ලෝගුව ඇගෙන් මුදා ගන්නීය. සමහරක් විට ආදිත්‍ය ජීවතුන් අතර සිටියා නම් කිසිසේත්ම ඈ ඇගේ කන්‍යා ලෝගුවෙන් මිදෙන්නේද නැති බව සහතිකය. (මනෝවිශ්ලේෂණයට අනුව මෙය රෝගී තත්වයකි. ෆ්‍රොයිඞ් පරිකල්පනය කළේ නීරෝගී වන්නට නම් සංසර්ගයට ඇතුලු විය යුතුය යනුවෙනි. ඔහුගේ පරිකල්පනය තුළ ස්ත්‍රියක් ස්ත්‍රියක් වන්නේ එවිටය).  

කන්‍යා සිවි කඩන්නට අප්‍රමාණ සිහින දකින පිරිමි සිටින රටක තරංගනීගේ සිස්ට සෙව්වන්දි කන්‍යා සිවිය සිඳ දමන්නේ ඔහු නොඑන බව සහතික වන විටය. තරංගනී කන්‍යා ලෝගුවෙන් සිස්ට සෙව්වන්දිව මුදා ගැනීම සඳහා ආදිත්‍යව අතුරුදහන් නොකරන බව අපට පැහැදිලිය. එය ඉතාම පැහැදිලි වශයෙන් අපගේ සමාජ යථාර්ථය විසින් සිදු කරනු ලද අතුරුදහන් කිරීමකි. එහෙත් පිරිමියාගේ අතුරුදහන් වීම ඈව පළමුවරට මනුෂ්‍යයෙකු බවට පත් කරයි. ඈ ෆ්‍රොයිඩියානු අර්ථයෙන් ස්ත්‍රියක් බවට පත් වන්නේ සංසර්ගයට මාරුවීමෙන් නොවේ. 

තරංගනී මේ කියන්නේ ගැහැනියකගේ කන්‍යා සිවිය සහ පුරුෂ ලිංගය අතර සම්බන්ධයක් නැති බවය. සිස්ට සෙව්වන්දි අවසානය දක්වාම දකින්නේ මහා පුරුෂ ලිංගයේ හාස්කම් වෙනුවට ඒ පුරුෂ ලිංගය දරා සිටි කෙනෙකුගේ මනුෂ්‍ය ආධ්‍යාත්මයයි. එසේත් නැතහොත් ඈ ඔහු තුළින් දකින්නට උත්සාහ කරන්නේ එයයි. පුරුෂ පරිකල්පනය විසින් ස්ත්‍රියගේ ඔලුවට දමන ලද පුරුෂ පරිකල්පනයේ පල්හෑලි සිස්ට සෙව්වන්දි අතින් ගිරවෙකුගෙන් මෙන් කියවෙන නුමුදු සිස්ට සෙව්වන්දිට මට කැමති විය හැක්කේ ඒ නිසාය. 

ඉතින් කන්‍යා ලෝගුව හැර දැමූ සෙව්වන්දිගේ ස්වයං වින්දනය තුළ ආදිත්‍ය සදාකාලික ෆැන්ටසියක් ලෙස ජීවත් වනු ඇත. 
                                                                                    
නදීකා බණ්ඩාර

Thursday, January 11, 2018

පුරුෂ පරිකල්පනය විසින් නිමවු ස්ත්‍රිය අප ප්‍රශ්න කළ යුතුය.


ලෝකය නිම වන්නේ පරිකල්පනයෙනි. ස්ත්‍රියකගේ ලිංගිකත්වය සහ ඇය ශරිරය තුළින් ලබන සතුට කුමක්ද යන්න පිරිමි ශිෂ්ටාචාරය පුරාවට පරිකල්පනය කර ඇත. එය සාහිත්‍යය, සිනමාව, සංගීතය, නාට්‍ය කලාව, මනෝවිශ්ලේෂණය, ආගම, දේශපාලනය යන බොහෝ ක්ෂේත්‍ර තුළ අපට හමුවෙයි. අප විශ්වාස කරන්නේ හිංසනය ක්‍රියාත්මක වන්නේ බලහත්කාරී ලිංගික ක්‍රියාවක් සිදු කරන අවස්ථාවක පමණක් බවයි. නමුත් පුරුෂ පරිකල්පනය විසින් ස්ත්‍රීත්වය නිපදවා ඇති ආකාරය මගින් අනියම් ආකාරයකින් හිංසනය පවත්වාගෙන යන ආකාරය අපි අමතක කර දමමු. එසේත් නැතහොත් සමහරක් දේවල් හිංසනය නොවේයැයි, විදිහ යැයි, ස්වභාවිකත්වය හෝ ස්ත්‍රීත්වය යැයි අපි භාර ගනිමු.

ස්ත්‍රියක් සිය සිරුර තුළින් ලබා ගන්නා සතුට නිශ්චය කර ගත නොහැකි පිරිමි ගැහැනුන්ව පර්දාවෙන් වසා දැමූහ. ක්ලිටෝරසයන් කපා දැමූහ. දුෂණය කළහ. ලිඟු ඉරීමෙන්ද, කස පැහැර කෑමෙන්ද පවා ගැහැනුන් සුරතාන්තය ලබා ගන්නා බව තවමත් පිරිමි විශ්වාස කරන්නේ එහෙයිනි. ඇත්තෙන්ම කස පහර දීමෙන් සිදු කළේ සංසර්ගය සඳහා ගැහැනිය හීලෑ කිරීමයි.  පිරිමි, කස පහරවල් විශ්වාස කරන්නට ගැහැනුන්ව පුහුණු කරති. පුහුණුවෙන් පසු සහතිකය නිකුත් වීමට ශිල්ප දැක්විය යුතුය. විශ්වාසය යනු සත්‍යය නෙවේ. එය සත්‍යය වන්නේ විශ්වාසය නිසාය. 

දැන් ඉතින් පිරිමින් අපට ඉගැන්වූ ශිල්පද, ඔවුන් අපට කාවැද්දූ විශ්වාසයන් ගැනද ප්‍රශ්න කිරීමට කාලය එළඹ ඇත.  සමහරු හිතන්නේ මුඛයේද, කිහිලිවලද, රෝම කූපවලද, දණහිස් වලද, පියවුරු අතර ඇති මැද හිඩැසේද මෙකී කියූ නොකී හැමතැනකම ක්ලිටෝරසයන් ඇති බවයි. දෙවියන් ගැහැනිය මවන ලද්දේ පුරුෂයාගේ  ඇටයකින්ය යන පරික්ලපනීය අදහස විශ්වාස කරන අය තවමත් සිටින කාලයක, බහු සුරතාන්ත යෝනි පරිකල්පනය ගැන කවර කතාද? එසේම බහු සුරතාන්තයන් ඇති බවත් පිරිමින් සිය ගණනක් සමග හෝ, එක පිරිමියෙකුගෙන් පසුව තවත් පිරිමියෙකු සමග නිදා ගත හැක්කේ බහු සුරතාන්තයන් නිසා බවද බොහෝ පිරිමි තවමත් විශ්වාස කරයි. 
ඇත්තෙන්ම සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. මෙලෝ සුරතාන්තයක් නැති නිසා ඔහේ සිටිය හැකි බව ගැහැනු නොකියන්නේ ප්‍රමෝදයේ රහසක් නිසා නොව බලයේ සම්බන්ධතාවය නිසයි. බහු සුරතාන්තය ඇත්ත නම්   බලහත්කාරී සංසර්ගය ආතල් විය යුතුය. සමුහ දූෂණයන් කොයි තරම් ආතල් විය හැකිද ? මොකද එකක් පිටුපස එකක් සුරතාන්ත පැන නගින නිසා බලහත්කාරී සමූහ සංසර්ගයන් ගැන ගැහැනුන්ගෙන් ඉල්ලීම් ඇති වනු ඇත. සමහරක් විට ඉදිරියේදී සමූහ බලහත්කාරී සංසර්ගයන් සඳහා ගැහැනුන් ඉදිරිපත් නොවන්නේ සම්ප්‍රදායික පීඩනය නිසා යැයි කියන්නටත් බැරි නැත. (ඇත්තටම සුරතාන්තයට පත් වූයේ නම් එක් සුරතාන්තයකට පසුව ගැහැනියකට නැවත ඒ ක්ෂණිකයෙන් ක්ලිටෝරස් උත්තේජනකින් ලබන සුරතාන්තයකට යා නොහැක. පුරුෂයෙකුට මෙන්ම ඇයටද ශාරීරිකව එය අපහසුවක් ඇති කරයි.)  ගැහැනු ලිංගික බහු සුරතාන්තය පිළිබඳ  අදහස තමයි සමූහ ලිංගික හිංසනයන්ට මෙන්ම ඕනෑම ලිංගික හිංසනයක් යටින් ඇති පැරණි මිත්‍යා මතය. සමහරු මේක මොර්ඩන් අදහසක් විදිහට ගෙන ආවත් මේක ගොඩාක් පරණ පුරුෂ පරිකල්පිතයක්. මේක නිසා තමයි ගැහැනිය ලිංගික වස්තුවකට ලඝු වුනේ.
  
සමූහ ලිංගික හිංසනයන් සිදු කිරීමට පිරිමි පෙළඹෙන්නේ ඇයි? ඔවුන් ගැහැනුන්ට සිතා ගත නොහැකි මහා සුරතාන්තයන් ගොඩාක් ඇතැයි  විශ්වාස කරති. ඔවුන් හිංසනයන් තුළින් දෙන්නට යන්නේ එයයි. ඒ නිසා තමයි ඔවුන්ට නීතිය අමතක වෙන්නෙ. කිච වෙන එක, නින්දාවට පාත්‍ර වෙන එක අමතක වෙන්නෙ. ගැහැනුන් සංසර්ගයෙන් මහත් තෘප්තියක් ලබන බව පුරුෂ පරිකල්පිතයක් වන අතර ගැහැනු එම පරිකල්පිතය ඉදිරියේ නිහඬ වෙති.

ඇත්තෙන්ම සංසර්ගය තුළින් ගැහැනියකට ලිංගික සුරතාන්තයක් ලබා ගැනීමට දුෂ්කරය. එසේ ලබා ගැනීමට නම් ක්ලිටෝරසයේ ක්‍රියාකාරිත්වය ගැන දැන ගත යුතුය. එයද දැන ගත හැක්කේ බක පණ්ඩිත පිරිමින්ගෙන් නොවේ. ගැහැනුන්ගෙන්මයි. එයට හේතුව වන්නේ ක්ලිටෝරසයේ භෞතික සැකැස්මයි. සියලු ලිංගික කාර්යයන් භෞතිකව අති දුෂ්කර බව සංසර්ගයේ ඇති පදම් යෙදී ඇති අය දනියි.  මට මෝඩ පිරිමින්ට කීමට ඇත්තේ  මහත්වරුනි මේ හිංසාව නවත්වන්න. ඔබලාට මෙන් අමුතු දෙයක් අපට නැත. ඔබලාගේ ශිෂ්ණයෙන් ඔබලා සුරතාන්තය ලබා ගන්නේ කෙසේද, අපිද අපේ ක්ලිටෝරසයෙන් එය ලබා ගනිමු.  එයට ඔය මහා පුරුෂ ලිංගය අවශ්‍ය නැත. එම නිසා මේ මහා පුරුෂ ලිංග පරිකල්පනය නිසා ලෝකයේ හරි අඩක් හිංසනයට පත් වෙන බව වටහා ගැනීමට නොහැකි තරම් ඔබලා මුග්ධ වූයේ කෙසේද? 

පුරුෂ ලිංග ඉන්බොක්ස් කරන්නේ මේ මහා පුරුෂ ලිංගයෙන් ගැහැනිය ලබා ගන්නා සුරතාන්තය පරිකල්පනය කිරිමෙනි. සංසර්ගයේ යෙදීමට කැමති අය කැමැත්තෙන් එයි. ලෝකයේ සිටින සියලු ගැහැනුන්ට ලිංගික සුරතාන්තයක් ලැබෙන්නෙ නෑ කියලා හිතලා වධ වෙලා බලහත්කාරයෙන් ඒවා දෙන්ඩ ගිහිල්ලා කිච වෙන්ඩ එපා.

ගැහැනියව කොයි තරම් සංසර්ග ක්‍රියාවලියට හීලෑ කොට ඇතිද යත් භෞතිකව සුරතාන්තයක් අත්කර ගැනීමට ඇති අපහසුව ගැන ඔවුන් පහසුවෙන් කටක් අරින්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මග ඇරීමයි. විෂම ලිංගික ආලය යනු සංසර්ගය නොවේ. 

අප සෑම විටම අපේ ආත්මය සම්පූර්ණ කරන කිසිවෙකු ඇතැයි පරිකල්පනය කරනු ලබමු. අපට අපව සම්පූර්ණයෙන්ම බෙදා ගත හැකි කෙනෙකු මෙලොව ඇතැයි සිතමු. ඒ අසම්පූර්ණත්වය කෙරෙහි අප තුළ ඇති අතෘප්තියයි. එය තනියෙන් සිටීමට අප දක්වන අසමත්කමයි. එහෙත් අසම්පූර්ණත්වය අප සතුව ඇති සදාතනික උරුමයයි. බොහෝ සබඳතාවලට ගමන් කොට ඇති අය මෙය පහසුවෙන් අබබෝධ කර ගනියි. සම්පූර්ණත්වය මෙන්ම අසම්පූර්ණත්වයද අපගේ පරිකල්පිතයකි. විෂම ලිංගිකත්වය සංසර්ග ක්‍රියාවලියකට ලඝු කිරීම තුළින් සිදු වන්නේ මිනිසුන් එකිනෙකා කෙරෙහි ආශක්ත වන, ආලයෙන් බැඳෙන අනෙක් සියලුම දේවල් අතහැර දැමීමයි.

ගැහැනුන් ගැහැනුන් සමගත්, පිරිමින් පිරිමින් සමගත්, ගැහැනුන් පිරිමින් සමගත්, පිරිමින් ගැහැනුන් සමගත් ආලයෙන් බැඳෙති. ඒ ඉලව් සංසර්ගයක් සඳහා නොවේ. විවිධ ලිංගික චර්යාවන් තිබිය හැකි වුවද භෞතික සුරතාන්තය සඳහා ක්ලිටෝරසයට යොමු වීමට ගැහැනියට සිදුවෙයි. එහෙත් ශාරීරික සුරතාන්තය හා ආලය හෝ ආදරය අතර කිසිදු සම්බන්ධයක් නැත. ආලය කරන්නන් අතර ලිංගික චර්යාවන් තිබිය හැකි සේම නොතිබිය හැකිය. සංසර්ගය තිබිය හැකිය. නොතිබිය හැකිය. තිබීම සේම නොතිබීමේද මහා වෙනස්කමක් නැත. සෑම සබඳතාවයක වටිනාකම රැඳී ඇත්තේ මනුෂ්‍යත්වය කෙරෙහි අප තුළ ඇති කැපවීමයි.

ගැහැනියගේ විමුක්තියේ නාමයෙන් පිරිමි කොහෙත්ම නැති බහු සුරතාන්තයක් පරිකල්පනය කර වීරයන් වන්නට යති. කළ යුතු වන්නේ පිරිමි ඔවුන්ගේ පරිකල්පනයන් සත්‍යය ලෙස භාර ගැනීමට ගැහැනුන්ට බල නොකොට ගැහැනියට තමන්ගේ ලෝකය විවර කිරීමට ඉඩ දීමයි. අද වනතුරුම සිදුවන්නේ ඔවුන්ගේ පරිකල්පනයේ ගොදුරු බවට ගැහැනු පත් කරගැනීමයි. ගැහැනුන්ගේ සුරතාන්තයන් පරිකල්පය කරන්නට නොගොස් ඇයට මනුෂ්‍යයෙකු වීම සඳහා ධෛර්යයක් දෙන වටපිටාවක් නිර්මාණය කිරීමයි අවශ්‍ය වන්නේ. ස්ත්‍රීන්ගේ විමුක්තිය විශ්වාස කරන පිරිමි කළ යුතු දෙය එයයි. සංසර්ගය ගැහැනියට සුරතාන්තය හිමි කර දෙන්නේ නම් සමරාගික ගැහැනුන් සිටින්නේ කෙසේ ද? ඔවුන් ශාරීරිකව ලිංගික සන්තෘප්තිය ලබා ගන්නේ කෙසේද? සමරාගික ගැහැනුන්ව කොයි තරම් පිරිමින් විසින් ලිංගික හිංසනයට ලක් කොට ඇතිද?  සංසර්ග සුරතාන්තය අධිපති ලිංගික තෘප්තිය ලෙස පිළිගැනෙන සෑම සමාජයකම ලිංගික හිංසනය භාවිතාවක් වන බව අප මතක තබා ගත යුතුය. 
    
ගැහැනුන්ගේ  ලෝකය පිරිමින් විසින් පරිකල්පනය කිරීමේ වියවුලේ ගැහැනු කරවටක් ගිලී සිටිති. 
ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අප පක්ෂ විය යුත්තේ එය හොඳ නිසා නොවේ. ආලය, ලිංගිකත්වය වැනි අති මානුෂික දේවල් මුදලට ලබා ගැනීමට සිදුවීම ගැන පිරිමි ලැජ්ජාවට පත්විය යුතුය. ගණිකා වෘත්තිය නැති කිරීමට පිරිමින්ට වුවමනාවක් නැති නිසා එය නීතිගත වීම හොඳය. ගබ්සාවට අප පක්ෂපාතී විය යුත්තේ එය හොඳ නිසා නොවේ. එය ගැහැනියක් මුහුණ දෙන අමානුෂිකම අත්දැකීමකි. අප එයට පක්ෂ වියයුත්තේ පුරුෂමූලික සමාජයක අන් විකල්පයක් නැති නිසාය. ස්ත්‍රියට පිරිමි පරිකල්පනයෙන් සිය විශ්වය මුදා ගත හැකි දවසට ගබ්සාවක් ගැන ඉල්ලිමක් ගැහැනුන්ගෙන් පැන නොනගිනු ඇත.

ස්ත්‍රියගේ විමුක්තිය උදාවන්නේ පිරිමි පරිකල්පනයෙන් සිය විශ්වය මුදා ගැනීමෙනි. ස්ත්‍රිය පිළිබඳ පිරිමි පරිකල්පනයේ සකලවිධ හිංසනයන් ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන ඕනෑම කෙනෙකු අපි අපේ සටන් සගයන් ලෙස සැලකිය යුතුය. 
                                          
 නදීකා බණ්ඩාර


Monday, January 8, 2018

සිනමාපටයක් නොවන සිනමා සිනමාපටය'


රසවත් නැත. සිහින නැත. වැරදි කැමරා කෝණ බහුලය. සම්මාන නැත. ඒජන්තවරු නැත. උළෙලවල් නැත. ලිඟු කෙලින් නොකරන නිරුවත් රූප ඇත. 
තරු නැත. වැදගත් නැත. සංකේතීය පටිපාටිය නැත. පුරුෂ ලිඟු නිසා අවසර පත් නැත. 
සිනමා කර්මාන්තයට සිදු කරන කිසිදු මෙහෙයක් නැත. ලෝකයට කරන කිසිදු මෙහෙයක් නැත. බලාපොරෙත්තු තබා ගත හැකි කිසිවක් නැත. 
කුණු බක්කියට විසී කිරිමට ප්‍රථම එක වරක් ඔබට නැරඹීමට හැකිය. 
සිනමාකාරියක් වීමට ගිය එකියකගේ අපිළිවෙළ රූප පෙළක් ඇත. 

https://soundcloud.com/user-892435911/rathu-sapaththu-disscussion
https://pitasthariya.blogspot.com/2017/10/blog-post.html
http://womansstage.blogspot.com/2015/08/blog-post_6.html

රතුසපත්තු

නදීකා බංඩාරගේ සිනමා කෘතියක්

 ඔබේ නම" ලිපිනය" දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය  womansstage@gmail.com වෙත එවීමෙන් ආරාධනා පත් වෙන් කරවා ගත හැක'

අප බැලිය යුත්තේ ආලෝකය දෙසයි...



ස්ත්‍රීවාදය හා ස්ත්‍රීවාදීන් ගැන ගැන තියෙන විවේචන ක්ෂේත්‍රය තුළ තියෙන එක අදහසක් තමයි ස්ත්‍රීවාදය අවසන් බව. ස්ත්‍රීවාදය කියන්නෙ හැමවිටම සටන් කිරීමක් වැනි අදහසක් ගෙන එනවා. නමුත් ඇත්තෙන්ම එය සීතිමක්. රජයක් විසින් ක්‍රියාත්කම කරන සංවර්ධන ව්‍යාපෘතියක් වගේ ස්ත්‍රීවාදය කියන එක අවසන් වෙන්නෙ නෑ. ඒක ව්‍යාපෘතියක් නොවෙයි. එය සීතීමක්. ඒක කාගේවත් ව්‍යාපෘතියක් නොවෙයි. ඒ තුළ සටන් තිබෙනවා තමයි.  ඇත්තෙන්ම මෙය පුරුෂ විරෝධී දෙයක් නොව පුරුෂ මූලික සංකල්පවලින් බිහි කරන ලද ස්ත්‍රී සංකල්පයට විරුද්ධ වීමක්. මේක ඇත්තටම ඊනියා විෂම ලිංගික සබඳතාවයන් තුළ තිබෙන බල රටාවට අභියෝගයක්. 
පුරුෂ මූලික සංකල්ප විසින් නිෂ්පාදිත විෂම ලිංගික සබඳතාවය තුළ ක්‍රියාත්මක වෙන පරපීඩක ආශ්වාදය අහිමිවීම පිළිබඳව බොහෝ අය බයයි. අන්න ඒ නිසයි ඔවුන් ස්ත්‍රීවාදය අවසන් වෙලා හෝ මිය ගිහිල්ලා කියන්නෙ. ස්ත්‍රීවාදයේ හතරවැනි රැල්ල 2012 දී පමණ ලෝකය තුළ මතු වෙන්නෙ ලිංගික හිංසනයට එරෙහිව. ලොව පුරා ස්ත්‍රීන් විවිධ ආකාරයෙන් ලිංගික හිංසනය ක්‍රියාත්මක වෙන ආකාරයන් ගැන කතා කරන්නට පටන් ගත්තා. ඊනියා ලිංගික තෘප්තියට දාර්ශනිකව සහ විද්‍යාත්මකව අභියෝග කරන්නට පටන් ගත්තා. 
විශේෂයෙන් චිත්‍රපටි කලාව, නිල් චිත්‍රපටි තුළ තියෙන පුරුෂ ඇස ඔවුන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. ස්ත්‍රීවාදයේ හතරවැනි රැල්ල මගින් දැන් ප්‍රශ්න කරනු ලබන්නේ ‘මා ස්ත්‍රීවාදිනියක් යැයි කීමට  බිය වන්නෙ ඇයි?’ යන්නයි.
සමලිංගික අයිතිවාසිකම් ගැන කතා කරන අය, ගබ්සාවට පක්ෂපාතී වෙන අය සමහරක් විට ස්ත්‍රීවාදයට බයයි. නමුත් ස්ත්‍රීවාදය සහ සමලිංගික අයිතිවාසිකම් අතර තියෙන්නෙ විශාල සම්බන්ධයක්. විශේෂයෙන් ගැහැනු සමරාගිකත්වය ඔවුන් උත්කර්ශයට නැංවීමේ එක් අදහසක් වූයේ ඊනියා විෂම ලිංගික සබඳතාවය, ලිංගික තෘප්තිය පිළිබඳ ගොඩ නංවා ඇති මිත්‍යාවන් මූලික කොට ගත් බල රටාව අභියෝගයට ලක් කිරීමයි. ගබ්සා කිරීමට ඇති අයිතියට මෙන්ම දරුවෙකුගේ සුජාතභාවය ඔප්පු කිරීමට විවාහයකට යාම අනිවාර්ය කිරීමේ මුග්ධ නීතිවල ඇති හිංසනිකත්වයට බෙහෝ අය පක්ෂපාතී වෙනවා.  මේ නිසාම බොහෝ අය ගබ්සාවට යොමු වෙනවා. මේ ගැන අපි නිහඬයි. 
හිංසනිකත්වය යනු බලහත්කාරී ලිංගික ක්‍රියාවන්, යෝජනාවන් සහ වචන පමණක් නොවෙයි. 
හිංසාව සේම හිංසාවට භාජනය වීමත් සාමාන්‍ය වුණාම ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. අනෙක් අතට හිංසාවට එරෙහි වන බොහෝ අවස්ථාවල අප නැවත එහිම ගොදුරු වන අවස්ථා සුලබයි. පසුගිය දවස්වල මා එය අති පෞද්ගලිකව අත් දකිනු ලැබුවා. එම සිදුවීම් හෙලිදරව් කිරිම තුළින් එහි සදාකාලික වින්දිතයන් බවට පත් වෙනු ලබන නිසා බොහෝ කාන්තාවන් ඒවා නිහඬව විඳ දරා ගන්නවා. දූෂණය කොට මරා දෑමීමේ සිදුවීම් හැරුණු විට එදිනෙදා ජීවිතය තුළ සිදුවෙන ලිංගික හිංසනයන් ගැන පැමිණිලි කරන්නට යනවා නම් හැමදාම ලංකාවේ සියලුම ගැහැනු දිනපතා සිටීමට සිදුවන්නේ උසාවිවල සහ පොලීසිවලය. හිංසනයට භාජනය වීම හෙළිදරව් කිරීම නැවත හිංසනයට භාජනය වීමක් වීම වින්දිතයන් නිහඬ කරවනු ලබන අප අමතක නොකළ යුතුය.  
ස්ත්‍රීවාදින් නැටවෙන්නෙ රාජ්‍ය නොවන සංවිධානවලින් කියන අදහසත් පොදුවේ තියෙනවා. සමහරක් අය එසේ විය හැකියි. සම්පූර්ණ සත්‍යය එය නොවන නමුත් එහි සත්‍යයෙන් අඩක් ගැබ්වී ඇති බවද අපට අමතක කළ නොහැකියි. උදාහරණයක් වශයෙන් මේ මෑතකදී  WoW යනුවෙන් ස්ත්‍රීන් සම්බන්ධයෙන් වැඩසටහනක් තිබුණා. 
“මෙහෙම දෙයක් සංවිධානය කරන බව අපි දන්නෙ නෑ. එහෙම වුණා නම් මට මගේ චිත්‍රපටයත් ඔබලාගේ ප්‍රදර්ශන අවකාශයට ගත හැකිදැයිවත් අසන්නට තිබුණා.” යනුවෙන් මම එහි සංවිධායකයන්ට පැවසුවා. මගේ චිත්‍රපටයේ පුරුෂ ලිංගයන් දක්නට ඇති නිසා  රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය නොලැබෙන බවත්, මට ලබා ගත හැකි ප්‍රදර්ශන අවකාශය වන්නේ මේ ආකාරයේ වැඩ සටහන් තුළ පමණක් බවත් මම ඔවුන්ට පැවසුවා. ඔවුන් මට දුන් පිළිතුර වූයේ ඔවුන් එය හදිස්සියේ සංවිධානය කළ බවයි. අනෝමා රාජකරුණා මට කතා නොකලේ ඇයිද කියාත් ඔවුන් මගෙන් ඇසුවා. මෙවැනි වැඩ හදිස්සියේ සිදුවන්නේ ඇයිද යන්න ගැටලුවක්. අඩුම තරමේ අවස්ථාවක් ලබා දිය නොහැකි වුවද, ඒවාට ඇතුලු විය හැකිද නැද්ද යන්න පවා දැන ගැනීමට නොහැකිවීම කණගාටුවක් බව මම ඔවුන්ට පැවසුවා. 
ස්ත්‍රීවාදය යනු හිංසනයට එරෙහි වීම පමණක් නොවේ. 
ස්ත්‍රීන් සහභාගි කර ගැනීමේදී ස්ත්‍රීන් වෙනුවෙන් කතා කරන, හඬ නගන අය කොතරම් අවංකද කියන කාරණය අමතක කර දැමිය හැකි දෙයක් නොවේ. කොයිතරම් දුරට එය ප්‍රජාන්ත්‍රවාදීද, නැද්ද කියන කාරණය මතවාදයට තුඩු දෙන්නක්. එහෙත් ඒ තුළින් ස්ත්‍රීවාදයේ දාර්ශනික හරය මිය යන්නෙ නෑ. 
මාගරිතා ඩියුරාස් නැමති ලේඛිකාව වරක් සම්මුඛ සාකච්ඡාවකදී මෙහෙම පිළිතුරු දෙනවා.
“ඔබ  තාමත් කොමියුනිස්ට්වාදිනියක්ද?”
“ඔව්.” 
“එහෙත් ඔබ පක්ෂය අතහැර ගියා.” 
“පක්ෂය කියන්නෙ කොමියුනිස්ට්වාදය නෙමෙයි.”
“ඔබ බලාපොරොත්තු වෙනවද මොන ජාතියේ හරි කොමියුනිස්ට්වාදයක් ආපහු ලෝකෙට එනවා දකින්න?”
“මං දන්නෙ නෑ. මට දැනගන්න ඕනත් නෑ. මං මගේ ඇතුළතින් කොමියුනිස්ට්වාදිනියක්. මං තවදුරටත් ලෝකෙ ගැන බලාපොරොත්තුවක් නෑ.”
මනුෂ්‍යත්වය විශ්වාස කරන කිසිවෙකුට කොමියුනිස්ට් අදහස බැහැර කළ නොහැකියි. කිසිදු කොමියුනිස්ට්වාදියෙකුට ස්ත්‍රීවාදයට එරෙහි විය නොහැකියි. ඉතින්, ස්ත්‍රීවාදය නව ආකාරයක ගැහැනියක් පිළිබඳ සිතීමක් දියුණු කළා. එහි දාර්ශනික හරය තුළ ඇත්තෙ සකල මනුෂ්‍යත්වය කරා පතුරුවන ආලෝකයක්.  අප බැලිය යුත්තේ ඒම ආලෝකය දෙසයි.  
       
නදීකා බංඩාර