Monday, December 25, 2017

වින්දිතයින්ගේ විඳ දරා ගැනීම හිංසකයින්ගේ පරපීඩක කාමුක ආශ්වාදයයි.....


ස්ත්‍රීන් භාජනය වන හිංසනික ක්ෂේත්‍රය පුරුෂ බැල්මේ සිට ලිංගික හිංසනයට භාජනය කොට මරා දැමීම දක්වාම විහිදී යන පුළුල් ක්ෂේත්‍රයකි (එය බැල්මවල සිට වචන දක්වාත්, ලිංගික අල්ලස් ගැනීමේ සිට ලිංගික හිංසනයට භාජනය කොට මරණයට පත් කිරීම දක්වාමත් විහිදී යයි). කෙනෙකු නොමැරුණු ගෙදරකින් අබ ඇටයක් සොයා ගැනීම කළ නොහැක්කක් සේම මෙම හිංසනික ක්‍රියාවලියේ කුමන හෝ හිංසාකාරිත්වයකට ලක් නොවූ ස්ත්‍රියක් ලංකාව තුළ නම් සොයා ගැනීම ඉතාමත් අපහසුය. සිය ගෙදරදීද, බස්රියේද, කෝච්චියේද, මහ පාරේද, කාර්යාලවලද, කර්මාන්තශාලාවලද, විශ්වවිද්‍යාලවලද, කලා කටයුතුවලද, දේශපාලන සංවිධානවලද සිට සෑම තැනකදීම, සෑම ස්ත්‍රියකම කුමන හෝ හිංසාකාරිත්වයකට දිනපතා ලක් වෙයි. වින්දිතයින් සියළුම ලිංගික හිංසනික ක්‍රියාවන් ගැන පැමිණිලි කරන්නට ගියා නම් ඒ සඳහා වෙන්වුණු වෙනම අධිකරණ සංකීර්ණයක් පිහිටුවීමට සිදු වනු ඇත. 

ලිංගික හිංසාකාරිත්වයට භාජනය වන වින්දිතයන් නිහඬව හිංසාව විඳ දරා ගනී. හිංසකයන් ආයුධය කර ගනු ලබන්නේ මෙයමය. තමා ලක් වෙන හිංසක ක්‍රියාවන් විස්තර කිරීමම ලැජ්ජා සහගත දෙයක් නිසා වින්දිතයන් ඒවා තමාගේම හිත් තුළ සඟවාගෙන එම සිදුවීමෙන් පැන යන්නට උත්සාහ කරනු ලබයි. මෙය නීති මගින් පමණක් විසඳාලිය නොහැකි සංකීර්ණ ගැටළුවකි. 

අප දන්නා තරමින් රටක ප්‍රධාන පුවත්පත් ලිංගික හිංසනයට අනුබල දෙන ආකාරයේ පුවත් පළ කරනු ලැබිය නොයුතුය. අවාසනාවන්ත තත්වය වන්නේ එය එසේ වීමය. 

මෙම ලිපියේ ලියුම්කාරිය වන මම මා ලිංගික හිංසාකාරිත්වයකට භාජනය වූ අවස්ථාවක් පාදක කොට ගෙන ලිංගික හිංසාව ක්‍රියාත්මක වන ආකාරය ගැන ලිපියක් පළ කරනු ලැබුවෙමි. 

http://lankadaily.com/latestnews/featured/item/6041-2015-03-31-10-00-49

එම සිදුවීමෙන් පසුව යළි යළි එම සිදුවීමේම මා ගොදුරක් බවට පත් කිරීම ‘සත්හඬ’ පුවත්පත විසින් පසුගිය 2017- 12- 17 සිදු කරනු ලැබුවේය.  එම සිදුවීමට අදාළ පුද්ගලයා සමග මා එම සිදුවීමෙන් වසර දෙකකට පමණ පසුව බාර් එකක් තුළ බියර් පානය කරමින් සිටි බව (මා එම සිදුවීම සම්බන්ධ ලියන ලද ලිපියද උපුටමින්) දක්වමින් ඔවුන් ව්‍යාජ, අසත්‍ය තොරතුරක් නිර්මාණය කරනු ලැබුවෝය. 


මා හිංසනයට භාජනය කළ පුද්ගලයා සමග මගේ සම්බන්ධයක් ඇති බවට ඔවුන් එම ලිපිය (“පරම ප්‍රමෝදයේ බාධාව ලෙස අනෙකා තෝරා ගැනීම” - 2017-12-17) මගින් ව්‍යාජ කතාවක් නිර්මාණය කරයි. මට අනුව ඔවුන් ඉතාම දැනුවත්ව බරපතල සමාජ විරෝධී ක්‍රියාවන් තුනක් මුද්‍රිත වචන භාවිතා කොට සිදු කරනු ලැබුවෝය. 

1- මා වින්දතයෙකු වූ සිදුවීම නැවත පුනරුච්චාරණය කරමින් මා හිංසාවට භාජනය කිරීම.

2 -අසත්‍ය තොරතුරු නිර්මාණය කරමින් ස්ත්‍රී හිංසනයට අනුබල දීම.

3 -අසත්‍ය තොරතුරු නිර්මාණය කරමින් පුවත්පතක ඇති සමාජ වගකීම සහ වෘත්තීයමය සදාචාරය කඩ කිරීම.

පුවත්පතක සමාජ වගකීම රැඳී ඇත්තේ ඔවුන් සිදුවීම් ඉදිරිපත් කරන තොරතුරුවල ඇති නිරවද්‍යතාවය මතයි. මා එය ඔවුන්ට මතක් කර දිය යුතු බව මා හිතන්නේ නැහැ. එය ඔවුන් හොඳාකාරවම දන්නා දෙයක්. එසේ නම් මෙය සිදු කරන්නේ ඇයි? 

වින්දිතයන්ගේ නිහඬතාවය ගැන ඔවුන් සවිඥාණික නිසාය. 

ඉතින්, බස්රථයක නිතර හමුවන හිංසකයෙකුගේ නිර්ලජ්ජිත සමාජ විරෝධිත්වය පුවත්පතක මුද්‍රිත වචන තුළ සිදුවීම අහම්බයක් නොවේ. මෙය ‘සත්හඬ’ පුවත්පත විසින් සිදු කරනු ලැබුවාය යන්නෙන් මා පවසන්නේ එය එම ලිපිය රචනා කරනු ලැබූ අය පමණක් එයට වගවිය යුතු සීමාව ඉක්මවා ගිය හෙයිනි. එනම් ප්‍රධාන කතෘතුමා විසින් තමාගේ පුවත්පතේ එවැනි වැරැද්දක් සිදුව ඇතැයි දැන ගත් පසු එයට දැක්වූ ප්‍රතිචාරයයි. 

මම එහි ප්‍රධාන කතෘතුමාට ලිපියක් භාර දෙනු ලැබුවෙමි. එහිදී සිදුවූ වැරැද්ද පිළිගත් කතෘතුමා එය නිවැරදි කරන බව පැවසුවේය. ‘සත්හඬ’ 2017- 12- 24 ඔවුන් පළ කරනු ලබන කලාපයේ මා යැවූ ලිපියෙන් කොටසක් උපුටා දක්වන ඔවුන් පහළින් මෙසේ ලියා තිබුණි. 

අවාසනාවකට නදීකා සිතන්නේ අපට පරචිත්ත විජානනය (අනුන්ගේ සිත් කියවීමේ නුවණ) ලැබී ඇත කියාය. සැබැවින්ම අප දේශපාලනය කරනු විනා ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්නේ නැත. එහෙයින් අපගේ වටහා ගැනීමට අනුව, ඔබ ‘එතැන’ වාඩි වී සිටීමද ගැටලු සහගතය. කෙසේ වුවද ‘නදීකා වටහාගත යුත්තේ එය අපගේ භින්නරුචිකතාවක් නොව, දේශපාලන මතයක් පමණක් බවය. 



පරචිත්ත විජානන ඥානයක් ඔවුන්ට ඇතැයි මා සිතුවේ යැයි කියන්නේ කෙසේද? කතෘතුමා මේ නොකියා කියන්නේ ‘සොරි ඕයි. සොරි.’ කියාය. 

වරක් මා වින්දිතයෙකු කළ හිංසකයාට ‘සත්හඬ’ පුවත්පත සමාන වීම දෛවයේ සරදමක් නොවේ. එය හිංසකයාගේ ආත්මය යනු සාමූහික පොදු අවිඥාණයක කොටසක් බව ඔවුන් විසින්ම සනාථ කිරීමයි. 

පුවත්පතකට අනුන්ගේ සිත් දැන ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. පුවත්පත්වල ඉන්නේ මුනිවරු නොවන බව කවුරුත් දන්නා දෙයකි. නමුත් පුවත්පතකට ඔවුන් ඉදිරිපත් කරන තොරතුරුවල නිරවද්‍යතාවය ඉදිරිපත් කිරීමට සාක්ෂි තිබිය යුතුය. එම සාක්ෂි නොමැතිකම නිසා ඔවුන් එය නිවැරදි කරනු ලැබුවේ මා ප්‍රධාන කතෘතුමාට යැවූ ලිපිය පළ කිරීමෙනි. මෙය සමස්ත පුවත්පත් කලාවටම කරනු ලැබූ නින්දාවකි. මෙය හිංසනය පුවත්පත්වල ක්‍රියාත්මක වන ආකාරයට හොඳම නිදසුනක් බවට පත් කිරීමෙන් ඔවුන් පුවත්පත් කලාවම නින්දාවට භාජනය කරනු ලබයි. 

ඔවුන් මෙම හිංසනීය ලිපිය පළ කරනු ලැබුවේ ඔවුන්ගේ id  අතිරේකයේය. 
පුද්ගලයෙකුගේ අවිඥාණය තුළ පරපීඩක කාමුක ආශ්වාදයක් තිබිය හැක. එය සමාජය තුළ චර්යාත්මකව ක්‍රියාත්මක වීම ශිෂ්ට සමාජයක් අනුමත කරන්නේ නැත. පුවත්පතක සවිඥාණයත් අවිඥාණයත් දෙකෙන්ම සමාජය පරපීඩක කාමුක ආශ්වාදය අපේක්ෂා කරන්නේ නැත. සත්හඬ මේ අපට නොකියා කියන්නේ ඔවුන්ගේ දේශපාලනික මැදිහත් වීම යනු පරපීඩක කාමුක ආශ්වාදය බවද? 

එදිනෙදා අප අත්විඳින කාන්තා ලිංගික හිංසනය පුවත්පත තුළ මුද්‍රිත වචනවලින් සිදු කිරීමට ඔවුන් නිර්ලජ්ජිත ලෙස බිය නොමැති බවද? 

එතනින් නොනැවතී මෙය දේශපාලනය ලෙස  අප භාර ගත යුතු බවටද ඔවුන් අපට යෝජනා කරයි. 
                                                          
නදීකා බණ්ඩාර

                                                                                       
 ලිපියෙන් පළ නොකොට ඉවත් කළ කොටස

වහාම ඔබගේ පුවත්පතේ ඊළග කලාපයේ මේ ගැන නිවැරදි කිරීමක් කළ යුතුය. ප්‍රභාත් හේමන්ත විසින් ආරාධනා කරනු ලැබ වංගීස සුමනසේකර ඔහුගේ පොතේ සාකච්චාවට සහභාගි වී සිටිනු ලැබීය. මමද ඒ ආකාරයෙන්ම ආරාධනා ලැබුවෙක්මි. නමුත් කිසිසේත්ම වංගිස සමග මම බාර් එක තුළ නොසිටියෙමි. මම බාර් එක තුළ සිටියේ මගේ මිතුරන් සමගය. ඒ සඳහා සියලුම සාක්ෂි මා සතුව ඇත.  මෙම නිවැරදි කිරීම කළ යුතු අතර එසේ නොකරන්නේ නම් ඔබගේ පුවත්පත විසින් මේ අකාරයෙන් මා අපහාසයට ලක් කිරීම සම්බන්ධයෙන් මම නීතියෙන් කටයුතු කිරීමට සුදානම් බව දන්වනු කැමැත්තෙමි.