Wednesday, May 23, 2018

සහෝදරියනි ලියන්න... ඔබ ගැන නොවෙයි. ඔබව...


             
ඔටුන්න ආපසු අර ගන්න... 
අපි අපේ දුෂ්කර ගමන ආරම්භ කරමු...



හෙලන් සිසෝ කියනවා ගැහැනියක් කථා කරන්ඩ පටන් ගත් විට ඇයට වෙනදේ. (ඒ කියන්නෙ ඇයට ඇගේ වේදනාකාරි ප්‍රකෝපකාරිත්වය නැති වෙලා නැත්නම්...) ඈ කතා කරන්නෙ නෑ.. ඈ ඇගේ ශරීරය තමයි ඇගේ වචනවලට විසීකර දමන්නෙ... (ඔව් හෙලන්...  ඈ කතා කරන්නෙ හදවතින් විතරක් නෙමෙයි. ඇගේ මුලු ශරීරයෙන්ම. ඈට එහෙම කතා කරන්ඩ සිදු වෙලා තියෙනවා...) ඈ ඈව අතහැර දමනවා... ඈ ඉගිලෙනවා... ඇගේ සියල්ල ඇගේ හඬ විසින් පසුකර දමනවා. ඇයට ඇගේ කථාවේ තර්කය ගොඩ නැගීමට උදව් වෙන්නෙ ඇගේ ශරීරය... 

මේ දවස්වල අපේ භූමිය තුළ ස්ත්‍රීවාදී කතිකාව නැවත නැවත අපේ ශරීර ඇතුළෙන් එළියට එනවිට මේ පොළොවේ ඊට ඇතිවුණු සංවාදය සහ එහි පසුගාමීත්වය ගැන වචන කිහිපයකට පසුව මේ ලිපිය ආරම්භ කරන්ඩ හිතුණා.
  
විශේෂයෙන් ස්ත්‍රීවාදින් කියන්නෙ කැත, වඳ, සමරිසි ගැහැනු වගේ අදහසක් පැන නැගුණා. ඒ වගේම ඒක රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘතියක් වගේ කාරණාවකුත් පැන නැගුණා. ඒ වගේම සමහර පිරිමි  ස්ත්‍රීවාදීන්ට ඔවුන් සහයෝගය දක්වන බව පැවසුවා. නමුත් මේ සියලු දේවල් ඇතුලේ ඔවුන්ගේ අදහස්වලින් පැනනැගුණු එක දෙයක් තිබුණා. ස්ත්‍රීවාදය පොළොවට දරා ගත හැකි විය යුතු බව. ඒ වගේම සමහරු කිව්වා පරල වෙලා චණ්ඩින් බොක්සිං ගහ ගන්නවා වගේ මේ වැඬේ කරන්ඩ බැරි බව. මේ සියලු අදහස්වල තියෙන්නෙ තියෙන්නෙ භාෂාව විසින් පුරුෂයාට දීලා තියෙන අසීමිත නිදහස. සම්ප්‍රදාය විසින් ඔහුට දීලා තියෙන අසීමිත නිදහස. ඔවුන්ට ඕනේ දෙයක් කතා කරන්ඩ පුලුවන්. හැබැයි ගැහැනු...?  ඔවුන් කියන්නෙ ස්ත්‍රීවාදීන් කතා කළ යුත්තෙ පොළොවට. 

ස්ත්‍රීවාදය කිසිසේත්ම පොළොවට අනුව හැඩ ගැසිය යුතු යමක් නෙමෙයි. පොළොවට අනුව හැඩ ගැසීම යනු එය පීඩකයාගේ න්‍යාය පත්‍රයේ කොටසක් කිරීම. ස්ත්‍රීවාදය විසින් නැවත පොළොව ගොඩ නැගිය යුතුයි. එය ඉතා දුෂ්කර වැඩක්. ඔලු ගෙඩි වැඩිවීම හෝ අපව පිළිගැනීම, අපට හුරේ දැමීම, අපට සහයෝගය දැක්වීම ගැන අප බලාපොරොත්තු තබා ගත යුතු නැහැ. දේශපාලනිකව මිය යාම යනු පොළොවට අනුව හැඩ ගැසීමයි. පොළොවට අනුව වෙනස් කිරීමක් නැහැ. වෙනස් කළ යුත්තේ  පොළොවයි.

  
හෙලන් සිසෝ කියනවා, මම ලියනවා ගැහැනියව... (හොඳින් තේරුම් ගන්න ගැහැනිය ගැන නොවෙයි. ගැහැනියව... ඉතින් ඔබ ලිවිය යුත්තෙ ගැහැනියව...  ඔබ ලිවිය යුත්තෙ ඔබව මිසක් ඔබ ගැන නෙවෙයි.) ගැහැනුන් ලිවිය යුතුයි ගැහැනියව... ස්ත්‍රීවාදය යනු වෙන යමක් නොවේ. සහෝදරියනි, ලියන්න ඔබ ගැන නොවෙයි. ඔබව... 

ඒ වගේම ඈ කියනවා, ලියන්න ඔබ වෙනුවෙන්...  ඔව්, සහෝදරියනි අමතක කරන්න සාහිත්‍ය ඒජන්තයන්... අමතක කරන්න සම්මාන... පැසසුම්... අගය කිරීම්...  උදාසීන කියවන්නන්, සංස්කාරක ප්‍රධානීන්. ලොකු මහත්වරු ගැහැනුන්ගේ වියමන් ඇතුළේ තියෙන ඔබේ සත්‍යය දකින්ඩ කැමති වෙන එකක් නෑ. ගැහැනුන් ඔවුන්ගේ ලිංගිකත්වය ගැන ලියන සැබෑ සත්‍යයන් දරා ගන්න එක පහසු එකක් නෙමෙයි. මොකද එය ඔවුන්ව බියවද්දන දෙයක්...

හෙලන් සිසෝ ඔබට මගේ චාරය... මා කරමින් ඉන්නෙ එයයි... ඔබ මට ජෙනී මාක්ස්ට වැඩි යමක්...  ජෙනී මාක්ස් මාක්ස්ට ආලෝකය වන්නට ඇති. එහෙත් මගේ ලෝකයේ මා සිටින පොළොවේ රෑ අට වෙන කොට ගැහැනුන්ට සදාකාලික රාජ්‍ය ඇඳිරී නීතියක් බඳු රාත්‍රියක් පිරිනමන භූමියක ඔබ මගේ සටන් සගයෙක්...

චේ ගුවේරා මෙහෙම කියලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. කුලී සොල්දාදුවෙකුගේ අරගල භූමිය තියෙන්නෙ ඔහු සටන් බිමට ගිය විට... එහෙත් අරගලකරුවෙකු ඔහුගේ සටන් භූමිය ඔහුගේ දෙපාත් සමග ඔහු යන යන තැනට අරගෙන යනවා... ඔහුගේ සටන් බිම  හැම විටම තියෙන්නෙ ඔහුගෙ දෙපා යට.



ඉතින් සහෝදරියනි, ඔබේ නිවසේ, ඔබේ යහනේ, ඔබේ පෙම්වතා සිටින තැන, ඔබේ සැමියා සිටින තැන, ඔබේ සමසරාගික යෙහෙළිය සිටින තැන, ඔබේ කවියේ, ඔබේ සිනමාවේ, ඔබේ නවකතාවේ, ඔබේ නාට්‍යයේ ඔබේ අරගල භූමිය තනන්න... ඔව් හෙලන් සිසෝගේ වචනවලින් කියතහොත් ලියන්න ඔබ ගැන නෙවෙයි. ලියන්න ඔබව... ලියන්න ගැහැනිය ගැන නොවෙයි... ගැහැනියව...

නදීකා බංඩාර