Wednesday, December 2, 2015

-මරියාගේ රමණය- ප්‍රේක්ෂක ඇසකින්.

'නිරුවත යන්න උපායක් නොව ගවේෂණයක්. නිරුවතට අපි හුරුවීමත් සමඟ එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙනවා'

ප්‍රංශ ජාතිකයෙකු වන Xavier Le Ray විසින් නාට්‍ය නිර්මාණයක් ඉදිරිපත් කරනවා, Temporary Title නමින්. එහි විශේෂත්වය වන්නේ එහි සියළු ම නළුනිළියන් නිරුවතින් තම රංගනයන් ඉදිරිපත් කිරීමයි. මේ පිළිබඳව පැවති සාකච්ඡාවක දී කල ප්‍රකාශයකුයි ඉහතින් දක්වා ඇත්තේ.

මරියාගේ රමණය නැරඹීමට යාමට ප්‍රථම, මේ නාට්‍යය ගැන කනින් කොන ඇසුනු කතා හේතූවෙන්, මේ වෙනස ගැන කුහුලක් මසිත ඉපදින. එය කූටප්‍රාප්ත වන්නේ නවනඟර ශාලා වේදිකාව මත නදීකා ඇතුළු පිරිස කල රංගනයේ දීය. මිනිස් සබඳතා ඇතිවීම, ඒ තුලින් පවුල නම් කුටුම්බය මූලීක ව සමාජයක් බිහිවීම, එකී සමාජය තුල ස්ත්‍රිය යන භුමිකාවේ හැසිරීම ඒ කතාව තුල තිබෙන බව මට සිතුණි. අධි පරිභෝජනවාදී ලාංකීය සමාජය තුල ස්ත්‍රිය හුදෙක් ලිංගික මෙවලමක්, නැතහොත් සංකේතයක් ම පමණක් ද යන ප්‍රශ්නය ඇය අපෙන් අසයි.

ඇය එක් අවස්ථාවක තමාට ගැහැණු ඇඟ වෙනුවට පිරිමි ශරීරයක් ඉල්ලා සිටියි. මේ පවතින්නා වූ ක්‍රමවේදයෙන් පැනයෑමට ඈ තුල පවතින අවශ්‍යතාවය ඉන් පෙන්නුම් කෙරේ. නාට්‍ය ආරම්භ වන්නේ ඇය ස්වයං වින්දනයේ යෙදෙන ජවනිකාවකිනි. ඒ තුල, පෙනෙනා හැටියට විවාහක කාන්තාවක් ලෙස ඇය මෙසේ ස්වයං වින්දනයේ යෙදීම පුරුෂ පාර්ශවයේ යුතුකම් ඉටු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස හැඟේ. ආරම්භයේ දී ම මා සිත ඇය කෙරෙහි නොපහන් වන්නේ, ඒ තුලින් සමස්ත පිරිමි ප්‍රජාව යම් පහත් තත්ත්වයකට ඇද දමන ක්‍රියාවක් ලෙස පිරිමියෙක් ලෙස මට සිතුන නිසා විය හැක.

සැමියාගෙන් ඇය බොහෝ දේ බලාපොරොත්තු වෙයි. ඇය ඉල්ලා සිටින්නේ තරුණ කාලයේ තමන් සමඟ එක පෙලට සිට විප්ලව කල ඒ තරුණයා යි. නමුත්, පවුලෙහි වගකීම හා පවතින සමාජ ක්‍රමය හමුවේ ඔහු, ක්‍රමයෙන් ඒ ඇය බලාපොරොත්තු වන චරිතයෙන් ඈතට ගෙන ගොස් ඇත. අහිමි වූ තම සිතැඟී සපුරා ගැනීමට ඈ අනුරාගී අනියම් පෙමවතෙකු සරණ පතයි. එහි ද ඇයගේ බලාපොරොත්තු නොමැති බව ඇයට වැටහෙයි. 
තම සැමියා හැර තවකෙකු පහස පතන නුඹ මගෙන් සතුටු නොවී ඊට එහා ගිය රසයක් සොයා තවකෙකු පහස නොපැතුවොත් එය පුදුම විය හැකි කරුණක් යැයි ඔහු පවසන්නේ මෙම අර්බුදයේ උච්ඡතම අවස්ථාවේ දී ය.
ඇය තම ශරීරය හුවමාරු කරන්නට යෝජනා කරන්නේ, මේ සියලු කාරණාවල මූලය පවතින්නේ මේ ස්ත්‍රි ශරීර කූඩුව තුල යැයි ඇය විශ්වාස කරනා බැවින් ය. නාට්‍යයේ ලිංගික දර්ශන නිරූපනය ඕනාවට වඩා ඉස්මතු කිරීමට වෙහෙසක් දරන බව ද පෙනේ. එය සමහර විටක මසිත ඒ පිළිබඳව පවතින්නා වූ ඇල්ම හේතූවෙන් ඇති වූ විශේෂත්වයක් ද විය හැක.

කතා නායිකාවගේ ජීවිතයේ ගලායාම ආරම්භයට ගියහොත්, ඇය වැඩිවියට පත්වීමත් සමඟ පිය සෙනෙහසින් දුරස් වන අතර, ඒ අහිමි සෙනෙහස ගැන ද මැසිවිලි කියයි. මෙහි පූසා යොදාගැනීම තුලින් විවාහ ජීවිතය තුලින් හා අනියම් පෙම තුලින් මතුකල නොහැකි පැතිකඩයන් ගෙනහැර දක්වනු දැකිය හැකි ය. විටෙක වඩාත් ස්ත්‍රීවාදී යැයි සිතුන ද ඒ තුල සත්‍ය වශයෙන් ම ස්ත්‍රියට ඍණාත්මක තත්ත්වයක් ඇතැයි සිතේ. නමුත් පිරිමියෙකු වශයෙන් ඉන් එහා යෑමට මගේ පිරිමිකම ඉඩ නොදෙයි.

මා නරඹා ඇති සීමිත වේදිකා නාට්‍ය කීපය අතරින් වෙනස් ම මුහුණුවරක් ගත් විප්ලවීය වේදීකා නාට්‍යයක් ලෙස නදීකා බංඩාර විසින් රචනා කොට අධ්‍යයක්ෂණය කර, ප්‍රධාන චරිතය ද රඟපානා අජීත් කුමාරසිරි සංගීතවත් කරන, මරියාගේ රමණය නම් වේදීකා නිර්මාණය දැක්විය හැකිය.

ඒ නිරභීතත්වය, හිතුවක්කාරකම, විප්ලවීය බව ඔබගේ ඊ ලඟ නිර්මාණයෙන් ද බලාපොරොත්තුවෙන් සිටීමි.

ජය !!!

-රෝ-
රෝහණ ගුණතිලක