Thursday, January 11, 2018

පුරුෂ පරිකල්පනය විසින් නිමවු ස්ත්‍රිය අප ප්‍රශ්න කළ යුතුය.


ලෝකය නිම වන්නේ පරිකල්පනයෙනි. ස්ත්‍රියකගේ ලිංගිකත්වය සහ ඇය ශරිරය තුළින් ලබන සතුට කුමක්ද යන්න පිරිමි ශිෂ්ටාචාරය පුරාවට පරිකල්පනය කර ඇත. එය සාහිත්‍යය, සිනමාව, සංගීතය, නාට්‍ය කලාව, මනෝවිශ්ලේෂණය, ආගම, දේශපාලනය යන බොහෝ ක්ෂේත්‍ර තුළ අපට හමුවෙයි. අප විශ්වාස කරන්නේ හිංසනය ක්‍රියාත්මක වන්නේ බලහත්කාරී ලිංගික ක්‍රියාවක් සිදු කරන අවස්ථාවක පමණක් බවයි. නමුත් පුරුෂ පරිකල්පනය විසින් ස්ත්‍රීත්වය නිපදවා ඇති ආකාරය මගින් අනියම් ආකාරයකින් හිංසනය පවත්වාගෙන යන ආකාරය අපි අමතක කර දමමු. එසේත් නැතහොත් සමහරක් දේවල් හිංසනය නොවේයැයි, විදිහ යැයි, ස්වභාවිකත්වය හෝ ස්ත්‍රීත්වය යැයි අපි භාර ගනිමු.

ස්ත්‍රියක් සිය සිරුර තුළින් ලබා ගන්නා සතුට නිශ්චය කර ගත නොහැකි පිරිමි ගැහැනුන්ව පර්දාවෙන් වසා දැමූහ. ක්ලිටෝරසයන් කපා දැමූහ. දුෂණය කළහ. ලිඟු ඉරීමෙන්ද, කස පැහැර කෑමෙන්ද පවා ගැහැනුන් සුරතාන්තය ලබා ගන්නා බව තවමත් පිරිමි විශ්වාස කරන්නේ එහෙයිනි. ඇත්තෙන්ම කස පහර දීමෙන් සිදු කළේ සංසර්ගය සඳහා ගැහැනිය හීලෑ කිරීමයි.  පිරිමි, කස පහරවල් විශ්වාස කරන්නට ගැහැනුන්ව පුහුණු කරති. පුහුණුවෙන් පසු සහතිකය නිකුත් වීමට ශිල්ප දැක්විය යුතුය. විශ්වාසය යනු සත්‍යය නෙවේ. එය සත්‍යය වන්නේ විශ්වාසය නිසාය. 

දැන් ඉතින් පිරිමින් අපට ඉගැන්වූ ශිල්පද, ඔවුන් අපට කාවැද්දූ විශ්වාසයන් ගැනද ප්‍රශ්න කිරීමට කාලය එළඹ ඇත.  සමහරු හිතන්නේ මුඛයේද, කිහිලිවලද, රෝම කූපවලද, දණහිස් වලද, පියවුරු අතර ඇති මැද හිඩැසේද මෙකී කියූ නොකී හැමතැනකම ක්ලිටෝරසයන් ඇති බවයි. දෙවියන් ගැහැනිය මවන ලද්දේ පුරුෂයාගේ  ඇටයකින්ය යන පරික්ලපනීය අදහස විශ්වාස කරන අය තවමත් සිටින කාලයක, බහු සුරතාන්ත යෝනි පරිකල්පනය ගැන කවර කතාද? එසේම බහු සුරතාන්තයන් ඇති බවත් පිරිමින් සිය ගණනක් සමග හෝ, එක පිරිමියෙකුගෙන් පසුව තවත් පිරිමියෙකු සමග නිදා ගත හැක්කේ බහු සුරතාන්තයන් නිසා බවද බොහෝ පිරිමි තවමත් විශ්වාස කරයි. 
ඇත්තෙන්ම සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. මෙලෝ සුරතාන්තයක් නැති නිසා ඔහේ සිටිය හැකි බව ගැහැනු නොකියන්නේ ප්‍රමෝදයේ රහසක් නිසා නොව බලයේ සම්බන්ධතාවය නිසයි. බහු සුරතාන්තය ඇත්ත නම්   බලහත්කාරී සංසර්ගය ආතල් විය යුතුය. සමුහ දූෂණයන් කොයි තරම් ආතල් විය හැකිද ? මොකද එකක් පිටුපස එකක් සුරතාන්ත පැන නගින නිසා බලහත්කාරී සමූහ සංසර්ගයන් ගැන ගැහැනුන්ගෙන් ඉල්ලීම් ඇති වනු ඇත. සමහරක් විට ඉදිරියේදී සමූහ බලහත්කාරී සංසර්ගයන් සඳහා ගැහැනුන් ඉදිරිපත් නොවන්නේ සම්ප්‍රදායික පීඩනය නිසා යැයි කියන්නටත් බැරි නැත. (ඇත්තටම සුරතාන්තයට පත් වූයේ නම් එක් සුරතාන්තයකට පසුව ගැහැනියකට නැවත ඒ ක්ෂණිකයෙන් ක්ලිටෝරස් උත්තේජනකින් ලබන සුරතාන්තයකට යා නොහැක. පුරුෂයෙකුට මෙන්ම ඇයටද ශාරීරිකව එය අපහසුවක් ඇති කරයි.)  ගැහැනු ලිංගික බහු සුරතාන්තය පිළිබඳ  අදහස තමයි සමූහ ලිංගික හිංසනයන්ට මෙන්ම ඕනෑම ලිංගික හිංසනයක් යටින් ඇති පැරණි මිත්‍යා මතය. සමහරු මේක මොර්ඩන් අදහසක් විදිහට ගෙන ආවත් මේක ගොඩාක් පරණ පුරුෂ පරිකල්පිතයක්. මේක නිසා තමයි ගැහැනිය ලිංගික වස්තුවකට ලඝු වුනේ.
  
සමූහ ලිංගික හිංසනයන් සිදු කිරීමට පිරිමි පෙළඹෙන්නේ ඇයි? ඔවුන් ගැහැනුන්ට සිතා ගත නොහැකි මහා සුරතාන්තයන් ගොඩාක් ඇතැයි  විශ්වාස කරති. ඔවුන් හිංසනයන් තුළින් දෙන්නට යන්නේ එයයි. ඒ නිසා තමයි ඔවුන්ට නීතිය අමතක වෙන්නෙ. කිච වෙන එක, නින්දාවට පාත්‍ර වෙන එක අමතක වෙන්නෙ. ගැහැනුන් සංසර්ගයෙන් මහත් තෘප්තියක් ලබන බව පුරුෂ පරිකල්පිතයක් වන අතර ගැහැනු එම පරිකල්පිතය ඉදිරියේ නිහඬ වෙති.

ඇත්තෙන්ම සංසර්ගය තුළින් ගැහැනියකට ලිංගික සුරතාන්තයක් ලබා ගැනීමට දුෂ්කරය. එසේ ලබා ගැනීමට නම් ක්ලිටෝරසයේ ක්‍රියාකාරිත්වය ගැන දැන ගත යුතුය. එයද දැන ගත හැක්කේ බක පණ්ඩිත පිරිමින්ගෙන් නොවේ. ගැහැනුන්ගෙන්මයි. එයට හේතුව වන්නේ ක්ලිටෝරසයේ භෞතික සැකැස්මයි. සියලු ලිංගික කාර්යයන් භෞතිකව අති දුෂ්කර බව සංසර්ගයේ ඇති පදම් යෙදී ඇති අය දනියි.  මට මෝඩ පිරිමින්ට කීමට ඇත්තේ  මහත්වරුනි මේ හිංසාව නවත්වන්න. ඔබලාට මෙන් අමුතු දෙයක් අපට නැත. ඔබලාගේ ශිෂ්ණයෙන් ඔබලා සුරතාන්තය ලබා ගන්නේ කෙසේද, අපිද අපේ ක්ලිටෝරසයෙන් එය ලබා ගනිමු.  එයට ඔය මහා පුරුෂ ලිංගය අවශ්‍ය නැත. එම නිසා මේ මහා පුරුෂ ලිංග පරිකල්පනය නිසා ලෝකයේ හරි අඩක් හිංසනයට පත් වෙන බව වටහා ගැනීමට නොහැකි තරම් ඔබලා මුග්ධ වූයේ කෙසේද? 

පුරුෂ ලිංග ඉන්බොක්ස් කරන්නේ මේ මහා පුරුෂ ලිංගයෙන් ගැහැනිය ලබා ගන්නා සුරතාන්තය පරිකල්පනය කිරිමෙනි. සංසර්ගයේ යෙදීමට කැමති අය කැමැත්තෙන් එයි. ලෝකයේ සිටින සියලු ගැහැනුන්ට ලිංගික සුරතාන්තයක් ලැබෙන්නෙ නෑ කියලා හිතලා වධ වෙලා බලහත්කාරයෙන් ඒවා දෙන්ඩ ගිහිල්ලා කිච වෙන්ඩ එපා.

ගැහැනියව කොයි තරම් සංසර්ග ක්‍රියාවලියට හීලෑ කොට ඇතිද යත් භෞතිකව සුරතාන්තයක් අත්කර ගැනීමට ඇති අපහසුව ගැන ඔවුන් පහසුවෙන් කටක් අරින්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මග ඇරීමයි. විෂම ලිංගික ආලය යනු සංසර්ගය නොවේ. 

අප සෑම විටම අපේ ආත්මය සම්පූර්ණ කරන කිසිවෙකු ඇතැයි පරිකල්පනය කරනු ලබමු. අපට අපව සම්පූර්ණයෙන්ම බෙදා ගත හැකි කෙනෙකු මෙලොව ඇතැයි සිතමු. ඒ අසම්පූර්ණත්වය කෙරෙහි අප තුළ ඇති අතෘප්තියයි. එය තනියෙන් සිටීමට අප දක්වන අසමත්කමයි. එහෙත් අසම්පූර්ණත්වය අප සතුව ඇති සදාතනික උරුමයයි. බොහෝ සබඳතාවලට ගමන් කොට ඇති අය මෙය පහසුවෙන් අබබෝධ කර ගනියි. සම්පූර්ණත්වය මෙන්ම අසම්පූර්ණත්වයද අපගේ පරිකල්පිතයකි. විෂම ලිංගිකත්වය සංසර්ග ක්‍රියාවලියකට ලඝු කිරීම තුළින් සිදු වන්නේ මිනිසුන් එකිනෙකා කෙරෙහි ආශක්ත වන, ආලයෙන් බැඳෙන අනෙක් සියලුම දේවල් අතහැර දැමීමයි.

ගැහැනුන් ගැහැනුන් සමගත්, පිරිමින් පිරිමින් සමගත්, ගැහැනුන් පිරිමින් සමගත්, පිරිමින් ගැහැනුන් සමගත් ආලයෙන් බැඳෙති. ඒ ඉලව් සංසර්ගයක් සඳහා නොවේ. විවිධ ලිංගික චර්යාවන් තිබිය හැකි වුවද භෞතික සුරතාන්තය සඳහා ක්ලිටෝරසයට යොමු වීමට ගැහැනියට සිදුවෙයි. එහෙත් ශාරීරික සුරතාන්තය හා ආලය හෝ ආදරය අතර කිසිදු සම්බන්ධයක් නැත. ආලය කරන්නන් අතර ලිංගික චර්යාවන් තිබිය හැකි සේම නොතිබිය හැකිය. සංසර්ගය තිබිය හැකිය. නොතිබිය හැකිය. තිබීම සේම නොතිබීමේද මහා වෙනස්කමක් නැත. සෑම සබඳතාවයක වටිනාකම රැඳී ඇත්තේ මනුෂ්‍යත්වය කෙරෙහි අප තුළ ඇති කැපවීමයි.

ගැහැනියගේ විමුක්තියේ නාමයෙන් පිරිමි කොහෙත්ම නැති බහු සුරතාන්තයක් පරිකල්පනය කර වීරයන් වන්නට යති. කළ යුතු වන්නේ පිරිමි ඔවුන්ගේ පරිකල්පනයන් සත්‍යය ලෙස භාර ගැනීමට ගැහැනුන්ට බල නොකොට ගැහැනියට තමන්ගේ ලෝකය විවර කිරීමට ඉඩ දීමයි. අද වනතුරුම සිදුවන්නේ ඔවුන්ගේ පරිකල්පනයේ ගොදුරු බවට ගැහැනු පත් කරගැනීමයි. ගැහැනුන්ගේ සුරතාන්තයන් පරිකල්පය කරන්නට නොගොස් ඇයට මනුෂ්‍යයෙකු වීම සඳහා ධෛර්යයක් දෙන වටපිටාවක් නිර්මාණය කිරීමයි අවශ්‍ය වන්නේ. ස්ත්‍රීන්ගේ විමුක්තිය විශ්වාස කරන පිරිමි කළ යුතු දෙය එයයි. සංසර්ගය ගැහැනියට සුරතාන්තය හිමි කර දෙන්නේ නම් සමරාගික ගැහැනුන් සිටින්නේ කෙසේ ද? ඔවුන් ශාරීරිකව ලිංගික සන්තෘප්තිය ලබා ගන්නේ කෙසේද? සමරාගික ගැහැනුන්ව කොයි තරම් පිරිමින් විසින් ලිංගික හිංසනයට ලක් කොට ඇතිද?  සංසර්ග සුරතාන්තය අධිපති ලිංගික තෘප්තිය ලෙස පිළිගැනෙන සෑම සමාජයකම ලිංගික හිංසනය භාවිතාවක් වන බව අප මතක තබා ගත යුතුය. 
    
ගැහැනුන්ගේ  ලෝකය පිරිමින් විසින් පරිකල්පනය කිරීමේ වියවුලේ ගැහැනු කරවටක් ගිලී සිටිති. 
ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අප පක්ෂ විය යුත්තේ එය හොඳ නිසා නොවේ. ආලය, ලිංගිකත්වය වැනි අති මානුෂික දේවල් මුදලට ලබා ගැනීමට සිදුවීම ගැන පිරිමි ලැජ්ජාවට පත්විය යුතුය. ගණිකා වෘත්තිය නැති කිරීමට පිරිමින්ට වුවමනාවක් නැති නිසා එය නීතිගත වීම හොඳය. ගබ්සාවට අප පක්ෂපාතී විය යුත්තේ එය හොඳ නිසා නොවේ. එය ගැහැනියක් මුහුණ දෙන අමානුෂිකම අත්දැකීමකි. අප එයට පක්ෂ වියයුත්තේ පුරුෂමූලික සමාජයක අන් විකල්පයක් නැති නිසාය. ස්ත්‍රියට පිරිමි පරිකල්පනයෙන් සිය විශ්වය මුදා ගත හැකි දවසට ගබ්සාවක් ගැන ඉල්ලිමක් ගැහැනුන්ගෙන් පැන නොනගිනු ඇත.

ස්ත්‍රියගේ විමුක්තිය උදාවන්නේ පිරිමි පරිකල්පනයෙන් සිය විශ්වය මුදා ගැනීමෙනි. ස්ත්‍රිය පිළිබඳ පිරිමි පරිකල්පනයේ සකලවිධ හිංසනයන් ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන ඕනෑම කෙනෙකු අපි අපේ සටන් සගයන් ලෙස සැලකිය යුතුය. 
                                          
 නදීකා බණ්ඩාර


No comments:

Post a Comment