Monday, January 8, 2018

අප බැලිය යුත්තේ ආලෝකය දෙසයි...



ස්ත්‍රීවාදය හා ස්ත්‍රීවාදීන් ගැන ගැන තියෙන විවේචන ක්ෂේත්‍රය තුළ තියෙන එක අදහසක් තමයි ස්ත්‍රීවාදය අවසන් බව. ස්ත්‍රීවාදය කියන්නෙ හැමවිටම සටන් කිරීමක් වැනි අදහසක් ගෙන එනවා. නමුත් ඇත්තෙන්ම එය සීතිමක්. රජයක් විසින් ක්‍රියාත්කම කරන සංවර්ධන ව්‍යාපෘතියක් වගේ ස්ත්‍රීවාදය කියන එක අවසන් වෙන්නෙ නෑ. ඒක ව්‍යාපෘතියක් නොවෙයි. එය සීතීමක්. ඒක කාගේවත් ව්‍යාපෘතියක් නොවෙයි. ඒ තුළ සටන් තිබෙනවා තමයි.  ඇත්තෙන්ම මෙය පුරුෂ විරෝධී දෙයක් නොව පුරුෂ මූලික සංකල්පවලින් බිහි කරන ලද ස්ත්‍රී සංකල්පයට විරුද්ධ වීමක්. මේක ඇත්තටම ඊනියා විෂම ලිංගික සබඳතාවයන් තුළ තිබෙන බල රටාවට අභියෝගයක්. 
පුරුෂ මූලික සංකල්ප විසින් නිෂ්පාදිත විෂම ලිංගික සබඳතාවය තුළ ක්‍රියාත්මක වෙන පරපීඩක ආශ්වාදය අහිමිවීම පිළිබඳව බොහෝ අය බයයි. අන්න ඒ නිසයි ඔවුන් ස්ත්‍රීවාදය අවසන් වෙලා හෝ මිය ගිහිල්ලා කියන්නෙ. ස්ත්‍රීවාදයේ හතරවැනි රැල්ල 2012 දී පමණ ලෝකය තුළ මතු වෙන්නෙ ලිංගික හිංසනයට එරෙහිව. ලොව පුරා ස්ත්‍රීන් විවිධ ආකාරයෙන් ලිංගික හිංසනය ක්‍රියාත්මක වෙන ආකාරයන් ගැන කතා කරන්නට පටන් ගත්තා. ඊනියා ලිංගික තෘප්තියට දාර්ශනිකව සහ විද්‍යාත්මකව අභියෝග කරන්නට පටන් ගත්තා. 
විශේෂයෙන් චිත්‍රපටි කලාව, නිල් චිත්‍රපටි තුළ තියෙන පුරුෂ ඇස ඔවුන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. ස්ත්‍රීවාදයේ හතරවැනි රැල්ල මගින් දැන් ප්‍රශ්න කරනු ලබන්නේ ‘මා ස්ත්‍රීවාදිනියක් යැයි කීමට  බිය වන්නෙ ඇයි?’ යන්නයි.
සමලිංගික අයිතිවාසිකම් ගැන කතා කරන අය, ගබ්සාවට පක්ෂපාතී වෙන අය සමහරක් විට ස්ත්‍රීවාදයට බයයි. නමුත් ස්ත්‍රීවාදය සහ සමලිංගික අයිතිවාසිකම් අතර තියෙන්නෙ විශාල සම්බන්ධයක්. විශේෂයෙන් ගැහැනු සමරාගිකත්වය ඔවුන් උත්කර්ශයට නැංවීමේ එක් අදහසක් වූයේ ඊනියා විෂම ලිංගික සබඳතාවය, ලිංගික තෘප්තිය පිළිබඳ ගොඩ නංවා ඇති මිත්‍යාවන් මූලික කොට ගත් බල රටාව අභියෝගයට ලක් කිරීමයි. ගබ්සා කිරීමට ඇති අයිතියට මෙන්ම දරුවෙකුගේ සුජාතභාවය ඔප්පු කිරීමට විවාහයකට යාම අනිවාර්ය කිරීමේ මුග්ධ නීතිවල ඇති හිංසනිකත්වයට බෙහෝ අය පක්ෂපාතී වෙනවා.  මේ නිසාම බොහෝ අය ගබ්සාවට යොමු වෙනවා. මේ ගැන අපි නිහඬයි. 
හිංසනිකත්වය යනු බලහත්කාරී ලිංගික ක්‍රියාවන්, යෝජනාවන් සහ වචන පමණක් නොවෙයි. 
හිංසාව සේම හිංසාවට භාජනය වීමත් සාමාන්‍ය වුණාම ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. අනෙක් අතට හිංසාවට එරෙහි වන බොහෝ අවස්ථාවල අප නැවත එහිම ගොදුරු වන අවස්ථා සුලබයි. පසුගිය දවස්වල මා එය අති පෞද්ගලිකව අත් දකිනු ලැබුවා. එම සිදුවීම් හෙලිදරව් කිරිම තුළින් එහි සදාකාලික වින්දිතයන් බවට පත් වෙනු ලබන නිසා බොහෝ කාන්තාවන් ඒවා නිහඬව විඳ දරා ගන්නවා. දූෂණය කොට මරා දෑමීමේ සිදුවීම් හැරුණු විට එදිනෙදා ජීවිතය තුළ සිදුවෙන ලිංගික හිංසනයන් ගැන පැමිණිලි කරන්නට යනවා නම් හැමදාම ලංකාවේ සියලුම ගැහැනු දිනපතා සිටීමට සිදුවන්නේ උසාවිවල සහ පොලීසිවලය. හිංසනයට භාජනය වීම හෙළිදරව් කිරීම නැවත හිංසනයට භාජනය වීමක් වීම වින්දිතයන් නිහඬ කරවනු ලබන අප අමතක නොකළ යුතුය.  
ස්ත්‍රීවාදින් නැටවෙන්නෙ රාජ්‍ය නොවන සංවිධානවලින් කියන අදහසත් පොදුවේ තියෙනවා. සමහරක් අය එසේ විය හැකියි. සම්පූර්ණ සත්‍යය එය නොවන නමුත් එහි සත්‍යයෙන් අඩක් ගැබ්වී ඇති බවද අපට අමතක කළ නොහැකියි. උදාහරණයක් වශයෙන් මේ මෑතකදී  WoW යනුවෙන් ස්ත්‍රීන් සම්බන්ධයෙන් වැඩසටහනක් තිබුණා. 
“මෙහෙම දෙයක් සංවිධානය කරන බව අපි දන්නෙ නෑ. එහෙම වුණා නම් මට මගේ චිත්‍රපටයත් ඔබලාගේ ප්‍රදර්ශන අවකාශයට ගත හැකිදැයිවත් අසන්නට තිබුණා.” යනුවෙන් මම එහි සංවිධායකයන්ට පැවසුවා. මගේ චිත්‍රපටයේ පුරුෂ ලිංගයන් දක්නට ඇති නිසා  රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය නොලැබෙන බවත්, මට ලබා ගත හැකි ප්‍රදර්ශන අවකාශය වන්නේ මේ ආකාරයේ වැඩ සටහන් තුළ පමණක් බවත් මම ඔවුන්ට පැවසුවා. ඔවුන් මට දුන් පිළිතුර වූයේ ඔවුන් එය හදිස්සියේ සංවිධානය කළ බවයි. අනෝමා රාජකරුණා මට කතා නොකලේ ඇයිද කියාත් ඔවුන් මගෙන් ඇසුවා. මෙවැනි වැඩ හදිස්සියේ සිදුවන්නේ ඇයිද යන්න ගැටලුවක්. අඩුම තරමේ අවස්ථාවක් ලබා දිය නොහැකි වුවද, ඒවාට ඇතුලු විය හැකිද නැද්ද යන්න පවා දැන ගැනීමට නොහැකිවීම කණගාටුවක් බව මම ඔවුන්ට පැවසුවා. 
ස්ත්‍රීවාදය යනු හිංසනයට එරෙහි වීම පමණක් නොවේ. 
ස්ත්‍රීන් සහභාගි කර ගැනීමේදී ස්ත්‍රීන් වෙනුවෙන් කතා කරන, හඬ නගන අය කොතරම් අවංකද කියන කාරණය අමතක කර දැමිය හැකි දෙයක් නොවේ. කොයිතරම් දුරට එය ප්‍රජාන්ත්‍රවාදීද, නැද්ද කියන කාරණය මතවාදයට තුඩු දෙන්නක්. එහෙත් ඒ තුළින් ස්ත්‍රීවාදයේ දාර්ශනික හරය මිය යන්නෙ නෑ. 
මාගරිතා ඩියුරාස් නැමති ලේඛිකාව වරක් සම්මුඛ සාකච්ඡාවකදී මෙහෙම පිළිතුරු දෙනවා.
“ඔබ  තාමත් කොමියුනිස්ට්වාදිනියක්ද?”
“ඔව්.” 
“එහෙත් ඔබ පක්ෂය අතහැර ගියා.” 
“පක්ෂය කියන්නෙ කොමියුනිස්ට්වාදය නෙමෙයි.”
“ඔබ බලාපොරොත්තු වෙනවද මොන ජාතියේ හරි කොමියුනිස්ට්වාදයක් ආපහු ලෝකෙට එනවා දකින්න?”
“මං දන්නෙ නෑ. මට දැනගන්න ඕනත් නෑ. මං මගේ ඇතුළතින් කොමියුනිස්ට්වාදිනියක්. මං තවදුරටත් ලෝකෙ ගැන බලාපොරොත්තුවක් නෑ.”
මනුෂ්‍යත්වය විශ්වාස කරන කිසිවෙකුට කොමියුනිස්ට් අදහස බැහැර කළ නොහැකියි. කිසිදු කොමියුනිස්ට්වාදියෙකුට ස්ත්‍රීවාදයට එරෙහි විය නොහැකියි. ඉතින්, ස්ත්‍රීවාදය නව ආකාරයක ගැහැනියක් පිළිබඳ සිතීමක් දියුණු කළා. එහි දාර්ශනික හරය තුළ ඇත්තෙ සකල මනුෂ්‍යත්වය කරා පතුරුවන ආලෝකයක්.  අප බැලිය යුත්තේ ඒම ආලෝකය දෙසයි.  
       
නදීකා බංඩාර

No comments:

Post a Comment