Wednesday, June 6, 2018

සාමා... අමර... එන්න අපි භාෂාත්මක පුරුෂ ලිංගය මරා දමමු..






එයට ඔබට පුරුෂ ලිංගයක් තිබීම බාධාවක් නොවේ.

              
ස්ත්‍රීවාදය යනු ස්ත්‍රියට විමුක්තිය ගෙන එනු ලබන විමුක්ති යානයක් බව සමහරු සිතන බව පෙනේ. නමුත් ස්ත්‍රීවාදයේ ඉතිහාසය යනු ස්ත්‍රීන් විමුක්තිය භාවිතා කළ ඉතිහාසයයි. එහි කැපී පෙනෙන භාවිතාවක් වූයේ පුරුෂ භාෂාවේ ප්‍රචණ්ඩත්වය පෙරළා දැමීමයි. එය ශුන්‍ය කිරීමයි. පිරිමින් බිය වූයේ මෙම හිස් ශුන්‍යත්වයටයි. භාෂාව සන්නිවේදනයේ උපකරණයක් ලෙස සිතාගෙන සිටින අයට මෙය වටහා ගැනීමට අපහසුයි.

පෙරදිග පුරුෂ භාෂාව ස්ත්‍රීත්වය නිපදවීම සිදු කරනු ලැබුවේ ලාස්‍ය ස්වභාවය ස්ත්‍රියටත් තාණ්ඩව ස්වභාවය පුරුෂයාටත් අත්කර දීමෙනි. පෙරදිග යටහත් පහත් වීම, ඉවසීම, කැපවීම, හෙමින් කතා කිරීම, දරා ගැනීම, හුරතල් බස් දෙඩීම, බොළඳ බස් දීම යනාදී ගූණාංගයන් ඈට ආරා්පණය කරනු ලැබීම ස්ත්‍රීන්ට කරන ගෞරවයක් ලෙස සලකනු ලබන්නේ භාෂාව සන්නිවේදනයේ උපකරණයක් කොට සලකන අයයි. මෙම ආරෝපණය ස්ත්‍රියට එරෙහිව පෙරදිග පිරිමියා ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ ආකාරයයි. ඊට ප්‍රතිපක්ෂව තාණ්ඩව ගුණයන් අයිති වූයේ පිරිමියාටයි. එනම් ප්‍රචණ්ඩත්වය, යටත් කිරීම, රණකාමිත්වය, වේගයෙන් කතා කිරීම, ශබ්ද නගා කතා කිරීම, නොඉවසීම, අතහැර යාම, ප්‍රතික්ෂේප  කිරීම, ලබා ගැනීම බූදලයක් කොට පවරා දෙනු ලැබුවේ ඔහුටයි. පිරිමියා අතහැර යන්නා නම් ස්ත්‍රිය බලා සිටින්නා බවට පත් කළේ භාෂාවයි.  අපරදිගද මෙය මෙසේම වෙනත් ආකාරයකට සිදු වූවා. මෙහෙම තමයි ප්‍රචණ්ඩත්වය භාෂාවෙන් පුරුෂ ලිංගයට පවරා දෙනු ලැබුවේ. පිරිමියෙකු පිරිමියෙකු වන්නේ ඔහුට පුරුෂ ලිංගයක් තිබීම නිසා නොව ඔහුට අයත් භාෂාත්මක ප්‍රචණ්ඩත්වයක් ඔහුට හිමි නිසයි. භෞතික පුරුෂ ලිංගය ඇතුළු ඔහුගේ සමස්ත පැවැත්ම ඔහු ගෙන යනු ලබන්නේ මෙම භාෂාව විසින් ඔහුට අත් කර දුන් ප්‍රචණ්ඩත්වය යොදා ගනිමිනි. තැනින් තැන සිදුවන ලිංගික අපරාධ පමණක් නොව සම්මත සංස්කෘතිය සහ සම්ප්‍රදාය යනුම මෙම භාවිතාවයි. එම නිසා පෙරදිග පිරිමියා ප්‍රචණ්ඩ වන විට පෙරදිග ගැහැනිය ප්‍රචණ්ඩත්වය ඉවසාගෙන සිටින තැනැත්තිය බවට පත් වුනා. (පෙරදිග පිරිමියාට පිරිමි අතර ද හේදයක් තිබුණු අතර එය කුල හේදයයි...)  
ස්ත්‍රීවාදය විසින් සිදු කරනු ලැබුවේ මෙම භාෂාත්මක ප්‍රචණ්ඩත්වය භාර නොගැනීමයි. මෙම භාර නොගැනීම පිරිමියාට- විශේෂයෙන් පෙරදිග පිරිමියාට පෙනෙන්නේ ඔවුන් සතු තාණ්ඩව අයිතිය පැහැර ගැනීමක් විදිහට. මොකද ඔවුන්ට හුරු පුරුදු වූ භාෂාත්මක ප්‍රචණ්ඩත්වය අහිමි වෙනවා. පිරිමියෙකු වෙනස් වෙනවා යනු මෙම පුරුෂ භාෂාව අතහැරීමයි. ඔහුට එය කළ නොහැක්කේ ඔහුගේ පුරුෂ ලිංගය නිසා නොවේ. ඔහුට භාෂාව විසින් සපයා ඇති ප්‍රචණ්ඩ බලය නිසයි. (මේක ඉතාම හොඳින් සාහිත්‍යයේදී, නාට්‍යයේදී, සිනමාවේදී මෙන්ම ආගමික සංස්ථා තුළ සිදු කරනවා) ස්ත්‍රියට එරෙහිව ලිංගික අපරාධ සිදු කරන්නන් බිහි කිරීමේ පුරෝගාමින් ලෙස මේවා කටයුතු කරන්නේ ඒවාට විරුද්ධත්වය පළ කරමිනුයි.  ස්ත්‍රීවාදය කළේ මෙන්න මේ දේවල් කඩලා බිඳලා දාපු එක. එතකොට රිදෙන එක වළක්වන්ඩ බෑ. ඒ රිදෙන්නෙ තුවාල වෙන නිසා නෙමෙයි. තුවක්කුව නැති වෙන හින්දා. වෙඩි තියලා මරලා දාන්ඩ තියන අයිතිය නැති වෙන හින්දා. රිදවන්ඩ, තුවාල කරන්ඩ තියන අයිතිය නැති වෙන හින්දා. පෙරදිග ගැහැනියට විතරක් නෙමෙයි අපරදිග ගැහැනියටත් පුරුදු කරලා තිබුනෙ  පරපීඩක කාමුකත්වය ඉවසන්ඩ. පරපීඩක කාමුකත්වය ඉවසීමෙන් පමණයි සම්ප්‍රදායික ගැහැනියක් බවටත් පුරුෂයාගේ ආශාවේ වස්තුව බවටත් පත්විය හැක්කෙ. මේ රූකඩ නැටවීම දිගටම කරගෙන යන්න පෙරදිග පිරිමියාට අවශ්‍යයි. ස්ත්‍රීවාදය කරන්නෙ මේ රූකඩ නටවන්නාගේ ජොබ් එක නැති කරලා දාන එක. රූකඩ නටවන්නෝ කල්පනා කරන්නෙ මොකද්ද කරන්නෙ කියලා. ලංකාවේ ස්ත්‍රීවාදය කියන වචනය ඇහෙන කොට දඟලන්නෙ වෙන මොකුත් හින්දා නෙමෙයි රූකඩ කලාව ආරක්ෂා කරගැනීමට ඔවුන්ට තියන වුවමනාවට. මේක ජාති ආලය කියලා වුනත් කියන්ඩ පුලුවන්. ස්ත්‍රීවාදයට විරුද්ධ අයට ඉස්සරහට කරන්න වෙන්නෙ රූකඩ කලාව ආරක්ෂා කර ගන්ඩ අලුත් ව්‍යාපෘතියක් ප්‍රමෝට් කරන එක.  දැන් ඉතිරි වෙලා තියෙන්නෙ එක දෙයයි. රූකඩ ගම්මානයක් හදලා අපි රූකඩ නටවපු හැටි කියලා විදේශීය සංචාරකයන්ට පෙන්නලා ගාණක් හොයා ගන්න එක විතරයි. එතකොට ඒගොල්ල කියයි අපිත් ඔහොම කාලයක් රූකඩ නැටේව්වා. දැන් නම් හරි අමාරුයි. ඒ හින්දා අපි ඉලෙක්ට්‍රොනික රූකඩ හොයාගෙන තියෙන්නෙ කියලා.   
පිරිමි තමන්ට ලැබිලා තියෙන අසීමිත භාෂාවේ බලය අතහරින්ඩ සුදානම් නෑ වගේම සමහරක් ස්ත්‍රීන් මෙම අසීමිත භාෂාවේ බලයට නතු වීම අතහරින්ඩත් කැමති නෑ. මේ දෙක එකට බැඳිලා තියෙන්නෙ. මේක එක්තරා ජීවත්වීමේ ක්‍රමවේදයක්. ස්ත්‍රීවාදය මෙම සම්බන්ධය හැදිලා තියෙන්නෙ කොහොමද කියලා පෙන්නනවා. ඉතින් ගොඩක් අයට ලැජ්ජයි. මේ ලැජ්ජාව වහගන්ඩ ගිහිල්ලා තවත් ලැජ්ජා වෙන දේවල්ම කරනවා. 

සහෝදරියනි, ඔබ පිරිමින්ගෙන් විමුක්තිය ඉල්ලා සිටින අයෙකු නම් ඔවුන් ඔබ ගැන ගොඩාක් සතුටට පත් වේවි. එහෙත් ඔබ විමුක්තිය භාවිතා කරන්න... ඔබ ඔබේ අවකාශය පුරවන්න... එහි ඔබේ සටහන් තබන්න... අන්න එතකොට තමයි නරුමවාදය පැන නගින්නෙ. ඔබ ඔබේ ස්ත්‍ර්‍රීවාදී උරුමය ගැන කතා කරන්ඩ පටන් ගන්ඩ. අන්න එතකොට ඒගොල්ල ගොඩක් කුලප්පු වෙනවා. පහුගිය කාලේ ස්ත්‍රීවාදීය යන වචන ඇහෙනකොටම සමාජ ජාලය කැළඹෙනවා. වරින් වර එය මතුවෙනවා. යට වෙනවා. අලුත් වෙනවා. ස්ත්‍රීවාදීය සහ ලංකා බණ්ඩාරනායක පාදක කරගෙන පහුගිය දවස්වල සමාජ ජාලයේ නටපු නාඩගමත් එම කැලඹීමේ එක පරිච්ජේදයක්.


ස්ත්‍රීවාදය යනු වයින් ටිකක් තොල ගාමින් සිමෝන් ද බෝවා ගැන කතා කිරීම නොව බස් වල ජැක් ගහන පිරිමියා ඉවසා සිටින ගැහැණුන් වෙනුවෙන්ද කතා කිරීමයි.. !!

ස්ත්‍රීවාදය යනු ඒ ගැහැණුන් සිය කැමැත්තෙන් මෙන්ම ආශාවෙන් පිරිමියෙක් ජැක් ගහනකල් බලා සිටිනවා යයි කියන ගොඩයන් පචකර දැමීමයි...!!

ස්ත්‍රීවාදය යනු....!!

ලංකා බණ්ඩාරනායක

මේ දිනවල බුකි දේශයේ මහා විමුක්ති දායකයාණන් ලෙස තෙමේම කිරුළු පලන් "ගොඩේ බයියා" තුමා "ස්ත්‍රී වාදයට" විරුද්ධව මහා කැරැල්ලක් බුකිය තුල ආරම්භ කර ඇති අතර,මෙහි ප්‍රථම වෙඩි මුරය මා දන්නා තරමින් ස්ත්‍රී වාදිනියක නොවන Lanka Bandaranayake වෙත නිකුත් කර තිබේ..

සුමුදු ගුරුගේ

Feminism කියලා එක දෙයක් නෙවෙයි ලෝකේ feminisms තියෙනවා කියලත් එහෙම feminisms අවශ්‍ය බවත් තමයි ලෝකය දැන් පිළිගන්නේ. ප්‍රධාන ප්‍රවාහයෙන් බැහැර වෙලා ෆෙමිනිස්ම් ගැන කතා කරන විවිධ කණ්ඩායම් ඉන්නවා. ඔය ලංකා කියනවා වගේ වයින් බිබී ෆෙමිනිස්ට් සාහිත්‍ය කියවන එකත් එක්තරා ෆෙමිනිස්ම් එකක්. මහ පොළවට බැහැලා ඇත්තටම ගැහැණු/පිරිමි/ අනෙකුත් අය පුරුෂ මූලික ක්‍රමය නිසා මූණ දෙන ගැටළු අවම කිරීම වෙනුවෙන් වැඩකරන එකත් ෆෙමිනිස්ම්. ගොඩාක් ෆෙමිනිස්ට් ලා බයයි මේ වචනෙට. ඒකට විසදුම වචනෙ මාරු කරන එකනම් ඒක මට අවුලක් නෑ. හැබැයි මම හිතන්නේ ඒක නිකන් හිසරදේට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්. අපිට මේ වචන පිළිබඳ තියෙන අනියත බය නැති කරගන්න ඕනේ. ෆෙමිනිස්ම් නමින් කොහෙදි හරි කවදා හරි චාටර් වැඩ වෙලා තියෙනවා නම් ඒක මතු කරන එක වෙනම කාරණයක්. වචන සහ කන්සෙප්ට්ස් අතර පරතරය තේරුම් ගැනීමත් ටිකක් අමාරුයි තමයි. 
   

කෞශල්‍යා හේරත්









මම නම්, මා ලාංකිකයෙකු යැයි කියනවාට වඩා ආශාවෙන් ස්ත්‍රීවාදියෙක් යැයි කීමට කැමැත්තෙමි. මා දන්නා තරමින් ලංකා ද කිසිවිටක තමන් ස්ත්‍රීවාදියෙකු යැයි හඳුන්වා දීමට කිසිදු අවස්ථාවක පැකිළෙනු මම දැක නොමැත්තෙමි. ලංකාගේ “සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටිය ලංකාවේ ඊනියා පුරුෂෝත්මවාදී සම්ප්‍රදාය විසංයෝජනය කරනු ලබයි. ඈ ඊට සරදම්කාරී ස්වරයක් එක් කරමින් ඇගේ රූප රාමුවලට එක් කරනු ලබන්නේ සම්ප්‍රදාය කෙරෙහිත්, එහි ඊනියා වෙස්මුහුණ කෙරෙහිත් සිය විරෝධය පළ කරමිනි. ලංකාව වැනි රටක ලිබරල් ධනවාදී මෙහෙයුම සම්ප්‍රදායට විරුද්ධ නැත. වෙළඳපොළ විසින් එය නැවත ප්‍රතිනිෂ්පාදනය කරනු ආකාරය විවාහ මංගල උත්සවයන් ආශ්‍රිත කර්මාන්තය හැසිරෙන ආකාරයෙන් පැහැදිලි වෙයි. එවැනි සන්දර්භයකයි ඈ එහි විකාරරූපී පැවැත්ම සිය රූපරාමුවලට හසු කර ගනු ලබන්නෙ. ලංකාගේ චිත්‍රපටය මෙන්ම ඇයව මා අගය කරනු ලබනා අනෙක් කාරණය වන්නේ ස්ත්‍රීවාදියෙකු ලෙස පැවසීම අපහාසයට ලක් කරන සමාජයක ඈ තමා ස්ත්‍රීවාදියෙකු බව ප්‍රකාශ කිරීමයි. ඈ කිසිම විටෙක ‘ඔව්, ඉතින් ස්ත්‍රීවාදීය හොඳයි තමයි...  ඒත් ඉතින්... වගේ මුරුංගා අත්තේ කතා කියනු මා අසා නැත.

ස්ත්‍රීවාදිනියක් යැයි කියා ගන්නා ලංකා බණ්ඩාරනායක යනුවෙන් කියමින් පහත් විවේචන අක්ෂයක සිට ඈව අමතන ගොඬේ බයියාටත් මට නම් වඩා භයානක වන්නේ සුමුදු ගුරුගේ සිදුකරනු ලබන ඉහත ප්‍රකාශනයයි. ගොඬේ බයියා නිර්දය විය හැකි වුවත් එහි විරෝධය පැහැදිලිය. එහෙත් සුමුදු ගුරුගේ ලංකා බණ්ඩාරනායකව එම නිර්දය විවේචනයෙන් බේරා ගැනීමේ සද්කාර්යයකින් විය හැකි වුවත් කරනු ලබන්නේ ඇයව ඇය නොවන වෙනත් යමකට පරිවර්තනය කරනු ලැබීමයි. එය ද බයියා තරමටම භාෂාත්මක ප්‍රචණ්ඩත්වයකි. ඉතා පැහැදිලිව ඈ තමා ස්ත්‍රීවාදිනියක් බව ප්‍රකාශ කර සිටින විට ගුරුගේ පවසන්නේ ඈ ස්ත්‍රීවාදිනියක් නොවන නිසා ගොඬේ බයියා ඈට විරෝධය පළ කිරීම වැරදි බවය. භාෂාත්මක සදාචාරයක් අප විශ්වාස කරන්නේ නම් ගොඬේ බයියා අතිශය නිර්දය වූ විචාර අක්ෂයකින් පිටත සිට ගනුදෙනු කරනු ලබන අයෙකි. නමුත් සදාචාරත්මක යැයි සැලකෙන භාෂාව භාවිතා කරමින් ගුරුගේ ගොඬේ බයියා කිරීමට අසමත් වන ප්‍රහාරය ලංකා වෙත එල්ල කරනු ලබයි. එනම් ගොඬේ බයියාට කිරීමට වුවමනා වූ දේ ඔහුගේ නිර්දය භාෂාව විසින් අසමත් කරනු ලබන්නේ නම් සුමුදු ගුරුගේ ශිෂ්ට භාෂාව එය ඉටු කරයි. මෙම සංවාදයේදී බැලූ බැල්මට වෙනස් ලෙස පෙනී ගියද ගොඬේ බයියා සහ සුමුදු ගුරුගේ යනු එකක් මිස දෙකක් නොවන බව වටහා ගත යුතුයි. 

කෞෂල්‍යා කියනවා ෆෙමිනිසම් කියන වචනය ඇහෙන එක ගැන තියෙන අනියත බිය නැති කර ගන්ඩ ඕන කියලා. ඔව් ඒක ඇත්ත. එහෙත් අප මතක තබා ගත යුත්තේ ස්ත්‍රීවාදීය යන වචනය ඇසෙන විට සන්නි යකුන් ආවේශ වෙන පුරුෂ හෝ ස්ත්‍රී ආතුරයන්ට තොවිල් නටන්නටද අප ලෑස්ති විය යුතු නැති බවයි. ඔවුන් සනීප කරන්නට නොහැකි බොරු ආතුරයන් නිසා අප ඒ ගැන සැලකිලිමත් විය යුතු ද නැත. ස්ත්‍රීවාදීය යන වචනයට විරුද්ධ වීමෙන් පැහැදිලි වන්නේ ගැහැනිය තමන්ගේ සිරුර, ජිවිතය සහ සමස්ත ලෝකය සම්බන්ධයෙන් සිය ස්වයං නිර්ණ අයිතිය භාවිතා කිරීමට ඔවුන් දක්වන විරෝධයයි. සම්ප්‍රදායිකව මෙන්ම පිරිමින් විසින් පිරිනැමීමට සූදානම් විමුක්තියක සිරකාරියක් ලෙස ඇයව පවත්වාගෙන යෑමේ ඔවුනට ඇති වුවමනාවයි. ස්ත්‍රීවාදීය යනු, ස්ත්‍රියගේ ඉතිහාසය තුළ විමුක්තිය ඉල්ලා සිටීමේ ව්‍යාපෘතියක් නොව විමුක්තිය භාවිතා කිරීමේ ඉතිහාසයයි. ස්ත්‍රීවාදීන් විමුක්තිය ඉල්ලා සිටියා නම් නොවේ. ඔවුන් විමුක්තිය ජීවන භාවිතාවක් කළා. ස්ත්‍රීවාදීන් යෝජනා කරන්නේ විමුක්තිය තම ජීවිතය තුළ භාවිතා කරනා ලෙසයි. තමාගේ අයිතිය භාවිතා කරන ලෙසයි. කෙනෙකු ස්ත්‍රීවාදිනියන්ට එරෙහි වීමට හේතුව කුමක්දැයි එයින් පැහැදිලි වෙනවා. (නරුමයන් දන්නවා ස්ත්‍රීවාදීන් තමාගේ ශරීරයේ සහ ජීවිතයේ මෙන්ම තමාගේ සමස්ත ලෝකය තුළ එම විමුක්තිය භාවිතා කරන්නට සිද්ද වුනාම වෙන දේ.) ස්ත්‍රීවාදිනියක් යනු තමාගේ විමුක්තිය සම්බන්ධයෙන් අන් අයගේ එකඟතාවය විමසන අයෙක් නොවේ. 

ස්ත්‍රීවාදිනියක් අන් අය විසින් තමන් මත බලෙන් පටවන ලද ඉතිහාසයෙන් කැඩී වෙන් වෙනවා පමණක් නොව අනෙක් ස්ත්‍රීන්ට ද එසේ කැඩී වෙන්වීමට අවශ්‍ය ශක්තිය ප්‍රදානය කරන්නියකි. ස්ත්‍රීවාදීය පිරිමියාගේ ඉතිහාසය  ඈට අයත් කර දුන් අවකාශය ප්‍රතික්ෂේප කරමින් තමාගේ ඉතිහාසය ගොඩ නැගීමට ගත් අනේකවිධ  ප්‍රයත්නයන්ගේ එකතුවයි. එහිදී පිරිමියා අභියෝගයට ලක්වීම වැළැක්විය නොහැකියි. සම්ප්‍රදායික පුරුෂ සංකල්ප පමණක් නොව ඒ තුළින් නිර්මාණය වූ ස්ත්‍රීත්වයද, ගෝලීය වෙළඳපොල විසින් ගොඩ නගන ව්‍යාජ විමුක්තීන් ද ඉන් අහියෝගයට ලක් විමට නියමිතය. ස්ත්‍රිය සම්බන්ධයෙන් පුරුෂ ඔලු ගොඩ නැගූ කුරුසයන් බඳු, ස්ත්‍රියට කර තියාගෙන ජීවත් වීමට සැලැස්සූ පාරභෞතික සංකල්පයන් සුණුවිසුණු කර දැමීමේ ඉතිහාසයික ගෞරවය ස්ත්‍රීවාදීය සතුයි. එය මානවවාදීන්ගේ කලාපයක් මිස නරුමයන්ගේ සෙල්ලම් පිටියක් නොවේ.


නදීකා බණ්ඩාර 




No comments:

Post a Comment