Sunday, July 23, 2017

තුවාල වුණු පුරුෂ ලිංගයක වේදනාව ‘නේරංජනේ ඉස්නානේ’




මේ භාෂාව මළ ගිය එකක්. ඒ භාෂාව ඇතුලේ තියෙනවා. දැනුමේ ආධිපත්‍යය සහ පුරුෂත්වය. ඒ විතරක් නෙමෙයි මේ සර්පයා මොකද්ද කරන්නෙ. මෙහි ඉන්නෙ කවුද. මේ බුදුවෙන්න හදන්නෙ කවුද. මට හිතෙන්නෙ ඒ ඉන්නේ ඔහුයි. ඒ ඇයි. ඒක හොයා ගන්න පුලුවන් පෙරවදනෙන්. මේක ලියවෙන මොහොත. සමහරක් ලේඛකයන්ගේ ජීවිත ඔවුන් ලියමින් සිටිනා මොහොතේ ඔවුන් අත්දකින හැඟීම් හෝ ඔවුන්ට එතෙර වන්නට වුවමනා හැඟීම් වලින් අත්මිදෙන්නෙ නැහැ. ඔහු ලියන්නෙ ඔහුගේ විවාහක පළමු බිරිඳ ඔහුව අතහැර යාමට නියමිත මොහොතෙදියි. මේ වසාලන්නට හදන්නෙ මොනවාද? ඇයි ඔහු ඈව බුදුවරියක් විදිහට දකින්නෙ. ඔහුට බැහැ ඔහුගේ තුවාල වෙන හැඟීම් පිළිසකර කර ගන්න. ඈ යන්නෙ වෙනත් පිරිමියෙක් එක්ක. ඔහුට බැහැ එයට මුහුණ දෙන්නට. ඔහුට බැහැ සාහිත්‍ය තුළත් ඒ මොහොතේ එයට මුහුණ දෙන්නට. එම නිසා ඔහුට ඕන ඔහුගේ හැඟීම් වඩා උදාරත්වයකට පමුණුවන්නට. මේ භාෂාව ඒ තරම් මළ ගොස් ඇත්තෙ ඒ නිසා. එම නිසා විරාගික වෙනවා. ඒ විරාගී මළ මූසල බවක් මේ පොත ඇතුලේ තියෙනවා. එය කියවීම පහසු නැහැ.  මේ තියෙන්නෙ වසා ගත් කෝපය. වසා ගන්නට හදන  තුවාල වුණු ඔහුගේ පුරුෂ ලිංගය.  වසා ගන්නට හදන ශෝකය.  වසා ගන්නට හදන හිස්කම. සහ බිඳ වැටීම. ඔහු ඊට ඉඩ දෙනවා වෙනුවට බුද්ධත්වය නැමති මහා විශාල ගල්කුළ ගෙනවිත් ඒ හැඟීම් සියල්ල මරා බුදුවරියක නිර්මාණය කොට තිබෙනවා. මේ පොත හැඟීම් විරහිතයි. හැඟීම් නැති මිනිහෙක් වගේ. මේ හැඟීම් නැති බුදුවරිය ඔහුයි. බුදුගොල්ලන්ට හැඟීම් නැද්ද. එහෙනම් ඒගොල්ල ඇසුරු කරන්ඩ වටින්නෙ නෑ. මෙහි බෝධිසත්වවරියගේ රමණය ගැන ලියා ඇති දේවල් පවා මට හැඟීම් විරහිතයි.

ගැහැනියකට බුදුවන්නට හැකියි යන අදහස ගැන මට කියන්න තියෙන්නෙ මම ගොඩාක් පුංචි කාලේ මගේ ලොකු අම්මා කෙනෙක් මට කිව්වා ගෑනුන්ට බුදු වෙන්ඩ බෑ කියලා. පිරිමි අවසර දෙන්ඩ ඕන කියලා. එදා ඉඳලා අද වෙනකන් මම පන්සල් යන්නෙ නෑ. පන්සලේ තියෙන හඳුන්කුරු සුවඳටයි, පහන් එළියටයි මම කැමති වුනත් මම පන්සල් යන්නෙ නෑ. පිරිමින්ගෙන් අවසර අරගෙන බුදුවෙන්ඩ මට ඕනේ නැති නිසා මම ඒක ප්‍රතික්ෂේප කරා. ඒ හින්දා බුදුන් ගැන දැනගන්ඩ මට සැබෑ වුවමනාවක් කවදාවත් තිබුනේ නෑ. අනිත් එක බුදුවෙන්ඩ මට කොහොමටවත් ඕනේ නෑ. නිවන් දකින්ඩ. ඒ කියන්නෙ මොකද්ද? මම ඒ ගැන දන්නෙ නෑ. දැනගන්ඩ ඕනත් නෑ. ඒ හින්දා සර්පයා ගෑනියෙක්ව බුදුකරන එක ගැන මට තියෙන්නෙ උදාසීනත්වයක්. 

ඒත් සර්පයා නිර්මාණය කරනවා බුදුවරියක්. ඒක හොඳයි. සමහර අයට තරහා යනවා ඇති. අන්න ඒකයි මේ පොතේ ඇති එකම හොඳ. මේකෙන් පස්සෙ බුදුවෙන්න පෙරුම් පුරන ගැහැනුන්ට පිරිමි ශරීරයක්, පුරුෂ ලිංගයක්  අවශ්‍ය නැහැ ඒ හින්දා. ඒගොල්ලන්ට කෙලින්ම බුදුවෙතෑකි.

-නදීකා බංඩාර


No comments:

Post a Comment