Thursday, November 2, 2017

රැඟුම් පාලක මණ්ඩලය පාපයෙන් මුදවමු.....



“පාපය නාට්‍යමය ද්‍රව්‍යකි. එහෙත් එය පාවිච්චි කිරිමේදී
1 පාපය පාපයේ ස්වභාවයෙන්ම පිළිකුලට භාජනය වීමක් 
2 නිතරම එයට පෙළඹවීමට ගෝචර වන ගතියකින් යුතු පාපයක් යන දෙක අතර වෙනසක් දැකිය යුතුය.
උදා මිනීමැරුම්, සොරකම්, සාපරාධී ක්‍රියා ,බොරුකීම කුරිරු බව ආදියයි.
ලිංගිකත්වය, මංකොල්ලකෑම, පාපිෂ්ඨ බවට දෙන නායකත්වය, සංවිධානාත්මක අපරාධ පළිගැනීම ආදිය”

මා මේ උපුටා ගනු  ලබන්නේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ තැන් කිහිපයකි. (මෙහි ලිංගික්තවය හැරුණු කොට අනෙකුත් සියලුම ක්‍රියාවන් ලංකාවේ නීතිය ඉදිරියේදී පමණක් නොව සෑම රටකම නීතිය විසින් අර්ථකතනය කරනුයේ සාපරාධී අපරාධ ගණයටයි. එනම් මංකොල්ල කෑම සාපරාධී වරදකි.)


ලිංගිකත්වය සහ අපචාර
විවාහ සංස්ථාව අවඥාවට ලක් කරන්නේ නම් 
අනියම් සබඳතා ජීවිතයේ සාමාන්‍ය සිද්ධි හැටියටත් එහෙයින් ඒවා පාපිෂ්ඨ ක්‍රියාවක් නොවන ලෙසටත් සලකන්නේ නම්
සටහන-
විකෘති කාමාශාව හෝ ඒ පිළිබඳ සඳහනක් කිරීම තහනම්ය.
ලිංගික සෞඛ්‍ය සහ සමාජ රෝග දර්ශන සඳහා ඉඩදෙනු ලබන්නේ මානව හෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් ඉදිරිපත් කරන්නේ නම් පමණි.
සත්‍ය දරු උපත් හෝ එහි ක්‍රියා දර්ශන ප්‍රදර්ශනය සඳහා ඉඩ දෙනු නොලැබේ.
සතුන් සමග මිනිසුන් සිදුකරනු ලිංගික හැසිරීම් දක්වීම තහනම්ය.

-ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය මාර්ගෝපදේශ මාලාව

  .
මෙහි සීමා මායිම් මොනවාද ? කලා භාවිතාවේ හා කලාවේ දාර්ශනික ඉතිහාසයක් නොමැතිව රැඟුම් පාලක මණ්ඩලයට ජීවත් විය හැකිද?

ලංකාවේ ලිංගිකත්වය අරබයා පැන නැගෙන බොහෝ කාරණා ස්ත්‍රී දූෂණය, ව්‍යස්ථාපිත දූෂණය ආදිය අපරාධ ගණයට වැටේ. නමුත් විවාහ පෙරොන්දු කඩ කිරීම හෝ ලිංගිකත්වයට අදාල විවාහයට අදාල කාරණා බොහෝමයක් සිවිල් නීතිය යටතට වැටේ. ඒවා අපරාධමය වැරදි ලෙස නොසැලකේ.

නමුත් නීතිය ආගමික වැරදි පිළිබිඹු නොකරයි. නීතිය ආගම විසින් නිරූපනය කරන පාපයට අදාල ඇතැම් වැරදි නීතිය ඉදිරියේත් වැරදි ලෙස අර්ථ දක්වන නමුත් ඒ පාපය යන සිද්ධාන්තය යටතේ නොවේ.  නීතිය කිසි විටෙක පාපයට දඬුවම් නොකරයි. නීතිය සහ ආගමික පාපය අතර ශිෂ්ට ලෝකය පැහැදිලි ලෙස ඛණ්ඩනය වීම රාජ්‍යය  ලැබූ ජයග්‍රහණයක්ද වෙයි.

පාපය යන වචනය තුළ මනුෂ්‍යයා මනුෂ්‍යයෙකුට එරෙහිව කරන වැරදි යන අර්ථ දැක්වීමක් නැත. එය තුළ ඊට වඩා පාරිශුද්ධත්වයක්, ආත්මීය පාරිශුද්ධත්වයක් බලාපෙරොත්තු වෙයි. පාපය සෑම ආගමකම අර්ථනිරූපනය කරන්නට උත්සාහ දැරූ විශාල විෂයයකි. කොටින්ම ආගම සහ පාපය අතර ඇත්තේ වෙන් කළ නොහැකි තරමේ සම්බන්ධයකි. පුද්ගල විමුක්තිය යනු එක්තරා ආකාරයකින් පාපයෙන් නිදහස් වීමකි. බයිබලය මිනිස් වර්ගයා ආරම්භ වන්නේ  ආදම් සහ ඒවාගේ පාපයෙන්. දෙවියන්ගේ අණ නොතකා සර්පයාගේ බසට ඇහුන්කන් දීම නිසා  ඒවා පාපයට වැටුනාය. ඇය විසින් ආදම්ටද පාපයට වැටීමට අනුබල දුන්නාය.

ඒ අනුව පාපය යනු තහනම් ගහේ ගෙඩි කෑමත්, නිරුවත ගැන දැන ගැනීමත්, නිරුවත වසා ගැනීමත් නොව දෙවියන්ගේ අණ කැඩීමය.

මේ දේවල්  පාපයන් වන්නේ ඒවා දෙවියන් විසින් පාපය ලෙස අර්ථ දක්වා තිබූ නිසාය. නීතියේ මුල්ම ස්වරූපය දෙවියන්ගේ සංකල්ප රූපයක් තුළින් පැන නැගෙන්නට ඇත. දෙවියන් පාපය අර්ථ දැක්වූයේ නම් නැතහොත් තහනම ක්‍රියාත්මක කළේ නම් යක්ෂයා පාපයට දඩුවම් දෙන ආයතනයයි. මේ අනුව දෙවියන් සහ යක්ෂයා එකට සාකච්ඡා කරන්නට ඇති බව අපට උපකල්පනය කරන්නට සිදු වෙයි. දෙවියන් සහ යක්ෂයා යනු එකම ආයතනයක ශාඛා දෙකකි.
එහෙත් අද වන විට පාපය පිළිබඳ මනුෂ්‍ය සංවාදය බෙහෝ දුර දිග ගිය එකකි. එම නිසාම පාපය පිළිබඳ මනුෂ්‍යයා තුළ ඇති බිය සහ නීතිය ඉදිරියේ ඇති දඬුවම අතර ඇත්තේ එකිනෙකට නොගැලපෙන සම්බන්ධයකි. මිනිසා නීතිය සහ ශිෂ්ට සම්පන්න උසාවි පිහිටුවා ගත්තේ මෙම සංවාදයේ උපරිම දියුණු තැනකදීය.

මා දන්නා තරමින් රැඟුම් පාලක මණ්ඩලය ආගමික නිලබලය ලත් ආයතනයක් නොවේ. එය ලංකාවේ රාජ්‍යයට අයත් ආයතනයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් පාපය ගැන කිසිදු අදහසක් නැත. අපරාධ නීතිය හෝ  රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව පාපය අර්ථ දක්වනු ලබන්නේ නෑ.
මුලින්ම රැගුම්පාලක මණ්ඩලය බිහිවන්නේ පල්ලිය මූලික කොටගෙනය. ඉන් පෙරදී ග්‍රීක යුගයේ නාට්‍ය කලාව තුළ රැගුම් පාලක මණ්ඩලයක් පිළිබඳ අදහසක් නැත. කෙසේ නමුත් ශිෂ්ට රාජ්‍යයක ආගම තිබෙන්නේ පෞද්ගලික තැනකය. මා ඒ ගැන මෙහි දීර්ඝව විස්තර කරන්නට යන්නේ නැත.
එනම් එය රාජ්‍යය තුළ සිටින පුද්ගලයන්ගේ පෞද්ගලික තෝරා ගැනීමකි. ආගමික විශ්වාසයන් සහ චර්යාවන් නීිතියට පටහැනි නම් ඒවා නීතිය ඉදිරියේ දඬුවම් ලබනු ඇත. උදාහරණයක් ලෙස යම් ආගමක් සියදිවි නසා ගැනීම අධ්‍යාත්මික පාරිශුද්ධත්වය පතා කළ යුතු දෙයක් සේ දේශනා කරන බව උපකල්පනය කරන්න. එම ආගමික අදහස විශ්වාස කරන පුද්ගලයන් සියදිවි නසා ගන්නේ නම් එවිට එම පෙළඹවීම කිරීම නිසා- නීතිය ඉදිරියේ සියදිවි නසා ගැනීම නීතිමය වරදක් නිසා- සියදිවි නසා ගැනීමට පෙළඹවීම වෙනුවෙන් දඬුවම් කරන්නට හැකියාවක් ඇත.

නමුත් එය පාපය නිසා නොවේ. සියදිවි නසා ගැනීම නීතිමය වරදක් වන නිසාය. 

රටක කලා කෘති සම්බන්ධයෙන් මැදිහත් වන ආයතනයක් කෘෂිකර්මය සම්බන්ධයෙන් මැදිහත් වන ආයතනයකට වඩා වෙනස්ය. එය අප ලඝු කොට සැලකිය යුතු දෙයක් නොවේ. එමෙන්ම එය චිත්‍රපටයක් වාරණයට ලක් කිරීම හෝ නොකිරීමට එහා ගිය කතිකාවකි. 

රැඟුම් පාලක මණ්ඩලය තම ප්‍රතිමානයන් සකස් කරන විට ඔවුන් පූර්වාදර්ශයට ගන්නා කාරණය ගැන සංවාදයට  ලක් කිරීමක් අවශ්‍ය වෙයි. 
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය තමාගේ මාර්ගෝපදේශන ගැන මෙසේ කියයි:



“ඉහත කරුණු ක්‍රියාත්මක කිරිමේ දී මානව ප්‍රගතියට කලා ලොවේ පවත්නා වැදගත්ම කලාව රසවිඳීම සඳහා ප්‍රේක්ෂකයාට ඇති අයිතියත් සැලකිල්ලට ගනිමින් නිදහස් අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය වැරදි අකාරයට පාවිච්චි කරන්නේද යන වග ද සිහිතබා ගනී. ඒ සඳහා සමාජ වගකීම මුල් තැනෙහි ලා සැලකිල්ලට ගනු ලැබේ. සමාජයට අහිතකර දේ බැහැර කිරීම රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රතිපත්තියයි.”

“වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් සමාජ වගකීම් න්‍යායන් භාවිතා වේ. මෙහිදී විශේෂයෙන් අපරදිග කලාව හුදු නිදහස් කලාවක් වශයෙන් ව්‍යාප්තවීමට තිබෙන නිදහස පෙරදිග රටවල පවතින සමාජ වගකීම යන තීරණාත්මක සාධකයෙන් තුලනය වෙයි. මෙහිදී සරල වශයෙන් කියන්නේ නම් කොතරම් දුරට ඉදිරිපත් වන මහජන ප්‍රදර්ශනයේ හේතුවෙන් සමාජයට ඉන් වන අහිතකර තත්වය සලකා බලා තීරණයන් කෙරෙහි එළඹීම මණ්ඩලයේ මූලික වගකීමකි.”

-ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මාර්ගෝපදේශ මාලාව

මෙම ප්‍රතිමානයන්  කලාකරුවන් ලංකා  රාජ්‍යයෙන් පිටමං වීමට බලකරනු නොලබන්නේද? සමාජයට ඇති වන අහිතකර තත්වයන් යන්නේ අදහස් කරන්නේ කුමක්ද?

කලාව කරනු ලබන්නේ යම් රටක දේශසීමා මායිම් ඇතුළේ ද? කලාවේ දේශසීමා කුමක්ද? කලාවේ සමාජ වගකීම යන්න අප කෙසේ දකිමුද?

වෙනස් විය යුත්තෙ රැඟුම් පාලක මණ්ඩලයද? අපද? මේ පෙන්නුම් කරන්නේ සමාජ විටිනාකම්වල චලනය නොවන ස්වභාවය නොවේද?

රටක පාලකයන් මාරු නොවන්නේ නම් ජනතාව මාරු කළ යුතු බව බ්‍රෙෂ්ට් පැවසූ අකාරයට ම රටක රැඟුම් පාලක මණ්ඩලය මාරු නොවන්නේ නම් මාරු කළ යුත්තේ ජනතාවද ?

රැඟුම් පාලක මණ්ඩලය කලාකරුවන් ශික්ෂණය කරන්නට යන විට පෙනෙන්නේ එය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවන බවයි මගේ නම් හැඟීම. ඔවුන් නිරූපණය කරන්නට යන්නේ චලනය වීමට අප දක්වන බයයි. 
ආගම මෙන්ම කලාවද පෞද්ගලික තෝරා ගැනීමකට අයිති කේෂ්ත්‍රයකි. උදාහරණයක් ලෙස පන්සලට ගොස් මල් පූජා කරනවාද නැද්ද යන තෝරා ගැනීමට රටක පුරවැසියෙකුට අයිතියක් ඇත. එය පෞද්ගලික කැමැත්තකි. දොස්තොයෙව්ස්කි කියවනවාද, සුජීව ප්‍රසන්න ආරච්චි කියවනවාද යන්න පෞද්ගලික කැමත්තකි. ආගමක් තිබීම මෙන්ම ආගමක් නොතිබීමද පෞද්ගලික කැමැත්තකි. ආගමක් නොමැතිව ජීවත් වීමට පුරවැසියෙකුට බාධා කිරීමට නොහැක. රාජ්‍යය විසින් පුරවැසියෙකුගෙන් ඉල්ලා සිටින්නේ නීතියට අනුව සකස්කර ගත්තා වූ පැවැත්මකි.

උදාහරණයක් යම් කලා කෘතියක් නිසා සෘජුව මිනිසුන් විවාහ නීතියට පිටතින් අනියම් සබඳතා ඇති කර ගතහොත් ඒ වෙනුවෙන් නීතිමය ප්‍රතිකර්මවලට යා හැකිය. එවිට එය නීතිමය කාරණයකි. යම් කලා කෘතියක් නිසා මිනිසුන් මීනිමැරීමට යන්නේ නම් එයට නීතිමය ප්‍රතිකර්ම සොයා ගත හැකි වෙනු ඇත. 

ඇත්තෙන්ම රැඟුම් පාලක මණ්ඩලය ප්‍රශ්න කිරීමෙන් කවර පලක්ද? ප්‍රශ්න කළ යුත්තේ අපවය. එය ප්‍රශ්න කරන්නට හැකි එක් අකාරයක් වන්නේ සිනමාවය. ඔන්න එවිට නැවතත් රැඟුම් පාලක මණ්ඩලය හමු වේ. මේ විෂම චක්‍රයෙන් ගැලවෙන්නේ කෙසේ ද? එසේ නම් සිනමාවට ප්‍රථම සිනමාව පිළිබඳ පුළුල් සංවාදයක්, කතිකාවක් අපට අවශ්‍ය වෙයි. 
ලිංගික විප්ලවය නිල් සිනමාවට බල පෑ අතර නිල් සිනමාව කලාත්මක සිනමාව සදාචාරවාදයෙන් ගලවා ගත්තා.   1969 Andy warhol පළමු ශෘගාරාත්මක චිත්‍රපටය හදන්නෙත්, ඒක ඇමෙරිකාවේ තියටර්ස්වල ප්‍රදර්ශනය වන්නෙත් මේ විප්ලවය ඇතුලේ. ඇත්තටම මේක තමයි  Golden age porno  යුගය හදන්නෙ. ඇත්තෙන්ම නිල් චිත්‍රපට ලෙස අප හඳුන්වන ප්‍රපංචය නූතන ඇමෙරිකානු සංස්කෘතියේ විශාල පරාසයක විහිදෙනවා. ඇත්තෙන්ම මෙම යුගයේ අපි සීරියස් විචාරකයෝ ලෙස හඳුන්වන අය මේවාට මැදිහත් වුණා. මේවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්ඩ පටන් ගත්තා. මාලන් බ්‍රැන්ඩෝ රඟපානු ලබන   Last Tango in the Paris        චිත්‍රපටයට බලපාන්නෙ  Andy Warhol ගේ   Blue Movie  චිත්‍රපටය කියලා තමයි සලකන්නෙ.

පළමුව අප පරිකල්පනය සදාචාරවාදයෙන් සහ පාපයෙන් මුදවා ගත යුතුය. රැඟුම් පාලක මණ්ඩලයට මා ආරාධනා කරන්නේ කරණාකර අපත් සමග එකතු වෙන්න. රාජ්‍යය ආරක්ෂා කිරීමේ සමාජ වගකීම වන්නේ එයයි.
                                                                              -නදීකා බණ්ඩාර




1 comment:

  1. ඔව්, නීතියේ අරමුණ මිනිසුන් ව ප්‍රජාතන්ත්‍රවිරෝධී දෙයින් වළකා ගැනීම මිසක් සදාචාර විරෝධී දෙයින් වළකා ගැනීම නොවෙයි. එය අයිති ආගමටයි. මේ තත්ත්වය ගබ්සාව නීතිගතකිරීම මෙහෙමමයි. බුදුදහමට ඇති තැන ගැනත් සමහරු දක්වන අදහස් පවා එහෙමයි. යුරෝපෙ වගේ රටවල ආගමික සම්බාධකයන් සමග අත්වැරල් බැඳගැනීමෙන් රාජ්‍යය ඈත්වුණත්, ආසියාතික රටවල සිදුවෙලා තියෙන්නෙ භෞතිකව නූතනවාදී රූපයක් ගත්තත් අනිකුත් වැඩවසම් බැමි පෝෂණය වීමයි. එය මේ රටේ දේශපාලන බලය සම්බන්ධයෙන් ප්‍රමුඛ දෙයක් වෙලා. නූතනවාදී ව්‍යාපෘතිය මේ රටේ හරිහැටි සම්පුර්ණ වෙලා නැහැ.

    ReplyDelete