Wednesday, September 20, 2017

(එදිරිවීර) සරච්චන්ද්‍රට කරන්ඩ බැරි වුණු දේ චින්තා කරා.....


පශ්චාත් සම්ප්‍රදායික රමණය 




(ඔයාගේ පොත් ඔක්කොම විකිණිම ගැන මගේ  අවංක සුභ පැතුම් ඉස්සෙල්ලාම. පොත් විකුණන්නෙ කොහොමද කියලා ඔයාගෙන් ඉගෙන ගන්ඩ ඕන. මම දඩබඩ ගාලා කියෙව්වෙ චින්තා දෙන්න යන ආතල් එක ගන්ඩ. (දැන් චින්තාට ඕනේ නම් තව දෙයක් විකුණන්ඩ පුලුවන්. කසයක්.) හෙට අනිද්දා වෙන කොට ලංකාවේ පිරිමි ඔක්කොම කසයක් හොයා හොයා පාරවල් දිගේ පිස්සුවෙන් දුවන හැටි මට පේනවා. ඒත් එක්කම මට ගෑනුන්ගේ  සුරතාන්තයේ කෙඳිරියේ දෝංකාරය ඇහෙනවා. ඔව් චින්තා ඔයා පිරිමින්ගේ අතට දෙන්ඩ ඕන කසයක්. මම හිතාගෙන ඉන්නවා පිහියක් මාර්කට් කරන්ඩ. ඊට පස්සෙ ගෑනු ඒ ගොල්ලන්ගේ මහත්වරුන්ට දෙනවා උපන්දිනේ දවසේ පිහියක්. ගෑනි ඉන්නවා පිරිමියා ළග දෙකට නැමිලා. ඈ කපනවා බිජ්ජ. ඒ එක්කම පිරිමියාගේ ශුක්‍රණුත් පිටවෙනවා. එයා කියනවා. ඔව් ආදරියේ මේක තමයි නියම සැපත. ඊට පස්සෙ ලංකාවේ ගෑනු යනවා පිහි හොය හොයා. එතකොට තමයි චින්තා පෙනී හිටින ලිංගික ප්‍රජාතන්ත්‍රවාදය මට නම් ඇති වෙන්නෙ. ගෑනිට තරු පේන කොට පිරිමින්ටත් තරු පේන්ඩ ඕනේ. )
චින්තනගේ පොත මම කියෙව්වා. (හරි පුදුමයි මගේ මොනර බිත්තර එකේ ඉන්නෙත් කේ. චින්තනගේ පොතේ ඉන්නෙත් කේ. දෙන්නම හස්බන්ඞ්ලා. මමත් ඕ ගේ කතාව කියෙව්වා. ගොඩාක් ඉස්සර මම ඒක ස්වයං වින්දනයේ යෙදෙන්නත් පාවිච්චි කරපු පොතක්. හැබැයි එකේ තිබුනු වේදනාත්මක ප්‍රහර්ෂය මට චින්තනගේ පොතේ දැනෙන්නෙ නෑ. ඒකට  හේතුව චින්තාගේ පොත ලස්සණ වැඩියි.)


මේ පොතේ පෙරවදනේ කතුවරයා කියනවා මේ පොත මං ලියන්නෙ ඉරොටික් නවල් එකක් විදිහට. ඒකෙ ඊට එහා කිසිම දර්ශනික හෝ කලාත්මක අරමුණක් නෑ. මේක ලියන්නෙම රස විඳින්න.
කොස් ඕනේ නම් දෙල් කියලත් විකුණන්න පුලුවන්. ප්‍රශ්නේ තියෙන්නෙ ඔහු අපිට කොස් වෙනුවට දෙල් කාලා දෙල් වලට කොස් කියන්ඩ කියන එක. ඒ කියන්නෙ ඔහු යෝජනා කරන්නෙ අපිටත් මේකේ ශෘගාර සීමාවේ නතර වෙන්ඩ කියලා. වැඬේ තියෙන්නෙ මේක ශෘගාරාත්මක වෙන්ඩ පුලුවන් කාටද කියන එක. මම එහෙම කියන්නෙ කිසිදු සාදාචාරාත්මක තැනක ඉඳලා නෙමෙයි. චින්තා දන්නෙම නැතුව හෝ දැනගෙන ඇදගෙන වැටෙන්නෙ සාහිත්‍ය ඇතුළේ අවුරුදු දහස් ගාණක් තිස්සෙ ඔට්ටු වෙන අවසානයක් නැති කතා වස්තුවකට කියලා. බැලු බැල්මට අනුව නම් චින්තා මවන්ඩ යන්නෙ හරිම නිදහස්කාමී තමන්ගේ බිරිඳට ඉඩ දෙන සැමියෙක් කියලා. ඇත්ත. ඔව්. ඒකේ දෙකක් නෑ.
ලිංගික තෘප්තිය කියන එක චින්තන ගන්නෙ නිරපේක්ෂ දෙයක් විදිහට. නමුත් ඒක මට අනුව නිරපේක්ෂ දෙයක් නෙමෙයි. මට අනුව කාබනික සුරතාන්තය විතරයි නිරපේක්ෂ. ඒකට රමණය අවශ්‍ය නෑ. දෙන්නෙක් යම් ලිංගික ක්‍රියාවකට සහභාගි වෙන කොට එතැන කතිකාවන් රාශියක් එකට සංවිධානය වෙනවා. පිරිමියා විසින් ලිංගික තෘප්තිය සංවිධානය කරපු කතිකාවන් ගොඩක් ඇතුළේ තමයි ඒ රමණය සිද්ධ වෙන්නෙ. චින්තා දෙන්නෙ යතුරු හිලක්. හැබයි ඒ යතුරු හිල අස්සෙ ඔහු අපිට ඒකේ විද්‍යාව පෙන්නවා. මේකේ කියවන්නාට ඒ විද්‍යාව දෘශ්‍යමාන වෙන මොහොතේ ශෘගාරය වෙනුවට නෂ්ටකාමය මුණ ගැහෙනවා.         
මම මේ පොතේ කැමතිම තැන තමයි බැන්ඩිව අරගෙන එන්ඩ කියලා කේ එයාගේ බිරිඳට කියන තැන. මම හිතන්නෙ තුන්වැනියා මරනවට වඩා සාහසික තෘප්තියක් එතනදි කේ ගන්නවා. නියමෙටම පිරිමි පිරිමි ද්වන්ධ සටනක්. ඒ සාහසික තෘප්තිය තමයි සෙක්ස් වෙන්නෙ. මිනී මරන්නෙ මේක සෙක්ස් දක්වා පරිවර්තනය කර ගන්ඩ බැරි උණාම. ඒ කියන්නෙ ඒ කියන්නෙ තුන්වැනියෙක් තමන්ගේ බිරිඳ එක්ක හැමනෙනවා කියන එකෙන් තමන්ට ලැබෙන උත්තේජකය ඇතුලේ මොනවද කරන්නෙ කියලා තීරණය කර ගන්ඩ බැරි වුණාම තුන්දෙනාම එක්ක හැමනෙනවා වෙනුවට එකෙක් අනෙකවා මරනවා. එක්කො එක්කෙනෙක් අතඇරලා දානවා. තුන්වැනියෙක් ආවම ජිවිතේ පහසු නෑ. ලස්සන නැති වුණාට ඒ සෙක්ස් තමයි. ඒ වගේම මේකේ ඉන්න සැමියා සහ ඔහුගේ බිරිඳගේ සෙකස් පාට්නර් අතර තමයි ගේම තියෙන්නෙ. පිරිමි ආශා කරන්නෙ ගෑනුන්ට නෙමෙයි. ඔවුන් සොරා ගන්නෙ තමන්ගේ ප්‍රතිවාදියාට තමන්ගේ බිරිඳ දෙනවා ඇතියි කියලා හිතන දේ . පිරිමි දෙන්නෙක් මැදට ගෑනියෙක් මැදි වුණාම ඒ පිරිමි දෙන්නා ගන්ඩ හදන්නෙ ඒ ගැහැනිය නෙමෙයි. ඒ ගැහැනිය නිසා ඔවුන් ලබා ගන්නවා කියලා හිතන ප්‍රහර්ෂය. මම හිතන්නෙ එවරස්ට්ගේ පොතේ නොතිබුණු චින්තනගේ පොතේ තියෙන දේ මේකයි. මේක තමයි ගැහැනිය සහ පිරිමියා අතර ඇති ගැටුම. ඒ ගැටුම තමයි නැවත සෙක්ස් වෙන්නෙ.
පිරිමි ලබා ගන්ඩ යන්නෙ ස්ත්‍රිය නොවේ. කසාද බැන්ඳම හරි යම් විදිහකින්  ප්‍රේමවන්තයන් බව යම් යුවළක් විසින් සමාජයට ප්‍රක්ෂේපණය කරන මොහොතේ සිදුවන දේ තමයි හරියටම එහි සීමා මායිම් ලකුණු වීම. ඒ කියන්නෙ අහවලා මට අයිතිය. ඒය භාවිතා කරන්නට එපා. ඊට පස්සෙ ඒක එක ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ පොත  ඇතුලේ ලිංගිකකත්වය ඇතුළට ස්ත්‍රියක් එන්නෙ වස්තුවක් විදිහට. විවාහය ඇතුළට සහ ප්‍රේම සම්බන්ධයක් ඇතුළට. පිරිමියා විසින් මේ වස්තුවට දක්වන සම්බන්ධතාවය සෘජු එකක් නෙමෙයි. ඒ කියන්නෙ ඔහුට අවශ්‍යයි මෙම වස්තුවට ආශා කරන අනික් අය. ස්ත්‍රීන් ලස්සණට අඳින්නෙ මේ තර්කය උඩ. ඒ කියන්නෙ ස්ත්‍රීන් විලාසිතා ගැන උනන්දුවක් දක්වනවා පිරිමින්ට වැඩිය.  ඒ කියන්නෙ සියලුම පිරිමින්ගේ ආකර්ශණය ඇයට අවශ්‍යයි එක් පිරිමියෙකුගේ සීමාමායිමක නතර වීමට. තුන්වැනියා ප්‍රාදුර්භුත වෙන්නට කලින් සිටම වාස්තවික යථාර්ථය තුළ පිරිමියෙක් අපේක්ෂාකරනවා තුන්වැනියාව. ඔහු ආයුධ මුවහත් කරනවා. ඔහු වැටවල් බඳිනවා. තහංචි නිර්මාණය කරනවා. එක්තරා නිමේෂශයක මෙම මනෝ ලෝකය තුළ සිටින තුන්වැනියා කඩා පාත්වෙනවා. හැබයි මේක අපේක්ෂාවක් සහ ආශාවක්. ඊට පස්සෙ මොකද කරන්නෙ?
හොරෙන් විනෝද වෙන එක තමයි ඒකට තියෙන මානුෂික උත්තරය. ඒ කියන්නෙ ඒක යථාර්ථය තුළට අරගෙන එන්නෙ නෑ. ඒක අවිඥාණයක් විදිහට පවතින්ඩ ඉඩ අරිනවා. දැන් අපිට පේනවා චින්තන විසින් මේ තුන්වැනියා සමග විනෝද වෙන මේ අවිඥාණික පැන්ටසිය ගේනවා මතුපිටට. එතකොට ඒක ශෘගාරාත්මක වෙන්නෙ නෑ. ශෘගාරයේ තියෙන සියලු හැකියාවන් නැති වෙලා අපිව අපිට නොපෙනුනු යථාර්ථයකට සම්මුඛ වෙන එක. ඒ හින්දා මට මේක ශෘගාර නවකතාවක් නෙමෙයි.
චින්තාගේ පොතේ ඉන්න ගැහැනිය පැටලෙන්නෙ උගුලක. ඒ කියන්නෙ ඇය ඇගේ සැමියාගේ උගුලේ පැටලෙනවා. සම්ප්‍රදායික ගැහැනියක් වගේම. චින්තා සම්ප්‍රදායික ගැහැනිය හෝ ලිංගික වස්තුව නිර්මාණය කරන්නෙ පරණ වෙස්මුහුණ ගලවලා දාලා. ඒ හින්දා චින්තා පැළඳ ගෙන ඉන්න වෙස් මුහුණ ලස්සණයි.
ලිබරල් විමුක්තිකාමි පිරිමින් අති සම්ප්‍රදායික පිරිමින්ටත් වඩා භයානකයි. මොකද ඔවුන් ගැහැනියක් ලිංගික වස්තුවක් බවට පත් කරන්නෙ සාහසික විදිහට. මේ පොත පටන් ගන්නෙ බිරිඳ වෙනත් පිරිමියෙක් එක්ක රමණයකට සහභාගි වෙන තැනින්. චින්තා දඩුවම් දෙන්නෙ නෑ. ඔහු එයින් ආතල් එකක් ගන්නවා. පිරිමි ගන්නෙ ඒ ආතල් එක තමයි. හැබයි ඒක කියන්නෙ නෑ. ඒක බය නැතිව කියලා තමන්ව නිරාවරණය කරන එකට මම චින්තාට කැමතියි. ඒක තමයි ගැහැනිය නොදැන සිටින පිරිමියාගේ ආශාව.  අපිට පේනවා රැඩිකල් පිරිමියෙක් ඉන්නවා. හැබයි අන්තිමට ඔහුගේ අතේ තියෙන්නෙ කසයක්. නවකතාව ඉවර වෙන්නෙ කසයකින්.
වස්තුවකට තමන්ගේ පැවත්මක් තෝරා ගැනීමක් නෑ. ඒහි අයිතිකාරයාගේ ආශාව නිරූපණය කිරිම තමයි වස්තුවක් විසින් කරන්නෙ. ඉතින් ගැහැනියගේ ඉපරණි රූපය තමයි වස්තුවක් විදිහට පැවතීම. විවාහය තමයි එහි සංවිධානාත්මක ව්‍යුහය.  අයිතිකරුවාගේ ආශාව කුමක්ද එය නිරූපණයට කිරීම තමයි ආශාවේ වස්තුවක් වීමේ කොන්දේසිය. චින්තන කරන්නෙ මේක උත්කර්ශයට නංවන එක. ඉංග්‍රිසි කතා කරාට හෝ රැකියාවක් කරාට හෝ උපාධියක් ගත්තට හෝ ගැහැනියක් විමුක්තිකාමි ගැහැනියක් වෙන්නෙ නෑ. ඇය වස්තුවක සිට මාරු විය යුතුයි පුද්ගලයෙක් වීම දක්වා. ඒක තමයි අද අපිට කරන්ඩ වෙලා තියෙන්නෙ.  කාටහරි විමුක්තියක් ඕනේ නම් වස්තුවක සිට පුද්ගලයා දක්වා මාරු වීමට අරගල කළ යුතුයි. එය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. හැබැයි පිරිමින්ට වස්තුවක් මිසක් පුද්ගලයෙක් අවශ්‍ය වෙන්නෙ නෑ. පරිභෝජනවාදී සමාජයක් ඇතුළේ ඒක තවත් උත්කර්ශයට නැංවෙනවා. පරිභෝජනවාදී සමාජයට පුද්ගලයෝ අවශ්‍ය නෑ. වස්තුන්වල අයිතිකාරයෝ තමයි වුවමනා වෙන්නෙ.  නූතන ගැහැනියට මුණ ගැහෙන්නෙ චින්තනලා වගේ පශ්චාත් සම්ප්‍රදායික පිරිමි මිසක් ගොඬේ බයියලා ජාතියේ පිරිමි නෙමෙයි.  විමුක්තිකාමි ගැහැනියකට පශ්චාත් සම්ප්‍රදායික පිරිමියෙකුට ආලයෙන් බැඳෙන්නට බැරි වන්නෙ එතැනයි. අප විමුක්තිය ලබා ගත යුත්තෙ පශ්චාත් සම්ප්‍රදායික මොඩලයක් ඇතුළේය. චින්තනගේ යෝජනාව එයයි. චින්තනගේ පොතේ තියෙන්නෙ ලිංගික විමුක්තිය නෙමෙයි. ස්ත්‍රියක හා පුරුෂයෙක් සහභාගි වෙන ලිංගික කටයුත්තක විමුක්තියේ කොන්දේසි ලබන්නට නම් ඔවුන් දෙදෙනාම පුද්ගලයෝ බවට පත් විය යුතුයි. ඒක පශ්චාත් සම්ප්‍රදායික පිරිමියෙකුගේ ලෝකයට ආගන්තුක ලිංගික තෘප්තියකි. පශ්චාත් සම්ප්‍රදායික පුරුෂයෙකුගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නෙ කසයක් අතට ගත් විටය. තුන්වැනියා සමග එක් වී සිය බිරිඳ ඔහු සමග හැමනීම බලාගෙන සිටින විටය. මෙය සම්ප්‍රදායික පිරිමියාට නුහුරුය. ඔහු එය මවා ගන්නේ මනෝ ලෝකය තුළය. එය යථාර්තයට සම්මුඛ වුවහොත් ඔහු තුන්වැනියාව මරා දමනු ඇත. නැතහොත් ගැහැණියට ඒ මොහොතේම දඩුවම් කරනු ඇත. නමුත් පශ්චාත් සම්ප්‍රදායික පිරිමියාගේ ලෝකය යනු පැන්ටසිය යථාර්ථය බවට පරිවර්තනය කරන නිමේෂයයි. ඇත්තෙන්ම චින්තා කරන්නෙ සම්ප්‍රදායික පිරිමියා කකුල් දෙකෙන් හිටවන එක. ඔහු තමන්ගේ සගයට කියනවා. කකුල් දෙකින් හිට ගනින් ඩෝ! බය නැතිව ගෑනිට කියහං අපි ආතල් ගන්නෙ කොහොමද කියලා. සම්ප්‍රදායික පිරිමියාට තිබුනේ මනෝ කායක් විතරක් නම් චින්තා ඒකට ශරිරයක් දෙනවා.
මොනර බිත්තර  ඇතුළේ ඉන්න කේයි  Faculty oF sex  ඇතුලේ ඉන්න කේයි දෙන්නම මට සමානයි. එකම වෙනස මේ දෙන්න වැඩ කරන විදිහ වෙනස්. විවාහයකට නිර්මාණය කරන්ඩ පුලුවන් එකම සැමියයි. මොනර බිත්තර එකේ කේ තමන්ගේ ආශාව ගැන අවිඥාණිකයි.  Faculty oF sex  එකේ ඉන්න කේ ආශාව ගැන සවිඥාණිකයි. ඒ හින්දා ඔහු තුන්වැනියාගේ ආශාව එක්ක පූසාගෙයි මීයාගෙයි සෙල්ලම කරලා සුරතාන්තය ලබා ගන්නවා. හැබයි මොනර බිත්තර එකේ කේ ඒක ලබා ගන්නෙ අවිඥාණිකව. ඒක නිසා ඔහු සවිඥාණිකව හිතනවා තුන්වැනියා ඔහුව විනාශ කරනවා කියලා. ඒක නිසා ඔහු තුන්වැනියා එක්ක සටනට යනවා. ඔහු පරදිනවා.  Faculty oF sex   එකේ ඉන්න කේ දිනනවා. තුන්වැනියා පරදිනවා. මනමේ කුමාරයා දිනනවා. වැද්දා පරදිනවා. චින්තාගේ මනමේ කුමාරයා වැද්දාට කඩුව ගන්ඩ දෙන්නෙ නෑ. චින්තාගේ මනමේ කුමාරයා මනමේ කුමරියගෙන් කඩුව උදුරලා අරගෙන වැද්දාට අනිනවා. (චින්තා අපි යමුද බියර් එකක් බොන්ඩ?)  මේක ගැහැනියගේ ලිංගික විමුක්තිය නොවෙයි. මේක පිරිමියා තුන්වැනියාට අදහාගත නොහැකි දඩුවමක් දීමෙන් ස්ත්‍රිය ශික්ෂණය කිරීමේ නව මොඩලය. අපි වගේ සමාජවල ත්‍රී සම් තියෙන්ඩ පුලුවන් විදිහ ඒකයි.

මේකේ අවසානය නම් ගෘහස්ථ හිංසනය ගැන හිත කරදර කරගන්න පිරිමින්ට ගොඩාක් රිදෙයි. මේ කාලේ ගෘහස්ථ හිංසනය ගැන ගෑනුන්ට වැඩිය කරදර වෙන්නෙ පිරිමි. ගෘහස්ථ හිංසනය කොහොමද අපේ රටේ පවුල් ආරක්ෂා කරේ කියලා මේ කතාව කියෙව්වාම තේරුම් ගන්ඩ පුලුවන්. (විහිලුවක්- කොහොම හරි ගන්ඩ තියෙන ආතල් ටික ඔක්කොම අරගෙන චින්තා අර ගෑනිට අන්තිමට කස පාර දීලා නවත්තන්නෙ.)  සම්ප්‍රදායිකව ගැහැනියක් වෙනවා කියන්නෙ යටත් වෙනවා කියන එකට. කාගේ හරි ආශාවේ වස්තුව වෙන එක නම් ගැහැනිය කියන්නෙ අප කස පහර කන්නට සුදානම් විය යුතුයි. ඔව් මමත් සමහරක් විට මට ගැහැනියක් වන්නට වුවමනා වු විට මාව යටත් කරන මිනිහෙක් එක්ක නිදා ගැනීමක් ගැන සිහින මවනවා. මොකද එක්කො අපිට මුණ ගැහෙන්නෙ සම්ප්‍රදායික පිරිමි. එහෙමත් නැත්නම් පශ්චාත් සම්ප්‍රදායික පිරිමි.  (මම දවසේ වැඩි කාලයක් හිතාගෙන ඉන්නෙ මම පිරිමියෙක් කියලා.  රෑ එකොළහ කෝච්චියේ යන්නෙ ඔක්කොම පිරිමි. මම හරි ආශයි එකේ යන්ඩ. මම හිතන්නෙ මමත් ඒගොල්ල වගේ පිරිමියෙක් කියලා. සමහර වේලාවට මට එහෙම හිතෙන එක එපා වුනාම මම කල්පනා කරනවා ගෑනියෙක් වෙන්නෙ කොහොමද කියලා.) මට ගෑනියෙක් වෙන්ඩ ඕන වුණාම  මම හොයා ගන්නවා සල්ලාලයෙක්. මම දෙනවා ඒ මිනිහගේ අතට කසයක්. මම කියනවා එයාට මගේ තට්ටම් වලට ගහන්ඩ. මාව යටත් කරන්ඩ. මගේ අතපය බැඳලා දාන්ඩ. මාව හුරන්ඩ. මම කොයි තරම් අකමැති වුනත් මම කැමතියි ඒ වේලාවට  ලොකු පුරුෂ ලිංගයක් තියෙනවා නම්. ඒ කියන්නෙ මට ගෑනියෙක් වෙන්ඩ වුවමනා වෙලාවට. ඒක කසයක් වගේ වගේ මාංශය ඉරලා දමාවි. ඔව්, එයා ඉරනවා මාව. මම එයා ළග වැඳ වැටිලා කියනවා මාව යටත් කරන්ඩ. මගේ මාංශය ඉරෙන කොට මට දැනෙනවා ඔව් මම ගැහැනියක්.  ඊට පස්සෙ ඒ මිනිහා හැමනිලා ඉවර කරාට පස්සෙ මම යනවා ගෙදර. මම මතක් කරනවා ඒ මිනිහා මගේ ශරීරය පාවිච්චි කරපු විදිහ. ඊට පස්සෙ මම ස්වයං වින්දනයේ යෙදිලා සුරතාන්තයට පත් වෙනවා. මම ගැහැනියක් වෙන්ඩ වුවමනා වෙලාවට කරන්නෙ ඒක. කසය කියන්නෙ මට උරුම වෙච්ච පුරාතන උරුමයක සංකේතය. වහල්කම ලෝකයන් ඉවත් වෙන කොට කසය ලෝකෙ නැති වෙලා ගියපු දෙයක්. ඒත් ඒක චාරිත්‍රයක් විදිහට අපිට නැවත ඕන වෙනවා. චාරිත්‍ර කියන්නෙ අපි ඉවර කරපු ඉතිහාසය. අපි ඉවර කරපු ඉතිහාසය වර්තමානයට අරගෙන ඉන්නෙ චාරිත්‍ර. ඉතින් සෑම පිරිමියෙක්ම කසයක් තෑගි දිය යුතුයි ඔවුන්ගේ බිරිඳගේ උපන්දිනේට. ඒකේ තේරුම වහල්කම ඉවරයි කියන එක. අපිට පුලුවන් අපේ ඉතිහාසය සංසර්ග ප්‍රහර්ෂයට භාවිතා කරන්ඩ.  ඕ ගේ කතාව ඇතුළේ තියෙන ලිංගික ප්‍රහර්ෂය මට තාම මතකයි. මොකද වහල්කම ඉවර වුණාට සංසර්ගය තාම තියෙනවා. වහල්කම ඉවර වුණාට බිරිඳ තාම ඉන්නවා. ආශාවේ වස්තුවක් වෙනවා කියන්නෙ කස පහර කන එක. ඉතින් අන්න ඒකයි මම ගෑනියෙක් වෙන්ඩ ආශා වෙලාවට මම නිදා ගන්න පිරිමි අතට කසයක් දෙන්නෙ. මම එයාලා අතට දෙනවා ලණු මාව බැඳලා දාන්ඩ. (මම ගෑනියෙක් කියලා මම මටම කියා ගන්න වේලාවට. මේකයි තුන්වැනියාගේ ආගමනයයි තමා තමයි මගේ ‘රතු සපත්තු’ ඇතුළෙ තියෙන්නෙ. Mr මනමේ ඇතුළෙ තියෙන්නෙ තුන්වැනියා පිළිබඳ ගැටළුව.)

මොකද තවම අපි ගෙවමින් සිටින්නෙ සම්ප්‍රදායික පිරිමින්ගේ සහ පශ්චාත් සම්ප්‍රදායික පිරිමින්ගේ ආධිපත්‍ය දරන ලෝකයක නිසා රමණයට සභගාගි වෙන්ඩ තියෙන එකම අවකාශය ඕක තමයි.
තමන්ගේ උපන් දිනයේදි කසයක් අතට දෙන සෑම පිරිමියෙක්ම මට නම් මොර්ඩන්. මොකද ඒ මිනිහාගේ ඔලුව ඇතුලේ වහල්කම ගැන තියෙන අයිඩියල් එක ඉවරයි. ඒ මිනිහාට ඒක දැන් චාරිත්‍රයක්. නැවත කියනවා නම් කසයක් සංසර්ගය ඇතුළට එනවා කියන්නෙ ඒක උපන්දින ත්‍යාගයක් වෙනවා කියන්නෙ සෑබෑ (ඉතිහාසය) යථාර්තය අවසන් වීම. ඒක පුරුෂ ලිංගය සෙක්ස් ඩිල්ඩෝවක් විදිහට තෑගි දෙනවට වඩා මොර්ඩන්. ඒ කියන්නෙ ඒක පිරිමින්ට තියා ගන්ඩ වෙන්නෙ ඔය විදිහට.
සංසර්ගයට යන්ඩ පෙර එකම එක වතාවක් හෝ කසයක් දෙන්න ඔබේ සැමියා අතට. එය ගෘහස්ථ හිංසනය නොවෙයි. එය ගෘහස්ථ හිංසනය අවසන් වු බවට කරන පළමු නිවේදනය.
පිරිමියාට අවශ්‍ය වන්නෙ ගැහැනිය හෝ ඇගේ ශරීරය නොවෙයි. ඔහුට අවශ්‍ය වන්නෙ ඔහු නොවන අනෙක් පිරිමියාගේ ආශාව. චින්තන අපට හෙළිදරව් කරන වැදගත්ම දේ එයයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙමෙයි. චින්තන දිගටම වස්තුවක් විදිහට මේ පොත ඇතුළේ ගැහැනියව තියාගෙන ඉන්න එක. ගැහැනියක් වස්තුවක් විදිහට නෙමෙයි පුද්ගලයෙක් විදිහට රමණයට සහභාගි කර ගන්නෙ කෙහොමද කියන එක කතුවරයාගේ විශ්වය තුළ නැහැ. අම්මලා ආශා නැහැ ඒගොල්ලන්ගේ පුංචි දරුවෝ ලොකු වෙනවට. තාත්තලත් එහෙමයි. පුංචි ළමයින්ට තමන්ගේ පවුලේ සමාජිකයන්ගෙන් තොර විශ්වයක් නෑ. ඔවුන් හුරතල්. ඔවුන් අපි ළගම දැවටෙනවා. පුංචි ළමයින්ට ලලසාත්මක වුනාම අපි කැමති නෑ ඔවුන් ලොකු වෙනවාට. නමුත් ඔවුන් වැඩෙනවා. අපිට බැහැ ඔවුන් ලොකු වෙන එක නවත්න්නට. මගේ පුංචි එකා මගේ ලාලසාවෙන් එහාට ලොකු වෙන කොට ඌ මගෙන් විමුක්තිය ලබනවා. ඒක නිසා පසු නුතන වෙනවා කියන්නෙ ගැහැනිය වස්තුවක සිට පුද්ගලභාවයකට මාරු වෙන එක. වරක් මෙය දුටුවොතින් ගැහැනියක් ඇයට විමුක්තිය සමග රමණයේ යෙදෙනවා මිසක මේ ගෙවන නිමේෂය තුළ වෙනත් කිසිදු තෝරා ගැනීමක් නැහැ. විමුක්තිකාමිනියකට ඉතිරු විය හැකි එකම ප්‍රහ්ර්ෂය මේ මොහොතේ ස්වයං වින්දනය පමණයි. චින්තනට මා ස්තුති කරන්නෙ පශ්චාත් සම්ප්‍රදායික පිරිමියාගේ ආශාව අපට සාහිත්‍ය තුළ සම්මුඛ කරන නිසාය. ලිබරල් පවුල ගෙනියන්ඩ පිරිමි සහ ගෑනු විඳින වේදනාකාරිත්වය දැක්කම මට දුකත් හිතෙනවා. විශේෂයෙන් පිරිමි ගැන. ඒගොල්ල පව්. මේකේ ඉන්න පශ්චාත් සම්ප්‍රදායික පිරිමියා කෑගහලා අඬලා ඉල්ලන්නෙ එක දෙයි. අනේ මාව දාලා යන්ඩ එපා. ඔව්, චින්තන අපි ඔයගොල්ලන්ව දාලා යන්නෙ නෑ. බය වෙන්ඩ එපා.

                                                                                          
-නදීකා බණ්ඩාර


1 comment:

  1. නොතේරෙන බොහෝ දේ තිබෙන බව තේරුනා

    ReplyDelete