Monday, May 4, 2015

දියෝනිස් දෙවොල වසුරු ගොඩක රැඳුණු පොල් ටොෆියක්

   
       

විශිෂ්ට හෝ පරිණත නොවන ප්‍රබන්ධයක සාධනීය ලක්ෂණ අඩංගු වන්නේ ද ? කවර ආකාරයකින් හෝ පාඨකයා ස්වකීය ප්‍රබන්ධයෙහි රඳවා ගැනීම සාහිත්‍ය කෘතියක සාධනීය ලක්ෂණයක් වන්නේ ද? මෙම ගැටලූ විශ්ලේෂණය කර ගැනීම මනා යැයි හැඟී ගියේ නදීකා බණ්ඩාරගේ දියෝනිස් දෙවොල පාමුල සිට නම් ප්‍රබන්ධය ඇසුරු කිරීමේන් පසුවය.

“ දියෝනිස් දෙවොල පාමුල සිට" රමණිය යෙදුමකි. එසේ වුව එම ප්‍රබන්ධය ගෙතෙන්නේ දෙවොල පාමුල සිට නොව දියෝනිස් දෙවියන්ගේ කර මතටම නැඟීමෙන් පසු බව වටහා ගැනීම අසීරු කරුණක් නොවේ. දියෝනිස් යනු ඩයනීසියස් යන්නෙහි සිංහල ඌරුවය. ඩයනීසියස් පුරාණ ග්‍රීසියේ ඉකේරියා නුවර දෙවියෙකි.ඔහු ඇතැන්ස් පුරවාසීන් ප්‍රේමයට සහ වයින් වලට අධිපති දෙවියා ලෙස සලකා ඇත. එම දෙවියන් වෙනුවෙන් පැවැත්වු පුජා කර්ම වලින්  නාට්‍ය කලාව ආරම්භ වු බව කියැවේ.මෙම පුජා කර්ම වලින් නාට්‍ය කලාව ආරම්භ වු බව කියැවේ. මෙම පුජා කර්ම වල විශේෂත්වය වුයේ සියලූ වැසියන් වයින් පානය කරමින් ගී ගයා නටමින් මහ මඟ සංවාසයේ යෙදෙමින් පුජා කර්මයේ නියැළිමය. මෙම පුජාව රතිකෙළි පුජාවක් සේ පැවති බව අවිවාදිතය

නදීකා බංඩාරගේ ප්‍රබන්ධයද ඩයනීසියස් දෙවිදුන් උදෙසා පවත්වන රතිකෙළි පුජාවකට නොදෙවෙනිය.

 ඒ හේතුවෙන් දෙවොල පාමුලින් මතුවන සාධනීය ලක්ෂන කවරේදැයි විමසා බලන්නෙකුට හමුවන්නේ සුනඛ වසුරු ස්වල්පයක දැවටී තිබෙන පොල් ටොෆියකි. පොල් ටොෆිය අපතේ යවන්නට අපහසු අයෙකු වසුරු සෝදා පොල් ටොෆියේ රස බැලූවාට වරදක් කිව නොහැකිය. එහෙත් එබඳු පොල් ටොෆි වලට සාහිත්‍ය ළැදි පාඨකයා ආකර්ෂණය කර ගැනීමට තැත් දැරිම හා එ්වාට උඩගෙඩි දීම නම් අර්ථ ගැන්විය යුත්තේ සාහිත්‍ය ත්‍රස්තවාදය ලෙසය.

  මෙසේ සඳහන් කරන්නේ නදීකා බණ්ඩාරගේ ලේඛන  කුසලතාවය හෙළා දකිමින් හෝ අවප්‍රමාණ කරමින් නොවේ. පාඨකයා ග්‍රහණයට ගැනීමේ සමත්කම “පාමුලට" ඇතත් එම ග්‍රහණයෙන් ජනනය වන රසය සැබෑ ජීවිතබෝධයක් සඳහා පාඨකයා ඔසවා තබයිද?

දඩබිබර මුරණ්ඩු කිව්වා නාහන උඩබිම නොබලන හිතමතේට තීන්දු තීරණ ගන්නා චරිතයකට මේ විලම්භිත සමාජයේ අත්වන ඉරණම සාහිතයනුරූපිව විදාරණය වීමත් පාමුල තුළ ගන මීදුමෙන් වැසුණු පරිසරයක අපහැදිලි ඡායාවක් මෙන් දිස්වෙතත් එම ඡායාව පවා සාහිත්‍ය ශිකෂණයෙන් බැහැරව ඇත.

 නාට්‍ය කලාව අද දවසේ පත්ව ඇති ශෝචනීය තත්ත්වය මතුකරලීම පාමුල තුළින් සිදුවන අතුරුපලයකි. අනෝලිගෙන් අනාවරණය වන පරිදි ගස් ගල් යට පවා පවත්වන නාට්‍ය වැඩමුලූවලින් ගතයුත්තක් නැත.නාට්‍ය කලාවට ඉන් අත්වන සෙතක් නැත. නාට්‍ය කල්ලි කණ්ඩායම් එකිනෙක පසමිතුරුය.

  අනෝලිගේ ජීවන චක්‍රයේ දී හමුවන සියල්ලෝම පාහේ නව ලිබරල් කුණු කන්දේ ඉහඳ පණුවෝය. පෞද්ගලික න්‍යාය පත්‍ර විනා ඔවුනට අන් කිසිවක් නැත. මේ කුණු කන්දට අනෝලි කැඳවන්නේ ඇයගේ සරසවි මිත්‍රයා වු කබරයාය. ඔහුටම ගැළපෙන අපුරු නම කබරයා  යනු සියලූ කුණු කන්දල් කා දමන සතෙක් නොවැ. තමන් කියවා අවසන් කළේ නිල් චිත්‍රපටියක කෙටුම්පතක් දැයි දියෝනිස් දෙවෙල පාමුල සිට කියැවු පාඨකයෙකුට හැඟුණහොත් එය සාහිත්‍යයේ වරදක් විය නොහැක.

   සාහිත්‍ය ප්‍රබන්ධකරණයට පිවිසෙන නවකයන් තුළ ප්‍රබන්ධකරණයට උචිත රමණිය භාෂා “රටාවන් පිළිබඳව හෝ භාෂා භාවිතය පිළිබඳ කිසිදු විවාදයක් තිබිය නොහැක එම දිනපොත සාහිත්‍ය කෘතියක් සේ පාඨකයා හමුවට ඉදිරිපත් වන්නේ නම් දිනපොත පොදු අනුහුතියක් බවට පරිවර්තනය වීම මැනවි.

 නිවෙසට යාබදව අල්ලා සකස් කරන ලද අලූත් කාමරයට ඉක්මනින් අක්කා බඩු ඇඳගෙන පදිංචියට ගියාය.
                                         
දියෝනිස් දෙවොල පාමුල සිට / 238 පිටුව

  සමස්ත ප්‍රබන්ධයම පිරී තිබෙන්නේ මෙබඳු වාක්‍ය රටාවලින්ය මෙම වාක්‍ය එක්තැන් වීමෙන් ජනනය වන්නේ සාහිත්‍ය රසයදැයි කල්පනා කර බලන්නට විනයක් ඉවසිමක් තිබිය හැක්කේ විචාරශිලි පාඨකයාට මිස නවකතා වලින් කිසිවෙකු භාෂාව දැනහඳුනා නොගනිතියි පණ්ඩිත බස් වහරන මුග්ධයින්ට නොවේ.

  නදීකා බණ්ඩාරගේ ප්‍රබන්ධයෙහි අනාගත පැවැත්ම තීරණය වනු ඇත්තේ සාහිත්‍යමය ශික්ෂණයෙන් යුතු කැපවීමකය. එසේ නොමැතිව වළං කඩයකට අනාරාධිතව පැමිණියෙකු ලෙස හැසිරීමෙන් සාහිත්‍ය කලාවට කළ හැකි සේවාවක් නොමැත.

                                                           ප්‍රේමතිලක පේරුකන්ද -2015- 03- 08- මව්බිම 

No comments:

Post a Comment