නදීකා බණ්ඩාරගේ ‘තෙත් භූමි’ මම දෙවතාවක් නැරඹුවෙමි. එම දෙවතාවේම, අවසානයේ දී මට මතක් වූයේ විමුක්ති කොටි ව්‍යපාරය වේ. ශ්‍රී ලංකා විමුක්ති කොටි ව්‍යාපාරය අදටත්, සිංහල අධිපති කතිකාවත විසින් හඳුනාගනු ලබන්නේ, ‘මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කණඩායමක්’ ලෙසය. එහෙත්, සිංහල අධිපති කතිකාවත කිසිදිනක, මරාගෙන මැරෙන ව්‍යාපාරයේ ඇරඹුම කොතනද කියා හඳුන්වා නොදේ. මරාගෙන මැරෙන ව්‍යාපාර පැරෂුට් ලෙස පාත් නොවේ. එම ව්‍යාපාරයන්හි මූලබීජ වපුරන්නේ, පවතින සමාජ බල පීඩනයන්ට එදිරිව විරෝධය ප්‍රකාශ කිරීමය. මූලික ලෙසම, 1948 පුරවැසි පනත, 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂාව සිංහල පමණක් කිරීමේ පනත, අන්තර් යටත් විජිතකරණ ප්‍රතිපත්ති ලෙස, ගල්ඔය වැනි දකුණේ ජනතාව උතුරේ පදිංචි කිරීම වැනි රාජ්‍ය ක්‍රියාමාර්ග, 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත සහ අනෙකුත් ආකාරයේ, දෙමළා දකුණේ සමාජයෙන් පිටුවහල් කිරීමේ ක්‍රියාදාමයන් හේතුවෙන්, ඔවුන්, තමාගේ උතුරේ නිජභූමිය තුළ, දෙමළ අනන්‍යතාව සුරක්ෂණය වන රාජ්‍යයක් ඇතිකරගැනීම උදෙසා, ප්‍රථමයෙන් ප්‍රජාතන්ත්‍රවාදීවද පසුව මරාගෙන මැරීමටද ක්‍රියා කළ බව අමතක නොකළ යුතුය. දෙමළාගේ ඉලක්කය වූයේ ‘වෙනමම රාජ්‍යයකි’. වෙනමම රාජ්‍යයක් වෙත ප්‍රවේශ වීමට පෙර, දකුණේ සිංහල - බෞද්ධ රාජ්‍යය තුළ, තමා වෙනුවෙන් වන දේශපාලන පිළිගැනීම සහ සාධාරණ විභාජනය ඉල්ලා සිටි විට, සිදුවූයේ දෙමළාව, ප්‍රචණ්ඩත්වය හරහා මර්ධනය කිරීමය. දෙමළා සිංහල සමාජයෙන් පිටුවහල් කිරීම හේතුවෙන්, සිංහල- බෞද්ධ අධිපති දේශපාලන ධාරාවෙන් ඉවත්ව, ඔවුන් වෙනමම රාජ්‍යයක් ඉල්ලා සිටින ලදී. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රකාශන උපුටා දක්වමින්, LTTE හි දේශපාලන නායිකා, තමිලිනි පෙන්වා දුන් කරුණ නම්, “වෙනමම රාජ්‍යයක් බිහිකිරීම මගින්, දෙමළා වෙත, සමාජ, දේශපාලනික සහ ආර්ථික නිදහස සහ සාධාරණත්වය හිමිවනු ඇතැයි, ඔවුන් විශ්වාස කළ බවය.” (තමිලිනි ජයකුමාරන්, 2016, තියුණු අසිපතක සෙවන යට).
Nancy Fraser, Lacanian කතිකාව අනුගමනය කරමින් ප්‍රකාශ කරනුයේ “ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ එකී සම්බන්ධතා සංකල්පය වෙනුවට, ලිංගික විභේදනය” ලෙස යොදාගැනීම වඩාත් යෝග්‍ය බවය ( Nancy Fraser, 2013, Fortunes of Feminism (From State- Managed Capitalism to Neo-liberal Crisis ). ස්ත්‍රී පුරුෂ සමාජභාවය මගින් සිදුවන්නේ, පුරුෂ මූලික අධිපති කතිකාවත තුළ ස්ත්‍රිය දෙවන පෙළ පුරවැසියකු ලෙස ස්ථාන ගත කර, ඇයව පුරුෂ මූලික ආකෘතියට යටත්ව, සවිබල ගැන්වීමට ලක්කිරීමය. මෙහි ප්‍රතිඵලය නම් ස්ත්‍රිය නැවතත් පුරුෂ මූලික සමාජයේ වස්තුවක් ලෙස ප්‍රතිනිර්මාණය වීමය. ඇයගේ ආඛයානය, නිදහස, දේශපාලනික පිළිගැනීම, අනන්‍යතාවය සහ සම්පත් විභජනය එම වස්තුකරණයට සාපේක්ෂව තීරණය වීමය. මෙයින් මිදිය හැකි එකම මාර්ගය නම් ස්ත්‍රිය වස්තුවක් ලෙස ප්‍රතිනිෂ්පාදනය කිරීමේ ස්ත්‍රී- පුරුෂ සමාජභාවයට එදිරිව විරෝධය පාමින්, එම පුරුෂ මූලික ප්‍රධාන ධාරාවෙන් ඉවත්ව ගොස් ස්ත්‍රී අනන්‍යතාවය ස්ථාන ගත කරන ස්ත්‍රීවාදී ව්‍යාපාරයක් ඇරඹීමය.
LTTE මාලති, තමිලිනි මෙන්ම නදීකා ද ප්‍රකාශ කරනුයේ මෙම ‘බෙදී වෙන්ව යාමය’. LTTE මාලති, තමිලිනි සහ ‘නිදහසේ කිරිල්ලියන්’ ඉල්ලා සිටියේ දෙමළා වෙනුවෙන් වූ වෙනම රාජ්‍යයක, නිදහස සහ සාධාරණත්වය සපුරා ගැනීමය. එහෙත්, නිරෝමි ද සොයිසාගේ Tamil Tigress (My story as a child solider in Sri Lanka’s blood civil war (2012) හි පෙනී යන්නේ වෙන්වූ දෙමළ රාජ්‍යයක් තුළද, ස්ත්‍රිය ස්ත්‍රියක් ලෙස පිළිගනීවිද යන උභතෝකෝටිකය පැවතුන බවය. කෙසේ නමුත්, අවම වශයෙන්, දෙමළ වීම හේතුවෙන් ස්ත්‍රිය වෙනස්කර සැලකීම නොපවතිනු ඇතැයි විමුක්ති කොටි ස්ත්‍රීන් විශ්වාස කළ බව පෙනී යයි. මෙම සියල්ල නදීකා බණ්ඩාරගේ, ‘තෙත්භූමි’ සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?
‘තෙත්භූමි’ ආරම්භ වන්නේ, ස්ත්‍රීන් දෙදෙනෙකු සිප වැළඳ ගැනීමේ දර්ශනයකිනි. එනම්, ඔවුනොවුන් කෙරෙහි වූ ප්‍රේමයෙන්, ස්ත්‍රීන් සතුටින් ස්වාභාවික තත්වය යටතේ ජිවත් විය. නමුත්, එම ප්‍රේමය සහ සතුට පුරුෂ ලිංගික බලය සහිත පුරුෂයා මෙන්ම, එම බලයේ වින්දිතයන් වන ස්ත්‍රීලිංගිකයන්ද විසින්, යථෝක්ත ස්වභාවිකත්වය මරා දමමින්, පුරුෂ මූලික සංස්කෘතිකකරණය වෙනුවෙන් ස්ත්‍රීන් වෙන්කර ඔවුන්ගේ ප්‍රේමය මරා දමයි. එසේ වින්දිතයන් බවට පත් කරන ස්ත්‍රිය, විවාහය නමැති බැදීම මඟින්, ගෘහස්ථ අවකාශයේ කිසිදු ගෙවීමක් නොකරනු ලබන ශ්‍රමිකාවක් බවට පත් කරනු ලැබේ.
මෙහිදී, කිසිදු නිෂ්පාදන මාර්ගයක අයිතියක් නොලද, එහෙත් ශාරීරිකව සහ ලිංගිකව ශ්‍රමිකාවක් වන ස්ත්‍රියගේ ‘ලිංගය’ ඉබි යතුරු දමා වසා එහි පරිශීලන බලය පුරුෂයා පමණක් සතුවීම ‘තෙත් භූමි’ මඟින් තවදුරටත් ප්‍රකාශ වේ. මෙය දෙමළාගේ දේශපාලනය සමඟ සම්බන්ධ කළ හැකිය. දෙමළා මෙරට භූමියට හිමිකමක් සහිත පුරුවසියකු බවත්, ඔවුන්, ප්‍රධාන රාජ්‍යයෙන් මිදී ස්වාධීනව නමුත්, ප්‍රධාන රාජ්‍ය සමඟ සම්බන්ධව සිටි බවත්, පුරා විද්‍යාත්මක සාක්ෂි වේ. නමුත්, දෙමළා පිටස්තරයකු කරමින් පශ්චාත් යටත්විජිත පාලනය මෙරට ක්‍රියාත්මක වූ අතර, අනගාරික ධර්මපාලගේ ආර්ය සිංහල- වංශ ෆැන්ටසියේ සිට උතුරු-දකුණු ප්‍රේමය වෙන් කර පසමිතුරෙකු ගොඩනැගුවේය. එකී පසමිතුරා විසින්, දෙමළා ප්‍රචණ්ඩත්වයට ගොදුරු කර, සිංහල- ජාතික ආර්යත්වය ගොඩ නගා, දෙමළා සිංහල සමාජයට අවශ්‍ය ආකාර වස්තුවක් ලෙස යටත්විජිතකරණයට ලක් කරන ලදී. නදීකා සංකේතීයව පවසන ස්ත්‍රී ලිංගය ඉබි යතුරු දැමීම සිදුවන ලෙසම දෙමළා ගේ නිදහස ද ඉබි යතුරු දමන ලදී.
‘තෙත් භූමි’ හි එක් දර්ශනයක ඉබි යතුරු දමා බැඳ තැබූ ස්ත්‍රිය කළු පාට Tulip මල්ලකට තම ඇඳුම් කැඩුම් අසුරයි. නැවත ඒවා මල්ලෙන් ඉවත් කරයි. නැවත අසුරයි. නදීකා මේ පවසන්නේ බැඳ තබා ඇති ස්ත්‍රිය පිඩාවෙන් මිදී යාම තීරණය කිරීම සහ ඇයම නැවත එම තීරණයට බිය වී පීඩනය පිළිගනු ලබන ආකාරයයි. හෙන්රික් ඉබ්සන් විසින් 1879 දී රචිත Doll House හි නෝරා අවසානයේ දී නිවසේ දොර වසා පිටව යයි ( Henrik Ibsen, 1879, A Doll’s House ). සාකච්ඡාව ඇරඹෙන්නේ එතැනිනි. නෝරා තම ජීවිතය සොයා ගැනීමට ගෘහ අවකාශයෙන් පිටතට පැමිණීමෙනි. නෝරා සේම නදීකාගේ ‘තෙත්භූමි’ හි ගැහැණිය ද තම ගෘහ පීඩනයට විරුද්ධ වෙමින් පිටතට පැමිණීමට උත්සුක වේ. එහෙත් ඇය යන්නේ කොහේද? පිටත පොදු අවකාශයේදී ඇයට ඇය විය හැකිද? ස්ත්‍රියට ලිංගයට පමණක් නොව ශරීරයට නිදහසක්, වරණයක් නොමැති බව නදීකා තව දුරටත් අවධාරණය කරයි.
සියයට 25 ක කෝටාවක් ශ්‍රී ලංකා නියෝජන ක්‍රමය තුළ ස්ත්‍රියට ලැබුණු මේ මොහොතේ ද ඇය දේශපාලනය තුළ ශුද්ධ වස්තුවක් බවට පත්ව තිබෙන අයුරු පාලත් පාලන නියෝජිත්වරියන්ට ‘සුදු සාරි’ ඇන්දවීමට බල කිරීම තුළින් තවදුරටත් තහවුරු වේ. මෙයට ප්‍රථම ද ගැහැණුන්ට ‘සාරි’ ඇන්දවීමට හිටපු කාන්තා කටයුතු ඇමති තිස්ස කරල්ලියද්ද දැඩි උත්සාහයක් ගත්තේය (කාන්තාව සහ මාධ්‍යය සාමූහිකය, 2015, පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය: 2005- 2014 දක්වා ශ්‍රී ලංකාවේ තෝරාගත් හැන්සාඞ් වාර්තාවන්හි සාමාලෝචනයක්). ගැහැණු සුදු සාරි ඇඳීම යනුම,ස්ත්‍රීන් මිනිසුන් ලෙස පිළිනොගෙන ශුද්ධ වස්තූන් බවට පත් කිරීමය. මෙම කරුණ පිරිමි සම්බන්ධයෙන් ද පිළිගත හැකිය. දේශපාලන ආයතන යනු මිනිසුන් ශුද්ධ වස්තුන් බවට පත් කිරීමට පවතින්නේ ද? එසේ වේ නම් එවැනි ආයතන මිනිස් ශ්‍රමයේ වටිනාකමෙන් නඩත්තු විය යුතුද? නදීකාගේ වේදිකා රූප භාවිතා තුළින් පෙන්වා දෙන ප්‍රශ්නය මෙය වේ.
නදීකා ගෘහස්ථ අවකාශයෙන් පිටව යන ස්ත්‍රිය පුරුෂ මූලික සමාජය විසින් පෙළන අකාරය පෙන්වා දෙනු ලබන්නේ දරු ප්‍රසූතිය සිදු කිරීමට රජයේ රෝහල්ගත වන ස්ත්‍රී මනුෂ්‍යයන් දෙදෙනෙකුගේ ආඛ්‍යනයන්ගෙනි. දරු ප්‍රසූත වේදනාවෙන් බැට කන ස්ත්‍රීන්ට විවිධාකාර පෝරම පිරවීමට ලබා දීමත්, ඉන්මතු, ඇයගෙන් ‘දරුවාගේ පියාගේ ලිංගය’(නාමය) පිළිබඳ විමර්ශනය කර දරුවාගේ නෛතික භාවය පරික්ෂා කිරීමේ සම්ප්‍රදායත් මෙරට පුරුෂ මූලික රෝහල් තුළ නිරන්තරයෙන් මුණ ගැසෙන ප්‍රවාද වේ. එවිට ස්ත්‍රියගේ ප්‍රසූත වේදනාව වෙනුවට, පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගය සමඟ එක්වීමේ නීතිමය පසුබිම වෙත අවධානය යොමු කිරීම අශිෂ්ට ක්‍රියාවකි.
වරක් මාගේ මිතුරියක්, ස්වභාවික ගබ්සාවකට බොරැල්ල කාසල් රෝහලේ දී මුහුණ දුනි. “මගේ ස්ත්‍රී ලිංගය වේදනාවෙන් පුපුරු ගහනවා. හැම තැනම ලේ විදිනවා. ලේ බිත්තිවල ගෑවුණා. සාත්තු සේවිකාවක් මට හොඳටම බැන්නා, ලේ රෝහල් බිත්තියේ ගැවුණා කියලා. ඒ මදිවට ආපු ස්ත්‍රී දොස්තරවරිය මගේ මර ලතෝනිය මැද අඬුවක් දැම්මා මගේ වැජයිනා එක මැදින්. මම හොඳටම පණ පිටින් හිටියේ. ඒත් එතුමිය අඬුව දැම්මෙ හරියට හිස් යකඩ බාල්දියක් ලිඳට දමන විදිහට. මම වේදනාවෙන් කෑ ගැහැව්වා. එවිට එතුමිය “මට ඔයත් එක්ක සෙල්ලම් කරන්න වෙලා නැහැ. ඔය කට වහගන්නවා” කීවා. පසුව එතුමිය ආපහු අඬුව ඇදලා ගත්තා. මම වැසිකිලියට ගියා. ඒත් පණ නැහැ. සාත්තු සේවිකාව මගේ නම කියලා කෑ ගහන නිසා අමාරුවෙන් වැසිකිලි පෝච්චියෙන් නැගිටලා වාට්ටුවට ආවා. එවිටම සාත්තු සේවිකාව “කොහෙද යන්නෙ? දොස්තර මහත්තයාට ඔයා ලෑස්ති වෙලා එනකම් බලාගෙන ඉන්න ද කියන්නෙ?” කියලා හරිම අමිහිරිව කෑ ගැසුවා. මෙහෙන් කළලය නැතිවෙලා. එහෙන් රෝහලේ වැඩකරුවෝ කෑගහනවා. සිතට සහ ශරිරියට පුදුම වේදනාවක් මම වින්දෙ. එදා මම තීරණය කරා නැවත දරුවො හදන්නෙ කීයක් හරි හම්බ කරලා පෞද්ගලික රෝහලකට යන්න පුළුවන් වුන දාටයි කියලා.”
ඇය කියූ කතාව මා හට නැවත මතක් කර දුන්නේ නදීකාගේ ‘තෙත් භූමි’ය. රජයේ රෝහල් යනු මහජන මුදලින් නඩත්තු වන ආයතන වේ. එම ආයතනයන්හි සිටින ස්ත්‍රී සහ පුරුෂ වෛද්‍ය ශ්‍රමිකයන් යනු මහජන අවශ්‍යතා ඉටු කිරීමට සිටින කණ්ඩායමක් මිස ‘සර්වබලධාරී දෙවියන්’ නොවේ. එම වෛද්‍ය ශ්‍රමිකයන් විශ්ව විද්‍යාල තුළ යම් දැනුමක් ලබා දී පුහුණු කළ කණ්ඩායමක් පමණි. එසේම වෛද්‍ය නොවන අන් රෝහල් ශ්‍රමිකයන් ද ඇත්තේ මහජන මුදලින් නඩත්තු වෙමින් අවශ්‍ය සේවා සැපයීමටය. මගේ මව මහනුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විට ඇයගේ මුහුණ සෝදා පිරිසිදු කිරීමට පෞද්ගලික සේවිකාවක නවතා තබන ලෙස මා හට රෝහල් හෙදියන් විසින් පවතින නීතියට විරුද්ධව උපදෙස් දුනි. ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ රෝහල් හෙදියන් සහ සාත්තු සේවිකාවන් විසින් රෝගීන්ගේ අවශ්‍යතා ඉටු කළ යුතුය. ඒ වෙනුවෙන් පෞද්ගලික සේවා සපයාගත යුතු නම් මෙවැනි හෙදි සහ සාත්තු සේවා ශ්‍රමිකයන් නඩත්තුව වෙනුවෙන් මහජන මුදල් යොදාගත යුතු නොවේ. එසේම ස්ත්‍රියගේ ප්‍රසව වේදනාව නොසලකා හැරීමේ දෘෂ්ටිවාදය ගොඩ නැගෙන්නේ ස්ත්‍රිය වස්තුවක් ලෙස සලකන ආකෘතිකරණය හේතුවෙනි.
දරුවා සමඟම ස්ත්‍රියට ‘අම්මා’ යන අනන්‍යතාවක් ද සමාජය විසින් බලහත්කාරයෙන් ආරෝපණය කරයි. මෙම අනන්‍යතාව විසින් ස්ත්‍රිය මනුෂ්‍යයකු ලෙස සැලකීම තවදුරටත් ඉවත් කරනු ලබයි. ස්ත්‍රිය, ගෙදර බුදුන් ලෙස සලකනු ලබන නමුත් ඇයට පොදු අවකාශය තුළදී බුදුවීමට නොහැකි බවට උභතෝකෝටිකයක් ගොඩනගන්නේද මෙම අනන්‍යතාව ගොඩ නැගීමේ බලය සහිත ආයතනමය.
නදීකා තම රචනය තුළදී පිරිමි ගැහැණුන් වෙත දක්වන ආදරය ද ප්‍රශ්න කරයි. මාගේ වැඩසගයකු වරක් කාර්යාලීය අවශ්‍යතාවක් හේතුවෙන් අම්පාර වෙත යාම ප්‍රතික්ෂේප කළේ ඇයගේ ආදරවන්තයාගේ ආදර බස් හේතුවෙනි. “අනේ එයා මට ආදරේ නිසානෙ යන්න එපා කියන්නෙ. එයාට බයයි මා ගැන. මම එහෙ ගිහින් ඉන්න ඕනෙ හෝටලයක. එයා කියනවා මට මුකුත් වුනොත් කොහොමද එක පාරටම එහෙට එන්නෙ කියලා. මට එයා ඇත්තටම ආදරෙයි. මා ගැන රැකවරණයක් සැපයීමේ වගකීම තියන නිසානේ එයා එහෙම කියන්නෙ” යැයි මා සමඟ පැවසීය. පිරිමි ආදරය තුළ තමා වෙත ‘ස්ත්‍රී රැකවරණ භූමිකාව’ ආරූඪ කර ගනී. එයින් පසු ස්ත්‍රිය ආදරය නාමයෙන් පාලනයට ලක් කරයි. නදීකා පවසන්නේ එය ආදරය නොව පුරුෂ මූලික බල අධිකාරිත්වය, ස්ත්‍රිය පාලනයට යටත් කිරීම සහ ඇයගේ නිදහස සිමාකර ඉබි යතුරු දැමීම බවය. අනෙක් අතට පිරිමියා ආදරවන්තයකු වීම යනු රැකවලෙකු බවට පත්වීම නොවන බවද වටහා ගත යුතුය. එසේම ආදරය නාමයෙන් ස්ත්‍රියගේ නිදහස සීමා කරමින් ඇයව තම පාලනය යටතේ තබා ගැනීමට යොමුවීමද සිංහල - බෞද්ධ දකුණේ ආණ්ඩුව දෙමළා සමඟ සාම සාකච්ජාවලට පිවිසීම හා සමවේ.
විවිධ වට යටතේ විවිධ ආණ්ඩු විමුක්ති කොටි සමඟ සාම සාකච්ඡාවලට එලඹුණි. එම සියලු සාකච්ඡා, සාධනීය ප්‍රගතියක් නොපෙන්නා අවසන් විය. මක්නිසාද යත් සිංහල- බෞද්ධ ආණ්ඩු ‘අපි රට බෙදනවාට බයයි, නමුත් අපි ඔබට ආදරෙයි’ යනුවෙන් පවසා දෙමළාව පාලනය කිරීමේ මාර්ග සෙවුවේය, මෙම ආණ්ඩුම 2006 සිට බර අවි මගින් උතුරට පහරදී එය මානුෂීය මෙහෙයුමක් බවත්, එය ජනතාව ආරක්ෂා කිරීමට සිදු කළ බවත් ප්‍රකාශ කළේ මාගේ මිතුරියගේ ආදරවන්තයා ලෙසමය.
සමස්තයක් ලෙස නදීකා බණ්ඩාරගේ ‘තෙත්භූමි’ ස්ත්‍රියගේ ගැටළුව තවදුරටත් බබාකරණයට ලඝු නොකළ යුතු බව පෙන්වා දෙයි. ‘තෙත්භූමි’ හි සමස්ථ ආඛ්‍යානයම දිව යන්නේ රැඟුම්කරුවන්ගේ විවිධ ශෛලීය භාවිතයෙන් පමණි. වේදිකා අලංකරණයන් එහි නොවේ. එම අලංකාර නොමැතිබවම නාට්‍යය මගින් අපගේ දෛනික ජීවිතය පිළිබිඹු කරයි. අනෙක් අතට නාට්‍යය වෙනුවෙන් ප්‍රාග්ධනය සපයා ගැනීමේ අරගලයද පෙන්වා දෙයි. “එමා නාට්‍යයේ රෙදිවලට ගුරු පාට ගෙනාවෙ මඩවල පොඟවලා. මොකද අපිට දුඹුරු පාට රෙදි තීන්ත ගන්න සල්ලි තිබුනේ නැහැ” යැයි නදීකා පවසන්නේ මේ හේතුවෙනි. නදීකාට ප්‍රාග්ධනය අහිමිවන්නේ ද ඇය කාන්තාවක් වීම හේතුවෙනි. අවසාන වශයෙන් කිව හැක්කේ:
‘ඔව්, අපි ප්‍රධාන පුරුෂ මූලික ධාරාවෙන් වෙන්ව ගොස් ස්ත්‍රීන්ගේ හඬ සහ අවකාශය ගොඩනගමු. ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු.’
අරුණි සමරකෝන්