Sunday, June 10, 2018

සොක්‍රටීස්ට ෂෙන්තිප්පේ සමග තිබුනේ ආදර සම්බන්ධයක්ද?





විසේකාරියෝ ගැන කියවීමක්



ප්‍රියංකර රත්නායක විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රීක නාට්‍යයක් වන විසේකාරියෝ (ඇරිස්ටොපානිස්ගේ ලයිසිස්ට්‍රාටා) නාට්‍යය යුද්ධය සහ සාමය පිළිබඳ නාට්‍යකට ලඝු කළ නොහැක. එහි ඊට වඩා යමක් ඇත. එහෙත් එම ඊට වඩා වැඩි දේ ඇත්තේ නාට්‍යය තුළ සිට බැලූ විට නොවේ. 

මතුපිටින් එහි කැරලිකාරියක් ඉන්නවා... සාමය ගැන කතාවක්... ඉතා ශූර රඟපෑමක් හර්ෂිකා රත්නායක ඇතුළු නළු නිළියන් විසින් ඉදිරිපත් කරනු ලබනවා. කෙසේ නමුත් මෙහි ඇති සුවිශේෂීතම දේ වන්නේ නාට්‍යයෙන් “පිටත” බලන්නට මෙම නාට්‍ය නිෂ්පාදනය අපව පොලඹවනු ලැබුමයි. මේ ලිපිය එම “පිටත” ගැන කියවීමක්.”

පුද්ගලයන් දෙන්නෙක් අතර ආදර සබඳතාවයක් තිබෙනවා කියන එකේ තේරුම වෙන්නෙ ඒ ගොල්ල අතර භාෂාවක් වැඩ කරන බවයි. එහෙම නැතිව ඒගොල්ලන්ට ලිංගේන්ද්‍රියන් තිබුණ පලියට එතැන ආලය නිෂ්පාදනය  වෙන්නෙ නෑ.  අපි අතර අද තිබෙන ඓතිහාසික විෂම ලිංගික සබඳතාවය නිර්මාණය කරන්නෙ රාජ්‍යය. ඒ  මිසක් ඒක ප්‍රේමයේ නිෂ්පාදනයක් නෙමෙයි. හරියටම ඉස්කෝල, විශ්ව විද්‍යාල, හිරගෙවල්, පොලීසි නිපදෙව්වා වගේම තමයි. මේක සම්ූර්ණයෙන්ම ගැහැනු සතෙකු සහ පිරිමි සතෙකු අතර තිබෙන ස්වභාවික ලිංගික සබඳතාවයකින් වෙනස්. එතැනදී ඒ සත්තු දෙන්නම දෘෂ්ටිවාදාත්මකව නිදහස්. සත්තු හැසිරෙන්නෙ ස්වභාව ධර්මයේ යම් පෙළඹවීමකට යටත්ව. නමුත් මනුෂ්‍යයා සහ ලිංගික චර්යාව අතර තිබෙනවා හිඩැසක්. ඒ හිඩැස ඇතුළෙ තියෙන්නෙ සංකල්ප. භාෂාව. ලිංගික චර්යාවකට ශරීරය විතරක් නෙමෙයි තියෙන්නෙ. එතැන මැද පාර භෞතික සංකල්පයන් වැඩ කරනවා. 

ගැහැනිය සංසර්ගයට හීලෑ කිරීම

භෞතික සංසර්ගයක පැවතිය හැකි සියලු ප්‍රතිවිරෝධතා ඉවත් කොට එම භෞතික චර්යාව මත ගොඩ නැගූ පාර භෞතිකය වූයේ එය අතිශය මනරම් පහසු දෙයක් ලෙසයි. පුරුෂ ලිංගයක් යෝනියක තුනී පටක තුළින් ගමන් කරන විටක එහි ඉරීම්, සීරීම්, තුවාල ඇති වන බව පවා කියන්නට කිසිම ගැහැනියක් ඉදිරිපත් නොවූයේ පුරුෂ පාරභෞතිකයන් නිපදවීම තුළයි. උදාහරණයක් ලෙස වේගයෙන් සංසර්ගයේ යෙදෙන විට ගැහැනිය සුරතාන්තයට පත් වෙන බවටත් ඔවුන් පරිකල්පනයන් ගොඩ නැගුවා. හැබැයි ඒ පරිකල්පනයේ කොතැනකවත් යෝනිය තුවාල වීමටද ඉඩකඩක් පවතින බවත්, තුවාල වීමෙන් පසුව පැන නගින්නේ පරපීඩක ආශ්වාදයක් බවත් ඔවුන්ට මෙනෙහි වුනේ නෑ. තුවාල විඳ දරාගෙන තමයි ගැහැනිය සංසර්ගයට පුහුණු වෙන්නෙ. මේක ලිංගික ක්‍රියාවලියක තිබිය හැකි සියලු දුෂ්කරතා ඉවත් කිරීමක්. හැම විටම ගැහැනිය සිටින්නෙ ලිංගික අවශ්‍යතාවයකය යන්නත් එකීම පරිකල්පනයේ කොටසක්. ගැහැනියට භාෂාව නිපදවන්න අවසරයක් තිබුනේ නැති හින්දා ඇගේ ස්වයං පීඩක කාමුක චර්යාව ඇගේ දෛනික ජිවන විලාසිතාව උනා.  අන්න එහෙම තමයි ගැහැනිය ස්වපීඩක කාමුකයෙක් බවට ඉතිහාසය ඇයව වර්ධනය කරනු ලැබුවේ. පිරිමියා පරපීඩක කාමුකයෙක් විදිහට ඉතිහාසය සම්පූර්ණ බලය ඔහුට ලබා දෙන විට ගැහැනිය ස්වපීඩක කමුකයෙක් ලෙස පැවත ආවා. හේරා සහ සියුස් අතර සංසර්ගය සම්බන්ධයෙන් ඇති වූ තීරණාත්මක සංවාදයේදී තිරේසිස් භාවිතා කර සියුස් ජය ගනු ලබන්නේ මෙම පුරුෂ පාරභෞතික සංකල්පයන් ඉස්සරහට ගෙනල්ලා.

අපි නිකමට හෝ අහනවාද ගැහැනුන් දාර්ශනිකයන් නොවූයේ ඇයි කියලා. ග්‍රීසිය කියන්නේ පුරුෂ දාර්ශනිකයන් බිහි කරපු බල ප්‍රදේශයක්. අපි නිකමටවත් අහනවද ග්‍රීසියේ ගැහැනු නාට්‍යකාරියන් නැත්තෙ ඇයි කියලා.

“හීතිම” සහ “සංකල්ප” ගොඩ නැගීමේ බලය තිබුනේ පුරුෂයාට. “හීතීම” ගැහැනියට අයත් වූ විෂයයක් නොවෙයි. ග්‍රීසියේ ගැහැනියගේ කාර්යභාරය වුනේ රෙදි විවීම, ගෙතීම සහ කකුල් පළල් කිරීම. කකුල් පළල් කිරීමට ඔවුන් හීලෑ කර තිබුනා. ඔවුන් නිකම්ම ශරීර විතරයි. එතකොට ගැහැනුන්ට “හීතිම” අයත් නොවන කොට ඔවුන් වෙනුවෙන් “හිතීම” කරේ පිරිමි. පිරිමි දාර්ශනිකයෝ. තීරණ ගත්තෙ පිරිමි. ගැහැනිය ගැන සංකල්ප නිපදවූයේ පිරිමි මිසක් ගැහැනු නෙමෙයි. එතකොට මේ භාෂාව තුළ සැබෑ ඇය නෑ. තියෙන්නෙ පිරිමි පාර භෞතිකයන් ටිකක් විතරයි.

සොක්‍රටීස්ට ෂෙන්තිප්පේ සමග තිබුනේ ආදර සම්බන්ධයක්ද?
නැහැ. කිසිසේත්ම “හීතීම” නැති, භාෂාව නිපදවන්න අයිතියක් නැති කෙනෙක් සමග ආදර සම්බන්ධයක් ගොඩ නැගෙන්ඩ බෑ. එතැන අනිවාර්යයෙන් බිහි වෙන්නෙ යටත් වැසියෙක්. අපි දන්නවා ෂෙන්තිප්පේ සොක්‍රටීස් සමග රණ්ඩු කරපු බව. ඇයි ෂෙන්තිප්පේ රණඩු කරේ? ෂෙන්තිප්පේ නපුරු හින්දද ? නෑ. ඇය දන්නවා ඇය සොක්‍රටීස් ඉදිරිපිට ශරීරයක් විතරයි. ඇගේ ශරීරයට ශුක්‍රාණු පිටකරන සොක්‍රටීස් ඊට පස්සෙ ඇගැතන්ගේ ගෙදර ගිහිල්ලා සිම්පෝසියම් එකට සහභාගී වෙනවා. සංකල්ප නිපදවනවා. කථා කරනවා. මධු සාදයේදී ඔවුන් එළිවනතුරු, රෑ වන තුරු දාර්ශනික ප්‍රශ්න වග විභාගයට ගන්නවා. කොටින්ම ඔහු භාෂාව නිපදවනවා... පිරිමි පිරිමි එකතු වෙලා හිතීම තුළින් මානසික ආලිංගනයකට ඇතුල් වෙනවා. පිරිමි පිරිමි ප්‍රේමයෙන් බැඳෙනවා. මේ ඔක්කොමට පස්සෙ ඔහු ගෙදර යනවා. මේකට ඕන, එහෙමත් නැත්නම් පිරිමි - පිරිමි ආදර සම්බන්ධයට ඕන කරන ලිංගික ශ්‍රමය සොක්‍රටීස්ට ලබා දෙන්නෙ කවුද? ඒක තමයි පුරුෂ මූලික රාජ්‍යය. රාජ්‍යය පවත්වාගෙන යෑම සඳහා සංකල්ප නිපදවීම වෙනුවෙන් රාජ්‍යය පෙරළා පිරිමියාට ලබා දෙන සතුට වරප්‍රසාදය මොකද්ද? ගැහැනියගේ හීලෑ කරපු ශරීරය.  සොක්‍රටීස්ට රාජ්‍යය විසින් හීලෑ කරපු ෂෙන්තිප්පේගේ සිරුර ලබා දෙනවා. 
මේ කාරණය ගැන යම් සවිඥාණික අවබෝධයක් තිබුණ නාට්‍යකරුවෙක් තමයි ඇරිස්ටොපානිස්. ලයිසිස්ට්‍රාටා සහ ගැහැනු පාර්ලිමේන්තුව යන කෘතීන් දෙකේම ඔහු මේ ගැන තමයි කතා කරන්නෙ. ඔහු හිනා වෙන්නෙ රාජ්‍යයේ මෙන්න මේ විහිලුවට. ඔහු පුරුෂයාගේ මුග්ධකමට හිනා වෙනවා. ගැහැනියගේ හීලෑ කරපු ශරීරයෙන් පැන නගින අතිරික්ත ප්‍රමෝදය තමයි පුරුෂ මූලික සමාජය ගොඩ නගන්නෙ. ඔහු පෙන්නන්නේ මෙන්න මේ අතිරික්ත ප්‍රමෝදය. මේක ආකාර දෙකකට රාජ්‍යය ගොඩ නගනවා. යුද්ධයේ ආදිකාලිකම එක් රහසක් තමයි ප්‍රතිවාදියාගෙ ගැහැනිය අයත් කර ගැනීම. ආක්‍රමණිකයාගේ ගැඹුරු සතුට වුනේ ඒක. යුද්දෙට යන රණකාමීන්ට ලැබෙන වරප්‍රසාදයක් මේක. බලහත්කාරී ලිංගික සංසර්ගයේ පරපීඩක වින්දනය ඔහුට යුද්ධය ලබා දෙනවා. යුද්ධයේදී රමණය සහ මරණය තියෙන්නෙ එකට. අනෙක් අතට පවුල තුළ ඔහුට සංසර්ගයට හීලෑ කරපු බිරිඳ තුළින් රාජ්‍යයේ සම්මත පරපීඩක සතුට හිමි වෙනවා. ශිෂ්ටාචාරය ගොඩ නැගීම සඳහා ස්ත්‍රියක් සිය ශරීරයෙන් ගෙවූ මිල පැහැදිලියි. පුරුෂයාගේ හිතීිමට ගැහැනිය හසුවුනේ ශරීරය විදිහට. ඔහු ඇගේ ශරීරය සංකල්ප ගත කරනු ලැබුවා. මේ සංකල්ප ගත කිරීම ඇතුලේ ගැහැනිය සහ පිරිමියා අතර සම්බන්ධතාවයේ සංකල්පීය පදනම තමයි පිරිමියෙක් පිරිමියෙක් වීමට ගැහැනිය සමග සංසර්ගයේ යෙදිය යුතු බව. පොන්නයා යන වචනය ඇහෙන කොට පිරිමි කිලිපොලා යන්නෙ අන්න ඒ හින්දා. ගැහැනියකට “කිරීමයි” පිරිමිකමයි අතර භාෂාව ගොඩ නැගෙනවා. පොන්නයෙක් නොවී ඉන්න නම් ගෑනියෙක්ට “කරන්ඩ” ඕන. පොන්නයෙක් නොවීම යනු ගැහැනියගේ හීලෑ කරපු ශරීරයක් ඔහු සතු බවයි. පිරිමියෙක්ට සංසර්ගයට හීලෑ කරපු ගැහැනු අවශ්‍ය වෙන්නෙ  ලිංගික තෘප්තිය වෙනුවෙන් විතරක් නෙමෙයි. ඒක පිරිමිකම බවට පත් වුනාම ඒ පිරිමිකම ඉස්කෝල, විශ්වවිද්‍යාල, හිරගෙවල්, පොලීසි, උසාවි නිපදවනවා.  ශිෂ්ටාචාරය නිපදවීමට  ස්ත්‍රිය දීපු ඓතිහාසික දායකත්වය තමයි ඇගේ සිරුර. “ලිංගිකත්වය” සත්ව රාජධානියෙන් එළියට එන්නෙ එහෙමයි. ඒක ඇතුලේ භාෂාව තියෙනවා. සංකල්ප තියෙනවා. සංඥාවන් තියෙනවා. බලය වැඩ කරනවා. එතකොට ලිංගිකත්වය යනු පිරිමි භාෂාවක්. කිසිම ගැහැනියකට මේ පිරිමි භාෂාව ඇතුළේ “ලිංගික” විමුක්තියක් නෑ. ඒක කවුරු හරි හොයනවා නම් ඒක කෙළවර වෙන්ඩ පුළුවන් ඛේදවාචකවලින් විතරයි. ගැහැනියට ලිංගික විමුක්තිය හිමි වෙන්නෙ ප්‍රති ලිංගික භාෂාවක් නිපදවීමෙන් විතරයි. මේකට ඕනේ ගෑණු “හිතීම”. ගැහැනු තමන්ගේ ලිංගික භාෂාව නිපදවිය යුතුයි. මේකෙන් තමයි ලිංගික බල ධුරාවලියෙන් ඇයට එළියට එන්ඩ පුළුවන් වෙන්නෙ. සමහර අය හිතනවා ගෑනුන්ගේ ලිංගික නිදහස කියන්නෙ පිරිමි ඕනම කෙනෙක් එක්ක නිදා ගන්ඩ තියෙන නිදහස වගේ එකක්. ඒක සේවය කරන්නෙ පිරිමියාගේ ලිංගික භාෂාවට මිසක් ගැහැනියට නෙමෙයි. 

ගැහැනිය නැවත තමාගේ ලිංගිකත්වය සොයා ගත යුතුයි. එය ගවේෂණය කළ යුතුයි. ශරීරය ගවේෂණය කළ යුතුයි. මෙතෙක් අපිට කියලා තියෙන දේවල් ඇත්තද නැත්තද කියලා හොයලා බලන්ඩ ගැහැනියට වෙනවා. ඇගේ ශරීරය ලිංගිකකරණයට ලක් කරනු ලැබූ ඉතිහාසයෙන් ඈ කැඩී වෙන්වීම තමයි ලිංගික නිදහස කියන්නෙ. පැරණි සංසර්ගය අවසන් කරලා අලුතෙන් සංසර්ගය නිපදවන්නෙ කොහොමද කියලා ඇයට සිදු වෙනවා හොයලා බලන්ඩ. 

ඇරිස්ටොපානිස් ගේ “ලයිසිස්ට්‍රාටා” හිතීම පටන් ගන්නවා. ඒත් කෙළවර වෙන්නෙ නැවත හීතිම නවත්තලා. “මේක ගෑනු ගැන නාට්‍යයක් නොවන්නෙ ඒ හින්දයි. ඇත්තටම ඔහුට ඕන වෙන්නෙ ගැහැනුන්ගේ චින්තනය අවදි කරන්ඩ නෙමෙයි. ඒක ඔහුගේ අරමුණ නොවෙයි. ඔහුට ඕන වෙන්නෙ ගැහැනුන්ගේ අතිරික්ත ලිංගික ශ්‍රමය ගැන පිරිමින්ටයි, දාර්ශනිකයන්ටයි මතක් කරලා දෙන්ඩ. මේක ගෑනුන්ගේ නාට්‍යයක් වෙන්නෙ එයාලා තමන්ගේ ලිංගික වහල් සේවය ගැන කතා කරන්ඩ පටන් ගත්තා නම්... විසේකාරියෝ ටික පිරිමින්ට සාමය උදා කරලා ආපහු ලිංගික වහල් සේවයටයි, රෙදි වියන්ටයි, ගොතන්ටයි නැවත ගෙවල්වලට යනවා. ගැහැනු පාර්ලිමේන්තුවත් ඒ වගේමයි. ඔහු කතා කරන්නෙ පිරිමින්ට. ඔහු හිනා වෙනවා පිරිමින්ටයි, දාර්ශනිකයන්ටයි. මොකද ඔහු දන්නවා සොක්‍රටීස්ලා සහ ෂෙන්තිප්පේලා අතරේ ඇති සම්බන්ධතාවය.

පිරිමියා රාජ්‍යයේ ගොදුරක් වෙන්නෙ ඔහුව ගැහැනු ශරීරයට ගැට ගැසීමෙන්. පිරිමියා සංසර්ගයට ගැට ගැසීම යනු පිරිමියා පිරිමියෙකු වීමට නම් නියත ලෙස ස්ත්‍රී සංසර්ගයට යායුතුමයි යන්න. පුරුෂ “අතේ ගැහීම” පුරුෂයාට වරදකාරී අත්දැකීමක් ලෙස රාජ්‍යය විසින් නිපදවනු ලැබුවා. ඒ වගේම ගැහැනියගේ  ක්ලිටෝරසයන් කපා දැමුවා. එහෙමත් නැත්නම් එය නොවැදගත් එකක් බවට පත් කරා. ස්ත්‍රිය ස්වයං වින්දනයේ යෙදීම නවතා ලීමත්, ස්ත්‍රියගේ ලිංගික සංතෘප්තියේ ආවේනික ස්වභාවය විනාශ කර දැමීමත් සිදු කරනු ලැබුවේ එහෙමයි. ස්වයං වින්දනය රාජ්‍යයකට කිසිම ඵල ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙමෙයි. ගොඩාක් මුස්ලිම් රටවල තවමත් ක්ලිටෝරසයන් කපනවා. එවිට ගැහැනියට ඇති තරම් වේලාවක් සංසර්ගයේ යෙදිය හැකියි. ඇයට වේදනාවක් දැනෙන්නෙ නෑ. ඒ වගේම සුරතාන්තයත් නෑ. ළමයි වදන කොට වේදනාවක් දැනෙන්නෙ නෑ. ඇති තරම් යෝනිය භාවිතා කිරීමට දීමටත්, ඇති තරම් ළමයි වදන්නටත් ඇයව භාවිතා කරේ එහෙම. 

විසේකාරියෝ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා කෙළින් කරගෙන එන පිරිමින්ගේ ලිගුව අතිශයෝක්තියෙන් නිපදවීම මම කියවන්නෙ පිරිමියා කොයි තරම් ලිංගික ධුරාවලියේ එනම් “පිරිමි ලිංගික භාෂාවේ” ගොදුරක්ද යනුවෙනුයි. එනම් ඔවුන් ගැහැනුන් ඉදිරියේ කොතරම් නින්දාවට පත් වෙනවාද යත් මට නම් හිතුණේ “මුන්ට අතේ ගහන්ඩ බැරිද” කියායි. ඒ වගේම පිරිමින්ගේ ලිගුව නැතිව දඟලන ගැහැනුන් ගැනද ඇත්තේ එම ප්‍රශ්නයමයි. ගැහැනුන්ටත් ඔය ජාතියෙ පිරිමි නැතුව හොඳ නැද්ද ස්වයං වින්දනයේ යෙදීම? ඇත්තෙන්ම තමන්ව ශරීරයක් විදිහට භාවිතා කිරීමට ඉඩදීමට වඩා හොඳයි ස්වයං වින්දනයේ යෙදීම. නමුත් එහෙම නොවන්නේ ඇයි?  පිරිමි ලිගුව නැතිවීම ගැහැනියකට ලිංගික සංතාප්තිය පිළිබඳ ගැටලුවක් නොව තම වහල් සබඳතාවය පිළිබඳ ගැටලුවක්. පිරිමියාට එය බලය පිළිබඳ ගැටලුවක්. ලිංගික අවයව ඇසුරින් වින්දනයක් ලබා ගැනීමට තව කෙනෙක් අවශ්‍යම නැහැ. නමුත් මනුෂ්‍ය සබඳතාවයක් යනු එතැනින් ඔබ්බේ පවතින යමකි. එනම් මනුෂ්‍යයන් දෙදෙනකු එකිනෙකාට ඇලුම් කිරීම තුළින් ශාරීරිකව එක්ව තෘප්තිය ලබා ගැනීම දෙසට ගමන් කල හැකියි. එය හරියටම දෙන්නෙක් එකතු වෙලා තේ බොමින් හෝ බියර් එකක් බොමින් ගත කරන සෑදෑවක් වගෙයි. ඕනෑම නම් ඇලුම් කිරීම මත ශාරීරිකව හෝ මානසිකව ඕනෑ අටමගලයකට මිනිසුන්ට සංසර්ගයට යා හැකියි. නමුත් ලිගු කෙළින් වීමට වඩාම හොඳම පිළිතුර වන්නේ අතේ ගැසීමයි. නමුත් එය එසේ නොවන්නේ ඇයි? නාටකයේ දී  පිරිමි අතේ නොගසා ගැහැනුන් ඉදිරියේ නින්දාවට පත් වන්නේ “ගැහැනියකට කිරීම” පමණක් ඔවුන්ට පුරුෂත්වය උපදවා දෙන නිසයි. ඇරිස්ටොපානිස් නවතනු ලබන්නේ පුරුෂයාගේ ලිංගික තෘප්තිය නොවේ. ගැහැනියකට කිරීමෙන්  පිරිමියෙකු බවට  පත්වන්නේය යන සංසර්ගය මත ගොඩ නගන ලද පාර භෞතික අදහසයි. ඇත්තෙන්ම එය ලිංගික වර්ජනයක් නොව “ගැහැනියකට කිරීම” පිරිමියෙක් වීමය යන ආතල් එක නතර කිරීමයි.  ගැහැනුන් නතර කර ගැනීමට ලයිසිස්ට්‍රාටාට පහසු නොවන්නේද ලිංගික තෘප්තිය පිළිබඳ ගැටලුවක් නිසා නොව කකුල් පළල් කිරීම රාජ්‍යය විසින් ඔවුන්ට ලබා දී ඇති අනන්‍යතාවය නිසාය. වහල් ගැහැනියට ආත්මය යනු ඇගේ ශරීරයයි. ඇගේ ශරීරය පිරිමියෙකුට භාවිතා කිරීමට දුන් විට තමයි ඇය නිපදවන ලද යම් පැවැත්මක කොටසක් වෙන්නෙ. නැතිනම් වහලෙකු ලෙස ඇති ඇගේ පැවැත්ම අහෝසි වෙනු ලබයි. ගැහැනියගේ වහල්භාවය අහෝසි කිරීමට දේශපාලන ව්‍යාපාරයක් ග්‍රීසියේ තිබුනේ නෑ. ඔවුන් කරේ ඒක ගොඩ නගපු එක. එතකොට කකුල් පළල් නොකර ගැහැනියට එහෙම සමාජයක පැවැත්මක් නෑ.

ස්ත්‍රියගේ “හීතිම” පටන් අරන් මහා ලොකු කාලයක් ගිහිල්ලා නෑ. ස්ත්‍රීවාදය යනු ස්ත්‍රීන් ඉතිහාසයේ හිතීම ආරම්භ කරපු ඉතිහාසය. ඒක තමයි ගැහැනුන්ගේ ඉතිහාසය. එතෙක් ඉතිහාසයක් ගැහැනියට නෑ. ඒ ඉතිහාසය කියන්නෙ පිරිමි එකක්. ස්ත්‍රියක් හිතනවා යනුම ඈ (පුරුෂ භාෂවට) රාජ්‍යයට අහියෝග කිරීම. ග්‍රීසිය ස්ත්‍රියගේ ශරීරය මර්ධනය කරා. ග්‍රීසිය විතරක් නෙමෙයි ලෝකෙ කොහෙත් වුනේ ඒ විදිහටම තමයි. ගැහැනිය මර්ධනය කරේ පුරුෂ තෘප්තියට අදාළව ඇගේ චර්යාවන් සංවිධානය කරන්ඩ. වැඩවසම්වාදී සමාජය තුළ තිබුනෙත් ඒකම තමයි. ධනේශ්වරයේදී සිදු වෙමින් යන්නෙත් ඒකම තමයි. ඒ කියන්නෙ මතුපිටින් නිදහස.
ධනේශ්වරය ගැහැනියට ලිංගික නිදහස අරගෙන එන්නෙ නෑ. එය ව්‍යාජයක්. එය කරන්නෙ පුරුෂ ලිංගික භාෂාවේ සංකේත පද්ධතිය වෙනස් කරන එක. වැඩවසම් යුගයේදී සෙක්ස් තිබුනු විදිහට නෙමෙයි අද තියෙන්නෙ. නමුත් ඒක අතිශය පුරුෂ ඉරොටික් එකක්. නිල් චිත්‍රපටි කර්මන්තය අද ලිංගික රූපය නිපදවනවා. මේ පුරුෂ එකක්. ඇතැම් ස්ත්‍රීවාදීන් ගැහැනුන් උදෙසා පෝර්නෝ නිපදවන්න පටන් ගත්තේ ඒ රූපය සමග සම්බන්ධතාවය බිඳ දමමින්. පුරුෂ නිල් සිනමාව විශාල ලිගු, විශාල පුරුෂ ශරීර පිළිබඳ දෘෂ්ටිවාදයන් නිපදවනවා. සංසර්ග කාලය සහ සුරතාන්තය අතර ව්‍යාජ දෘෂ්ටිවාදයන් නිපදවනවා. දිගු වේලාවක් සංසර්ගයේ යෙදීම ගැහැනියගේ සුරතාන්තය සමග කිසිදු සම්බන්ධයක් නැති දෙයක්. නමුත් ගැහැනියගේ ශරීරයේ සැකැස්ම ගැන කිසිදු අවධානයක් නොදෙමින් ඉතාමත් ප්‍රචණ්ඩ ලිංගික රූපයක් ඔවුන් නිපදවනවා. මේක විශාල ප්‍රාග්ධනයක් ආයෝජිත කර්මාන්තයක්. පරපීඩක කාමුක චර්යාවන් උත්කර්ශයට නංවනවා. එම නිළියන් බොහෝ විට ඒවාට සහභාගි වන්නේ විවිධ නිද්‍රාශීලි පෙති, මත්ද්‍රව්‍ය භාවිතා කරමින්. එය ඔවුන්ට විශාල මිලක් ලැබෙන කර්මාන්තයක්. නිල් සිනමාවේදී ගැහැනිය ලිංගික වස්තුවක් ලෙස උත්කර්ශයට නංවනවා. ඔවුන් යෝනි කේන්ද්‍රීය ලිංගික රූපය සකස් කරන්නෙ ගැහැනියකගේ ශාරීරික ලිංගික සුරතාන්තයේ භෞතික සම්බන්ධතාවය වන ක්ලිටෝරසය සම්පූර්ණයෙන්ම අමතක කර දමා. බොහෝ රටවල් ස්ත්‍රියගේ සිරුර ලිංගික වස්තුවක් ලෙස හීලෑ කරනු ලැබුවේ ක්ලිටෝරසය පිළිබඳ සම්පූර්ණ දැනීම යටපත් කොට දමා. එනම් බොහෝ රටවල්වල කුඩා කාලයේදීම ක්ලිටෝරසයන් කපා දැමුවා. කන්‍යාභාවය වැනි පුරුෂ මූලික චාරිත්‍රයන් තුළින් ඇගේ සිරුර ගැන අවධානය ඇයට නැති කර දැමුවා. මෙම දේම නිල් චිත්‍රපටය තුළ විශාල ප්‍රාග්ධනයක් යොදවමින් සිදු කරනු ලබනවා. මෙම යුගයේ රාජ්‍යයේ පැවැත්මට විශාලම සේවාවක් කරන්නෙ නිල් චිත්‍රපටයි. 
ධනේශ්වරය කරේ ශිෂ්ටාචාරයේ පැවැත්ම වෙනුවෙන් ගැහැනිය ගෙවූ ශාරීරික වන්දිය නැවත ප්‍රති නිෂ්පාදනය කරපු එක. ඒක අහෝසි කරපු එක නෙමෙයි. ඒ හින්දා ධනේශ්වරයේ ලිංගික නිදහස කියන්නෙ ගැහැනියගේ ලිංගික නිදහස නෙමෙයි. පුරුෂයාගේ ලිංගික නිදහස. 

“ජෙන්ඩර්” සමානාත්වය ඉල්ලා සිටීමෙන් මේක වෙනස් වෙන්නෙ නෑ. ඒක තුළම ඉඳිමින් එහි යම් යම් අයිතීන් තමයි ලැබෙන්නෙ. ස්ත්‍රීවාදය ස්ත්‍රී පුරුෂ සමාජභාවයට වඩා වෙනස් වෙන්නෙ ස්ත්‍රීවාදීන් ගැහැනියගේ භාෂාව නිපදවනව හෙයිනුයි. ස්ත්‍රීවාදය කියන්නෙ බැලූ බැල්මට පුරුෂයාට විරුද්ධ දෙයක් ලෙස පෙනුනද එහි අර්ථය එය නොවෙයි. ස්ත්‍රිය වස්තුවක් ලෙස පවත්වාගෙන යන ඓතිහාසික නිෂ්පාදන සබඳතාවය තමයි ස්ත්‍රීවාදය ප්‍රශ්න කරන්ඩ පටන් ගත්තෙ.  
ග්‍රීසියේ ප්‍රඥාවන්ත පිරිමි පිරිමින්ට ආදරේ කරන අතර ගැහැනුන්ගේ සිරුර භාවිතා කරා. (ලංකාව වගේ රටක පිරිමි තනියම බාර්වලට ගිහිල්ලා පිරිමි - පිරිමි ලව් කරලා ගෙදර එන්නෙ ගැහැනියගේ සිරුර හොයාගෙන.)  ප්‍රති  භාෂාව නිපදවන්න පටන් ගත් (ස්ත්‍රීවාදීන්) ගැහැනු ගැහැනුන් සමග ආදර සබඳතා පැවැත්වූවා. විශේෂයෙන් ස්ත්‍රීවාදයේ දෙවෙනි රැල්ල තුළ ස්ත්‍රී සමකාමීත්වය ඉහළ ගියා. ඒකට හේතුව තමයි භාෂාව. ස්ත්‍රිය ප්‍රති භාෂාවකට ඇතුල් වෙනකොට වෙන දේ තමයි පුරුෂ භාෂාවේ ඉන්න පුරුෂයන් සමග ගනුදෙනු කරන්නට බැරිව යන එක. මොකද පුරුෂ භාෂාවේ ඉන්න පිරිමි රාජ්‍යය විසින් ඔහුට ලබා දීපු වරප්‍රසාදිත තත්වය තුළ ස්ත්‍රිය තබා ගන්නට උත්සාහ කරනවා. ආදර සබඳතාවයකට ලිංගික වෙනස පිළිබඳ කිසිදු ගැටලුවක් නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නවා ලිංගික අවයව ආලය නිපදවනවා කියලා. පැරණි සාහිත්‍යය හිතුවේම ආලය ලිංගික වෙනස විසින් නිපදවනවා කියලා. රාජ්‍යය විසින් නිපදවන ලද විෂම ලිංගික සබඳතාවය ආලය කරා රැගෙන ඒමට නම් විප්ලවීය වෙනසක් අවශ්‍ය වෙනවා. එනම් ආලය නැවත නිපදවිය විය යුතුයි. එනම් රාජ්‍යය විසින් තමන්ට දීපු වරප්‍රසාදය අතහරින්ට පිරිමි ලෑස්ති විය යුතුයි. ගැහැනුන් තමන්ගේ ස්වපීඩක ආත්මයට එරෙහිව කැරලි ගැසිය යුතුයි. එතෙක් පැවතිය හැක්කේ බල සබඳතාවයක් පමණයි. එහි පීඩිතයෙක් සිටීම අනිවාර්යයි. 

ලයිසිස්ට්‍රාටා නාට්‍යය මට සාමය පිළිබඳ නාට්‍යයක් නොවේ. එය රාජ්‍ය විසින් නිපදවන විෂම ලිංගික සබඳතාවය තුළ ස්ත්‍රිය කොහොමද වස්තුවක් විදිහට ඉන්නේ කියන එක පෙන්වනවා. ගැහැනුන්ට විෂම ලිංගිකයේදි ඉන්ඩ පුලුවන් ශරීරයක් විදිහට විතරයි කියන එක මුලු නාට්‍යය පුරාම සංකේතවත් කරනවා. පුරුෂයාගේ සෑබෑ දේශපාලනය උපදීමට නම් රාජ්‍යය විසින් ඔහුට, ඔහුගේ ලිඟුවට සපයා දී ඇති ව්‍යාජ විඥානය අතහැර දැමීමට ඔහු නිර්භීත විය යුතුයි. 

නදීකා බණ්ඩාර.


1 comment:

  1. http://thebigsmoke.com.au/2017/03/11/know-youre-googling-sappho-feminist-trailblazer-ancient-poetess-mystery/

    ReplyDelete