Monday, April 2, 2018

ගණිකාවකට (වේසියකට) ස්ත්‍රීවාදිනියක් විය නොහැකිද?

පත්තිනි අම්මලා වීමට පතන පත්තිනිලාට සහ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ට නොවේ.....


         

ස්ත්‍රීවාදය  පත්තිනි අම්මලාගේ සහ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ ලෝකය තුළ අති භයානක කුමන්ත්‍රණකාරී යක්ෂ ක්‍රියාකාරිත්වයකි. කොඩිවිනයකි.  ස්ත්‍රීවාදය යනු මනුෂ්‍යත්වය පතා වූ ස්ත්‍රියගේ දාර්ශනික සීතිමක් සමග වූ අරගලකාරීත්වයකි. විසංවාදය, සංවාදය, එරෙහි වීම්, මත ගැටුම්, නොඑකඟතා- එකඟතා මේ තුළ විවෘතව ඇත. හයියෙන් කතා කිරීම හෝ වේගයෙන් කතා කිරීම හෝ හෙමින් කතා කිරීම හෝ කෑ ගැසීම තුළ ස්ත්‍රීවාදිනියක්ද නැද්ද යන්න තීරණය කිරීමට යෑම අතිශය විහිළු සහගතය.

එසේම සමහරුන්ට අනුව වේසකම ස්ත්‍රීවාදයට බරපතල ප්‍රශ්නයක් වෙයි.

මට නම් ලුසී ඉරිගරේ තරමටම මතාහාරිද වැදගත්ය. ලුසී ඉරිගරේ තරමටම ආටික් රහම් හෝ අන්දහාසි වැනි වගේ පුරුෂ ලේඛකයන්ද වැදගත්ය. ස්ත්‍රියට එරෙහි පුරුෂවාදය මෙන්ම, ස්ත්‍රියට එරෙහි ඉපැරණි පුරුෂවාදය ගෙන යෑමට තැනූ ස්ත්‍රීත්වයද අප ප්‍රශ්න කළ යුතුය. ඇතැම් විටෙක එකී පත්තිනි වන්දනාව නොහොත් පුරුෂ වන්දනාව ගෙන යනු ලබන්නේ ස්ත්‍රියට එරෙහිව ගොඩ නගා ඇති ස්ත්‍රීත්වයයි. එකී ස්ත්‍රීත්වය එරෙහි වන්නේ ස්ත්‍රී ලිංගිකයාගේ මනුෂ්‍යත්වයටයි. එය විනාශ කළ යුත්තේ  කුලුගෙඩි පහරවල්වලින්  මිසක තොඳොල් වචනවලින් නොවේ.

ඔව්, සොයුරියනි ඔබට ඊට අයිතියක් ඇත.

අපට පිරිනමා ඇති ස්ත්‍රීත්වය නැමති අගනා සළුපිළි වටිනාකමක් සහිතය. ඒවා ඔබට ඊනියා ආරක්ෂාවද පහසුකම්ද සපයනු ඇත.  ඔබ ඒ තුළ සිටින විට පිරිමින් ඔබට හොඳ නංගී... ෂෝක් නංගී යැයි කියනු ඇත... ඊනියා ස්ත්‍රීත්වයට වසඟ වන අක්කලා හෝ නංගිලා ඔබ වැදගත් ගැහැනියක් ලෙස ඔබට සලකනු ඇත. හැරිලා බලන්න... ඔබට රඟපෑමට දී ඇති චරිතයට ඔබ ගෙවන මිල කුමක්ද කියා...

මා කතා කරන්නට පටන් ගත් විට බොහෝ අය මට වේසි යැයි කියයි.... මා නිහඬව සිටි කාලයේදී මා බොහෝ අයට හොඳ නංගී හෝ අක්කා විය...  මා කතා කරන විට මා වේසියක් වන්නේ නම් එය මට ගෞරවයකි.  මක්නිසාද මා කතා කරන බැවිනි...

එසේම වේසකම ස්ත්‍රීවාදය කතා කිරීමට නියම සුදුසුකමක් ලෙසද මම සලකමි... මා ගණිකාවක් කොට සලකනවා නම්, ඔව්.... ඉතින් සියලු ගණිකාවන්ගේ නොඇසෙන හඬ මගේ හඬ සමග එකතු වේවා... මෙලොව සිටි සියලු ගණිකාවන්ගේත්  සියලු වේසියන්ගේත් නිහඬ හඬ මගේ හඬ සමග මුහු වේවා... 

වේසියන්ට ස්ත්‍රීවාදය සම්පූර්ණයෙන්ම විවෘතව ඇත.... එය ඔවුන්ගේද උරුමයයි... 
                                                      

 මා ඇතුළු සියලු වේසියන් වෙනුවෙන්  

                                                               නදීකා  බණ්ඩාර


1 comment:

  1. නදීකා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න පුලුවන්ද
    ඔබේ ලිපියේම තිබෙනවා ස්ත්‍රියට එරෙහි පුරුෂවාදය කියල වාක්‍යාංශයක්
    ස්ත්‍රීවාදය හොදවීමටත් පුරුෂවාදය නරක් වීමටත් හේතුව මොකක්ද
    ඔබේම තර්කයට අනුව වඩා නිවැරදිව මෙහෙම කියන්න බැරිද
    පුරුෂයාට එරෙහි ස්ත්‍රීවාදය
    ඇත්තම කතාවත් ඒක නේද

    ReplyDelete