තරංගනී රෙසිකාගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය කියවීමක්
තරංගනී බයිබලය අලුතින් ලියා ඇත.
දෙවියන්වහන්සේ කවුරුන්ද කියා හරියටම කවුරුන් දනිත්ද?
එහෙත් ඕනෑම දෙවි කෙනෙක් මනුෂ්‍යත්වය කෙරෙහි කැපවීම අපි බලාපොරොත්තු වෙමු. දෙවියන් දෙවියන් වන්නේ එවිටය.
දෙවියන් පොළොවට ගෙන ඒමට තරංගනී රෙසිකාට වුවමනාය. ඒ ගැන මට කිසිදු විවාදයක් නැත. එහෙත් තරුරසී මට ඔබේ ස්වරයේ ඇති කන්‍යා ස්වරය දරා ගත නොහැකිය. එය මට ආගන්තුකය.
එසේම ඈ, තරංගනී වරින්වර ස්ත්‍රීත්වය පිළිබඳ ගැටලුව අප හමුවේ තබයි.
පිරිමියෙකුට ලේසියි ගෙදරින් පිටවෙන එක. ඒත් ගැහැනියකට ඒක අමාරුයි. බැන්දොත් බැඳුනාම තමයි. දරුවෙක් ලැබුනට පස්සෙ ඉතින් ලෝකෙම දරුවා. තවදුරටත් සමාජයට ආදරය කළ ගැහැනිය ඉතිරි වෙන්නෙ නැහැ. මට දරුවෙක් හිටියා නම් මම කවදාවත් ඒ දරුවා දාලා සමාජ වැඩවලට එළියට යන්නෙ නැහැ. එහෙම තමයි සිද්ධ වෙන්නෙ. පැවිදි වුවද මා තුළ සිටියේ සම්ප්‍රදායික සිතුම් පැතුම්වලින් මැඩුනා වූ ගැහැනියකි.
සිස්ට සෙව්වන්දි එසේ කියන විට ආදිත්‍ය එයට මෙසේ පිළිතුරු දෙයි- ඇගේ සිත පැහැර ගන්නා ආදිත්‍යය.
ඒක ඇත්ත මං දන්න ඉතාම හොඳ සමාජ ක්‍රියාකාරිනියො විවාහයත් එක්ක සම්ප්‍රදායික කාන්තාවගෙ භූමිකාවට කොටු වෙලා නැති වෙලා ගියා. මෙහෙමයි, පිරිමියා ගෙයින් පිට විප්ලව කරනවා වගේ ගැහැනිය ගේ ඇතුළෙ කරන්නෙත් විප්ලවයක් තමයි.
තරු, මට තේරෙන්නෙ නැත්තෙ මේ ඇතුළත සහ පිටත බෙදීම මොකද්ද කියලා. සමාජ වැඩ කියලා අදහස් කරන්නෙ මොකද්ද කියලා. දරුවෝ කියන්නෙ ගැහැනුන්ගේ ලෝකෙ අවුල් කරවන දෙයක් හෝ කරදරයක් ලෙස මා සලකන්නෙ නෑ. අප කරන සෑම වැඩක්ම දේශපාලනිකයි. අපගේ සෑම සබඳතාවයක් පිටුපසම ඉතිහාසයක් ක්‍රියාත්මක වෙනවා. ගෙදරින් පිටත සහ දරුවා සහ මව- දෙමාපියන් සහ දරුවන්- සැමියා සහ බිරිඳ මේවා.
ගොඩනගා ඇති පරම පිවිතුරු මවගේ සංකල්පය සමග සෑම ගැහැනියක්ම විශාල අරගලයක් කරනු ලබනවා. එය අභිනිෂ්ක්‍රමණයක් නොවේ. එය ඈ මත බලෙන් පටවන ලද්දක් කියලයි මට හිතෙන්නෙ. දරුවා මත බලපවත්වන ආධිපත්‍යය පවා එසේමයි. අපි කොයි තරම් ආධිපත්‍යක් අපේ දරුවන් මත පටවා ඇතිද ?
බිරිඳ, ගෘහණිය, මව යන භුමිකාවන්වලට අර්ථයක් දිය හැකි නම් එය විඳදරා ගත හැකිය යනුවෙන් සිස්ට සෙව්වන්දි වරෙක හිතනවා. නමුත් ඒවාට දිය හැකි අර්ථ මම නම් නොදනිමි. එසේ භූමිකා පවතිනවාද? ඒවාට අර්ථයක් සැපයෙන්නේ නම් ඇය සියල්ල උසුළා ගනු ඇතැයි යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි ඇත්තෙන්ම මට වටහා ගැනීමට අපහසුය. ඒවාට අපට සැපයිය හැකි අර්ථ මොනවාද?
“ඔව් සහෝදරියනි, ඔබලා හොඳින් ඔබලාගේ හුමිකාව රගපෑවා.” යනුවෙන් අපේ මීනි වළවල්වල කවුරුහරි දේවදූතයෙක් පැමිණ ලියා තැබීමද එතැනදී අප බලාපොරොත්තු විය යුතු සම්මානය.
පිතෘමූලික සමාජයක දරුවා සම්බන්ධයෙන් ස්ත්‍රියකට තියෙන්නෙ කම්කරුවා නිෂ්පාදනයට දක්වන සම්බන්ධතාවයමයි. මේ දේවල් ප්‍රශ්න නොකර ඒවා විඳදරා ගැනීමෙන් උත්කෘෂ්ඨත්වයට නංවන්නෙ ඇයිදැයි මට වැටහෙන්නෙ නැහැ.
බිරිඳගේ චරිතය හොඳින් රඟපෑම ඉතාම අසීරුය. එහි ඇත්තේ නිරන්තරයෙන් ලිංගිකත්වය වෙනුවෙන් කැපවීමකි. සියලු බිරින්දෑවරු මෙම භුමිකාව කොයිතරම් අපහසුවෙන් රඟපාන්නේ දැයි කන්‍යා සොහොයුරියකට වටහා ගැනීමට හැකියාව නැත. මක්නිසාද අල්තාරය ඉදිරිපිට දෙවියන් සමග ආලයෙන් වෙලීමත්, පිතෘමූලික ගෙදරක නිදන කාමරයත් අතර ඇති පරතරය වටහා ගැනීමට කන්‍යා සොහොයුරියකට හැකියාවක් නැතිවීම ගැන මා ඈට දොස් නොකිය යුතුය.
එම නිසා පමණක් මම ඔබේ කන්‍යා සොහොයුරිය හිතන ඒ දේවල්වලට සමාව දෙමි. එම භූමිකාව හරිහැටි රඟ නොපාන කාන්තාවන් පත්වන තත්වය ගැන අප වැනි සමාජයන් නිහඬ නිසා කන්‍යා සොයුරියකට ඒවා ඇස ගැටිය හැක්කේ ගෙදර ආරවුල් ලෙසය. එහෙත් ගෘහස්ථ හිංසනයේ අති විශාල ක්ෂේත්‍රයක් පිටුපස ඇත්තේ සංසර්ගය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවන ආරවුල්ය. හොඳින් චරිතය රඟපාන්නට නම් කළ යුතු දේවල් ගොඩාක් ඇත. එම නිසා ඊට හිමිවන කුමන අර්ථයක් වුවද මට අනුව නම් ඉතාම සාහසිකය. සාහසිකත්වය විඳ දරා ගැනීමට අප වැනි සමාජයන් දිගටම ස්ත්‍රියට යෝජනා කරයි.
එමෙන්ම මෙහි සිස්ට සෙව්වන්දි ආදිත්‍යට දක්වන ආලය විවාහයෙන් කෙළවර නොවීම ගැනද මට සතුටක් ඇත. මක්නිසාද යත් එය ආදිත්‍යගේ කුටුම්භයේ දේවදාසිය බවට සිස්ට සෙව්වන්දිට පත්වීමට අවස්ථාව අහිමි කිරීම නිසාය. සමහරක් විට,... මතක තබා ගන්න සමහරක් විට සිස්ට සෙව්වන්දි ආදිත්‍ය හා විවාහ දිවියකට ඇතුළත් වූවා නම් ටික කලකින් නැවත පැවිදි බිමට ඇතුළත් වීමට ඉඩ තිබේ. (මා දන්නේ නෑ කන්‍යා සොහොයුරියකට විවාහයකට ගොස් පසුව එය එපා වී නැවත පැමිණීමට හැකිද කියා.)
කම්කරුවාට ෆැක්ටරියට යෑම එපා නොවන්නා මෙන් බිරින්දෑවරුන්ට කුටුම්භය එපා වෙන්නේ නැත. කුටුම්භයක් තුළ ලිංගික වස්තුවක් බවට පත් වීම, සදාචාරවත් පරම පිවිතුරු මව වීම සහ කැත දේපළ සම්බන්ධතාවයට දිය හැකි අරුත් මොනවාදැයි මම නොදනිමි. ආදරය සමග එයට ඇති ගනුදෙනුව කුමක්දදැයි මට වැටහෙන්නේ නැත. එමෙන්ම ආදරයේ ව්‍යාජය හැරුණු කොට ඊට සාක්ෂාත් කර ගත හැක්කේ මොනවාද යන්න මට සැකසහිතය. මා නිවැරදි නොවිය හැක. නමුත් මට සැක සහිතය.
කෙසේ වෙතත් ශුද්ධ කන්‍යාවගේ රූපය වරින්වර අඳුරු කරමින්, ගොදුරු කරමින් සහ යළි ආලෝකමත් කරමින් තරංගනී කන්‍යා ලෝගුව ඇගෙන් මුදා ගන්නීය. සමහරක් විට ආදිත්‍ය ජීවතුන් අතර සිටියා නම් කිසිසේත්ම ඈ ඇගේ කන්‍යා ලෝගුවෙන් මිදෙන්නේද නැති බව සහතිකය. (මනෝවිශ්ලේෂණයට අනුව මෙය රෝගී තත්වයකි. ෆ්‍රොයිඞ් පරිකල්පනය කළේ නීරෝගී වන්නට නම් සංසර්ගයට ඇතුලු විය යුතුය යනුවෙනි. ඔහුගේ පරිකල්පනය තුළ ස්ත්‍රියක් ස්ත්‍රියක් වන්නේ එවිටය).
කන්‍යා සිවි කඩන්නට අප්‍රමාණ සිහින දකින පිරිමි සිටින රටක තරංගනීගේ සිස්ට සෙව්වන්දි කන්‍යා සිවිය සිඳ දමන්නේ ඔහු නොඑන බව සහතික වන විටය. තරංගනී කන්‍යා ලෝගුවෙන් සිස්ට සෙව්වන්දිව මුදා ගැනීම සඳහා ආදිත්‍යව අතුරුදහන් නොකරන බව අපට පැහැදිලිය. එය ඉතාම පැහැදිලි වශයෙන් අපගේ සමාජ යථාර්ථය විසින් සිදු කරනු ලද අතුරුදහන් කිරීමකි. එහෙත් පිරිමියාගේ අතුරුදහන් වීම ඈව පළමුවරට මනුෂ්‍යයෙකු බවට පත් කරයි. ඈ ෆ්‍රොයිඩියානු අර්ථයෙන් ස්ත්‍රියක් බවට පත් වන්නේ සංසර්ගයට මාරුවීමෙන් නොවේ.
තරංගනී මේ කියන්නේ ගැහැනියකගේ කන්‍යා සිවිය සහ පුරුෂ ලිංගය අතර සම්බන්ධයක් නැති බවය. සිස්ට සෙව්වන්දි අවසානය දක්වාම දකින්නේ මහා පුරුෂ ලිංගයේ හාස්කම් වෙනුවට ඒ පුරුෂ ලිංගය දරා සිටි කෙනෙකුගේ මනුෂ්‍ය ආධ්‍යාත්මයයි. එසේත් නැතහොත් ඈ ඔහු තුළින් දකින්නට උත්සාහ කරන්නේ එයයි. පුරුෂ පරිකල්පනය විසින් ස්ත්‍රියගේ ඔලුවට දමන ලද පුරුෂ පරිකල්පනයේ පල්හෑලි සිස්ට සෙව්වන්දි අතින් ගිරවෙකුගෙන් මෙන් කියවෙන නුමුදු සිස්ට සෙව්වන්දිට මට කැමති විය හැක්කේ ඒ නිසාය.
ඉතින් කන්‍යා ලෝගුව හැර දැමූ සෙව්වන්දිගේ ස්වයං වින්දනය තුළ ආදිත්‍ය සදාකාලික ෆැන්ටසියක් ලෙස ජීවත් වනු ඇත.
නදීකා බණ්ඩාර
හොඳ ලිපියක්. සම්පුර්නයෙන්ම් වෙනින් පැත්තකින් බලල ලියල තියෙන්නේ. මම හිතන්නේ තරුට ඕන වුනේ විමුක්ති දේව ධර්මය ගැන යමක් කියන්න. ඒ වගේම ලංකාවේ එක වමේ පක්ෂයක් දෙමල අරගලය මර්දනය කිරීමට රජය සමග එක්වෙද්දී තව ආදිත්‍ය වගේ අමාරුවෙන් හරි අනිත් පැත්තේ ඉඳීම ගැන. හැබැයි ඔය ලියපු පැත්ත ත් හරි වගේ. // එහෙත් පිරිමියාගේ අතුරුදහන් වීම ඈව පළමුවරට මනුෂ්‍යයෙකු බවට පත් කරයි. ඈ ෆ්‍රොයිඩියානු අර්ථයෙන් ස්ත්‍රියක් බවට පත් වන්නේ සංසර්ගයට මාරුවීමෙන් නොවේ//
ReplyDeleteමේ මම ලියපු එක. කැමති නම් බලන්න.
https://kolambagamaya.blogspot.co.uk/2017/12/blog-post_13.html
+++++++
ReplyDelete