Monday, October 16, 2017

තුන්වැනියාගේ ආගමනය සහ Mr මනමේ




‘ගැහැණුන්ගේ වේදිකාව’ සහ ‘ජෙනී තියටර්’ මගින් ප්‍රකාශයට පත් කර ඇති දැනට නිෂ්පාදනයේ පවතින නදීකා බංඩාරගේ ‘ Mr   මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය’ අභූතරූපී ශෛලියක් ගත් දෘෂ්‍ය කාව්‍යයකි. ආරම්භයේදී ශෛලිගත නැතිනම් නාට්‍යධර්මී ආරකින් දිගහැරෙනා එය අවසානයේදී අධිසත්තාමය අභූතරූපී බවක් ගනියි. නමුත් එය පොදුවේ ගලා යන්නේ යතාර්ථවාදී පසුබිමක් සහිත අභූතරූපී නාට්‍යයක් ලෙසිනි.

එසේම එය ආරම්භයේදී උච්ච ස්ත්‍රීවාදී තානයකින් ඇරඹුණද අවසානයේදී ඒ ස්ත්‍රී විරෝධී බවටද යමෙකුට තර්ක කළ හැකිය.

නදීකාගේ ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ම ඇය සිය ස්ත්‍රීවාදී දැක්ම තුළ ස්ත්‍රී ශුද්ධෝත්තමවාදයෙන් වෙන්වෙයි. එසේම ඇගේ නිර්මාණවල ඇත්තේ නිරුවත හෝ ලිංගිකත්වය කෙරේ සදාචාරාත්මක වූ ආකල්යක් නොවේ. එය ස්ත්‍රිය සූරාකෑම හෝ ඇයව භාණ්ඩයක් කරනවාය වැනි සදාචාරවාදී ස්ත්‍රීවාදයක් නොවේ. ඒ වෙනුවට ඇය ලිංගිකත්වය කෙරේ ධනාත්මක ආකල්පයක් හෙලන ස්ත්‍රීවාදිනියකි. එහිදී ස්ත්‍රියගේ පැවැත්ම උදෙසා වන ජීවන වංචාව, වසඟය හා පසුගාමිත්වයද ඇය නිර්දය හා සානුකම්පිත ලෙස හෙළිදරව් කරයි.

දියෝනිස් දෙවොල හැර ඇගේ ස්ත්‍රීවාදී ස්වරය උච්චයට නැංවූ ‘මරියාගේ රමණය’ පටන්ම-  ඇගේ ළමා කතාවල හැර- අන් සියලු පසුකාලීන නිර්මාණයකම තුන්වැනියාගේ ආගමනය හා ආශාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටළුව හඳුනාගත හැකිය.

-යෝනි කේන්ද්‍රීය සුරතාන්තය වෙනුවට ස්ත්‍රී ස්වයං මෛථුන්‍යය හා සුරතාන්තය

-සංකේත පියාට හා පැල්ලසයට එරෙහි වීම,

-පීතෘමූලික න්‍යෂ්ටික පවුලට හා පියාගේ නාමයට මෙන්ම සුජාතභාවයට එරෙහිවීම

-සංස්කෘතික ලිංගිකත්වයක් වෙනුවට ආකස්මික, ස්වයං සිද්ධ, ස්වභාවික ලිංගිකත්වය

-ස්ත්‍රී ශරීරය පිළිබඳ අධිනිශ්චයන් බිඳ හෙලීම

-ඒක පතිපත්නි ප්‍රේමය පිළිබඳ සංශය

යනාදිය රැගත් හුයක් ඇගේ නිර්මාණ තුළ අඛණ්ඩව ගලා එයි.

‘Mr මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය’ තුළ දකිත හැක්කේ තුන්වැනියාගේ ආගමනය හා ආශාවේ හිස්ටරික දාම ප්‍රතික්‍රියාවයි. ස්ත්‍රිය අත එම මනෝවෘත්තිය පැවැත්ම, ජීවන වංචාව හා වසඟය සමග අත්වැල් බැඳ ගන්නා අයුරු ඊට පරිවාරව හෙළිදරව් කෙරේ.



‘මරියාගේ රමණය’ තුළද මෙම තුන්වෙනියා අපට දකිත හැක. එහිදී අනෙකා ලබන ප්‍රමෝදය පිළිබඳ කරුණ මෙතරම් තදින් ඉස්මතු වූයේ නැතත් ඒ වෙනුවට පුරුෂයාගේ වගකීම් විරහිත බව, පවත්නා ක්‍රමයට බිලිවීම, ආදියට පූර්වව මනෝමය රංගනයකදී මරියා පිහි ඇනුම් කන සංකල්ප රූපයක් අපට දකිත හැක. ඇය පසුව පායුමය දූෂණයට ලක්වන්නේ සහ නාට්‍යය උච්චාවස්ථාව කරා පොලා පනින්නේ මරියා තමාට ජීවිතයේ දැනෙනා හිස්කමක් ප්‍රකාශ කිරීම මතය. එය භානු විසින් ලිංගික අතෘප්තියක් ලෙස හා වෙනත් අයෙකු සමග යාමට වන ඕනෑකම ලෙස අරුත් දක්වමින් ඇගේ ආත්මය හෑල්ලු කිරීම මත ඇති වන ගැටුමිනි. මෙය අනෙකාගේ ප්‍රමෝදය නොපැවතීම හා අනෙකා ලබන තෘප්තිය පිළිබඳව පිරිමියාගේ ජාගර මානසිකත්වය අතර ගැටුමක් ලෙස සාහසිකත්වය කරා පිරිමි මනස තුළ ගමන් ගන්නකි. ඔහු ඇය පායුමය දූෂණයට නතු කර ගන්නට පොර බදද්දී අසන්නේ ‘උඹට ඕනෙ ලොකු එකක්නෙ?’ යනුවෙනි.

‘රතු සපත්තු’ තුන්වැන්නා සහ අනෙකාගේ ප්‍රමෝදය පිළිබඳ ඇගේ නිර්මාණයන් අතර කූඨ ප්‍රාප්තියයි.

එහි බන්ධන අඩස්සිගත ස්වයං පීඩාකාමී අනුරාගයක්, පූර්ව රති කෙළිමය සිප වැළඳ ගැනීම්වලින් පසු සංසර්ගය වෙනුවට උනුන් දෙස බලා (පිරිමියා ඇගේ කය දෙස සේම ඇය සිය ෆැන්ටසිය තුළ) ස්වයං මෛථුන්‍යයේ යෙදීමක් හා එහි අවසන අනුපූරක සංසර්ගමය සමාප්තියක් (ශරීරය හා ලාලාසාව ගැන සාංකාවෙන් කෙරෙන ස්ත්‍රී මෛථුන ප්‍රදානයක් තුළ පිරිමියා සුරතාන්තයට පත්වීමක් දකිත හැකිය. එහි ස්වේච්ඡාමය බන්ධනයෙන් පීඩාවට පත්වී එයින් ලිහන්නැයි, එළියට යන්නට අවශ්‍ය යැයි කියන සතීම තවත් විටෙක තමා බැඳ දැමීමට ලණුවක් ගෙන වුත් දෙයි. බන්ධනවලින් නිදහස් කර ගන්නට එන තුන්වැන්නා සමග ලාලසාවෙන් තොරව දූෂණයක් වන් රමණයකට බඳුන් වීමට පෙර ඇය තමා ආදරය කළ තැනැත්තාව- සිය අනුරාගියාව මරා දමයි. එම මළ මිනිය කුටිය තුළ තබාගෙන ඔහුට තමා කැමති පොත් කියවයි. මළවුන්ගේ දිනයේ තිදෙනම සමග ඒ සමරා වයින් බොති. අතිනත ගෙන නටති.

නදීකාගේ කෘතීන්හි මරණය සැම විටම ශාරීරික අරුතක් නොගනී. එය සංකේතාත්මක ආත්මීය මානයක පවතින්නකි. ‘මරියාගේ රමණය’හි, ‘රතු සපත්තු’හි මෙන්ම ‘Mr මනමේ’හිද එසේය.

‘රතු සපත්තු’අවසානයේ සියලු පිරිමින් අත ඇය කෙළි බඩුවක් වීමත්, ඇය සිය ආත්මීය අවකාශයෙන් පිටව යාම තුළින් පුරුෂ ස්වභාවය හා ක්‍රමය පිළිබඳ විරෝධාකල්පිකයක් ලෙස  එය අවසන්වේ. එහෙත් කාරණය ඇගේ කෘති ඊනියා පුරුෂ විරෝධීවත් ස්ත්‍රීවාදීවත් නොවන බවයි. ඇගේ ජීවිතය ගැන දැක්මේ සංකීර්ණත්වය ඒ ඉක්මවා යයි. එය ස්ථානගත කළ නොහැකි විභේදිත යමකි.

චින්තන ධර්මදාසගේ  Faculty of Sex  කෘතිය අරභයා ඇය ලියූ විචාරය මාතෘකා කොට තිබුණේ ‘සරච්චන්ද්‍රට බැරි වෙච්ච දේ චින්තා කළා’ යනුවෙනි.



ප්‍රේම ත්‍රිකෝණ පිළිබඳ කතාන්දර 80 දශකයට පෙරම අපට හුරු පුරුදුය. ඒ හැර එකගෙයි කෑම්, කොටු පැනීම් හැර තිබුණු ආකෘතිය පරදාර සේවනය, චපල බව තුළින් අරුත් ගැන්වුණකි. අනෙකාගේ ප්‍රමෝදය සහ දර්ශනාශ්වාදය ඉන් පෙරද පුලුළු යකුන් වශයෙන් දක්වා තිබිණි. ඒ හැර සමාජ ශාලාවල යතුරු මාරු කිරිලි ගැන සුප්‍රකට කතා දකිත හැකි විය. නමුත් 80 දශකයේ නිල් චිත්‍රපටවලින් පසු මෙම අනෙකාගේ ප්‍රමෝදය හා දර්ශනාශ්වාදය පොලා පැන්නේය. එය විපරීත ලෙස සමාජය තුළ මණ්ඩි බසිද්දී දාර්ශනික කතාබතා තුළ දෙදෙනෙකුට පෙම් කළ හැකිවීම ගැන කතා මෙන්ම, අයිතිය ප්‍රශ්න කිරීම ඇරඹිණි. එංගල්ස්ගේ ‘පවුල පෞද්ගලික දේපල හා රජය ඇති වූ හැටි’ මෙන්ම නිල් චිත්‍රපටිත්,  ස්ත්‍රීවාදයත්, ලිංගික නිදහසත්, විවාහය වෙනුවට එකට ජීවත් වීමත් පිළිබඳ කතාබතා අවසානයේ ගමන් කළේ විවිධාකාර ලිංගික හා ජීවන අත්හදාබැලීම් කරාය. එහිදී සිදුවූ හදිසි අනතුරුවලට මුහුණ පෑවුන් අතර 80-90 හා 2000 පරපුරුවල බොහෝ දෙනෙක් සිටිති. එය අද වන විට හදිසි අනතුරක් නොවන තත්වයට පත්ව ඇත. එය අනෙක් අතින් විපරීත, ෆැන්ටාස්මතික ලෙස අරුත් ගැන්වේ.

චින්තනගේ ‘තිත්ත තොල්’ මෙන්ම කෞශල්‍ය කුමාරසිංහගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ එහි සාහිත්‍යමය අස්වැන්නයි.  Faculty of Sex  එහි සාහිත්‍යමය නොවූ වානිජ ආකෘතියයි. එය මොහාන් රාජ්මඩවලගේ පෞරාණික මෙන්ම ගැමි වානිජ ආකෘතියේ නාගරික එකයි. තුන්කොන් ප්‍රේමයේ සිට ත්‍රීසම් දක්වා ආ ගමනේ මග හැරුණු හැරවුම් ලක්ෂ්‍යය ටෙනිසන් පෙරේරාගේ භූත ආත්මයි. මේ සියල්ල තුළ අනෙකා ලබන ප්‍රමෝදය, සැකය, ද්වේෂය, මාත්සර්්‍යමය අනුරාගය, දර්ශනාශ්වාදය, ආත්ම දමනය හා ප්‍රමෝදය ඔස්සේ යන චාරිකාවක් අපට දකිත හැක.

එහෙත් කාරණය නදීකාගේ කෘතීන්ට එන විට ඒ පුරුෂ ෆැල්ලසීය ප්‍රමෝදය විසංයෝජනය කිරීමයි. ඇය ස්ත්‍රී සුරතාන්තය ස්වයං මෛථුන්‍යයට පවරයි. එසේම ඇය ලිංගික වස්තුවක් බවට ස්ත්‍රිය පත්වීමෙන් මුදවා ගනියි. සැබැවින්ම මෙම ත්‍රීසම් මනෝභාවය සම්පූර්ණ වීමට නම් ස්ත්‍රිය දෙදෙනාම හවුලේ පරිභෝජනය කරන ලිංගික වස්තුවක් ලෙස ගෙනා යුතුය. එය ත්‍රෛපාර්ශ්වික ලිංගික සබඳතාවක් විය යුතුය. ඇගේ කෘතීන්ගෙන් එවන් අවස්ථාවක් දකිත හැක්කේ ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ දිලුනිකා සම්බන්ධ අවස්ථාවේය. එහෙත් එහිදීද අනෝලි එයට අසමත් වන අතර ඇය බල ක්‍රීඩාවේ හවුල්කාරිත්වය, වසඟය, ජීවන වංචාව සහ ව්‍යාජය එතුළ විනිවිද දකියි. ( ස්වයං පීඩාකාමී ආශ්වාදය නදීකාද උත්කර්ශයට නංවන අතර ඇය චින්තනගේ කෘතිය පිළිබඳ ලිපියේදී ඔහුට නිමිති වූ ‘ඕගේ කතාව’ ඇය ස්වයං වින්දනයටද යොදා ගත් බව කියයි.) එහෙත් කාරණය චින්තනගේ ලිංගිකත්වය සදා නිම කළ නව ලිබරල් වෙළඳ භාණ්ඩයක් වන අතර ඇගේ ස්වයං පීඩාකාමීත්වය ජීවිතය තුළින් ගලා එන්නකි. එය චාරිත්‍රනුකූල අර්චනයක්, නිමි භාණ්ඩයක් නොවේ.


‘මරියාගේ රමණය’, ‘රතු සපත්තු’, ‘මොනර බිත්තර’ සේම  Mr  මනමේ තුළද සම්බන්ධතා යනු ශරීර අතර ඇතිවන එවන් ත්‍රීසම් ගනුදෙනුවක් නොවේ. ඒ වෙනුවට ඒ ඉන් මොබ තැනක මානුෂික තලයක, සබඳතා තුළ ස්ථානගත වන්නකි. චින්තනගේ නිමි භාණ්ඩමය, අර්චනමය නැරඹුම්කාමය, ඉහළ පාංතික කාම අභිචාර, ත්‍රෛපාර්ශ්වික සබඳතා මෙන්ම ස්වයංපරපීඩක කාමය හා රති කෙළි උපකරණ නව ලිබරල් පාර මානවීය වූවකි. එය පාරිභෝගිකවාදයත්, විචාර න්‍යායත්, තාක්ෂණික ධනවාදයත් තුළින් පොලා පැන්නාවූ පාරමානවවාදය ඕෂෝ ප්‍රමුඛ අධ්‍යාත්මික චින්තකයන්ගේත් සහ සාද් සිට හෙෆ්නර් දක්වා ශෘංගාර කලාකරුවන්ගේද, තන්ත්‍රයානයේද කියමන්වලින් සකසා ගත් කලවං පලා මැල්ලුමක් සමග සිය රෝග ලක්ෂණය පමණක් මේසයට ගෙන ඒමකි. එහෙත් එතුළ ඒ කිසිවක්ම නැත. තිත්ත තොල් සමග බැලූ විට රෝග නිධානයවත් නැත. තිත්ත තොල් තුළ තිබූ මාත්සර්්‍යමය මානවීය ප්‍රමෝදය මෙහි ඉන් එහා ගියත් ඒ පොළවක් නැති එකකි. එය ඇඞ්වර්ටයිසිං වගේම බොල් ජීවිතයකි. ඇඞ්වර්ටයිසිං රස්සාවට කිරීමෙන් එහාට එය ලයිෆ් ස්ටයිල් එක කර ගත් විට, එය සාධාරණ කරන්නට න්‍යාය හදන්නට ගිය විට මෙවන් දෑ සිදුවේ. මෙහි ඇත්තේ ශරීරයක් සමග මිස ශරීරය තුළ සිටින මනුෂ්‍යයා සමග ඇති වන සබඳතාවන් නොවේ. පිරිමියාට ඇත්තේ ශරීර කාමයක් බව දැන ගත් විට අනෝලිට ඇති වන මානසිකත්වය ගැන දියෝනිස් දෙවොල තුළ සඳහන්ය.




නදීකාගේ කෘතීන්ගෙන් වඩාත් වියුක්ත කෘතීන් දෙක ලෙස දකිත හැක්කේ ‘රතු සපත්තු’ සහ ‘ Mr   මනමේ’ කෘතීන්ය. ඒ හරහා ඇය ආශාව ක්‍රියා කරන ආකාරය පිළිබඳ ස්ත්‍රී මනෝ විශ්ලේශණයක් සිදුකරන අතර, එහිදී අවබෝධ කොට නොගන්නා- නොදැනුවත් පිරිමින් අතර ඇති වන ගැටුම සහ ප්‍රතිරෝධය ඉහත කෘතීන් සියල්ල තුළ දකිත හැක. මෙහිදී පිරිමියාට හෝ තවත් ගැහැණියක හා සම්බන්ධ වූ පිරිමියාගේ ගැහැණියට ඇත්තේ මාර්ග දෙකකි. ඉඩදීම, අවබෝධය, ඉවසීම, ආදරය නමැති මාර්ගය එකකි. ඒ උත්කර්ශනයයි. එහෙත් එය සමතුලිත බවෙන් මිදී එක් පිරිමියකු විසිකර දැමීමේ, කස්තිරම වැරදී නැවත පවුලක් කරා පෙරළී යාම හෝ කෙහෙවලු අල්ලා ගැනීම ආදිය සිදුවිය හැක. මා දන්නා පරිදි අප පරපුරේ අප මිත්‍ර වීරයකුගේ තම බිරිඳ වෙනත් අයකු හා සසඟෙහි යෙදවීම කෙළවර වූයේ මැද්දට පැන දෙන්නා දෙපැත්තට කිරීමෙනි. ත්‍රීසම් සබඳතා තුළද යුගලන කුහකකම්, මාත්සර්්‍යය එසේ පොලා පනී.

අනෙකද ඇරඹෙන්නේ ඉඩ දීමෙන්ය. අනෙකාගේ ආශාවට ඉඩ දීමෙන්ය. එය තමාගේ ආශාව බවටද පත් කර ගැනීමෙන්ය. එහෙත් එය අවසානයේ ස්ත්‍රිය ලිංගික වස්තුවක් බවට පත් කරයි. එය ස්වාධීනත්වය, පුද්ගලභාවය හෝ මනුෂ්‍යත්වය ඇයට ගෙන නොදේ. එය අවරෝධනයයි.

නදීකා විෂය කොට ගන්නේ මෙම ආශාවේ ක්‍රියාකාරිත්වයයි. බුදුදහම මෙන්ම මනෝවිශ්ලේශණයද විෂය කොට ගන්නේ මෙයමයි. මනෝ විශ්ලේශණය තුළ ඒ අනෙකා ලබන ප්‍රමෝදය, ක්ෂුද්‍ර වස්තුව (එය සංසාරගත විය හැක.), අඩුමාව ආදිය තුළින් ග්‍රහණය කෙරෙන අතර බුදුදහම තුළද ඒ ඊට සමාන්තරය.

පළමුව කාමය ඇතිවීමට ඒ පිළිබඳ සංකල්පයක් තිබිය යුතුය. එයින් විජිගීෂාව, කුතුහලය ඇතිවේ. කාමය සාපේක්ෂය. එය සංසන්දනාත්මකය. පරතන්ත්‍රය. එයින් ඉච්ඡාවට, එනම් කැමැත්තට ලක්වන වස්තුව කෙරේ රාග ඇතිවේ. ඒ ලබා ගැනීමට තණ්හා ඇති වන අතර එයට එන බාධා තුළින් ඒ රාග බලවත් කෙරේ. ඒ ලබා ගැනීමේ අරමුණින්ම මෙහෙය වේ. එය ලබා ගත නොහැකි විට ද්වේෂ ඇති වේ. තම ආශාවේ වස්තුව විනාශ කරන්නට පෙළඹේ. එක්කෝ තමා විනාශ කරගන්නට පෙළඹේ. ප්‍රේතබාවයන්ට- විපරීතත්වයට පත්වේ.

ආශා වස්තුව අපේ කැමැත්තට අනුව නොපවතී. එබැවින් එය අනිච්ඡය. එවිට දුක ඇතිවේ. එහි කෙළවරක් නැත. අනත්තය. බුදුදහම මෙහිදී ආශා නොකරන්නවත්, කාමයේ නොයෙදෙන්නවත් නොකියයි. ආශා නොකර සිතට පැවතිය නොහැක. එය සිතේ ස්වභාවයයි. ආශාවන් විඳීමෙහි සිහියෙන් යෙදෙන ලෙසද, ආදීනව දැන නිස්සරණය කරන ලෙසද දක්වයි. එහි යෙදීමෙන් තොරව නිස්සරණය කළ නොහේ. ඒ පරම ලෙස ගෙන හඹා යමින් මෝහයටත් ද්වේෂයටත් නොවැටෙන ලෙස පමණක් එය දක්වයි. නාම- රූප- වේදනා- සංඥා- සංඛාර- විඥාන යන මේ සියල්ල ගොඩ නගන ලද ඒවා බව කියයි. සංඥාකාරකය, සංඥාර්ථය අතර සම්බන්ධය තුළින් ව්‍යුහවාදය දක්වන්නේද මෙයයි. එම ගොඩ නගන ලද සියල්ල විසංඛාර කිරීම යනු ඒ අවබෝධ කර ගැන්මයි. එයින් ඒ අවසන් නොවේ. ඒ දැඩිව ගැන්ම තුළින් පැමිණෙන උන්මත්තකභාවය සිහියෙන් සිටීමක් පමණක් බවට පත්වෙයි. මෙය විසංයෝජනයයි. එය ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. දේවල් ඇති සැටියෙන් දැක්මයි.

නදීකාගේ නිර්මාණවල අවධාරණය කෙරෙන ස්වයං මෛථුන්‍යය පිළිබඳ ආලෝකයක් ඇගේ ‘ස්ත්‍රියගේ පුරුෂ ලිංගය’ අධ්‍යයන පත්‍රිකාවෙන් දැක්වේ.



-‘...එතකොට ඔවුන් දන්නවා කවුරුවත් කාටවත් මොකුත් දෙන්නෙ නෑ. නමුත් උපයෝගී වෙන්ඩ, ආධාර වෙන්ඩ පුළුවන්. අන්න එතකොට ඒක ප්‍රජාන්ත්‍රවාදී සම්බන්ධයක් බවට පත්වෙනවා...’

-‘...ගැඹුරු අර්ථයෙන් ගත්තොත්
සියල්ලෝම සමලිංගිකයෝ සහ යෙදෙන්නෙ ස්වයං වින්දනයක...’


එසේම ඇය  Mr   මනමේ පෙරවදනෙහි මෙසේ දක්වයි.

-“...මනමේ කුමරිය නො(පවතී)

මනමේ කතාවේ සෑබෑ ඛේදවාචකයට මුහුණ දෙන්නෙ මනමේ කුමරිය නොව මනමේ කුමාරයා සහ වැද්දාය. ඔවුන්
එකිනෙකා හා දබර කර ගනු ලැබුවේ නොපවතින ආදර වස්තුවක් උදෙසාය...’


මෙතුළ බුදුදහමේ මෙන්ම විසංඛාර කිරීමක්, මනෝ විශ්ලේශනයේ මෙන් විසංයෝජනය කිරීමක් දකිත හැක. කාරණය එය බුදුහම තුළ සේම මනෝ විශ්ලේශනය තුළද පිරිමියාගේ කෝණයෙන් මිස ස්ත්‍රියගේ කෝණයෙන් සිදු කර නොතිබීමයි. ආශාවේ වස්තුව මෙන්ම රාගයේ, ක්ලේශයේ නිමිත්ත ස්ත්‍රිය මිස පුරුෂයා නොවේ. බුදුදහම මෙන්ම මනෝවිශ්ලේශනයද පුරුෂ බල අඩවි දෙකක් වීම එයට හේතුවයි. නදීකා ගෙනෙන කාරණය ස්ත්‍රීවාදී මනෝ විශ්ලේෂනයට නෑකම් කියන්නකි. කාරණය ඇය ස්ත්‍රිය ශුද්ධොත්තමවාදී නොකිරීමයි.

Mr මනමේ තුළ ඇය ආශාවේ මෙම හිස්ටරික චක්‍රය නැතිනම් දාමයට, පවත්නා පුරුෂ මූලික ක්‍රමය සහ පීතෘ මූලික න්‍යෂ්ටික පවුලට තත්වාරෝපිතයක් වශයෙන් ස්ත්‍රියගේ චපල බව දක්වයි.

සැබැවින්ම එය ස්ත්‍රියගේ ආශාවද? නැතොත් පුරුෂයාගේ ආශාවේ ප්‍රතිරූපකයක්ද? සැබැවින්ම ආශාවට තුන්වැන්නෙක් අවශ්‍යද?

මෙය විශ්ලේෂණයට අනෙකාගේ විනෝදය හෝ ප්‍රමෝදය පිළිබඳ ප්‍රවාදය පිටුවහල් විය හැකි වුව එයින් ජීවිතයට හෝ මානව සම්බන්ධතාවන්ට හෝ මානසික සෞඛ්‍යයට හෝ ආදරයට නම් කිසිවක් නොලැබෙන බව පැහැදිලිය. මනෝවිශ්ලේෂනය එය නැවත කෘත්‍රිමව ඇති කිරීමට සමත් වුව හිස්ටීරියාව සුව කිරීමට සායනික ප්‍රතිකාර නොමැති සේමය.

ත්‍රීසම් යනුද අනෙකුත් කාම චර්යා මෙන්ම කසින් කස් බෝවෙන දද කැසිල්ලකි. බසින් බස් බෝවෙන මනෝ විශ්ලේශනයේ සූත්‍රයන්ගෙන් හා වාගාලංකාරවලින්ද කිසිවක්ම නොලැබෙන බව සහතිකය. එයින් අදහස් වන්නේ මෙය මිනිස් මනසේ යථක් ලෙස නොපවතින බව නොවේ. එම දාම ප්‍රතික්‍රියාව නැවැත්වීමට ඉන් කිසිවක් නොසිදුවන බවයි.

නදීකාගේ ‘දියෝනිස් දෙවොල’ තුළ ශෘංගාර චිත්‍රපටයක නිළියගේ මුහුණේ හැඟීම්වලින් තම ආශාව සොයා ගැනීම ගැන සඳහන් මෙන්ම ‘මොනර බිත්තර’ අවසානයේදීද මෙම ආශාවේ වස්තුව තුළම පැවැත්මක් නැති සිමියුලේක්‍රමීය ආශා වස්තුවක් ගැන සඳහන් වේ. එය ස්ත්‍රියකට ආශා වස්තුවක් හෝ පරිකල්පන වස්තුවක්, ක්ෂුද්‍රවස්තුවක් නොමැතිවීමද?  නැතිනම් ෆැල්ලසය මෙම කෘතීන් දෙකේම කතා නායිකාවට අහිමිවීමද?


චුල්ල ධනුග්ගහ/ධනුද්ධර ජාතක කතාවේ, මනමේ කෝලමේ, කවි නාඩගමේ පටන් මනමේ නාටකය දක්වා පොලා පැන්න තැන් පටන් මනමේ ලාංකීය මනස තුළ- විවාහක පිරිමි මනස තුළ සින්ඩ්‍රෝමයක් ලෙස ක්‍රියාත්මක විණි. එය මීට ආවේණික වූවක් පමණක් නොව සර්ව භෞමික වූවකි. -‘රෂෝමාන්’ චිත්‍රපටය නූතනවාදය තුළ බිහිවූ පශ්චාත් නූතන චිත්‍රපටයක් වන්නේ ඒ මෙම සත්‍යය පිළිබඳ සිමියුලේක්‍රමය නිරූපනය කරන හෙයිනි.- නදීකා ඒ විසංයෝජනය කරන්නේ පුරුෂ විරෝධී  හෝ ස්ත්‍රී විරෝධී ලෙස නොවේ. එය පවත්නා ක්‍රමය තුළ තත්වාරෝපිතයක් ලෙස ගනිමිනි. එය ක්‍රම විරෝධයකි. ඒ පීතෘ මූලික ක්‍රමයේ තත්වාරෝපිත ස්ත්‍රී මෙන්ම පුරුෂ මානසිකත්වයන්ටද
විරෝධයයි.

කේ. කේ. සමන් කුමාර

ඇමිණුම්:


*
5. පඤ්චක නිපාතය
3. අට්ඨ වර්ගය
374. චුල්ල ධනුග්ගහ ජාතකය

“බමුණ, සියලු භාණ්ඩය ගෙණ පරතෙරට පැමිණියේ වෙහි. වහාම නැවත එව. දැන් මේ නදියෙන් මාද වහා එතෙර කරව.

“පින්වතිය, සංසර්ගයක් නොකළාවූ අභිනවවූ මා දිගු කලක් කරණලද සංසර්ග ඇති, ස්ථිරවූ (ඒ ස්වාමියා කෙරෙන්) පරිවර්තනය කෙළෙහි නම් පින්වතිය, තී මා කෙරෙනුදු අනිකෙකු පෙරළා ගන්නේය. එහෙයින් මෙයින් ඉතා දුරකට මම යන්නෙමි.

“තුවරගස් ලැහැබෙහි මේ කවර නම් තැනැත්තියක් මහසිනා කෙරේද, නෘත්‍යයක් හෝ ගීතයක් හෝ මොනවට පවත්වන ලද කුලුතාලමක් හෝ මෙහි නැත. සුන්දරවූ කළවා ඇති ශොභනවූ තැනැත්තිය, හැඬිය යුතු කාලයෙහි කුමක් හෙයින් මහසිනා කෙරෙහිද,

“අඥානවූ නුවණනැත්තාවූ ජම්බුකය. තෝ ප්‍රඥා නැත්තෙහි වී. මත්ස්‍යයාද මස්පිඩද යන දෙකින් පිරිහුනේ බැගෑපත්වූවෙකු මෙන් සිතන්නෙහි.

“අනුන්ගේ වරද දැකීමට පහසුවේ. තමාගේ වරද වනාහි දක්නට නොහැක්කේය. එහෙයින් නුඹද, සැමියාද සොර සැමියාද යන දෙදෙනාගෙන් පිරිහුනි. මා මෙන් සිතන්නෙහිය.

“මෘගරාජවූ ජම්බුකය, යම්සේ කීයෙහිද, මෙය මෙසේමය. ඒ මම ඒකාන්තයෙන් මෙයින් ගොස් අනික් හිමියෙකු ලැබ වසඟ බවට අනුව යන්නියක් වන්නෙමි.

“යමෙක් මැටි තළියක් සොරාගණීද, හෙතෙම බොහෝ තළියකුදු සොරා ගන්නේය. තී විසින් පාපය කරණ ලද්දේමය. නැවතද මෙසේ කරන්නෙහියයි” කීයේය.

චූළධනුග්ගහජාතකං චතුත්ථං.





*

තම උසස් ප්‍රේක්ෂකයාගේ එඩිතර බව හා තාර්කික බව අවසන් වන තැන පෙරටුගාමී නාට්‍යකරුවා සොයාගත යුතුය! සාමාන්‍යයෙන් සීමාන්තික රංගයේදී ( Theatre of Extreme  ) උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයාව එවැනි කෙළවරකට තල්ලු කර දමා පරීක්ෂා කරන්නයි. එක්තරා විදියට අන්ටන් ආර්ටෝ ( Theatre of Cruelty) වැන්නන් ද වඩාත් මෑතකදී සෙරා කේන් ( Inyer-face theatre ) වැන්නන්ද යෝජනා කළේ මීට සමාන ප්‍රවේශයන්ය. සත්තකින්ම සීමාන්තික රංගයකික් කොළඹ ප්‍රේක්ෂකාගාරයක සදාචාරය අර්බුදයට යැවීමට අවශ්‍ය මෙවලම් සොයා ගැනීමට නාට්‍යකරුවන් යා යුත්තේ ලන්ඩන් නොව හද්ද සිංහල ගමකටය! කෝලම්කරු සිවලා ලවා මනමේ කුමරියගේ මුඛයට මුත්‍රා කරවා දිව ඇද කා මිය යන්නට සැලැස්වීම වැන්නක් කෝලම් මඩුවේදී මෙන්ම කොළඹ ශිෂ්ට ප්‍රේක්ෂකයාට කෙතරම දුරට දරන්න හැකිද? එවැන්නක් නාගරික ශිෂ්ට ප්‍රේක්ෂකයාට අභිමුඛ කළහොත් ඒ වූකලි යළිත් වෙනත් කිසිවක් නොව එම ශිෂ්ටයා ගමේ තබා සඟවන්නට උත්සාහ කරන තම අවිඥාණයම නොවේද?

ශිෂ්ට නාටක හා අශිෂ්ට කෝලම්
February 5- 2017  රාවය
ශිෂ්ට නාටක හා අශිෂ්ට කෝලම්
ධනංජය කරුණාරත්න


*

මනමේ රජු ඔබ - ගෙල සිද ලන්ටා
කඩුව ඉල්ලූ සද ඔහු වළකන්ටා
කල තැත දුටුවද - ඔබ ගලවන්ටා
සිතුණේ කඩුව ඔබ - අතටම දෙන්ටා

-මනමේ නාටකය: එදිරිවීර සරච්චන්ද්‍ර


*
වැදිරජු - මම යනවා. මට ඔබ වගේ ගැහැනියක් එපා.
Mr මනමේ - ඇයි මාව මැරුවේ?
මනමේ කුමරි - ඒක තමයි ඔයාගේ ආශාව. මම ඔයාගේ ආශාව ඉෂ්ට කරා. දැන් පුළුවන් ඔයාට ඔයාගේ පොතේ ඉතිරි වැඩ ටික කරන්ඩ.
Mr මනමේ - එයා යනවාද ඔයාව අත ඇරලා?
මනමේ කුමරි - මොන පිස්සුද? එයා කොහේ යන්ඩද?  එයා ඉන්නවා.
Mr මනමේ - ඔව්. එයාට යන්ඩ එපා කියන්ඩ.
වැදිරජු - නැහැ, මට යන්ඩ ඕනේ. තමුසේ මැරිලා.
Mr මනමේ - මම මැරුණට කමක් නෑ, තමුසේ ඉන්නවා. මේ අහනවා... අපි ආයෙත් අතෙන්ට යමු. (රහසින්) මම හිතන්නෙ එයා කියන්නෙ බොරු. තමුසේ ඕවා ගණන් ගන්ඩ එපා. අපි ආපහු එතනට යමු.
වැදිරජු - කොතැනටද?
Mr මනමේ - මාව මරපු තැනට!

-Mr මනමේ හෙවත් මනමේ සින්ඩ්‍රෝමය



මළ මිනිසා- ඇයි මාව මැරුවේ
සතී- ආදරේට
මළ මිනිසා - මාව දාලා යන්ඩ එපා
සතී- කවදාවත් නෑ
මළ මිනිසා - පොරෙන්දු වෙන්ඩ
සතී- පොරොන්දු වෙනවා
මළ මිනිසා - හ්ම්... කාත් එක්කවත් බුදියගන්ඩ එපා
සතී- නෑ
මළ මිනිසා - අපි එළියට යං
සතී- එළිය සීතලයි
මළ මිනිසා - ගොඩක්
සතී- ඔව් ගොඩක් හීතලයි
මළ මිනිසා - මාව මැරෙයි ද
සතී- ඔයා මැරිලා
මළ මිනිසා - මම මැරිලා ද
සතී- ඔව්
මළ මිනිසා - මාව දාලා යන්ඩ එපා

-රතු සපත්තු




*
වැදිරජු - කඩුව ගත්තෙ මම. ආයේ කතා කරන්ඩ දෙයක් නෑ.
මනමේ කුමරි -මොන පිස්සුද මමයි දුන්නෙ. මම දුන්නෙ නැත්නම් ඔහේ ගනියි.
Mr මනමේ -ඇත්ත. කඩුව දුන්නා නෙමෙයි. කඩුව උදුරලා ගත්තා.
මනමේ කුමරි - ඔහේ මට අපහාස කරනවා... කඩුව දුන්නෙ මමයි.
වැදිරජු - කඩුව ගත්තෙ මමයි.
මනමේ කුමරි - නෑ, කඩුව දුන්නෙ මමයි.
Mr මනමේ - නෑ, කඩුව ගත්තෙ ඌ.
වැදිරජු - කඩුව ගත්තෙ මමයි.
මනමේ කුමරි - නෑ, කඩුව දුන්නෙ මමයි.
Mr මනමේ - නෑ, කඩුව ගත්තෙ ඌ.
වැදිරජු - කඩුව ගත්තෙ මමයි.
මනමේ කුමරි - නෑ, කඩුව දුන්නෙ මමයි.
Mr මනමේ - නෑ, කඩුව ගත්තෙ ඌ.

(මනමේ කුමරිය පිටව යයි.)

වැදිරජු - කඩුව ගත්තෙ මමයි.
මනමේ කුමරි - නෑ, කඩුව දුන්නෙ මමයි. (ඈතින් ඇසේ)
Mr මනමේ - නෑ, කඩුව ගත්තෙ  ඌ.
වැදිරජු - කඩුව ගත්තෙ මමයි.
Mr මනමේ - කඩුව ගත්තෙ ඌ.
වැදිරජු - කඩුව ගත්තෙ මමයි.
මනමේ කුමරි - නෑ, කඩුව දුන්නෙ මමයි.


*
මහණ, අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීතානාගප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, මේ රූපස්කන්ධ යැ, අතීතානාගප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් වේදනාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් වෙදනාවක් ඇද්ද, මේ වෙදනාස්කන්ධ යැ, අතීතානාගප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි සංඥාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් සංඥාවක් ඇද්ද, මේ සංඥාස්කන්ධ යැ. අතීතානාගතප්‍රත්‍යුත්‍යන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් සංස්කාර කෙනෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, මේ සංස්කාරස්කන්ධ යැ. අතීතානාගප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද, මේ විඥානස්කන්ධ යැ. මහණ, මෙතෙකින් ස්කන්ධයන් ගේ ස්කන්ධප්‍රඥප්තිය වේයයි වදාළහ.

වහන්ස, රූපස්කන්ධයාගේ පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, වෙදනා ස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංඥාස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංස්කාරස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, විඥානස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ දැ’ යි.

මහණ, රූපස්කන්ධය පැනැවීමට සතර මහාභූතයෝ හේතු වෙති, සතර මහාභූතයෝ ප්‍රත්‍යය වෙති. වේදනාස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්‍රත්‍යය වෙයි. සංඥාස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්‍රත්‍ය වෙයි. සංස්කාරස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්‍රත්‍ය වෙයි. මහණ, විඥානස්කන්ධය පැනැවීමට නාමරූපය හේතු වෙයි, නාමරූප ප්‍රත්‍යය වේ යයි වදාළසේක.

- මහාපුණ්ණම සූත්‍රය

Wednesday, October 11, 2017

හිරගෙදරට නොදෙවෙනි වැඩවසම් ඉස්පිරිතාල දොස්තර උපාධිය එක්ක මහමග...

             

පුද්ගලීකරණය... මම මේ වචනය පළමුවෙන්ම ඇසුවේ මගේ ගෙදරදී මගේ දෙමව්පියන්ගෙන්. ඔවුන් වතු සංවර්ධන මණ්ඩලයක සේවය කළ ලිපිකාරයෝ. ඔවුන් ගෙදර කතා වුණා ප්‍රයිවට් කරන්ඩ යනවා ජනතා වතු සංවර්ධන මංඩලය. සමහර සේවකයින්ට වන්දි අරගෙන ඉවත් වෙන්ඩ පුලුවන්. ඒ 1990 ගණන් වලදී ( මට ඒක ගැන දත්ත වශයෙන් නිවරදි මතකයක් නෑ.). 
ඊට පස්සෙදී නැවත ඒක මට මුණ ගැහෙන්නෙ වාණිජ විද්‍යාව හෝ ආර්ථික විද්‍යාව පාඩමේදි උසස් පෙළ විභාගයට. මම විශ්ව විද්‍යාලයට ආවා. වාණිජවේදී උපාධියක් ගන්ඩ. මගේ අම්මා මට කිව්වා හොඳ රස්සාවක් කරන්ඩ ඉගෙන ගන්ඩ. පිරිමියෙකුට වහල්කම් නොකර, යටත් නොවී ජීවත් වෙන්ඩ.  විශ්වවිද්‍යාලයේදී අපි ඉගෙන ගත්තා රාජ්‍ය අකාර්යක්ෂමතාවයට පිළියම පුද්ගලීකරණය. අපි විශ්වවිද්‍යාලයේදී තදින් මේක ඉගෙන ඉගෙන ගත්තා. එහෙමත් නැත්නම් ඉගැන්නුවා. අපිට ලියන්ඩ ඕන උත්තර දීලා ඊට පස්සෙ ප්‍රශ්න අහන නිසා අපිට ලියන්ඩ සිද්ධ වුනේ එකම උත්තරයි. මුලු අධ්‍යාපන සිස්ටම් එක ඇතුළේම ඉස්සෙල්ලා උගන්නනෙ අපි දෙන්ඩ ඕන උත්තරේ. උත්තර උගන්නලා ප්‍රශ්න අහන එකට තමයි අධ්‍යාපනය කියන්නෙ.
අපි ගොඩ දෙනෙකුට ඉගෙන ගන්ඩ සිද්ධ වුනේ ඉංග්‍රීසියෙන් වුනත් විභාග ලිව්වෙ සිංහලෙන්. ඒ විදිහට තමයි ඉංග්‍රීසියට හැරවීම පටන් ගත්තෙ. දැන් කොහොම වෙනවද මම දන්නෙ නෑ. මම විශ්වවිද්‍යාලය දක්වාම ඉගෙන ගෙන තිබුනේ සිංහලෙන්. හැබැයි ක්‍රමය තිබුනේ ඉංග්‍රීසියෙන්. දැන් මොකද කරන්නෙ ? ඒගොල්ල අපිට කිව්වා ව්‍යාකරණ වැරදුනත් කමක් නෑ ඉංග්‍රීසියෙන් විභාගයට ලියන්ඩ කියලා. ඒත් මට නාට්‍ය පිස්සුව තදින් රෝගයක් වගේ වැළඳිලා තිබුණ නිසා මම හිටියේ දෙකට බෙදිලා. 
ඉතින් මම නාට්‍ය කලාව හොයන්ඩ පිටත් වෙලා තිබුණ නිසා මම සිංහලෙන් විභාග කරා. මොකද ඉංග්‍රීසියෙන් මහන්සි වෙන්ඩ යන කාලය මට අවම වෙන හින්දා. ඇයි ආණ්ඩුවේ ඉස්කෝල අපිට ඉංග්‍රීසියෙන් ඉගැන්නුවේ නැත්තෙ? ඇයි අපිව රැවැට්ටුවේ? මට ඉංග්‍රීසියත් එක්ක කිසිම විරෝධයක් නෑ. නිදහස් අධ්‍යාපනය සිංහලෙන් ලබා ගැනීමේ පාපකර්මය ගෙවන්ඩ සිද්ධ වුනේ අපේ පරම්පරාවට කියලා මම හිතන්නෙ. 
මම කියන්නෙ රජය පළමුවෙන්ම පුද්ගලීකරණය ගැන කතා කරන්ඩ කලින් ආණ්ඩුවේ පළමුබස ඉංග්‍රීසිය කළ යුතුයි. දෙක ආණ්ඩුව රට පාලනය කරන එකත් විකුණන්ඩ ඕන පුද්ගලික කොම්පැනියකට. මම කියන්නෙ ඒකට ජනමත විචාරණයක් තිබ්බා නම් හොඳයි. ඒක කරන එකක් නෑ. මොකද කොමිස් මුදලාලිලා කොමිස්වලට මොකද කරන්නෙ? දෙවන බස දෙමළ හා සිංහල කළ යුතුයි. මම හිතන්නෙ මේ ප්‍රශ්නය වෛද්‍ය ශිෂ්‍යයන්ට වඩා කළමණාකරණ කේෂ්ත්‍රයේ ඉන්න අයට තදින් දැනෙනවා. මොකද දොස්තර කෙනෙක්ට වඩා සන්නිවේදන කුශලතා ඒගොල්ලන්ට ඕනේ. දොස්තරලා ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තාට ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට එන්නෙ සල්ලි නැති බයියෝ නිසාත්, කතා නොකර බුකවගෙන සිටීම දොස්තරවරුන්ගේ අනන්‍යතාවය නිසාත් ඔවුන්ට එය එතරම් තද ප්‍රශ්නයක් නොවෙයි. ඒත් කළමණාකරණ ක්ෂේත්‍රවල බලාපොරොත්තු වෙන්නෙ ඉපදෙනකොටම ඉංග්‍රීසියෙන් අඬාගෙන එන්ඩ ඕන වගේ දෙයක් (ලංකාවේ ප්‍රභු කලාවත් ඒවගේම තමයි.). 56 භාෂා ප්‍රශ්නය අද තියෙන්නෙ සිංහලද දෙමළද කියන තැන නෙමෙයි. ඉංග්‍රීසි නොදන්නාකම. 


( මම ඇතුළත් වෙලා තිබුණ පැකල්ටි එක එක්ක මට කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ. මට ඒකේ උගන්නපු අය පෙනුනේ අමුතු ලෝකෙකින් ගොඩ බැහැපු අය වගේ. ඒගොල්ල කියපු සමහර දේවල් මට තේරුනේ නෑ. තාමත් තේරෙන්නේ නෑ. ගාමන්ට් එකක ලොකු විභාග ලියලා කළමණාකරුවෙක් වෙන කෙනෙක්ට (එහෙමත් නැත්නම් ඉංග්‍රීසි කතා කරන නිසා) රුපියල් ලක්ෂ දෙකකටත් වඩා  ගෙවීමක්  කරන එකයි, ඇඳුමක කොලරයක් මහන කෙනෙකුට රුපියල් විසිදාහක් පමණ වැටුපක් ගෙවන  එකයි  අතරේ තියෙන පරතරය මට තාමත් තේරුම් ගන්ඩ බෑ. ආර්ථික වර්ධනය කියලා මහ බැංකුවෙ තියෙන දත්ත මේවා වෙන්ඩ ඕන.) 
කොහොමහරි ඉස්සෙල්ලාම ලංකාවේ විකුණුවේ වාණිජවේදී හෝ ව්‍යාපාර පරිපාලන උපාධිය.  ඒ ක්ෂේත්‍රය සම්බන්ධ ලොකු පඩි ගෙවන විභාග ගොඩාක් පුද්ගලික විභාග. මුදල් ගෙවලා කරන්ඩ ඕන ඒවා. ඒ වගේ උපාධි විකුණන විශ්වවිද්‍යාල ලංකාවේ දැන් ගොඩාක් තියෙනවා. රජයේ සංවර්ධන නිලධාරි හෝ ගුරු වෘත්තිය වගේ රස්සා තමයි ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලින් ව්‍යාපාර සම්බන්ධ උපාධි තියෙන ගොඩක් අය කරන්නෙ. නීති උපාධිත් විකුණනවා. ගොඩාක් උපාධි විකුණනවා. ඒ මදිවට නිදහස් අධ්‍යාපනය කියලා කියන අඩක් සත්‍ය වූ බොරුව තාමත් තියාගෙන ඉන්න හැටි. අපිත් හිතාගෙන ඉන්නවා තියෙනවා කියලා. නමුත් නිදහස් අධ්‍යාපනය කියලා අද කුට්ටිය පිටින් ගන්ඩ පුලුවන් එක එකකයක් නෑ. 
මම හිතන්නෙ නිදහස් අධ්‍යාපනය දීපු එකම දේ තමයි දුප්පත් ළමයින්ට තමන්ගේ දුප්පත්කමට එරෙහිව සටන් කරන්ඩ දීපු අවස්ථාව. ඒ වගේම කුල පීඩනයට වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවයටත් ඒක කරපු බලපෑම විශාලයි. ඒකේ අන්තිමට ඉතිරි වෙලා  තියෙන තැන තමයි දොස්තර උපාධිය. තාමත් දුප්පත් දරුවෙක්ට දොස්තර කෙනෙක් වෙන එක සිහිනයක් විදිහට ඉතිරි වෙලා තියෙනවා.
මේ වෙනකොට වාණිජවේදී හෝ ව්‍යාපාර පරිපාලන උපාධියට නම් හොඳටම කෙළවෙලා තියෙන්නෙ. දැන් කෙළවීගෙන එන්නෙ වෛද්‍ය උපාධියට. මේක විකුණුවා නම් ලංකාවේ පුද්ගලීකරණය සීයයට සීයක් සිද්ධ වෙනවා. දැන් පුද්ගලික ඉස්පිරිතාලවල හැන්දෑවේ හතරෙන් පස්සෙ බෙහෙත් දෙන  දොස්තරලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආවට පස්සෙදි වෙන්නෙ ඒ පුද්ගලික රෝහල්වලට අර දොස්තරලා ටික ඕන නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට බෙහෙත් ගන්ඩ ප්‍රයිවට් ඉස්පිරිතාල... සල්ලි තියෙන පවුල්වල සල්ලි දීලා ඉගෙන ගත්ත වැදගත් දොස්තරලා... 
ආණ්ඩුවේ ඉස්පිරිතාලවල දුප්පත්  නොවැදගත් පවුල්වල මහා තරගයකට මුහුණ දීලා අමාරුවෙන් වෛද්‍ය විද්‍යාලයට ඇවිත් ඉගෙන ගත්ත දොස්තරලා. එගොල්ලන්ඩ දැන් වගේ පෝසත් වෙන ඒක ලේසි නෑ. දොස්තර උපාධිය විකුණුවාම.
මේ දෙක හරියටම වෙන්වෙනවා. වානිජවේදී හෝ ව්‍යාපාර පරිපාලන පිළිබඳ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලින් උපාධි ගත්ත බහුතරයක් අයට මුහුණ දීමට සිදුවන විවෘත තරඟයට ලංකාවේ දොස්තරලා වෙන්ඩ ඉගෙන ගන්න අයටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තාමත් දුප්පත් දක්ෂයන්ට ඇති එකම ඒකාධිකාරය වෛද්‍ය උපාධිය විතරයි. 
දැන් කොටසක් කැමතියි පුද්ගලික කරනවාට. කොටසක් කැමති නෑ පුද්ගලික කරනවාට. මේක ඇතුළේ ප්‍රමිතිය වගේ දෙයක් ගැන තියෙන ප්‍රශ්නයට වඩා තියෙන්නෙ පන්ති අතර තියෙන ගැටුම. පුද්ගලිකව රජයේ රෝහල්වලටවත් ඒකේ ඉන්න වෛද්‍යවරු ඇතුලු කිසිම සේවකයෙකුටවත් මට කැමති වෙන්ඩ බෑ. මම කියන්නෙ මොළේ කළඳක් හරි තියෙන කෙනෙකුට ලංකාවේ රෝහල් පද්ධතියේ තියෙන අවුල පේනවා. මානව සම්බන්ධතා අතින් ලංකාවේ හිරගෙවල්වලට නොදෙවෙනිව ලංකාවේ රෝහල් පද්ධතිය තියෙන්නෙ. ඒ හින්දා අනෙක් කේෂ්ත්‍රවල වගේම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ කැරකෙන මේ ප්‍රශ්නය හරිම සංකීර්ණයි. මේක අමතක කරලා දාලා උපාධිය නොවිකුණුවා කියලා කිසිම පල ප්‍රයෝජනයකුත් නෑ. උපාධිය විකිණීම වගේම රෝහල් පද්ධතිය මේ වෙලාවේ තියෙන තත්වයත් අන්ත පසුගාමී තැනක්. නමුත් ඒකට තියෙන ඉදිරිගාමී උත්තරය පුද්ගලීකරණය කියන මිත්‍යාව නම් මට තාමත් විශ්වාස කරන්ඩ අමාරුයි.
මම නිදහස් අධ්‍යාපනය නිසා උපාධියක් ගත්තා තමයි. ඒත් ඒකෙන් ඒ හැටි ප්‍රයෝජනයක් අරගෙන නැති බවත් ඇත්ත. මම ඒ දෙවල් ගැන ඒතරම් විශ්වාස කරන කෙනෙකුත් නෙමෙයි.  දුප්පතුන් ටික දෙනෙක් තමන්ගේ පංතිය මාරු කරා කියලා මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්නෙ නැති බවත් ඇත්ත. නමුත් මට තාම නිදහස් අධ්‍යාපනය නිසා දුප්පතුන් ලබා ගත් ප්‍රතිලාභ අමතක කරලා පුද්ගලීකරණයට අත් උස්සන්ඩ බෑ. මොකද තාමත් ලංකාවේ බහුතරයකට ප්‍රයිවට් ඉස්පිරිතාලවලින් බෙහෙත් ගන්ඩ බෑ. ඒ වගේම සල්ලි දීලා ඉගෙන ගන්ඩත් බෑ. මේ කාරණය අමතක කරලා සියලු දේවල් විකුණන්ඩ ඕන කියන මායාවී සිහිනය වැළඳ ගන්ඩ තාමත් මට මගේ හිත ඉඩ දෙන්නෙ නෑ.
ඒක නිසා පෙරේදා අරලිය ගහ මන්දිරයට කිට්ටුවෙන් කඳුලු ගෑස් ගහලා විරෝධතාකරුවන් පලවා හරින වෙලාවේ මටත් එතැන ඉන්ඩ ඕන වුණා. 
                                                                                   
නදීකා බණ්ඩාර
  


ඇද නැති ඇද අකුරු




අජිත් සංජීව විසින් ලියන ලද ඇද අකුරු ගැන යමක් ලියන්ඩ ඕන කියලා හිතුවා. සර්පයා මේක හඳුන්වලා දීලා තියෙන්නෙ යොවුන් නවකතාවක් විදිහට. ඒ වගේම ගැටලු නවකතාවක් විදිහට. ඒ කියන්නෙ යොවුන් අයට සුදුසු නවකතාවක්. නමුත් මට නම් මේක යොවුන් නවකතාවක්වත්, ගැටලු නවකතාවක්වත් නෙමෙයි. ගැටලු නවකතාව යොවුන් වියේ ඉන්න අයට යොවුන් විය නිසාම අත්විඳින්ඩ සිදුවන සුවිශේෂි තත්වයන් වගවිභාගයට ගැනෙන නවකතා. ශරීරයේ වෙනස්වීම්, පෞරුෂමය ගැටලු, ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය, තීරණ ගැනීම වගේ දේවල් ඒවායේ ප්‍රමුඛ මාතෘකා. මම හිතන්නෙ යොවුන්විය අවසන් වෙන කොට අපි ඊට අනන්‍ය වූ සමහරක් ගැටලුවලින් අත්මිදෙනවා. නමුත් සමහරක් දේවල් අපි ළමාවියේ පටන් මරණය දක්වාම අරගෙන යනවා. එවන් සුවිශේෂී මානසික තත්වයන් තිබෙන්ඩ පුලුවන්.
මේ පොත ඇතුලේ තියෙන කතාවට යෞවනයෙකුට කරන්ඩ පුලුවන් දේ මොකද්ද? මේ කතාව නිර්මාණය කරන්නෙ රට තුළ ඇති ආර්ථික හා සමාජ දේහය විසින් නම් ඒ කතාවට ඔහු කුමක් කරන්නද? මෙවැනි කතා යෞවනයන් විශේෂයෙන් කියවීමෙන් ලැබෙන්නෙ මොනවාද? මේ කතාව ඇතුළේ මේකේ ඉන්න ගැටවරයාට අනන්‍ය වූ කිසිදු ප්‍රශ්නයක් නෑ. සියලුම ප්‍රශ්න බලහත්කාරයෙන් ඔහු මතත්, ඔහුගේ දෙමාපියන් මතත් පටවපු තත්වයන්. මම කියන්නෙ මේක කියවන්ඩ ඕන කවුරුවත් නෙමෙයි. මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයෝ රොත්ත. ඒ ගොල්ලන්ඩ ඒ ගොල්ලො අමතක කරන  කතාවක් සමහර විට අජිත් සංජිව නැවතත් මතක් කරලා දෙනවා කියලා මම හිතන්නෙ. ඔවුන්ගේ උජාරු දත්ත පිටුපස තියෙන මිනිස්සුන්ගේ ජිවිතය ගැන තමයි ඔහු ලියලා තියෙන්නෙ. මේක ලියවෙන පසුබිම දැනට අවුරුදු විසිපහකට පමණ එපිටින් තිබුනු ගම්මැද්දෙ අය පවුල් ජීවිතයට මුහුණ දීපු හැටි. දැන්  සමහරක් දේවල් වෙනස් වෙලා. නමුත් එම තත්වයන් නිර්මාණය කරන කොන්දේසි තාමත් තියෙනවා.
ලේඛකයා එතරම් ශුර නොවෙන්ඩ පුලුවන්. ඒත් ඔහු අවංකයි. එම නිසා එම අත්දැකීම ඔහු අපට ප්‍රක්ෂේපණය කරන්ඩ සමත් වෙනවා. සාහිත්‍යය ගැන, එහි මිනුම් දඩු ගැන මම එතරම් සැලකිල්ලක් නොදක්වනවා සේම මම ඒ ගැන මහා දේවල් දන්නෙත් නෑ.
මේකේ ඉන්නවා අශිෂ්ට තාත්තා කෙනෙක්. වගකීම් විරහිත. අසමත් පියෙක්. ශක්තිමත් අම්මා කෙනෙක්. මේකේ ඉන්න ගැටවරයාට තමන්ගේ අම්මා අහිමි වෙනවා. ඈ අසමත් තාත්තා නිසා මැදපෙරදිග යනවා. නමුත් මැදපෙරදිග ස්වාමියා ඈව පුච්චනවා. ඈව උඩුමහලෙන් පිතටතට තල්ලු කරනවා. ඇත්තටම අසමත් තාත්තා යනු මේ කතාවේ ඉන්න ගැටවරයාගේ පියාද නැත්නම් අපේ ජනාධිපති තාත්තාලාද කියන එකයි මගේ ප්‍රශ්නය. මේකේ ඉන්න ගැටවරයා ජිවිතේ සදාකාලිකව ඔහුගේ අම්මාව සොයාවි. ඒත් ඒ ෆ්‍රොයිඞ්ගේ තියරිය නිසා නම් නෙමෙයි. අපේ ජනාධිපති තාත්තලාගේ තියරිය නිසා. අදටත් බයිලා ගැහැව්වාට ලංකාවට විදේශ විනිමය අරගෙන එන්නෙ මැදපෙරදිග කාන්තාවෝ. අපිට තාමත් කුවේට් ඩිනාර් එක රත්තරන්. හැබැයි පිලිස්සුණු, මිය ගියපු, කෙලවරක් නැති ලිංගික අපහරණයන් ගැන කතා ඒ මහබැංකු වාර්තාවේ නෑ. ඒක නිසා මේ වගේ පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මේවා මහ බැංකු වාර්තාවල පිටුපස්සෙ ඇමුණුම්වලට යවනවා නම් තමයි හොඳ. (මැදපෙරදිගෙන් හම්බවෙන රුපියල් බිලියන නමසිය තිහ ගැන විතරක් සඳහන් කරන එක එතරම් ශිෂ්ට නෑ.
)
මේකේ ගැටවරයා එළියට බහින්නෙ තමන්ගේ මැදපෙරදිග ගියපු අම්මා මාස කිහිපයකට පස්සෙ කිසිම තොරතුරක් නැතිව ඉඳලා, මැදපෙරදිග ස්වාමියා ඇගේ පිට ඉස්ත්‍රිරික්ක කර ඇති බවත් උඩුමහලෙන් ඈව පහළට තල්ලු කොට දමා අත කඩා ඇති බවත් දන්වා ඇති ලියමන දැක්කට පස්සෙ. මම හිතන්නෙ ඔහුගේ මවට ඒක ඒතරම් දෙයක් නොවෙන්ඩත් ඇති. මොකද පරපීඩක ආශාවට ඈ ලංකාවේදී ගොදුරු වෙලා හිටපු නිසා ඈ හිතන්ඩ ඇති පිට ඉස්ත්‍රිරික්ක කරන කොට ඈ ලිංගික සුරතාන්තමය ප්‍රහර්ෂය අත්විඳිනවා කියලා. අත් කඩන එක, කස පහර දෙන එක ලිංගික ප්‍රහර්ෂය නෙමෙයි කියලා කාට හරි කියන්ඩ පුලුවන්ද? ගෙදරදිත් ගැටවරයාගේ පියා ඒ කියන්නෙ ඔහුගේ මවගේ පළමු ස්වාමියා ඒ කියන්නෙ ගැටවරයාගේ පියා මෙම කාන්තාවට පහර දෙනවා. වධ දෙනවා. මේක ගෘහස්ත හිංසනය නෙමෙයි. මේක ලිංගික ප්‍රහර්ෂය. තමන්ට මුදල් හම්බකරන්ඩ අමාරු වෙන්ඩ, වෙන්ඩ ස්වාමියා වහලාට පහර දෙනවා. ඒක පවුල් බැඳීම. ලංකාවේ ගෘහස්ත හිංසනය කියන්නෙ ලිංගික ප්‍රහර්ෂය. ගැටවරයාට ඒක තේරෙන්නෙ නෑ. ඒක විතරයි මම හිතන්නෙ ඔහුට නොතේරෙන එකම දේ මේ පොත ඇතුළේ. ඇයි කිසිම තේරුමක් නැතිව ඔහුගේ පියා අම්මාට පහර දෙන්නෙ? ඒක තමයි ලංකාවේ සම්ප්‍රදායික බෞද්ධ පිරිමියාගේ ලිංගික සුරතාන්තය. දැන් ඒක ටිකක් වෙනස්. දැන් පරපීඩක ගෘහස්ත හිංසනය දියුණුයි. තේරුම් ගන්න අමාරුයි. සතුට වැඩියි.
දැනට අවුරුදු දාහතරකට විතර කලින් මම දවසක් දැක්කා ගබ්සාවක් සිදු කරන තැනකට ඇවිත් හිටපු ගැහැනියක්. මැදපෙරදිග ගියපු. මැද පෙරදිග ස්වාමියා දීපු ඩිනාර්වලට ගෙවපු අතිරේක වන්දිය. මම දන්නෙ නෑ මාස හතරකට වැඩි ඒ බඩ ගෙඩිය ඇතුළේ හිටපු ඒකා නැති කරන්ඩ ගිහින් ඒ ගැහැනියත් මළාද කියලා. ඒත් ඈ වේදනාවෙන් ඇවිදිමින් හිටපු හැටි මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පොතත් ඒ වගේ තිගැස්මක් මට අරගෙන ආවා.  මහා සාහිත්‍යය ඇතුළේ මේ පුංචි පොත තිතක්. ඒත් ඒ තිත අපිට අරගෙන එනවා හෘදය සාක්ෂියේ බර.
ඒ බර යෞවනයන්ට බර වැඩියි.
                                                                                   

නදීකා බණ්ඩාර


Monday, October 9, 2017

රෝමියෝ ජූලියට් ලා දෙසැම්බර් 30 වන සෙනසුරාදා සවස 6.30 පුංචි තියටර්



ජගත් ජයසේකරගේ සහ නදීකා බංඩාරගේ සම අධ්‍යක්ෂණයක් වන රෝමියෝ ජූලියට් ලා වේදිකා නාට්‍යය දෙසැම්බර් 30 වන සෙනසුරාදා සවස  6.30ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකා ගතවේ. 

ජගත් ජයසේකර, නදීකා බංඩාර, සුසන්ත ප්‍රදීප්, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, ඉන්දික රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය හර්ෂ මාකලන්දගෙනි. නර්තන වින්‍යාසය සුසන්ත ප්‍රදීප්ගෙනි. රංගාලෝක ලහිරු චතුරංගගෙනි.

නදීකා බංඩාරගේ රචනයක් වන මෙය විලියම් ශේක්ෂ්පියර්ගේ මුල් කෘතිය ඇසුරින් කරන ලද පර්යේෂණාත්මක ප්‍රහසන කෘතියකි. වත්මන් පාරිභෝගිකවාදී නව ලිබරල් සමාජය තුළට සිය සොහොන්වලින් නැගිට පැමිණෙන රෝමියෝගේ හා ජූලියට්ගේ ඉරණම කවරේදැයි විමසා බලන මෙය අපගේ ජීවිතය තුළ ආදරයට හිමි තැන ප්‍රශ්න කරයි. 

රෝමියෝ ජූලියට් ලා ජෙනී තියටර් රංග කලා සංසදයේ ඉදිරිපත් කිරීමකි. 

Mr මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය පුහුණුවීම් ඇරඹේ

නාට්‍යවේදිනියක, සිනමාකාරිනියක, ළමා කතා රචිකාවියක මෙන් නවකතාකාරිනියක වන නදීකා බංඩාරගේ  Mr  මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය නාට්‍යයේ පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි පිටපත ජෙනී තියටර් සහ ගැහැණුන්ගේ වේදිකාව ප්‍රකාශනයක් ලෙස එම නිෂ්පාදනය සඳහා අරමුදල් ගොඩ නැගීම සඳහා ප්‍රකාශනයට පත් කෙරී ඇත. 

චුල්ල ධනුද්ධර ජාතකය හා චාල්ස්ද සිල්වා ශූරීන්ගේ මනමේ නාඩගමත්, ආචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයත් තුළින් ගලා එන තුන්වෙනියාගේ ආගමනය හා ආශාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මනෝවිශ්ලේශණයක් මෙතුළ දකිත හැකිය. මෙම ජාතික සින්ඩ්‍රෝමය පොදුවේ සාර්වත්‍රික හා සර්වකාලීන මෙන්ම සර්ව භෞමික සින්ඩ්‍රෝමයක් ලෙස ස්ත්‍රී දැක්මකින් විස්තර කෙරෙන දීර්ඝ පෙරවදනක්ද මෙම පිටපතේ අඩංගුය.

“මනමේ කවි නාඩගම මනමේ කතාවේ සෑබෑ ඛේදවාචකයට මුහුණ දෙන්නෙ මනමේ කුමරිය නොව මනමේ කුමාරයා සහ මනමේ වැද්දාය. ඔවුන් එකිනෙකා හා දබර කර ගනු ලැබුවේ නොපවතින ආදර වස්තුවක් උදෙසාය. එහෙත් මනමේ කුමරියට පිරිමි අනුකම්පා කළේ සහ ඇය චපලයි කියා හිත හදා ගත් මනෝභ්‍රාන්තිය අප වැළඳ ගත්තේ ඇයි? 

මනමේ ජාතක කතාවේ කතා වින්‍යාසය ලෝකයේ බෙහෝ නවකථා, කවි, නාට්‍ය නිර්මාණවලට පසුබිම් වී ඇති ජනප්‍රිය කතා වින්‍යාසයක් ලෙස හඳුන්වා දිය හැක. උදාහරණයක් ලෙස රාම සීතා කතාව, ග්‍රීකයේ ඔරෙස්ටස් නාට්‍යයට පසුබිම් වූ කතා වස්තුව කතාව වැනි කතාවල ආකෘතිය ගොඩනැඟී ඇත්තේ තුන්වැනියෙකුගේ ආගමනයකින්. ඊට පස්සෙ වෙන දේ තමයි එතෙක් පැවති ව්‍යුහය අර්බුදයට යාම. (බොහෝ නාට්‍ය ආකෘතිද ගොඩ නැඟී ඇත්තේ එතෙක් පවතින ව්‍යුහය අර්බුදයට යාම ගොඩ නැගීම තුළිනි. විශේෂයෙන් පැරණි සංස්කෘත නාට්‍යද, ග්‍රීක ශෝකාන්ත බොහෝමයක්ද මෙකී ආකෘතිය ගනී. එය ජනප්‍රියම සහ පහසුම නාට්‍ය ආකෘතියකි.) ”

නදීකා ඩංඩාර, ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප් සහ කසුන් ජයරත්න  Mr  මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය හි රංගනයෙන් දායක වෙති. රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බංඩාරගෙනි.  Mr  මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය ගැහැණුන්ගේ වේදිකාව ඉදිරිපත් කිරීමකි.