Friday, July 15, 2016

භාව විරේක


ජගත් ජයසේකරගේ නාට්‍යයක්





ජගත් ජයසේකරගේ භාව විරේක දේශීය ශාන්ති කර්මමය අභිචාර හා වෙස්මුහුණු  යොදා ගත් පර්යේෂණාත්මක නාට්‍යයකි. මෙහිදී ඇරිස්ටෝටලියානු භාව විරේචනය දේශීය වෛද්‍ය චිකිත්සාවේ භාව විරේක කිරීම සමග එක් අතකින් සම්බන්ධවේ. 

සරච්චන්ද්‍රයන් ජන රංගයෙන් නාට්‍යමය අර්ධය උකහාගෙන චරිත විකාශනය කරමින්, තදාත්මීය කරමින් ජන රංගයේ වූ උපාඛයානමය ව්‍යුහය උච්චාවස්ථාමය ආඛ්‍යානයක් කරා නැංවූවේය. දයානන්ද ගුණවර්ධන සිය වාර්තා රංගය තුළ එම උපාඛයානමය ස්වභාවය පාදක කර ගත්තේය. ගෝඨයිම්බර කෝලම තුළ ඩෙනිස් කරනුයේ ඒ වෙනුවට එහි සයිකඩෙලික හෙවත් මනෝභ්‍රමිකත්වය ඉස්මතු කිරීම බව ඔහු පවසා තිබිණි. ඔහු මූලික වශයෙන් රඟමඩල වේදිකාව බවට පත්වූ පසු ගිලිහී ගිය උපාඛයානමය ව්‍යුහය සිය මෙහෙයට ගත්තේය. 

සම්ප්‍රදායික ජන නාට්‍ය ආකෘතීන් බොහෝ විට යොදා ගත්තේ හාස්‍යය, විනෝදය හෝ කතාන්දරයක් කියාපෑම නැතිනම් දේශපාලන විරෝධයන් සඳහා පමණි. තොවිල් ආශ්‍රිත බොහෝ නාට්‍යවල යකා බවට පීඩකයා ගෙන එමින් ආතුරයා පීඩිතයා කරමින් ජනතාවාදී ව්‍යාජයන් නිරූපනය වෙනු අප පිදුරු හතු ගානට දැක ඇත. දාර්ශණික සංකල්ප වෙනුවෙන් ඒ යොදා ගන්නට උත්සුකවූ නාට්‍යකරුවන් දුරලභය.

ඩෙනිස් ගෝඨයිම්බර කෝලම තුළ අපූර්ව ලෙස එම ශාන්තිකර්මමය ව්‍යුහය යොදා ගනියි. නවපරපුරේ නාට්‍යකරුවකු ලෙස වෙනස් දෘෂ්ටිමය ආස්ථානයක් ගනිමින් අපගේ ජන රංගය යොදා ගැනීමම සුවිශේෂය. පර්යේෂණාත්මක හෝ දෘෂ්ටිමය වශයෙන් වෙනස් ලෙස මෙවන් අභිචාරමය තාක්ෂණයන් යොදාගන්නා අවස්ථා නවපරපුරේ නාට්‍යකරුවන් අතර විරලය. ඉන්දික ෆර්ඩිනන්ඩු විසින් මෑතක කළ නිර්මාණයත්, චාමිකගේ ‘මකරට’ හි කෝලම් යොදා ගැන්මත් එවන් අවස්ථාවන් බව හඟිමි. නාට්‍ය කලාවේ බහුත්වවාදීත්වය දෘෂ්ටිමය වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන්ද රැක ගැනීමට මෙවන් ප්‍රයත්නයන් අතිශය වැදගත්ය.

ජගත් ජයසේකරගේ ‘භාවවිරේක’ ලකානියානු මනෝ විශ්ලේශනයත්, යුංගියානු මනෝ විශ්ලේශනයත් තුළ එන ප්‍රවාද ඉස්මතු කරන්නක් වෙයි. 

ස්විස් ජාතික මනෝ විද්‍යාඥ කාල් යුංග් විසින් ගෙනා ෆර්සොනාව හෙවත් වෙස්මුහුණ නම් සංකල්පයට අනුව අප බාහිර සමාජය සමග ගනුදෙනු කරනුයේ වෙනත් වෙස් මුහුණක් තුළිනි. ග්‍රීක නාට්‍ය කලාව තුළ ෆර්සොනා යන වෙස් මුහුණ අපගේ අතීත සම්ප්‍රදාය තුළ කෝලම් නම් විය. රත්පිත් උන්මාද, සන්නි, දිස්ටි, සමයං වන් නොයෙක් මනෝචිකිත්සක සංකල්ප ආයුර්වේදයේ මෙන්ම දේශීය මනෝ චිකිත්සාවේද දකිත හැකිය. එහිදී වෙස්මුහුණ නැතිනම් කෝලම් ප්‍රධානතම අංගයක් විය.  

ජගත් නව නිර්මාණයක් ලෙස ගෙනෙන මෙහි එන ත්‍රිත්ව වෙස්මුහුණ තුළින් මහා අනෙකා හා සංකේතීය ව්‍යුහය නියෝජනය කෙරේ. එය සැබැවින්ම නවනිර්මාණයක් ලෙස වෙස්මුහුණු අතරට එක්වන්නක් පමණක් නොව දාර්ශනික වශයෙන් නව මානයක් ගෙන ඒමකි. අපගේ දේශීය මානසික චිකිත්සාව වූ ශාන්ති කර්ම තුළ යකා ගෙන්වීම තුළින් ආතුරයාට සිය ක්ෂතිය මුණ ගැස්සවීම සිදු කෙරිණි. බටහිර මනෝ චිකිත්සාවේ වශීකාරක ප්‍රතිගමනය හෙවත් මෝහනය යනුද එයම විය. මෙහි ආතුරයා විසින් මහා අනෙකාගෙන් නිදහස් වීම සඳහා පැළඳගත් අර්ධ වෙස්මුහුණ අවසානයේ ගලවා දමයි. ඩෙනිස්  උච්චාවස්ථාව ගොඩ නගනුයේ චරිතවල ගැටුමක් වෙනුවට මනෝභ්‍රමික තර්ගමය  නර්තන අවස්ථාවකිනි. එහෙත් භාව විරේකහි එය යකා විසින් තුරුන්නාංසේව වෙඩි තබා ඝාතනය කිරීමත් ආතුරයා විසින් වෙස් මුහුණ ගලවා දමා කරන ආත්ම ප්‍රකාශනයත් තුළිනි. 

පූර්වජ මහා අනෙකකු සංකේතීය පටිපාටිය බවට පත් මෙවැනි රටක් පිළිබඳ තියුණු මෙන්ම දාර්ශනික බැල්මක් හෙලන මෙය ප්‍රහසනාත්මක නාට්‍යයක් ලෙස දකිත හැකි භාව විරේක නදීකා බංඩාරගේ රචනයකි. 


මෙය නූතන රංග ක්‍රම මෙන්ම සාම්ප්‍රදායික ජන රංගයන් අපූරුවට යොදාගත් ප්‍රශස්ත නිෂ්පාදනයකි. එමෙන්ම භාව විරේක දාර්ශනික හෝ මනෝ විද්‍යාත්මක සංකල්පවලින් රස වින්දනයට කිසිදු බාධාවක් නොවන පරිදි ගොඩ නැගූ සරල විනෝදාත්මක ප්‍රහසනයකි.

රෝලන්ඞ් ඒ ප්‍රනාන්දුගේ දිවැස හෙලනු මැන හා විමලරත්න අධිකාරීගේ රාස්ස පරාස්ස’වලින් පසු මා දුටු ආරම්භයේ පටන් අවසානය දක්වාම ප්‍රේක්ෂාගාරය සිනහ සයුරේ ගිල්වන  සාම්ප්‍රදායික ශාන්තිකර්ම ආශ්‍රිත ශෛලිගත  නාට්‍යයකි.


කේ. කේ. සමන් කුමාර 

භාව විරේක ජුලී 28 සවස 6.30ට පුංචි තියටර්හිදී



ජගත් ජයසේකරගේ අධ්‍යක්ෂණයක් වන භාව විරේක වේදිකා නාට්‍යය 2016 ජුලී 28 වන බ්‍රහස්පතින්දා සවස 6.30ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකා ගතවේ.

භාව විරේක දේශීය ශාන්ති කර්මමය අභිචාර හා වෙස්මුහුණු  යොදා ගත් පර්යේෂණාත්මක නාට්‍යයකි. නූතන රංග ක්‍රම මෙන්ම සාම්ප්‍රදායික ජන රංගයන් අපූරුවට යොදාගත් විනෝදාත්මක ප්‍රහසනයකි. 

ජගත් ජයසේකර, තරංග බංඩාර, සුසන්ත ප්‍රදීප්, නදීකා බංඩාර, රුවන් රංගේ, සිසිල් ප්‍රියන්ත, අජිත් සංජීව  රංගනයෙන් දායක වන මෙහි නර්තන වින්‍යාසය සුසන්ත ප්‍රදීප්ගෙනි. වෙස් මුහුණු නිර්මාණය කරුණාදාස ඔලබොඩුවගෙනි. ලහිරු චතුරංග රංගාලෝක නිර්මාණයෙන් දායක වෙයි. මෙය නදීකා බංඩාරගේ රචනයකි. 

භාව විරේක ජෙනී තියටර් රංග කලා සංසදයේ ඉදිරිපත් කිරීමකි.