තිලිනා වීරසිංහ සමග කතා බහක්
'ඔහු සමග ගිනිය නොහැකි වාරයක් යහන්ගත වන තුරු මගේ යෝනියෙන් මතු වු වේදනාව මම ඉවසා දරා සිටියෙමි. අවසානයේ මගේ වේදනාව තුනීව එහි සතුටක් හෝ වේදනාවක් නැතැයි මට හැගුණු නිමේෂයේ මම ඔහුට සමුදුනිමි. '
ඇගේ පොත් මට පොත් ප්‍රදර්ශන වලදී හෝ පොත් කඩවල රාක්ක වල පහසුවෙන් ඇස ගැටී නැහැ. මගේ පරම්පරාවේ බොහෝ අය තිලිනාව දන්නේත් නෑ. තිලිනා වීරසිංහව මුණ ගැහෙන්නේ අහම්බයෙන්, ඇගේ පොත් මට වගේම ඔබටත් පොත් කඩවල හෝ පොත් ප්‍රදර්ශන වලදී ඒ තරම් පහසුවෙන් හමුවෙන එකක් නෑ. පොත් ප්‍රකාශනය අලෙවි කිරිම ඒවා ගැන මතවාද හැදීම ඒවා පොත් රාක්ක වල පැවැතිමත් පෙන්නන තරම් එහෙමත් නැත්නම් පෙනෙන තරම් අහිංසක දෙයක් නොවන නිසා. අන්න ඒ හින්දා තිලිනා කියන්නෙත් පොත් රාක්කයෙන් එලියට තල්ලූ වෙලා ගියපු කෙනෙක්. ජනප්‍රිය ධාරාව කොහොමත් ඇයව රැස්සන්නේ නැති වෙන්ඩ පුලූවන්. නමුත් විකල්ප අවකාශයත් ඇයව භාරගත්තේ නැහැ. මේ ඈ සමඟ කළ සංවාදයක සටහනක්
-ඔබේ ප්‍රබන්ධ කියවන පාඨකයාට යම් කතාවක් කියවන අකාරයෙන් ,භාවාත්මක සමාරෝපනයෙන් විතරක් කියවන්ඩ බැහැ. එ්ක ඔබේ ප්‍රබන්ධකරණයට අනන්‍ය වු ලක්ෂණයක්
- ඔව්. මට නිකම්ම කතා කියන්නියක් වෙන්ඩ වුනේ නෑ. මාර්ටින් වික්‍රමසිංහ හෝ වෙනත් ලේඛිකාවන්ගේ හුරුපුරුදු ප්‍රබන්ධ සාහිත්‍යයක නෙමෙයි මං නිරත වුනේ , මට ඒක ඕන වුනේ නෑ. අවුරුදු විස්සක විතර ඉඳලා මම දේශාපලන කාරණා ගැන ලේඛනයේ යෙදුනා. ඒවා හරහා රට තුල සමාජ , ආර්ථික, සංස්කෘතික ව්‍යුහයන් තුළ ඇති අර්බුද සමාජ සාකච්ඡාවක් විදිහට ඉස්මතු කරලා තියෙනවා. මම 1988 ඉඳලා මං අත්විඳි සමකාලින අත්දැකීම්, අර්බුදයන් සහ පීඩනය සංවාදයට ලක් කරලා එම පීඩනය පුපුරුවා හැරිම තමයි පුවත්පත් කලාව තුල රැදි සිටිමේ අරමුණ වුනේ. ඇතත්ටම මට ඕන වුනේ අලූත් ශිෂ්ට සම්පන්න ලෝකයක් ගොඩ නැගීම සඳහා මැදිහත් වීම.
මම ප්‍රබන්ධ සාහිත්‍යට යොමු වෙන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයත් දේශපාලන සංවාදයත් අතර යමක් නිර්මාණය කිරීමට අලූත් මාවතක් හොයා ගැනීමට , 1996 දී තමයි නාඳුනන ගැහැනිය මම කතෘ ප්‍රකාශනයක් විදිහට ප්‍රකාශයට පත් කරන්නේ, මම හිතන්නේ ඔබ කියන මට අනන්‍ය වු ලක්ෂණය ගොඩ නැගෙන්නේ එතැනින් කියලයි.
-මට හිතෙනවා ඔfබි රචනා වල විශේෂයෙන් ආදරණිය දෙවියන් වහන්සේ සහ අන්ධකාරය රාත්‍රිය සහ නාඳුනන ගැහැනිය , පිටුවහල් කල තරුණිය වගේ ප්‍රබන්ධ රචනා වල ඇති වාක්‍ය රටාවල කාලය නතර වෙලා වගේ?
-අසු අට, අසු නමය කියන්නේ සමාජ තුල කාලය නතර වුනු කාලයක්. මිනිස්සු හිටියේ එක තැන නතර වෙලා , මම හිතන්නේ එ් අත්දැකිම රචනා කරන කොට ඒවගේ රිද්මයක් එකතු වෙන්ඩ ඇති.
මට හිතෙන්නේ තාමත් කාලය ගලාගෙන යන්නේ නෑ කියලා. තැන් තැන් වල පුංචි පුංචි කල්ලි ඉන්නවා තාක්ෂණය දියුනු වෙලා තියෙනවා. නමුත් එදා වගේම අදත් මානවීය නිදහස් ප්‍රගමනයක් සිද්ධ වෙන්නේ නෑ. දේශපාලනය විසින් සමාජය පුරාම පතුරා තියෙන්නෙ බිය සහ තැතිගැන්ම, රැවටීම. එම නොමඟ යැවීම තුළ සමාජය ගල් ගැසී තිබෙනවා.
-ස්ත්‍රි පීඩනය පිළිබඳ තියුණු විවේචනයන් ඔබේ ප්‍රබන්ධ වල දැකිය හැකියි. එසේම ඔබේ කෘති වල රළු පුරුෂයින් සහ පීඩාවට පත් ගැහැනුන් හමුවෙනවා
-මම මගේ කෘතින් හි පුරුෂයන්ගේ රළුබව, මුග්ධභාවය මෙන්ම ආදරය මෘදු බව පිළිබඳවත් මතු කරනවා. නමුත් වැඩිපුර ඉස්මතු වී ඇත්තේ ඔවුන් තුල ඇති රළුභාවයන්.
සමහරු කීවා මට ළමා කාලයේ හමු වෙලා තියෙන රළු අත්දැකිම් නිසා මම මෙහෙම ලියනවා කියලා. නමුත් මගේ තාත්තා ආදරණීය දෙවියන් වහන්සේ හා අන්ධකාර රාත්‍රිය කෘතියේ මාරියාගේ තාත්තා ෆර්ඩිනස් වගේ රළු පුද්ගලයෙක් නොවෙයි. තාත්තා මගේ පසුකාලීන ලේඛනයන්ට කැමති නැති උනත් මට ලේඛනයේ නිරත වෙන්ඩ මුල්ම මාර්ගය විවර කරලා දෙන්නෙත් ඔහු. නමුත් වයසින් වැඩෙන කොට මට තේරෙනවා ඔහුත් මේ පුරුෂ මුලික සමාජයේ පුරුෂ නියෝජනයක් කියලා. මම ඇත්තටම ලියන්නේ මෙම පුරුෂ මුලික සමාජයට එරෙහිව. එහි පෙනෙන සහ නෙපෙනෙන පීඩනයට එරෙහිව. එහෙම නැතිව මම පුද්ගලිකව මගේ පියා රළු පුද්ගලයෙක් වු නිසා නෙමෙයි. මගේ අවට සිටින ගැහැනුන් අත්විඳින තත්වය තමයි මම මගේ ලේඛන වල නිර්මාණය කරන්නේ, විශේෂයෙන් අන්ධකාර රාත්‍රිය කතාවේ මාරියා ගේ පියා ඉතාම දරදඩු මිනිහෙක්, එ්වගේම ඇයට මුණ ගසෙන පිරිමින් ඒ අකාරයෙන් රළු නොවුණත් ඔවුන් ස්ත්‍රි විෂයේ දී ඉතාම අසංවේදි අය. පිරිමින්ගේ මෙම දරදඩු අසංවේදි ගති ලක්ෂණ ස්ත්‍රියට එරෙහිව ගොඩනැගෙන්නේ සමාජය පුරුෂ මුලික නිසා.
ඇත්තමට මම සම්ප්‍රදායික පීඩනයට එරෙහිව ලියපු දේවල් ගැන මගේ පවුලේ උදවිය කැලඹුනා. විශේෂයෙන් මගේ තාත්තා. මම එල්ල කරපු ප්‍රහාරය පොදු සම්ප්‍රදායක පීඩනයට එරෙහිව බව තේරුම් ගන්න තරම් පුලුවන්කමක් එගොල්ලන්ට තිබුනේ නෑ. එක්දහස් නමසිය පණස් හැට ගණන් වල යටත් විජිත පාලනයෙන් පසුව සිංහල සංස්කෘතික රාමුව තුලින් තමයි ඒගොල්ල හැදෙන්නේ.
ඇල්බර්ටෝ මොරාවියාගේ The woman
of the rome කෘතියේ පරිවර්තනය මම කියවන්නේ අවුරුදු නමයක් වගේ වයසේ දී, ඒ පොත ලිංගික වෘත්තිකාවකගේ ජීවිතය පිළිබඳව ලියන ලද්දක්, එවැනි වයසකදී එවැනි කෘතියක් පරිශිලනය කරන්ඩ ඉඩදෙන මගේ තාත්තාම තමයි පසුකාලීනව මගේ ලේඛනවලට එරෙහි වෙන්නේ,
පිතෘමුලික පුරුෂ ඇගයුම් සහිත පීඩක ක්‍රමයට එරෙහිව තමයි මම ලේඛනය භාවිතා කරේ, එතැනදී මට පුරුෂයාගේ රළුබව මඟහැර යා නොහැකියි, එහි අරමුණ වුනේ මානවීයත්වයෙන් පිරුණු ස්ත්‍රි පුරුෂ සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මැදිහත් වීම.
'අපගේ සැමියන් හදිසි ප්‍රහාරයන් නිසා මියගිය විට හෝ අමු අමුවෙ සිතාමතාම මරා දැමුණු විට රජය අපට වන්දි ගෙවනු ලබන්නේ හෝ මාසික දීමනාවක් පිරිනමන්නේ හෝ නැහැ. උතුරේ අප වැන්දඹුවන් වීම තුළ ජිවිතය පුරාම එයට වන්දි ගෙවිය යුත්තේ අප විසින්මයි. අපගේ පවුල් විනශ වී ගොස් පවතිනවා. අපගේ පියවරුන් , සහෝදරයින් අපට හිමි කර තිබෙනවා. නිවෙස්වල මුදුන් වහල් මත බෝම්බ පතිත කර එ්වා පොලොවට සමතලා කර තිබෙනවා. අපගේ ගේ දොර වල් බිහිව ඒවා ගවයන් උලාකමින් හැසිරෙන තැන් බවට පත් කර තියෙනවා. අපගේ ගම්මාන පිරිමින්ගෙන් තොර ගැහැනුන් හුදකලා වූ ගම්මාන බවට පත්ව තියෙනවා. '
සමනල මරණය-
වැන්දඹුවගේ සංවාදය, පිටු අංක 73
-ස්ත්‍රිත්වය ගැන කතා කරන කොට ඒ සමග පිටුසින් මාතෘත්වය. ස්ත්‍රිත්වයේ මැන බලන්නේ දරුවන් වැදිම මුල් කොට ගෙන. ඒ ගැන ඔබ දරන්නේ කුමන මතයක් ද?
-සියලු කාන්තාවන් දරුවෝ හදන්න ඕන කියලා මම හිතන්නේ නෑ.
දරුවන් හරහා පවුල, පෞද්ගලික දේපලට නොබිඳිය හැකි සම්බන්ධතාවයක් ගොඩ නැඟෙනවා. කාන්තාවකගේ සමස්ත වටිනාකම ආරෝපණය කරනවා මාතෘත්වයට , කෘෂ ගෝතමි පාරක් පාරක් ගානේ ගිහිල්ලා ආයාචනා කරේ දරුවෙක් නැති ගැහැනියට සමාජය තුල වටිනාකම අහිමි වෙන හින්දා, එහෙම නැතිව දරුවා නැති වුනු ශෝකය නිසාම නෙමෙයි. සමාජයේ පවතින මෙම වෙනස්කම නිසා බෞද්ධ ගැහැනිය අරගල කරා, අධ්‍යාත්මික විමුක්තිය හොයාගෙන යන්ඩ. ගෘහයෙන් නිදහස් වෙන්න පෙරදිග ගැහැනිය අරගල කරා අතීතයේ ඉඳලා, පෙරදිග පිතෘ මුලික පවුල් ව්‍යුහයෙන් ගැලවෙන්න ගත්ත උත්සාහයන් ථෙරි ගාථා වලින් ඇඟවෙන්නේ
මගේ සම්බන්ධයෙන් ගත්තොත් මම දරුවෝ හදන්න කැමති වුනේ නැත්තේ මට සමාජීය ජිවිතය සමඟ බැඳෙන්න තියෙන අවශ්‍යතාවය, සමාජිය ක්‍රියාකාරිත්වයේ යෙදිමටත්, ලේඛනයේ යෙදෙන්නටත් මට තිබු අවශ්‍යතාවය අනිත් අතට මම නිදහස ගොඩක් ප්‍රියකරනවා, ගැබක් එක්ක බැඳෙනවට වඩා සමාජය එක්ක බැඳෙන්නයි මට වුවමනා වුනේ මේ ආර්ථික සහ දේශපාලන සන්දර්භය තුල මවක් වෙනවා කියනනේ එයාට ගැලවිල්ලක් නෑ. එයාගේ මුලූ ජිවිත කාලයෙන්ම දරුවොගෙන් ගැලවෙන්න බෑ. කොටින්ම මැරෙනකම්ම එයාට ගැලවෙන්ඩ බෑ.
මම දරුවෝ හදන්ඩ කැමති නෑ කියන එකේ අදහස වෙන්නේ මම දරුවොන්ට ආදරේ නෑ කියන එක නෙමෙයි. මම හැම දරුවෙකුටම ආදරෙයි. දරුවන්ට ආදරේ කරන්ඩ දරුවෝ හදන්ඩම ඕනේ නෑ. සමහර දෙමව්පියෝ ආදරේ කරන්නේ තමන්ගේ දරුවන්ට විතරයි. මම කැමති වුනේ එක දරුවෙක් වෙනුවෙන් ජිවිතේ කැප කරනවට වඩා සමාජය යහපත් තැනක් බවට පත් කිරිමට මැදිහත් වීමට.
සමාජය තවමත් ගැහැනියගේ වටිනාකම ගර්භාෂයට තමයි සීමා කරන්නේ , සාමාන්‍යයෙන් අපේ සාමාජයේ විවාහක දරුවෝ නැති කාන්තාවක් වඳයි කියලා අපහාසයටත් ලක්කරනවා. මගේ නාදුනන ගැහැනය පොතේ එක තැනක තියෙනවා මම වඳයි කියලා ප්‍රකාශයක් තියෙනවා ( මම සහ අපි පිටු , අංක 04 ), ඇත්තටම මම එහෙම සියුම් උපහාසයක් කරන්නේ අපේ රටේ පසුගාමී සංස්කෘතික මතවාදයට අභියෝග කිරීමට.
මගේ අම්මා, ආත්තම්මා ඒ ගොල්ලන්ගේ දරුවෝ හදන්ඩ ඒගොල්ලන්ගේ මුලු ජීවිත කාලේම ගෙව්වා. ඔවුන් ඒ වෙනුවෙන් ලොකු පීඩනයකට මුහුණ දුන්නා. මම ඒක වටහා ගත්තා. ඒ හින්දා මට ඒ පිඩනයට මුහුණ දෙන්න වුවමනා වුනේ නෑ.
'ඇත්තටම නංගියේ මිනිහෙකුට ඒ වගේ වෙලාවක සතුටුවෙන්න වෙන ක්‍රමයක් ඇත්තේම නැද්ද? ගෑනියෙක් එක්ක නිදාගන්න එක... පිරිමියෙකුට එ්ක විනාඩි කිහිපයක වැඩක්. කාලය පැත්තෙන් බැලූවොත් නම් අපටත් එච්චරම තමයි. එත් එදා මං හිටියේ මොන තරම් අමාරුවකින්ද ? ඒ මිනිහට බැරිවුණා තව දවස් ගාණටකට. මේ වැඬේ කල් දාන්න එකඟ වෙන්ඩ ගෑනියකගේ වේදනාවයි, මහන්සියයි ගැන කිසිම හැඟීමක් නැති හැම රැයකටම මං සාප කරනවා. .. සමහර විට මේ වෙලාවට පිරිමියෙකුගේ ලිංගෙට වඩා වටිනා කිසිම දෙයක් නැහැ කියලයි උන් කල්පනා කරන්නේ.'
නාඳුනන ගැහැනිය- පෙම්වතියකගේ රාත්‍රිය, පිටු අංක 14
-සාහිත්‍ය ප්‍රධාන ධාරාව ඔබ භාර නොගැනීම ගැන පුදුම විය හැකි වුවද විකල්ප කලා අවකාශය තුල ඔබේ ලේඛන සැඟවිලා යන්නේ ඇයි?
-අවුරුදු විස්සක ඉඳලා මම ලියපුවා අදටත් වලංගුයි. නමුත් ප්‍රමාණවත් සංවාදයක් ඇති වුනේ නෑ. කොහොමටත් පුරුෂයෙක් නිර්මාණයක් කරන එකටයි කන්තාවක් නිර්මාණයක් කරන එකටයි තියෙන්නේ සමාජය තුළ පවතින අනෙකුත් අසමනාතවයන් වගේම අසමානතාවයක්. පුරුෂයන්ට සාපේකෂව ස්ත්‍රි නිර්මාණකාරියන්ට ලැබෙන්නේ අඩු අවධානයක්. 1997 දී රාජ්‍ය ස්වාධින සාහිත්‍ය උළේලේ අවසන් වටයට තේරුනු කෘති තුන අතරට මගේ පොතත් ආවා. අනෙක් කෘති දෙක වුනේ අජිත් තිලකසේනගේ සහ කිර්ති වැලිසරගේ ගෙ.
අන්ධකාර රාත්‍රිය පොතේ මාරියා ස්වයං වින්දනයේ යෙදීමෙන් නිරූපනය කරලා තියෙන්නේ මේ සමාජ දේශපාලන අවකාශය තුළ ගැහැනිය හුදෙකලාව කරලා තියෙන ආකාරය, සක්‍රිය දේශපාලන ක්‍රියාවලියට ගැහැනියට ඇති අයිතිය අහුරා දමා තියනවා , මම සමනල මරණය ලියන්නේ යුද්ධය තියෙන කාලයේම,
2010 දී රාජපක්ෂ ආණ්ඩුව උතුරු වසන්තය නමින් ලෝකය රවටපු ව්‍යාපෘතිය දියත් කරන කාලයේ මම හුදෙකලාව යාපනයට ගියා, ඒ අත්දෑකීම් ගැන එවකට මම සම්බන්ධ වෙලා හිටපු නිදහස පුවත්පත තුළ දේශපාලන සංවාදයක් ගෙන ගියා.
සාහිත්‍ය කලාව තුල තියෙන්නේ කුහක අධිපතිවාදයක් , ඇත්තටම විකල්ප කියන අය විකල්පයි කියලා මම හිතන්නේ නෑ, ඔවුන් ඉතාම සම්ප්‍රදායික අධිපතිවාදි පටු තැන් වල ඉන්නේ, ඔය විකල්පයි කියන ගොඩක් අවකාශ මගේ අදහස් මතවාද වලට ඉඩ දුන්නේ නෑ. ගැහැනියක් ලියපු නිසා ඒගොල්ලන්ට භාර ගන්න බැරි වුනා.
සමහරු කීවා මම ලියපුවා සාහිත්‍ය නෙමෙයි කියලා. ඒක හරි. මොකද මට සම්ප්‍රදායික සාහිත්‍ය රචනා අස්සේ හිර වෙන්ඩ වුවමනා වුනේ නෑ. මට වුවමනා වුනේ ගැහැනියගේ පීඩනයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරිමේ නව භාවිතාවක් හොයා ගන්ඩ.
මධුසමය අහිමි මංගල්‍ය කෘතිය ගොඩක් අය කියව ගත්තේම විකෘති විදිහකටයට. මාරියා ලිංගික ක්‍රියාවලියේ දි පැයක් පිරිමියෙකුට තුරුල් වෙලා ඉන්න එක ගැන සෙක්ස් ගැන අත්දැකිමක් නැති කෙනෙක් ලියලා කියලා සමහර පිරිමි හිනාවුනා. එකේ අදහස ලංකාවේ පිරිමින්ට ලිංගික ක්‍රියාවලියේ දි පැයක් ගැහැනියට තුරුල් වෙලා ඉන්නේ නෑ කියන එක ද ? මගේ නාඳුනන ගැහැනිය පොතේ පෙම්වතියකගේ රාත්‍රියේ ඉන්න ගැහැනිය කියනවා පුරුෂයෙකුට සංසර්ගය කියන්නේ විනාඩි කිහිපයක ක්‍රියාවලියක් බව , ඔවුන්ගේ එම හිනාවෙන් ඇඟවෙන්නේ ඒ සත්‍ය බව නොමේ ද ?
“ මධුසමය අහිමි මංගල්‍යය” සහ “සාක්කි නැති කන්‍යා පටලයක් ” ගැහැනියකට ලිංගික වධහිංසාවෙන් තොරව ජිවත් වීමේ අයිතිවාසිකම පිළිබඳව මම ආරම්භ කරපු සංවාදය අද ගම්දනව් වල සිය දහසක් සහෝදරියන් මහ මඟට බැහලා ඉල්ලා සිටිනවා. ඒක අපේ අයිතිවාසිකම් ගැන සන්ධිස්ථානයකයක්.
-ස්ත්‍රිවාදය මිය ගිහිල්ලා කියලා කියනවා ඔබ ඒ ගැන හිතන්නේ කොහොමද
-නැහැ. ඒ අදහස පුරුෂ මූලික මතවාදයක්! ස්ත්‍රීවාදය කියන්නේ ස්ත්‍රින්ගේ නිදහස පිළිබද ඇති මතවාදිමය අරගලයක්. එය ඉතිහාසමය ක්‍රියාවලියක් ඒක අනාගතය දක්වාම ගලා යන දෙයක්.
-ලංකාවේ ස්ත්‍රිවාදී ව්‍යාපාර ගැන ඔබ හිතන්නේ කොහොමද
-ඇත්තටම ලංකාවේ ස්ත්‍රිවාදින්ට විතරක් නෙමෙයි දේශපාලන ව්‍යාපාර වලටත් සෑබැ අරමුණක් තිබුනේ නෑ. මෙහේ ස්ත්‍රීවාදී ව්‍යාපාරය දේශපාලනිකව සංකල්පියව විශාල අඩුපාඩු සහිතව ගොඩ නැගුනේ. වරදි භාවිතාවයක් තමයි දක්නට ලැබුනේ, අනෙක් අතට ඔවුන් හිතුවෙ ඔවුන්ගේ පැවැත්ම ගැන. එ් හින්දා අදටත් ස්ත්‍රි පීඩනය පිළිබදව ප්‍රමාණවත් මැදිහත් වීමක් සිද්ධ වුනේ නෑ. උදාහරණයක් විදිහට කන්‍යාභාවයට දෙන වටිනාකම හරහා කාන්තාවකගේ වටිනාකම මැනිම, මල්වර සිරිත් මගින් දැරියන් ළමා අවදියේ සිටම පීඩාවට පත් කිරීම, බලහත්කාරි සංසර්ගයේ ගොදුරු බවට පත් කරනු ලබන අපේ පරම්පරාවේ ස්ත්‍රීන් සහ දැරියන් අත් විදින ඛේදවාචකය දක්වන්න පුලූවන්.
බටහිර ගැහැනිය අධ්‍යාපන දේශපාලන සංස්කෘතකික අයිතින් දිනා ගත්තේ අරගල කරලා. නිකම් නෙමෙයි. අද අපි භුක්ති විඳින ගොඩක් අයිතිවාසිකම් අරගල වල ප්‍රතිඑල, ලංකාවේ ඉතුරු වුනේ ව්‍යාපෘති මිසක් අරගලයක් නෙමෙයි.
උසාවියේ දි මගේ දික්කසාද නඩුව ඇහෙමින් තියෙන කාලයේ දී මා විසින් ලියන ලද නාඳුනන ගැහැනිය හා පිටුවහල් කල තරුණිය කෘතින් හා කාන්තාව හා මාධ්‍ය සාමුහිකය ප්‍රකාශ කළ ඇය සඟරාවට ලියන ලද ලිපි කිහිපයක් හා රාවයට ලියු ස්ත්‍රි අයිතිවාසිකම් පිළිබඳ ලිපි කිහිපයක් මට එරෙහිව සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබුණා. ඒ නඩුව ලංකාවේ ඉතිහාසගත නඩුවක්. ඇත්තටම ඩිවෝස් එකට හේතුව වුනේ අවුරුදු හයක් තිස්සේ පැවති විවාහය තුළ මම එකම යහනේ ඉඳිමින් සංසර්ගය ප්‍රතික්ෂේප කිරීම, එහෙම වුනේ ඔහු සංසර්ගය දුටුවේම එයට මගේ මානසික එකඟතාවයක් අවශ්‍ය නැති දෙයක් විදිහට, මම මගේ මානසික එකඟතාවයකින් තොරව සංසර්ගයට ඉඩ දුන්නා නම් ඒක බලහත්කාරි සංසර්ගයක් වෙනවා, ඉතින් මට තිබු චෝදනාව වුයේ මා ස්ත්‍රිවාදිනියක් බවයි, මේ අවස්ථාවේ මම ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ක්‍රියාකාරින්ට මෙම නඩුව අධ්‍යනය කරන ලෙස කරපු ඉල්ලීමට කිසි කෙනෙක් ප්‍රතිචාර දැක්වුයේ නෑ. අවම වශයෙන් ස්ත්‍රින්ගේ පීඩනයට එරෙහිව පෙනී සිටිනවා කියා කියන කාන්තාව සහ මාධ්‍ය සාමුහකයේ “ඇය” සඟරාවේ සංස්කාරකවරියන් හෝ මෙම නඩුව අධ්‍යයනය කරන්නට උසාවියට පැමිනියේ නැහැ. මම මෙම සම්ප්‍රදායික විවාහ සංස්ථාවේ පීඩනයට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය තුළ අරගල කරනු ලැබුවේ හුදෙකලාවයි. මේ සම්බන්ධයෙන් පසුව කළ විමසීමකදී “ඇය” සඟරාවේ සංස්කාරකවරියන් පවසා සිටියේ එය මගේ පෞද්ගලික කාරණයක් නිසා මැදිහත් නොවුන බව. ඒක මගේ හුදු පෞද්ගලික කාරණාවක් නම් මම අසා සිටිනවා ලෝකේ හැම ගැහැනියකගේම ප්‍රශ්න පෞද්ගලික ද කියලා. එහෙම නම් අපි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙනී සිටිනවා කියන එකේ අදහස මොකක්ද ? හැම පෞද්ගලිකත්වයක්ම දේශපාලනිකයි කියන එක අපි මීට වඩා ගැඹුරින් තේරුම් ගත යුතුයි.
අනිත් විහිලූව තමයි කාන්තා දිනය, කාන්තා දිනය සමරන්න ගොඩක් අය මට කතා කරනවා. අඬලා දුක කියන්න , මට නම් අඬන්න වුවමනාවක් නෑ. ඊට පස්සේ කොහේ හරි පිරිමියෙක් ගෙනල්ලා දේශනයක් කරනවා, ලංකාවේ ස්ත්‍රීවාදි මතවාද යාන්ත්‍රණය හසුරුවන අයට එරෙහිව මගේ තියුණු සංවාදයක් තිබුනා
- අලූත්ම එළඹුම වන ස්ත්‍රි පුරෂ සමාජභාවය ගැන හිතන්නේ කොහොමද ?
-ඒවා අරගල නෙමෙයි. ඒවා ව්‍යාපෘති. මේ ධනේශ්වර සමාජය තුල ගැහැනියක්ව කවදාවත් නැති තරමට සුරා කෑමට ලක් වෙලා තියෙනවා. නමුත් මෙම සූරාකෑම මඟ හරිනවා. ඒ නිසාම එය සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඒ තුල වඩාත් ස්ත්‍රී පීඩනය තීව්‍ර වෙලා තියෙනවා.
-කාන්තා දේශපාලන නියෝජනය වැඩි කිරීමට මෑත කාලයේ ඉල්ලීම් ඉදිරිපත් වුනා. කාන්තා නියෝජනය වැඩි කිරිමෙන් කාන්තාවන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු ලබා ගත නොහැකි ද ?
-අමතක කරන්න නරකයි අපි ජීවත්වෙන්නෙ විද්‍යා වැනි දැරියන්, සේයා බිළිඳියන් බලහත්කාරි සංසර්ගය ගොදුරු කරලා ප්‍රචණ්ඩත්වයට ගොදුරු කරලා මරලා දාන සමාජයක බව.
අනිත් එක දේශපාලන කටයුතුවල නිරත වෙන්ඩ ස්ත්‍රියකට ගෘහය තුල තියෙන අවකාශය තීරණාත්මක කාරණයක්. 1994 ජනාධිපතිවරණයේදි ගෙවල් වල ගෘහමුලිකයා පිරිමියා නිසා පිරිමියෙක්ට ඡන්දය දෙන්ඩ කියලා හිටපු වනිතා කටයුතු අමාත්‍ය රේණුකා හේරත් කීවා. බල ව්‍යාපාතිය තුල කවරු හරි ස්ත්‍රී ශරිරයක් පාර්ලිමේන්තුවට ඇරලා කාන්තාවන්ගේ ලෝකය වෙනස් කරන්ඩ බෑ. කාන්තා නියෝජනය සඳහා ඇතුළත් විය යුත්තේ ගැහැනු ශරිර ඇති පිරිමි මත දරණ අය නෙමෙයි. ස්ත්‍රී අයිතිවාසිකම් මතවදිව ප්‍රායෝගිකව පිළිගැනීමට සුදානම් සවිඥානිකත්වයක් ඇති අය. ස්ත්‍රිය පිළිබඳ මතවාදී වෙනසකින් මිසක ස්ත්‍රියකගේ බලය සම්බන්ධයෙන් කිසිදු දෙයක් වෙනස් කරන්නට බැහැ.
( මෙවර පොත් ප්‍රදර්ශනයේ දී කුටි අංක K 306 හිදි ඇගේ සියළු කෘතින් ඔබට මිලදී ගත හැක )
සංවාද සටහන- නදීකා බංඩාර
ඡායාරූප උපුටා ගැන්ම- රාවය වෙබ් අඩවියෙනි.